lakbima.lk

අෆ්රිඩිගේ වයස හංගලා ICC ය නොමග යවලා

පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් 1996 වසරේදී බොරු කියා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද නොමග යැවූ බව දැන් හෙළි වී තිබේ. ඒ පාකිස්තානයේ හිටපු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු, පා දඟ පන්දු යවන්නෙකු මෙන්ම කණ්ඩායම් නායකයෙකු හැටියටද කටයුතු කළ “සයිඩ් අෆ්රිඩි” ලියූ සිය ස්වයං චරිතාපදානය වන Game Changer කෘතිය නිකුත් වීමත් සමගිනි.


1996 වසරේ කෙන්යාවේ නයිරෝබි නුවර දී ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැති එක්දින තරගයේදි සයිඩ් අෆ්රිඩි හයේ පහර හයක් හා හතරේ පහර එකොළහක් සමග පන්දු තිස් හතකදී ශතකයක් වාර්තා කළේය.

එය එවකට අඩුම පන්දු ගණනකදී වාර්තා කළ ජාත්‍යන්තර එක්දින ශතකය විය. එහිදී පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් කියා සිටියේ ඒවන විට අෆ්රිඩිගේ වයස අවුරුදු දහසයක් හා දින දෙසිය දාහතක් බවය. ඒ අනුව අඩුම වයසකින් ලොව වේගවත්ම ශතකය වාර්තා කළ ක්‍රීඩකයා යන ගෞරවය අෆ්රිඩිගේ නම ඉදිරියෙන් ලියැවිණි.


ඒත් පසුගියදා සිය ස්වයං චරිතාපදානය Game Changer නිකුත් කරමින් අෆ්රිඩි කියා ඇත්තේ එවකට තමාගේ වයස අවුරුදු 19ක් බවය. එසේම තමාගේ උපන්දිනය 1980 හැටියට එදා කීවත් නියම උපන් වසර 1975 බවද ඔහු ඒ කෘතියේ සඳහන් කර ඇත.
මේ අනුව ඉහත වාර්තාව ඉදිරියෙන් අෆ්රිඩිගේ නම කපා දැමිය යුතු බව දැන් බොහෝ දෙනා කියති.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.