lakbima.lk

ලබන ජූනි 1 දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යළිත් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

පූර්ණ ආරක්ෂාව සහිතව සුගතදාස පිටියේදී තරග පැවැත්විමට සැලසුම් කර තිබුණද පාසල් බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී වෙනත් ගැටලූ පැන නැගීමෙන් යළිත් තරගාවලිය කල් දැමීමට සිදුවී තිබේ.

කෙසේ වුවද සැලසුම් කළ පරිදි බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පැවැත්වෙන රාජකීය-ත්‍රිත්ව තරග පැවැත්වීමට එම විදුහල් බලධාරීන් තීරණය කර තිබේ.

මේ අනුව බ්‍රැඩ්බි පළිහ පළමු අදියර ලබන 1 දා පල්ලෙකැ‍ලේදීත් දෙවැනි අදියර ලබන 15 දා රාජකීය විදුහල් පිටියේදීත් පැවැත්වේ.

 තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ෂ්‍යාමා දුලානි මී.100 කඩුලු පැනීමේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

මෙම තරගයේදී පැපුවා නිව්ගිනියා සහ තායිලන්ත ක්‍රීඩිකාවන් පරාජය කරමින් දුලානි මෙම දස්කම දක්වා තිබේ.
දුලානි තත්.62.49 කින් මී.100 කඩුලු පැනීමේ ඉසව්ව නිම කර තිබේ.

මේ අතර මී.400 කඩුලු පැනීමේ ඉසව්වට සහභාගීවූ අසංක රත්නායක ඉසව්ව තත්. 52.6 කින් නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වී තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් ලෝකඩ පදක්කමක් දිනා ගත් දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි සිල්වා මී.6.12 ක් දුර පනිමින් ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබේ.


45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ පාපැදි, තරග ඇවිදීම සහ මැරතන් තරග කල් දැමීමට සිදුවී ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ මස 23,24,25 සහ 26 දිනවල අනුරාධපුරේදී මෙම තරග පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
එහෙත් රටේ උද්ගතවූ තත්ත්වය හේතුවෙන් මෙම තරග කල් දැමීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.

මේ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල අනුරාධපුරේදී පවත්වා ඇති නමුත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

 ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ ඉසව් 34 ක් පැවැත්වෙන අතර ඉන් මේ දක්වා පවත්වා ඇත්තේ නුවරඑළියේ පැවැති ජාතික රට හරහා දිවීමේ තරගය පමණි.

 ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ සමාප්ති උළෙල ලබන සැප්තැම්බර් මස බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු පිල කටාරයේ පුහුණු සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය.
2022 ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලියට පෙර සූදානමක් සඳහා මෙම සංචාරය සැලසුම් කර තිබේ.

එම සංචාරයෙන් පසු ශ්‍රී ලංකා පිල ජූනි 6 සහ 11 දා ලාඕසයේදී තරග 2 කට සහභාගි වීමට නියමිතව ඇති අතර ඉන් පසු ශ්‍රී ලංකාවට  ජූනි 11 දා කොළඹ සුගතදාස පිටියේදී මැකාවෝ සමග තරග වදියි.

මෙම තරගයට පූර්ණ ආරක්ෂාව සැපයීමට පාපන්දු බලධාරීන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර තිබේ.

පාසල් ක්‍රීඩාව නංවාලීම සඳහා ජාත්‍යන්තර, ජාතික සහ පළාත් මට්ටමේ ඉහළ ජයග්‍රහණ ලැබූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3888 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල්වල සේවයට එක්වීමට නියමිතයි.

මීට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසකගේ සහභාගිත්වයෙන් ලබන සඳුදා (13) පෙරවරු 11.30 ට අරලියගහ මන්දිරයේ දි පැවැත්වේ.

ජාත්‍යන්තර, සමස්ත ලංකා සහ පළාත් තරඟවලදී ප්‍රථම දෙවන හා තුන්වන ස්ථාන හිමිකරගනිමින් විවිධ ක්‍රීඩා ඉසව් තුළ දක්ෂතා දැක් වූ ක්‍රීඩික ක්‍රීඩිකාවන් පමණක් විධිමත් ප්‍රායෝගික සහ සම්මුඛ පරීක්ෂණ වලින් අනතුරුව මේ සඳහා තෝරාගෙන තිබේ.

ඔවුන් සඳහා තවදුරටත් විශේෂ නේවාසික පුහුණුවක් ද ලබා දිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ඇති අතර පුහුණුවෙන් පසු දිවයින පුරා පාසල්වල ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස ඔවුන් රාජකාරියට එක්වනු ඇත.


ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩිකා හිරුණි විජේරත්න ජර්මනියේ ඩසල්ඩොෆ් මැරතන් තරගයෙන් දෙවෙනි ස්ථානය දිනාගන්නට සමත් විය. තරගය විනාඩි 2.31.10කින් නිම කරමින් ඇය තමා විසින්ම තබා තිබූ ජාතික මැරතන් වාර්තාවද බිඳ දමන්නට සමත් වූවාය. හිරුණිගේ මෙම දස්කම දකුණු ආසියානු ක්‍රීඩිකාවක මැරතන් තරගයකදී දැක්වූ ඉහළතම කුසලතාවයද වෙයි.

මෙම තරග ජය තමාට මෙන්ම ශ්‍රී ලංකාවටද ඉතා වැදගත් වන බව පැවසූ හිරුණි, තමන්ට ඉදිරියේදී දෝහා කටාර්හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට මෙම ජයග්‍රහණය නිසා සුදුසුකම් ලැබි ඇති බවද පවසන්නීය.

තරගයෙන් පසුව අදහස් දැක්වූ හිරුණි එදින සුළං සහිත දිනයක්.

උෂ්ණත්වය වුණත් සෙල්සියස් 10කට අඩු මට්ටමේ තිබුණේ. මම තමයි මුලින්ම ඉදිරියට ඇදුණ තරගකාරිය. ඒත් මගේ පාදවල යම් වේදනාවක් තිබුණා. වෙන දිනයක නම් තරගය ගැන වෙනස් විදියකින් හිතන්නත් මට ඉඩ තිබුණා.

ඒත් මම දන්නවා මගේ රටම පසුගිය සතියේ සිදුවුණ අවාසනාවන්ත දේවල් නිසා වේදනාවෙන් පසුවන බව. පාදයේ මස්පිඩු වේදනා ගෙන දුන්නත් හදවත මා ශක්තිමත් කළා. දුකෙන් ඉන්න මගේ රටවැසියන්ට පුංචි සතුටක් හරි දෙන්න මම තරගය දිනුවා යැයි මාධ්‍ය හමුවේ ඇය පැවැසීය.

ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක වන හිරුණි දැනට ඇමෙරිකාවේ පදිංචිව සිටින අතර එහි සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගවලට සහභාගි වන්නීය.

තරුෂ ප්‍රනාන්දු

Page 1 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.