lakbima.lk

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිදුවුණේ කොළඹ එතරම් ජනාකීර්ණ නොවූ සතියකය. ඒ, කොළඹ තාවකාලික පදිංචිකරුවන් සියල්ල සිංහල අවුරුද්දට ගමේ ගිය පසු කොළඹ පාළුවට ගිය නිසාය. ගම්බිම් බලා ගිය බහුතරයක් දෙනා අවුරුද්දට පසු සතියද නිවාඩු ලබාගෙන කොළඹට පැමිණීමට නියමිතව තිබුණේ පසුගිය 22 දා සිටය. එහෙත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කොළඹ ජන ජීවිතය තවත් සතියක් ආපස්සට ගෙන ගියේය.

ඊළාම් යුද්ධය පැවැති සමයේ කොළඹ “බෝම්බ බිය” පිළිබඳ අත්දැකම් ඇති අම්මලා තාත්තලා තම දරුවන් කොළඹ නොඑවන්නට තීරණය කළහ. බිරින්දෑවෝ තම සැමියන්ගේ ගමන නැවැත්වූහ. දරුවෝ සිය මාපියන් මොහොතක් හෝ ඈත් වෙනවාට බිය වූවෝය. එහෙයින් කොළඹ රාජ්‍ය මෙන්ම පෞද්ගලික කාර්යාලද පාළුවට ගියේය. වැඩට පැමිණි කිහිපදෙනාද හවස් වන විට වහා පිටකරන්නට ඇතැම් ආයතන කටයුතු කළේ බෝම්බ පිළිබඳ පැතිරුණු කට කතා හවස් වන විට තටු ලැබූ නිසාය.

මේ නිසා එදිනෙදා ජන ජීවිතයට මෙන්ම රටේ ආර්ථිකයටද දැඩි බලපෑමක් ඇති විය. කාර්යාලවල කටයුතු අඩපණ වීමෙන් බොහෝ ව්‍යාපාරික මෙන්ම රාජ්‍ය ආයතනද ගැටලුකාරී තත්ත්වයට මුහුණ දී තිබුණි. පෞද්ගලික ආයතනයක ගිණුම් කටයුතු කරනා අප දන්නා යුවතියක් ආරක්ෂිතව කොළඹට කැඳවා ගැනීමට මාතරටත් එහා ඇගේ ගමට ආයතනික වාහනයක් යවන්නට ඇගේ ආයතන ප්‍රධානියාට සිදුව තිබුණි. ඇය රැගෙන එන්නට ලැබුණේ දෙමාපියන්ට සෑහෙන තරම් ‍පොරොන්දු දීමෙන් අනතුරුවය.

කලබලකාරී සතිය අවසන් වන විට කිරිබත්ගොඩ අඟුලාන 154 බස් රථයක කොන්දොස්තරවරයකු පැවැසුවේ වෙනදා දවසකට උපයන ගණනවත් සතියක් තුළ තමන්ට උපයාගත නොහැකි වූ බවය. 154, 138, 100 ආදී මාර්ග අංකවල ධාවනය වන බස් රථවලට වැඩිපුර ගොඩවූයේ දිනපතා රැකියාවට යන කෙටි දුර ගමන් ගන්නා පිරිසය. මේ අය නොපැමිණීම නිසා බස් රථ නැවැතුම්වල බොහෝ වෙලා නවතා තිබෙනු දක්නට ලැබුණි. ලංගමයද පෞද්ගලික බස් රථද මේ කාලය තුළ විශාල ආදායම් අහිමි වීමකට ගොදුරු වූ බව වාර්තා විය. එසේම දුම්රියෙන් ගමන් කරන මගීන් ප්‍රමාණය මේ සතියේ සෑහෙන තරම් අඩු විය. බොහෝ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කෙරුණේ නැත. එහෙයින් දුම්රිය දෙපාර්තමේන්තුවටද සෑහෙන තරම් ආදායමක් අහිමි වී තිබේ.

මේ අවිනිශ්චිත වාතාවරණය නිසා ඊළඟට නන්නත්තාර වූවේ ටැක්සි රියැදුරන්ය. ත්‍රිරෝද රථයේ සිට සුඛෝපභෝගී මෝටර් රථ දක්වා විවිධාකාර ටැක්සි සේවා සපයන පිරිසගේ ආදායම බිංදුවට වැටී තිබුණේ ඔවුන්ගේ සේවය ලබාගත් ජනතාව කොළඹට නොපැමිණීම නිසාය. සමහරු ටැක්සිවල යන්නටද බිය වූහ. අන්තර්ජාලය හරහා ටැක්සි සේවා සපයන වාහනවල හැඩය පවා සමාජය බියපත් කර තිබුණි. බෝම්බ සමග හසු වූ වෑන් රථ කිහිපයක්ම එක් සන්නාමයකට අයත් වීම නිසා එකී වර්ගයට “බෝම්බ මොඩල්” යනුවෙන් ‍ලේබලයක්ද වැදී තිබුණි. ඈත පළාත්වලින් කොළඹට පැමිණ මෝටර් රථවලින් අන්තර්ජාල ටැක්සි සේවා සපයන බොහෝ පිරිසක් වූහ. කාත්තන්කුඩියේ සිට කොළඹ පැමිණි එවැනි ටැක්සි රියැදුරකු අප හා පැවැසුවේ දැන් සිදුවී ඇත්තේ තමන්ගේ වාහනයටම බෙල්ල තියන්නට බවය.

“වාහනේ ලීසින් ඔක්කොම ගෙවාගෙන දරු පවුලෙත් වියදම දරා ගන්නේ මේකෙන් ලැබෙන ආදායමෙන්. කොළඹ මේ දවස්වල ඉන්නෙත් ටික දෙනයි. ඒ අයත් දැන් ඔන්ලයින් බුකින් කරද්දී අපේ නම ගම දැක්කත් අපිව නොතකා හරින තැනට පත්වෙලා” ඔහු පවසන්නේය.

එදිනෙදා කිසිවක් විකුණමින් ව්‍යාපාරයක් කරගන්නා බොහෝ දෙනා ඒ සතියේ නන්නත්තාර වූවෝය. කඩවත නගරයේදී හමු වූ ලොතරැයි වෙළෙන්දකු කීවේ සතියේ මුල් දින දෙකෙහි එකම එක ලොතරැයියක්වත් විකුණාගත නොහැකි වූ බවය. සංචාරක හෝටල්වලින් පටන්ගත් පසු අවන්හල්ද සුපිරි වෙළෙඳසල්ද මතුනොව පුංචි තේ කඩද මෙකී බලපෑමට හසුවිය.

විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන තවමත් වසා ඇති බැවින් ඒ ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු කළ බොහෝ දෙනා දැඩි අපහසුතාවකට පත්ව සිටිති. විශ්වවිද්‍යාල අවට බොහෝ ආහාර අලෙවිසල්, සන්නිවේදන මධ්‍යස්ථාන, ලිපිද්‍රව්‍ය අලෙවිසල් හා සිල්ලර වෙළෙන්දන් පවා තවමත් වසා දමා තිබෙන අයුරු දකින්නට හැකි විය. චිත්‍රපට ශාලා හා නාට්‍ය ශාලාද මේ අර්බුදය නිසා ජන ශුන්‍ය වූ ස්ථාන බවට පත්විය. බෝම්බ පුපුරන අවස්ථාවේ වසා දැමුණු සිනමාහල් දින කිහිපයක්ම විවෘත නොවුණි.

අසත්‍ය හා ජනයා ප්‍රකෝප කරන ප්‍රචාර සංසරණය වීමේ චෝදනාව මත මේ සතියේ ෆේස්බුක්, යූ ටියුබ්, වට්ස්ඇප්, වයිබර් ආදී සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කරන්නට කටයුතු යෙදිණි. ඒ හේතුවෙන් සමාජ දේශපාලන සන්දර්භයට යම් වාසියක් වුවද එය ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කළ බව බොහෝ දෙනා දැන සිටියේ නැත. එහෙත් ෆේස්බුක් හා යූ ටියුබ් ව්‍යාපාරික වශයෙන් භාවිතය ලංකාවේද ඉහළ මට්ටමකට පැමිණ තිබුණි. යූ ටියුබ් ආයතනය මගින් පමණක් මෙරටට සිදුවුණු විදේශ විනිමය අහිමි වීම ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් බව වාර්තා විය. දිගු කාලයක් අවහිරව පවතින්නේ නම් සමාජ ජාල සේවා මෙරටින් ඉවත් කර ගන්නා බවටද අදහස් පළව තිබුණි.

ලංකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් වන පිටකොටුවේ තොග වෙළෙඳසල්වලටද මෙම අවිනිශ්චිත වාතාවරණය බලපෑම් කර තිබුණි. අපි එහි යන විටත් සමහර වෙළෙඳසල් තිබුණේ වසා දමාය. එහෙත් ඇතැම් වෙළෙඳසල් කලබල අස්සේද සිය සැපයුම් ජාලය අඛණ්ඩව පවත්වාගෙන ගිය බව දැනගන්නට ලැබුණි.

“ගම් පළාත්වල සති ‍පොළවල් තියන්න දෙන්නේ නෑ. මේ බය නිසා. ඒ නිසා අපෙන් ගෙන යන බඩු බෙදාහැරීම ටිකක් මන්දගාමී වෙලා තියෙනවා. ඒත් අඩුවක් නෑ. ගොඩක් වාහන උදෙන්ම ඇවිත් බඩු පටවන් යනවා. කොළඹ වැඩි වෙලාවක් රැඳෙන්නයි අකමැති. මේ වැස්සත් අපේ ව්‍යාපාරවලට ටිකක් බලපාලා තියෙනවා” පිටකොටුවේ හතරවැනි හරස් වීදියේ තොග අලෙවිසලක අයකැමිවරයෙක් වන ස්ටීව් පවසන්නේය.

මාලවන්ස් තොග වෙළෙඳ‍පොළෙහි හිමිකරු ශිවා පෙන්වා දෙන්නේ මෙම කාලය තුළ කොහොමටත් ව්‍යාපාර මන්දගාමී වන බවයි.

“අවුරුද්දට ගොඩක් බඩු අරන් යන නිසා ගම්වල අයගේ මිලදී ගැනීම් අඩුයි. ඒ නිසා අපෙන් නිකුත් වෙන බඩු ප්‍රමාණයත් අඩුයි. මේක හැම අවුරුද්දෙම වගේ වෙන දෙයක්. ඒත් ඉතින් මොන ප්‍රශ්නේ වුණත් අල ලූනු සිල්ලර ටික එදාවේල කන මිනිස්සුන්ට ඕන වෙනවනේ. අපිට කඩවල් වහලා ඉන්න විදිහක් නෑ ඒ නිසා.” ඔහු පෙන්වා දෙයි.

ලිවින්ග්ස්ටෝන්හි එල්.ආර්. ප්‍රනාන්දු පවසන්නේ වාහන පරීක්ෂාවට ලක්කිරීමත් අනවශ්‍ය කලබල කිරීම් සිදුවීමත් නිසා කොළඹට එදිනෙදා එන බොහෝ පිරිසක් පැමිණීමට අකමැති බවය. එහෙයින් හතරවන හරස් වීදියෙන් සිදුවූ සිල්ලර වෙළෙඳාම යම් පසුබෑමකට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙන්නේය.

ආනයනික ධාන්‍ය වර්ග, තුනපහ, පරිප්පු, වියළි මිරිස් ආදිය අලෙවි කෙෙරෙන තිනෙත් ට්‍රේඩර්ස්හි මහේන්ද්‍රන් පෙන්වා දෙනුයේ සිය වෙළෙඳසල විවෘත කරන්නට ලැබුණේ කලබලයෙන් පසු දින දෙකක් පමණක් බවය.

“කඩේ ඇරන් ඉන්න කොටම කොහේ හරි බෝම්බයක් අහුවෙලා කියලා කතාවක් යනවා. එතකොට ඉඳපු මිනිස්සු ටිකත් දුවනවා. ඔහොම ඔහොම හවසට බලු බල්ලෙක් නෑ මේ වීදිවල. ඉතින් අපි කඩේ වහලම වගේ තිබුණේ. අපේ වෙළෙඳසලෙන් නම් ගොඩක් බිස්නස් අඩු වුණා. තාම කොළඹ එන මිනිස්සු ප්‍රමාණෙන් සියයට දහයක්වත් ඇවිත් නැහැයි කියලා කියන්න පුළුවන්. මේක හරි පීල්ලට වැටෙන්න තව දවස් කීපයක් යාවි” මහේන්ද්‍රන් පවසයි.

කෙයිසර් වීදියට හැරෙන ස්ථානයේ ඇති ජේ.ජී. ට්‍රේඩර්ස්හි චන්ද්‍රමෝහන් පවසන්නේ ඔවුන්ගේ වෙළෙඳසල විවෘත කළේ සතියක්ම වසා තැබිමෙන් පසු බවය.

“අපේ කස්ටමර්ස්ලා අද තමයි වැඩ පටන් ගත්තේ. ගාල්ල මාතර නුවර කුරුණෑගල මේ හැම පැත්තට හාල්, අල, ලූනු, සිල්ලර අපෙන් ගෙනියනවා. තාම කම්පැනිවල බඩුත් ඇවිත් නෑ තොග කඩවල්වලට. මේ පේනවනේ රාක්ක හිස්. තවමත් හවස් වෙනකොට කොළඹ පාළුවට යනවා” ඔහු පෙන්වා දෙයි.

කොළඹ තොග ව්‍යාපාරයේ ප්‍රධානතම භූමිකාවක් ඉටුකරනා නාටාමිවරයකුගෙන් අපි මේ ගැන විමසීමු.

“කතා කරලා වැඩක් නෑ මහත්තයා. දවසටම ගෝනි දහයක් කොක්කේ වැදුණේ නෑ. රට සතියක් නෙමේ අවුරුදු දහයකින් ආපස්සට ගියා.”

මේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයෙන් උද්ගත වූ සැබෑම කතාව එය නොවේදැයි අපටද සිතුණි.

මිහිරාන් කරුණාරත්න

ඡායාරූප - මලිත් ගමගේ

  1. පාස්කු බෝම්බයෙන් යටගිය මධුෂ් කටුනායකින් මතුවෙයි
  2. රහස් බුද්ධි වාර්තා රට කළඹවමින් එළියට යන්නේ කොහොමද?
  3. බුර්කාව ලංකාවේ මුස්ලිම් කතුන්ගේ ඇඳුමක් නොවේ - මුස්ලිම් විද්වත්හු අදහස් දක්වති
  4. පාස්කු ඉරිදා සිට මාධ්‍ය හැසිරුණේ කොහොමද?
  5. ලොකු පුටු හයකට අලුත් මුහුණු හයක්
  6. පුපුරන්න බලා සිටින බෝම්බ නිෂ්ක්‍රිය කරන STF සෙබළු
  7. ගම්‍පොළදී අත්අඩංගුවට පත් සහරාන්ගේ ගෝල හක් සහෝදරයෝ
  8. ආරක්ෂක ‍ලේකම්වරු අස්කරන - පත්කරන රටේ සිටි බලවත්ම ආරක්ෂක ‍ලේකම්
  9. මුස්ලිම් අන්තවාදීන් මරා දැමූ ඔපරේෂන් සයින්තමරුතු
  10. මරාගෙන මැරුණු ප්‍රහාරයේ නායකයා සහරාන්ගේ මාමණ්ඩිය ‘ලක්බිම’ට කතා කරයි
  11. හැත්තෑහත් අවුරුද්දකට පෙර ජපන්නු කොළඹට බෝම්බ දැමූ පාස්කු ඉරිදා
  12. කතෝලිකයන්ට සුවිශේෂී වූ කොච්චිකඩේ සහ කටුවාපිටිය පල්ලි
  13. ප්‍රේමදාස මහත්තයා මරන්න එව්ව බාබු ගැන කලින්ම අනතුරු ඇඟෙව්වා
  14. ත්‍රස්තයන් මරාගෙන මැරෙන්නට කළ රහසිගත මෙහෙයුම
  15. බුර්කාව ත‍්‍රස්තවාදය හා අපේ උගතුන්
  16. ආරක්ෂක ප‍්‍රධානීන් පුටු සටනක:ජාතික ආරක්ෂාවට හෙණ
  17. අපේ ඔත්තු සේවාවන් කළේ කුමක්ද?
  18. ගමට නැති ආරක්ෂාව මළගමට ලැබුණ කටුවාපිටිය
  19. කැලිෆෝනියාවට ගිය ඒකීය රාජ්‍යයේ බිඳ වැටීම
  20. මානව සම්පත් කළමනාකාරිනිය තට්ටු අටකින් පහළට පැන්නාද වැටුණාද?
  21. මෙදා අවුරුද්දේ නැකත් සීට්ටුවට එක්වූ අලුත් නැකත
  22. මෙදා සැරේ පිටකොටුවේ වැඩියෙන්ම විකිණුණේ ඇඳුම් නොවෙයි ෆෑන්
  23. හද්දා පිටිසර තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය සමග විනෝද වූ ෆේස්බුක් සාදය
  24. මාලපල්ල මරා උපන් මාකුඹුරේ ඉස්ටේසම
  25. මේ කොළඹ නන්නත්තාර වන සතියයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.