lakbima.lk

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සත්කාරක එංගලන්තය හා ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් ලකුණු 150 ක ජයක් හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකිවිය.

ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුළු 6 කට ලකුණු 397 ක් රැස් කළද නියමිත පන්දුවාර 50 අවසානයේදී ඇෆ්ගනිස්ථානයට කඩුළු 8 කට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 247 කි.

 

ඉන්දියාව හා පාකිස්ථානය අතර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟයෙන් ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව ඉන්දියාවට ලකුණු 89 ක ජයක් හිමිවිය.

කාසියේ වාසිය දිනු පාකිස්ථානු නායක සර්ෆ්‍රාස් ඛාන් පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

ඉන්දියාව පන්දුවාර 50 තුළදී ලකුණු 337ක් රැස් කර ගැනීමට සමත් විය. රෝහිත් ෂර්මා ලකුණු 140, විරාත් කෝලි ලකුණු 77, ලෝකේෂ් රාහුල් ලකුණු 57 ක් ලබා ගනිමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල විය. තරඟයේ 35වන පන්දුවාරයේදී වර්ෂාව ඇද හැළෙන විට පාකිස්ථානු කණ්ඩායම ලකුණු 166කට කඩුළු 6ක් දැවී ගොස් තිබුණි. වර්ෂාවෙන් පසුව තරඟය ආරම්භ වූ විට පාකිස්ථානු කණ්ඩායමට පන්දුවාර 40කදී ලකුණු 302ක ඉලක්කයක් හිමිවිය. නමුත් පාකිස්ථානු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුළු 6ක් දැවී ලකුණු 212ක් පමණි. ඒ අනුව ඉන්දියාව ලකුණු 89ක ජයක් හිමිවිය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට ඉතිරිවී ඇති තරග පහෙන් දෙකකට වඩා ජයගත යුතු බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි.

ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා දෙපිලටම එක ලකුණ බැගින් හිමිවිය.

මේ අනුව ශ්‍රී ලංකාව එක් තරගයක් ජයගෙන එක් තරගයක් පරාජයවී තරග දෙකක් විසඳුමකින් තොරව අවසන්වී ප්‍රසාද ලකුණු 4 ක් ලබා ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ සිටියි.

බ්‍රිස්ටල්හි පැවති තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ලවීම පාඩුවක් බවද දිමුත් පවසයි.

කාලගුණයෙන් සිදුවන බාධා තමන්ට වැලැක්වීමට නොහැකි බවත් සියලුම දෙනා තරග ක්‍රීඩා කර ජය ගැනිමට සූදානමින් සිටින බවත් දිමුත් පවසයි.

නුවන් ප්‍රදීප්ගේ ආබාධය පිළිබඳව අදහස් දක්වන දිමුත් පවසන්නේ ඔහුට සතියක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබි ඇති බවයි.

මේ අනුව ලබන 15 දා පැවැත්වෙන ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයට ක්‍රීඩා කිරීම නුවන් සුවවෙන කාලය අනුව තීරණය වන බවද දිමුත් පවසයි.

මාලිංග නැවත ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව අදහස් දැක්වූ දිමුත් පවසන්නේ ඔස්ට්‍රේලියානු තරගයට පෙර නැවත පැමිණෙන බව ඔහු පැවසූ බවයි. නමුත් එම තරගයට පෙර පැමිණීමට නොහැකි වුවහොත් ඊලඟ තරගයේ සිට මාලිංග කණ්ඩායමට එක්වනු ඇති බවද දිමුත් පැවසීය.

වර්ෂාව හේතුවෙන් දින 10 ක් පමණ තරගයකට ක්‍රීඩා කිරීමට නොහැකිවීම පාඩුවක් බවත් කෙසේ වුවද ක්‍රීඩකයන් ඉදිරි තරග සඳහා සූදානමින් පසුවන බවත් දිමුත් පවසයි.

මේ අතර පිතිකරු ලහිරු තිරිමාන්නද සුලු ආබාධයකට ගොදුරුවී ඇතත් එය එතරම් බරපතල නොවන බව වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ මීළඟ තරගය ලබන 15 දා ඔස්ට්‍රේලියාවට එරෙහිව ඕවල් පිටියේදී පැවැත්වේ.

පරාජයන් රැසකට මුහුණදී සිටින ඇෆ්ගනිස්තානයට සහ දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව වටයට පිවිසීම අසීරු අභියෝගයක්වී තිබේ.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේදී ආබාධයකට ලක්වූ ඉන්දීය ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට ඉන්දීය කළමනාකාරීත්වය තීරණය කර තිබේ.

මෙම තරගයේදී වේග පන්දු යවන පැට් කමින්ස්ගේ බවුන්සර් පන්දුවක් වැදීමෙන් ධවාන්ගේ ඇඟිල්ලක් බිඳි ගොස් ඇති බව වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු විය.

ඉන්දියාව ජයගත් මෙම තරලයේදී ධවාන් ශතකයක් ලබමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

මේ අතර ඔස්ට්‍රේලියානු පි‍ලේ තුන් ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස්ද ආබාධයකට ලක්වී ඇති අතර ඔහුව ආවරණය කිරීමට මිචෙල් මාර්ෂ් කැඳවා තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරගය අද (11) බ්‍රිස්ටල් හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව පළමු තරගයේදී නවසීලන්තයට පරාජයවී ඇෆ්ගනිස්තාන පරදවා පකිස්තාන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමෙන් ප්‍රසාද ලකුණු 3 ක් ලබා සිටියි.

බංගලිදේශය පළමු තරගයේදී දකුණු අප්‍රිකාව පරදවා එංගලන්තය සහ නවසීලන්තය හමුවේ පරාජයවී ප්‍රසාද ලකුණු 2 ක් ලබා ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටියි.

මෙම තරගාවලියේදී බංගලිදේශය පරාජයවූ තරග දෙකේදීම පිතිකරුවන්ගේ දක්ෂතා දැකගත හැකි වුවත් පන්දු යවන්නන්ට ප්‍රහාර එල්ලවීමෙන් සටන අඩපණ විය.

තරග තුනේදීම පිත්තෙන් සුපිරි දස්කම් දක්වමින් ශතකයක් සහ අර්ධ ශතක 2 ක් වාර්තා කළ ෂකිබ් අල් හසන් ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකාවේ සැලසුමවී තිබේ.

තරග තුනේදීම ෂකිබ් සහ මුෂ්ෆිකූර් සාර්ථක කඩුලු සම්බන්ධතා තබමින් බංගලිදේශ ලකුණු පුවරුව ඉහළ නැංවීම ශ්‍රී ලංකාවේ අවධානයට ලක්වී තිබේ.

නායක දිමුත් සහ කුසල් ජනිත් ලකුණු අතර සිටින නමුත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට තිබූ අවස්ථාව පකිස්තාන තරගය වර්ෂාවට සේදී යාම නිසා අහිමිවීම ප්‍රබල පාඩුවක් විය.

පළමු තරග දෙකේදීම ලකුණු අතරට පිවිසීමට මැතිව්ස්, මෙන්ඩිස් සහ ධනංජය අසමත්වූ අතර මෙම තරගයේදී ඔවුන් ලකුණු අතරට පිවිසීම අනිවාර්යවී තිබේ.

එහෙත් පුහුණුකරු හතුරුසිංහ පවසන්නේ බ්‍රිස්ටල් තණතීරුවේ මැද පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසෙනු ඇති බවයි.

මේ අතර ඇෆ්ගනිස්තාන තරගයේදී කඩුලු 4 ක් බිඳ හෙළමින් තරගයේ වීරයාවූ නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වී ඇති බව වාර්තාවේ.

පුහුණුවීම් අතරතුර පන්දුවක් ඇඟිල්‍ලේ වැදීමෙන් මෙම ආබාධය ඇතිවී ඇති අතර ඔහු  අද තරගයට ක්‍රීඩා නොකරයි.

අද ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේදී පරාජය කළ හැකි ප්‍රතිවාදියෙකු හමුවී ඇති අතර එම තරගය ජයගෙන ඉන් පසු හමුවන ප්‍රබල ප්‍රතිවාදීන්ට සටනක් ලබදීමේ අවස්ථාව හිමිවී තිබේ. එහෙයින් අද තරගයේ ජය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙයි.

ශ්‍රී ලංකාව මෙම තරගයෙන් පසු ලබන 15 දා ඕවල් පිටියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක) කුසල් ජනිත්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, අවිශ්ක ප්‍රනාන්දු

බංගලිදේශ සංචිතය

මෂ්රෆි මොර්ටාසා (නායක) තමීම් ඉක්බාල්, සෞම්‍යා සකාර්, ෂකිබ් අල් හසන්, මුෂ්ෆිකූර් රහීම්, මොහොමඩ් මිතුන්, මහමදුල්ලා, මෙහෙඩි හසන්, මොහොමඩ් සයිෆුඩීන්, මුස්ටාෆිසූර් රහමන්, මොසඩැක් හොසේන්, ලිට්න් දාස්, රුබෙල් හොසේන්, අබු ජයාඩ්, ෂබිර් රහමන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ අන්ත පරාජයකට පත්වූ ශ්‍රී ලංකාව ඉන්පසු පැවැති ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ජය ගනිමින් නැවුම් බලා‍පොරොත්තු රඳවා ගැනීමට සමත් විය.
 නවසීලන්තය හමුවේ ලකුණු 136 කට දැවී ගිය ශ්‍රී ලංකාවට නවසීලන්තයේ එක් කඩුල්ලක්වත් දවා ගැනීමට නොහැකිවීම නිසා නැගී එන ඇෆ්ගනිස්ථාන පිල සමග තරගයෙන්ද පසු බසිනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ.


එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය සුපුරුදු රිද්මයට පිවිසීමෙන් අවසානයේ ලකුණු  32ක ජයක් ලැබිය.
නවසීලන්ත තරගයේදී දිමුත් සහ කුසල් ජනිත් සාර්ථකව පන්දුවට පහර දුන්නද ඉන් පසු පැමිණි පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් ඉනිම බිඳ වැටුණි.

ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේදීද කුසල් ජනිත් සහ දිමුත් කරුණාරත්න සාර්ථකව ඉනිම ගොඩ නැංවුවද ඔවුන් දෙදෙනා දැවී යාමත් සමගම යළිත් පිතිකරුවෝ කඩුලු පූජා කිරීම නිසා ලකුණු 300 ක් ලබා ගැනීමට තිබූ තරගයේ ලකුණු 201 කට දැවී යාමට සිදුවිය.

තණ තීරුවේ ඉදිරියට පැමිණ ක්‍රීඩා කළ කුසල් සහ දිමුත් තරග දෙකේදීම සාර්ථක වුවද සීමා ඉර මත සිට පන්දුවට පහරදීමෙන් පසු බැසීමට ශ්‍රී ලංකාවේ මැද පෙළට සිදුවිය.

 ඇෆ්ගන් පන්දු යවන්නන්ට ප්‍රහාරයක් දියත් කළ කුසල් ජනිත් පන්දු 81 දී හතරේ පහර 8 ක් සහිතව ලකුණු 78 ක් ලබා ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබිය.

පළමු තරගයේ අසාර්ථකවී දෙවැනි තරගයේ ලකුණු 25 ක් ලබා ගැනීමට තිරිමාන්න සමත් වුවද කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකාවේ පිතිකරු බළඇණියම අඩපණ විය.
ඇන්ජලෝ මැතිව්ස් තරග දෙකේදීම ලකුණු නොලබාම දැවී යාමෙන් ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු සුන්වී ගියේය. දිගින් දිගටම අසාර්ථක වී සිටින කුසල් මෙන්ඩිස් මෙම තරග දෙකේදීම දුර්වල පිතිහරඹයක නිරතවූ අතර පහසු උඩ පන්දුවක්ද අත්හරිනු දක්නට ලැබුණි.

ධනංජය ද සිල්වාටද තරග දෙකේදීම ලකුණු අතරට පැමිණීමට නොහැකිවූ අතර මැද පෙළ දුර්වලවීම ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් වී තිබේ.

ශ්‍රී ලංකාවේ හිටපු නායකයකු මෙන්ම සුපිරි පිතිකරුවකුවූ ටී.එම්. ඩිල්ෂාන් පවසා ඇත්තේ මැද පෙළ පිතිකරුවන්ගේ පිතිහරඹය පාසල්    මට්ටමට වැටී ඇති බවයි.

 ලෝක කුසලාන වැනි තරගාවලියකදී මැද පෙළ පිතිකරුවන් මීට වඩා වගකීමකින් පන්දුවට පහරදිය යුතු බවද ඩිල්ෂාන් අවධාරණය කරයි.

 පළමු තරගයේදී වේගවත් ලකුණු 27 ක් ලබාගත් තිසර පෙරේරා දෙවැනි තරගයේදී දුවද්දී දැවී යාමකට හසුවීම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක් විය. එම තරගයේදී ප්‍රහාරක පිතිකරු සසායි දවා ගැනීමට තිසර රැකගත් උඩ පන්දුව විස්තර විචාරකයන්ගේ පැසසුමට ලක්විය.

 පළමු තරගයේදී ස්ථානයක් අහිමි වූ නුවන් ප්‍රදීප් මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් තමන්ට ශ්‍රී ලංකා පි‍ලේ හිමි ස්ථානය තේරීම් කමිටුවට පෙන්වීය. පළමු තරගයේදී ජීවන් මෙන්ඩිස් වෙනුවෙන් එළියේ සිටි ප්‍රදීප් ලකුණු 31ට කඩුලු 4 ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

සිය සුපුරුදු පන්දු යැවීමේ රටාව දියත් කළ ලසිත් මාලිංග ලකුණු 39 ට කඩුලු 3 ක් ලබා ගත් අතර තිසර සහ උදානගෙන්ද හොඳ සහයක් හිමිවිය.

ශ්‍රී ලංකාව පරාජය වූ නවසීලන්ත තරගයේදී නායක දිමුත් ආරම්භක පිතිකරු ලෙස පැමිණ ඉනිම අවසන් වන තුරු නොදැවී සිට ලෝක කුසලාන තරගයකදී එම දස්කම කළ දෙවැනි පිතිකරුවා බවට පත්විය. මීට පෙර 1999 දී එංගලන්තයේදීම කොදෙව් පි‍ලේ රිඩ්ලි ජේකොබ්ස් ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ඉනිම අරඹා නොදැවී ලකුණු 49 ක් ලබා තිබුණි.

මේ අතර ලෝක කුසලාන පළමු තරගයේදී කොදෙව් හමුවේ ලකුණු 105කට දැවී ගොස් අන්ත පරාජකට පත්වී සිටි පාකිස්තානය ඉන් පසු මෙවර ලෝක කුසලාන දිනා ගනිතැයි අනාවැකි පළවී ඇති එංගලන්තය පරදවමින් යළිත් තරගාවලියට අවතීර්ණ විය.

මෙම තරගයේදී එංගලන්තය වෙනුවෙන් මෝගන් සහ බට්ලර් ශතක වාර්තා කළද වහාබ් රියාස් සහ මොහොමඩ් අමීර්ගේ පන්දු යැවීම හමුවේ විශිෂ්ට ජයක් වාර්තා කිරීම කැපී පෙණුනි.

මෙම පරාජය ප්‍රබල මානසික කම්පනයක් බව නායක මෝගන් පැවැසුවද ටෙස්ට් නායක ජෝ රූට් පවසන්නේ මෙය එතරම් ගණන් ගත යුතු පරාජයක් නොවන බවයි.

මේ අතර ඉන්දියාව හමුවේ පරාජයට පත්වූ දකුණු අප්‍රිකාවට සිය තෙවැනි පරාජයට මුහුණදීමෙන් අවසන් පූර්ව සටනට පිවිසීමට තියුණු සටනක් කිරීමට සිදුවී තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය පසුගිය සිකුරාදා පැවැත්වෙමින් තිබූ අතර මෙම තරගයේදී ජයක් සමගින් සාර්ථක ගමනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවිය.

ඇෆ්ගනිස්ථාන තරගය ජය ගැනීමෙන් ශ්‍රී ලංකාවේ මානසික ශක්තිය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවී තිබිම ඉතා වැදගත් බවත් රට වෙනුවෙන් සියලුම ක්‍රීඩකයන් එකා වන්ව නැගී සිටිය යුතු බවත් ඇෆ්ගන් ජයෙන් පසු පුහුණුකරු හතුරුසිංහ පවසා තිබුණි.

සියලුම ක්‍රීඩකයන් තම යුතුකම් කොටස මැනවින් ඉටු කළහොත් තරගාවලියේදී සුපුරුදු ශ්‍රී ලංකා රිද්මය යළි දැක බලා ගැනීමට ක්‍රිකට් ලෝකයටම හැකිවනු ඇත.

 මංගල ධර්මප්‍රේම

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.