lakbima.lk

පසුගියදා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැති ජනසතු සේවා සත් සාමාජික හොකී තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ලංකා බැංකුව සමත් විය.
ලංකා බැංකුව සහ ගමනා ගමන මණ්ඩලය අතර පැවැති අවසන් මහ තරගයේදී ලංකා බැංකුව ගෝල 3-2ක තියුණු ජයක් වාර්තා කළේය.
සුදීර විජේසුන්දර, රොහාන් ගමගේ සහ නාත් දිසානායක ජයග්‍රාහී ලංකා බැංකුව වෙනුවෙන් ගෝල රැස් කළ අතර, කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඒ.එම්. පෙරේරා මහතා කටයුතු කළේය.

නේපාලයේ කත්මන්දු හිදී පැවැති පළමුවැනි දකුණු ආසියානු කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් සමගින් පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වී තිබේ.  පසුගිය 23 සහ 24දා පැවැති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනකු සහභාගි වූ අතර, එහිදී කිලෝ ග්‍රෑම් 60 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට යුද හමුදාවේ එම්. රාජකුමාරන් සමත් විය.

කිලෝ ග්‍රෑම් 60 බර පන්තිය යටතේම තරග වැදුණු කේ. උදයකුමාර (මීරිගම බාබෙල්) රිදී පදක්කම දිනා ගත් අතර, යුද හමුදාවේ නිශාන්ත වික්‍රමසිංහ කිලෝ ග්‍රෑම් 65 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ.

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතා දකුණු ආසියාතික කායවර්ධන සම්මේලනයේ උප සභාපති තනතුරට පත්කර ඇති අතර, 2019 දකුණු ආසියාතික කායවර්ධන තරගාවලියේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබේ.

බෝපිටිය ලොයොලා විද්‍යාලයේ ජේ.එම්. සිතුම් නිරංග මේස පන්දු ක්‍රීඩාවෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් විදුහල් නාමය ඉහළ තලයකට රැගෙන යාමට සමත් වී සිටියි.  අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවිධායකත්වයෙන් පසුගියදා ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති සමස්ත ලංකා පාසල් මේසපන්දු තරගාවලියේදී පරිසාධන මට්ටම අභිභවා යමින් අවසන් ක්‍රීඩකයන් 16 දෙනා අතරට පත්වීමට සිතුම් නිරංග සමත් විය.

බස්නාහිර පළාත් මේස පන්දු තරගාවලියේද අවුරුදු 15න් පහළ සිව්වැනි ස්ථානය දිනාගත් සිතුම් අවුරුදු 18න් පහළ ශූරතාව දිනා ගනිමින් දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබිය.

2016 සහ 2017 වර්ෂයන්හි අවුරුදු 15න් පහළ සහ අවුරුදු 18න් පහළ ගම්පහ දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම්හි පළමුවැන්නා බවට පත්වූ සිතුම් විවෘත පිරිමි අංශයෙන් 8 වැනි ස්ථානයට ශ්‍රේණිගත විය.  සිතුම්ගේ මෙම දක්ෂතා හේතුවෙන් 2017 ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබිය. මේස පන්දු ක්‍රීඩාවෙන් දස්කම් පාන සිතුම්ගේ පුහුණුකරු ලෙස ලක්ෂාන් තාරක මහතා කටයුතු කරන අතර, ඊ-සොෆ්ට් ආයතනය මගින් සිතුම්ට ශිෂ්‍යත්වයක්ද ලබාදී තිබේ.

රුසියානු මධ්‍යස්ථානයේ ඇනටෝලි කාර්‍පෝව් චෙස් සමාජයේ 20 වෙනි සංවත්සරික උත්සවය පසුගියදා පැවැත්වුණු අතර, එහිදී දැනට ශ්‍රී ලංකාවේ නැගී එන චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකුට සහ මෙම චෙස් සමාජයේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකුට උපහාර සම්මාන පිරිනමන ලදී.

මෙම 20 වෙනි සංවත්සරික උළෙල පසුගියදා රුසියානු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයෙදී රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රථම ‍ලේකම් සහ රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ඇනස්ටාසියා කොක්ලෝවා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට ආසියානු චෙස් සමාජයේ උප සභාපති ‍පොදු රාජ්‍ය මණ්ඩල චෙස් සම්මේලනයේ මහ‍ලේක් සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ තරග ‍ලේකම් ලක්ෂ්මන් විජේසූරිය සහ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහත්වරුද සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ සිටින ලෝක චෙස් ඔලිම්පියාඩ් රන් පදක්කම්ලාභී, කාන්තා ෆිඩේ මාස්ටර් හා ලෝක චෙස් සම්මේලනයේ සහතිකලත් ෆිඩේ උපදේශකවරියක වන දස වසරක් ජාතික කාන්තා චෙස් ශූරතාව දිනූ සුනීතා විජේසූරිය මහත්මිය ඇනටෝලි කාර්‍පෝව් චෙස් සමාජයේ සභාපතිනිය හා ප්‍රධාන උපදේශිකාව ලෙස කටයුතු කරයි.

කෙටි දුර ධාවනය සහ දුර පැනීම, සහය දිවීම එකට කරන ක්‍රීඩකයෝ දුලභය. ඊට හේතුව එකී ඉසව් සඳහා විශාල ශක්ති ප්‍රමාණයක් වැය වීමය. ලෝක ක්‍රීඩා ඉතිහාසය විමසා බැලීමේදී ද බොබ් බිමන්, කාල් ලුවිස්, බෙන් ජොන්සන් වැනි ක්‍රීඩකයන් අතළොස්සක් හැරුණු කල මෙම ක්‍රීඩා ඉසව් තුන එක විට නියෝජනය  කොට සාර්ථක වූ ක්‍රීඩකයෝ සොයාගත නොහැකි තරම්ය. එවන් පසුබිමකදී මීටර් 100, 100*4 සහය දිවීම, දුර පැනීමේ ක්‍රීඩාවේ නියැළෙමින්  විශිෂ්ට දස්කම් දක්වන ක්‍රීඩකයෙකු පිළිබඳ තොරතුරක් පසුගියදා  වාර්තා වූයේය. ඔහු ශ්‍රී ජයවර්ධන පුර අධ්‍යාපන කලාපය නියෝජනය කරමින් තරගවදිනා රන්දුනු හසරින්ද තෙන්නකෝන්ය. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය නියෝජනය කරමින් තරග වදින ඔහු වයස 16න් පහළ ඉසව්වේ පළමු වසරේ රැඳී සිටින්නෙකි.

රන්දුනු අප හා එක් වූයේ එක පෙළට ජයග්‍රහණ ගොන්නක් කියාපාමිනි. මම මීටර් 100, 100*4, දුර පැනීම ඉවෙන්ට් තුනම කරනවා. කවදා හරි මේ ඉසව් තුනෙන්ම ජාත්‍යන්තර තරගවලට යන්න මම බලා‍පොරොත්තු වෙනවා. රන්දුනු පවසන්නේය.

රන්දුන්ගේ ක්‍රීඩා ජීවිතය නිතරම පිරී ඇත්තේ ජයග්‍රහණ වලිනි. එහෙයින් ඔහුට ඒවා එක හැල්මේ කියාගෙන ගිය හැක. අප හා කතාව අරඹමින් ඔහු සිහිකළේ පසුගිය ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේදී ලද ජයග්‍රහණ පිළිබඳවය. මට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් එකක් දිනා ගැනීමට හැකි වුණා. ඔහු ජයග්‍රාහීව පවසන්නේය. රන්දුනු ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ අවසන් වටයේදී මීටර් 100 ධාවන ඉසව්වෙන් දෙවන ස්ථානයත් මීටර් 200 ධාවනයෙ තෙවන ස්ථානයත් දුර පැනීම දෙවන ස්ථානයත් හිමි කරගෙන වාර්තාවක්ද පිහිටුවා තිබේ.

හෝමාගම ප්‍රදේශයේ ජීවත් වන රන්දුනු ධාවන ඉසව්වලට අත්‍පොත් තබනුයේ පාස‍ලේ තුන්වැනි ශ්‍රේණියේදීය. පහ ශ්‍රේණියේදී කලාප මට්ටමට යන ඔහු බස්නාහිර පළාත් තරගවලදී පරාජය වුවද නොපසුබට උත්සාහයෙන් ක්‍රීඩාකර හයේ පන්තියේදී පැවැති 2016 සමස්ත ලංකා සහය දිවීමේ තරගාවලියේ මීටර් 100*4 හා මීටර් 50* 4ඉසව් වලින් තම කණ්ඩායමට සමස්ත ලංකා දෙවන ස්ථාන හිමි කර දීමට සමත් වන්නේය.

ඉන් නොනැවතුණු ඔහුගේ ගමන බස්නාහිර පළාත් පරිසාධන මට්ටමට ළඟා වී දුර පැනීමේ ඉසව්වෙන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය හා 100*4 සහය දිවීමේ ඉසව්වෙන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය ලබා ගැනීම දක්වා විහිදෙන්නේය. ඉන් අනතුරුව පැවැති ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී 100*4 සහය දිවීමේ ඉසව්වෙන් ලංකා ප්‍රථම ස්ථානය වාර්තා කරන්නට ඔහු නියෝජනය කළ කණ්ඩායම සමත් වන්නේය. එසේම රන්දුනු 2017 වසරේ පැවැති ජෝන් ටාබර් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙහි දුර පැනීමේ ඉසව්වෙන් සමස්ත ලංකා දෙවන ස්ථානය  ලබා ගැනීමට සමත් වන්නේය. පසුගියදා පැවැති මයිලෝ සමස්ත ලංකා ක්‍රීඩා උළෙ‍ලේදී මීටර් 100 දෙවන ස්ථානය දිනා බස්නාහිර පළාත් වාර්තාවක් පිහිටුවන්නටද ඔහු සමත් වී ඇත.

එසේම එහිදී මීටර් 200 ධාවන ඉසව්වෙන් තෙවන ස්ථානය ලබා ගන්නට ඔහු සමත් වී ඇත. තවමත් 14 හැවිරිදි රන්දුනු ශාන්ත ජෝන් විදුහලට ආඩම්බරයක් කරන්නට උර දෙන පිරිස පිළිබඳ ඔහු සිහිපත් කළේ මෙසේය.

මට මුලින්ම හිටපු පුහුණුකරු සුනිමල් රූපසිංහ සර්. ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති ලෙස පත් වීමෙන් පසු තරංග සර් ආවා. දැන් පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කුමාරසිරි හෙට්ටිආරච්චි සර්. ඒ වගේම මම පෞද්ගලිකව ඉමල්කා මැඩම්ගෙනුත් පුහුණුවීම් ලබනවා. මේ හැමෝටමත් මගේ පාස‍ලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත් අම්මාටත්, තාත්තාටත්, අයියාටත් ස්තූති වන්ත විය යුතුයි. මගේ ගමනට ලබා දෙන ශක්තියට රන්දුනු පවසන්නේය.

රන්දුනුගේ පියා ග්‍රන්ථ ප්‍රකාශක ආයතනයක සේවය කරන්නෙකි. මව ගෘහණියක් වන අතර සොහොයුරා මූල්‍ය ආයතනයක සේවය කරයි.

ධාවන ඉසව්, සහය දිවීමේ ඉසව් මෙන්ම දුර පැනීමෙන්ද හපන්කම් පානා රන්දුනුගේ අනාගත බලා‍පොරොත්තුව ජාතික මට්ටමෙන් ජාත්‍යන්තර මට්ටමෙන් උපරිම දක්ෂතා පෙන්වීමය.  මට ඕන ලංකාවේ කාල් ලුවිස් වෙන්න. මොකද එයත් මේ ඉවෙන්ට් තුනම කළා. ඒත් ඒ ගමන අමාරුයි. අපේ පවු‍ලේ අයගේ සවියෙන් විතරක් ඒක යන්න අමාරු වෙයි. ඒ නිසා ඉදිරියේදී මට අනුග්‍රාහකයෙකුගේ සහාය අවශ්‍ය වෙනවා. රන්දුනු පවසන්නේය.

මිහිරාන් කරුණාරත්න

වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කළ වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේදී මාස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශූරතා තුනක් දිනා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වූහ. පසුගියදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගවලදී සුපර් ලීග් පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම මාස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිනාගත් අතර, ශූරතා අංශයේ කාන්තා ශූරතාව දිනා ගැනීමටද මාස් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙවර අවසන් මහ තරග 4ක් සඳහා සුදුසුකම් ලබාගත් මාස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශූරතා තුනක් සහ එක් අනුශූරතාවක් දිනා ගැනීමට සමත් වූහ.  සුපර් ලීග් පිරිමි අවසන් මහ තරගයේදී මාස් ලෙෂර්ලයින් තරග වට 3-0කින් ටී.ජේ. ලංකා පරාජය කරමින්ද, කාන්තා අවසන් මහ තරගයේදී මාස් කැෂුවලයින් තරග වට 3-0කින්  මීරිගම බ්‍රැන්ඩික්ස් පරාජය කරමින්ද ශූරතා දිනා ගත්හ.

ශූරතා අංශයේ කාන්තා අවසන් මහ තරගයේදී ඔමෙගා ලයින් තරග වට 3-0කින් පරාජය කරමින් මාස් කැෂුවලයින් ශූරතාව දිනා ගත්තේය.  ඕෂන් ලංකා සහ එක්ස්‍පෝ ලංකා අතර පැවැති ශූරතා අංශයේ අවසන් තරගයේදී තරග වට 3-0ක ජයක් වාර්තා කිරීමට ඕෂන් ලංකා සමත් විය.  ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති පිරිමි අවසන් තරගයේදී ඔමේගා ලයින් තරග වට 3-0කින් එස්කිමෝ ෆැෂන් පරාජය කරමින්ද, කාන්තා අවසන් තරගයේදී මැලිබන් බිස්කට් තරග වට 3-0කින් මාස් යුනිචෙලා පරාජය කරමින්ද ශූරතා දිනා ගත්තේය.

ප්‍රභාත් විදානපතිරණ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.