lakbima.lk

ශ්‍රී ලංකා-බංගලිදේශ සටන අද : ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් ඉවතට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරගය අද (11) බ්‍රිස්ටල් හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව පළමු තරගයේදී නවසීලන්තයට පරාජයවී ඇෆ්ගනිස්තාන පරදවා පකිස්තාන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමෙන් ප්‍රසාද ලකුණු 3 ක් ලබා සිටියි.

බංගලිදේශය පළමු තරගයේදී දකුණු අප්‍රිකාව පරදවා එංගලන්තය සහ නවසීලන්තය හමුවේ පරාජයවී ප්‍රසාද ලකුණු 2 ක් ලබා ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටියි.

මෙම තරගාවලියේදී බංගලිදේශය පරාජයවූ තරග දෙකේදීම පිතිකරුවන්ගේ දක්ෂතා දැකගත හැකි වුවත් පන්දු යවන්නන්ට ප්‍රහාර එල්ලවීමෙන් සටන අඩපණ විය.

තරග තුනේදීම පිත්තෙන් සුපිරි දස්කම් දක්වමින් ශතකයක් සහ අර්ධ ශතක 2 ක් වාර්තා කළ ෂකිබ් අල් හසන් ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකාවේ සැලසුමවී තිබේ.

තරග තුනේදීම ෂකිබ් සහ මුෂ්ෆිකූර් සාර්ථක කඩුලු සම්බන්ධතා තබමින් බංගලිදේශ ලකුණු පුවරුව ඉහළ නැංවීම ශ්‍රී ලංකාවේ අවධානයට ලක්වී තිබේ.

නායක දිමුත් සහ කුසල් ජනිත් ලකුණු අතර සිටින නමුත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට තිබූ අවස්ථාව පකිස්තාන තරගය වර්ෂාවට සේදී යාම නිසා අහිමිවීම ප්‍රබල පාඩුවක් විය.

පළමු තරග දෙකේදීම ලකුණු අතරට පිවිසීමට මැතිව්ස්, මෙන්ඩිස් සහ ධනංජය අසමත්වූ අතර මෙම තරගයේදී ඔවුන් ලකුණු අතරට පිවිසීම අනිවාර්යවී තිබේ.

එහෙත් පුහුණුකරු හතුරුසිංහ පවසන්නේ බ්‍රිස්ටල් තණතීරුවේ මැද පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසෙනු ඇති බවයි.

මේ අතර ඇෆ්ගනිස්තාන තරගයේදී කඩුලු 4 ක් බිඳ හෙළමින් තරගයේ වීරයාවූ නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වී ඇති බව වාර්තාවේ.

පුහුණුවීම් අතරතුර පන්දුවක් ඇඟිල්‍ලේ වැදීමෙන් මෙම ආබාධය ඇතිවී ඇති අතර ඔහු  අද තරගයට ක්‍රීඩා නොකරයි.

අද ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේදී පරාජය කළ හැකි ප්‍රතිවාදියෙකු හමුවී ඇති අතර එම තරගය ජයගෙන ඉන් පසු හමුවන ප්‍රබල ප්‍රතිවාදීන්ට සටනක් ලබදීමේ අවස්ථාව හිමිවී තිබේ. එහෙයින් අද තරගයේ ජය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙයි.

ශ්‍රී ලංකාව මෙම තරගයෙන් පසු ලබන 15 දා ඕවල් පිටියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක) කුසල් ජනිත්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, අවිශ්ක ප්‍රනාන්දු

බංගලිදේශ සංචිතය

මෂ්රෆි මොර්ටාසා (නායක) තමීම් ඉක්බාල්, සෞම්‍යා සකාර්, ෂකිබ් අල් හසන්, මුෂ්ෆිකූර් රහීම්, මොහොමඩ් මිතුන්, මහමදුල්ලා, මෙහෙඩි හසන්, මොහොමඩ් සයිෆුඩීන්, මුස්ටාෆිසූර් රහමන්, මොසඩැක් හොසේන්, ලිට්න් දාස්, රුබෙල් හොසේන්, අබු ජයාඩ්, ෂබිර් රහමන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.