lakbima.lk

 

නුවර - යාපනය ඒ නවය පාරේ කිලෝ මීටර් දෙසීයක් පමණ උතුරට ගිය විට හමුවන්නේ පුලියන්කුලම තුන්මං හන්දියය. එම හන්දියෙන් දකුණට වැටී ඇති පාර නැදුන්කර්නී  මහ වනය හරහා ගමන් ගන්නේ මුලතිව් - නන්දිකඩාල් කලපුවටය.

මීට දස වසකට පමණ  ඉහතදී නන්දිකඩාල් කලපු බිමේදී හමුදාවට කොටු වූ වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ අවසන් සැලසුම වී තිබුණේ  නන්දිකඩාල් කලපුව වටකර ඉදිකළ යුද හමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දමා නැදුන්කර්නී වනයට පලා යාමටය. ඒ සඳහා ප්‍රභාකරන් භාර ගැනීමටද මුලතිව් නැදුන්කර්නී වනයේ එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ පිරිසක් සංවිධානය වී සිටියහ.

එහෙත් එම සැලසුම දෙදහස් නවයේ මැයි දාහත් වෙනිදා ව්‍යර්ථ වුයේ යුද හමුදාව එල්.ටී.ටී.ඊ යේ සැලසුම පරාජය කළ බැවිනි. එහෙත් නැදුන්කර්නී, ඔඩ්ඩුසුඩාන් මහ ඝන කැලෑවේ එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුවද අඩපණ වුයේ නැත.

ඊට හොඳම නිදසුන තෙයිවිගන්, ගෝබි හා අප්පන් යන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් තිදෙනාය. ඔවුන් මුලතිව් නැදුන්කර්නී ඝන රක්ෂිතයේ ප්‍රතිසංවිධානය වෙමින් සිටියදී 2014 වසරේදී බුද්ධි අංශවලට ලද තොරතුරු මත යුද හමුදාව විසින් කැලෑව වටලනු ලැබිය. එහිදී වෙඩි ප්‍රහාරවලට ලක්ව එම තිදෙනාම මිය ගියේ කොටි සංවිධානයේ නැගිටීම යළිදු වරක් අඩපණ කරවමිනි.

ඉක්බිතිව ඉකුත් 2018 ජුනි 22 වෙනි දින මුලතිව් - ඔඩ්ඩුසුඩාන් රක්ෂිතය හරහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ක්ලෝමෝ බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැසක් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූයේ යළි කොටි සෙවණැලි මකා දමමිනි.

මේ අතරේ දෙසතියකට ඉහතදී යළිදු වරක් පුලියන්කුලමෙන් කොටි පුල්ලි මතු විය.

පුලියන්කුලම් පුතූර් හන්දියෙන් වමට හැරි කිලෝ මීටර් හයක් පමණ දුර ගමන් කළවිට හමු වන්නේ හාස්කම්වලින් සපිරි ඇතිබවට දෙමළ ජනතාව විශ්වාස කරන පුතූර් කෝවිලය. කෝවිලට යන මග දෙපස ඇත්තේද හේන් යායවල්ය.

ඉකුත් ජනවාරි 01දා ද සුපුරුදු ලෙසම මෙම ප්‍රදේශය පාළු ස්භාවයක් ඉසිලීය. කමෛන් කමෛන් රාත්‍රිය උදා වෙමින් තිබුණි. පුලියන්කුලම ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සුපුල් විදානගේට ලැබුණු තොරතුරකින් කියවුණේ සැක කටයුතු පුද්ගලයෙක් විශාල බෑගයක්ද කරේ එල්ලාගෙන පුතූර් කෑලෑවේ සිට කෝවිල මාර්ගය හරහා ඒ නවය මාර්ගය දෙසට ගමන් කරන බවය.

බොහෝ විට මෙම ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැවසෙන හෙයින් ‍පොලිස් ස්ථානාධිපතිවරයාට පළමුව සිහියට නැගුණේ මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විය හැකි බවය.

ඒ අනුව වහාම උප ‍පොලිස් පරීක්ෂක සේනාරත්න බණ්ඩාර, ‍පොලිස් සැරයන් (36383) රත්නායක, ‍පොලිස් කොස්තාපල්වරුන් වන (53379) අත්තනායක, (84594) රමේෂ් යන නිලධාරීන් සිව්දෙනා යතුරුපැදිවලින් අදාළ ස්ථාන කරා පිටත් කර යැවීමට ‍පොලිස් ස්ථානාධිපතිවරයා පියවර ගත්තේය.

එම නිලධාරීහු සිව් දෙනා පුතූර් දුම්රිය ස්ථානය හරස් මාර්ගයේ රැඳී සිටිමින් සැකකටයුතු පුද්ගලයා පැමිණෙන තෙක් රැකවල්ලා සිටියහ. රාත්‍රී්‍ර 7.30ට පමණ ඔහු ‍පොලිස් නිලධාරීන් පසුකර යන අවස්ථාවේ ඔහුව නවත්වා පරීක්ෂා කිරීමට සුදානම් විය. එකෙනෙහිම ඔහු කර තිබූ බෑගය බිම දමා නැවත කැලෑව දෙසට දිව ගියේය.

‍පොලිස් නිලධාරීහු ඔහු දමා ගිය බෑගය පරීක්ෂා කළහ. එහි වූයේ උණ්ඩයක් දමා සක්‍රීය කර තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, ජීව උණ්ඩ 18 ක්, ජීව අත්බෝම්බ 02 ක්, කුඩා මාලිමාවක්, ජංගම දුරකථන 02ක්, සුර්ය බලයෙන් බැටරි ආරෝපණය කරන පවර් බෑන්ක් එකක්, ලයිටර් 03 ක්, කතුරු, මදුරු නාශක, ගිනිපෙට්ටි හා ඇඳුම් කිහිපයක් විය.

පලාගිය සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නම් නොවන බවත් ඔහු කිසියම් අපරාධයක් සඳහා පැමිණි අයෙකු බවත් ‍පොලිස් නිලධාරිහුට වැටහුණහ. ඔවුන් වහාම මේ පිළිබඳ සිය ‍පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළහ.

‍පොලිස් ස්ථානාධිපතිවරයා මේ පිළිබඳ වහාම සිය ප්‍රධානීන් දැනුවත් කළේය. ඔවුන්ගෙන් ලද උපදෙස් මත අතිරේක ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා යුද හමුදාව එක්ව පලා ගිය සැකකරු සොයා පුතූර් රක්ෂිතය අවට පැය හයක මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. නමුත් සැකකරු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුණි.

මේ අතර ඔහුගේ ගමන් මල්ල තුළ වූ ජංගම දුරකථන ඔස්සේ විමර්ශන පැවැත්වූ ‍පොලිස් නිලධාරීන්ට එක්තරා පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය විය. ඔහු සුදාකරන් නොහොත් ගුණා නම් විය. වව්නියාව කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක චින්තක කෝරළගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහුගෙන් හෙළි වූ කරුණු මත අනාවරණය වූයේ පලා ගිය සැකකරු වූයේ යාපනය, මානිප්පායි පදිංචිකරුවෙකු වූ ආනන්ද රාසා නමැත්තා බවය.

ආනන්ද රාසා යනු යාපනය, පලෙයි නිවසක 2012 වසරේදී ටී.56 ගිනි අවි කොටස් ළඟ තබා ගෙන සිටියදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද අයෙකි. ඒ අනුව ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දීම යටතේ වව්නියාව මහධිකරණය මගින් ඔහුව බන්ධනාගර ගත කර තිබුණි. 2013 වසරේදී ඇති වූ අසනීප තත්ත්වයක් මත යාපනයේ බන්ධනාගාරයෙන් ආනන්ද රාසාව යාපනය රෝහලට රැගෙන ගිය අවස්ථාවේ ඔහු බන්ධනාගරයේ නිලධාරීන් සතුව තිබූ රිපීටර් වර්ගයේ තුවක්කුවක්ද රැගෙන රෝහලින් පැන ගොස් තිබුණි.

එසේ බලන විට ආනන්ද රාසා යනු බන්ධනාගාරයෙන් පලා ගිය සිරකරුවෙකි. ඔහු පසුව ඉන්දියාවට පලා ගොස් පසුව ලංකාවට පැමිණ තිබේ.

ආනන්ද රාසාට ජංගම දුරකථන රැගෙන දී ඔහුට නවාතැන් පහසුකම් දීමට ඉදිරිපත්ව තිබුණේ සුදාකරන්ය. මේ සඳහා සුදාකරන්ගේ බැංකු ගිණුමට යුරෝපීය රටකින් වරින් වර මුදල් බැර කර තිබුණි. සුදාකරන්නට මෙම කොන්ත්‍රාත්තුව දී ඇත්තේ වව්නියාවේ තවත් පුද්ගලයෙකු විසිනි. ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව ‍පොලීසිය පවසයි.

සුදාකරන්ගේ ප්‍රකාශය අනුව ශ්‍රී කාන්දන් දර්ශනී (29) නමැති කාන්තාව ආනන්දකුලම් හි පදිංචිව සිටි නිවස ‍පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාවේ 561 වෙනි බළසේනාවේ ආධාර ඇතිව ඉකුත් 06දා පරීක්ෂාවට ලක් කළේය. එහිදී නිවස පිටුපසද කිලෝමීටර් තුනක පමණ දුරක් පැය හයක් පුරා සෝදිසියට ලක් කළේය. මේ සඳහා ‍පොලිස් නිල සුනඛ “මේසා”ද යොදා ගැනුණි. දර්ශනීගේ නිවසට මීටර් 200ක් පමණ දුරට වන්නට ඉටිකවරවල බහා වළ දමා තිබූ මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 02ක් එම මෙහෙයුමේදී හමුවී තිබේ. ඊට මීටර් 400ක් පමණ දුරින් ටී.56 ගිනි අවියක කැබැලිද හමු වී ඇත. මේ සම්බන්ධයෙන් දර්ශනී කිසිවක් නොදන්නා බව පැවැසුවත් ඇයව ‍පොලිස් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කරන්නට විය. ඇය කලක් නැදුන්කර්නි ප්‍රදේශයේ උපස්ථායිකාවක ලෙස සේවය කර ඇති බව පැවැසේ.

ප්‍රශ්න කිරීමේදී තවදුරටත් ‍පොලිසියට බොරු කිරීමට දර්ශනීට නොහැකි විය. සියල්ල ඇය වැමෑරුවාය. සුදාකරන්ගේ හිතවත්කම මත ඇය ආනන්ද රාසාට සිය නිවසේ නවාතැන් දී ඇත්තේ ඉකුත් දෙසැම්බර් මාසයේ සිටය. ආනන්ද රාසා එහි සිටි දවසක දර්ශනිගේ සැමියා විසින් ආනන්ද රාසාගේ ගමන් මල්‍ලේ බෝම්බ තිබෙනු දැක ඒ පිළිබඳ දර්ශනිට දොස් පවරා ඇත.

“තමුසේට පිස්සුද ගෑනියේ මේ වගේ මිනිහෙක් ගේ අස්සේ දා ගෙන ඉන්නේ, අපිට පාඩුවේ ඉන්න දිලා මේ මිනිහව යවනවා” යැයි ඔහු දර්ශනිට පැවැසූයේ වරක් දෙවරක් නොවේ. එහෙත් දර්ශනී ඊට ඇහුම්කන් නොදුන්නාය.

මේ අතර ආනන්ද රාසාද දර්ශනීගේ නිවසේ සිටි කාලය අඩු වූ අතර ඔහු වරින් වර පමණක් එහි පැමිණ ගොස් තිබේ.

දර්ශනිගෙන් හෙළි වූ තොරතුරු මත ආනන්ද රාසා සමග වව්නියාව-මන්නාරම් මාර්ගයේ පාළු ඉඩමක කලක් පදිංචි කර සිටි බව පැවැසෙන වව්නියාව, වාරිපුට්ටුවල පදිංචි ගනේෂ මුර්ති සිදුෂන් නමැත්තාව ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මොහුගේ බැංකු ගිණුම්වලටද විදේශයෙන් වරින් වර මුදල් ලැබි ඇති බව ‍පොලිස් විමර්ශනවලදී හෙළි විය.

එමෙන්ම ආනන්ද රාසාව වව්නියාව නගරයේ විවිධ කටයුතු වෙනුවෙන් එහා මෙහා රැගෙන ගිය බව කියන පුබාලතිව්මන් නමැත්තාද ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණි. මොහු එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු කොටි සාමාජිකයෙකු වන අතර මොහු පුනරුත්ථාපනය නොවූ අයෙකි.

මේ අතර වව්නියාව පදිංචි ත‍ලේසිංහම් නමැත්තෙකුද ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණි. ඔහු 1991 වසරේ කොටි සංවිධානයට බැඳී එහි ටොසී ඔත්තු අංශයේ සේවය කළ අයෙකි. මොහුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මහධිකරණයේ නඩුවක් පවරා තිබු අතර ඉන් මොහු නිදහස් වී තිබේ. එබැවින් මොහු ද පුනරුත්ථාපන නොවී හිටපු කොටි සාමාජිකයෙකි.

මොහුගෙන් හෙළි කරගත් කරුණු අනුව ඔහු සමගම ඉකුත් 08 දා ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මඩු රක්ෂිතයේ ඝන කැලය තුළට කිලෝ මීටර් හත හමාරක් පමණ දුරට ගොස් ඇත.

එහි තිබි ඇත්තේ එකල කොටි සංවිධානයේ කඳවුරකි. තවමත් එහි බංකර ආදිය පවතින අතර එහි එක් ස්ථානයක වළදමා තිබූ මිලිමීටර් 80 වර්ගයේ මෝටාර් උණ්ඩ 03ක්, ක්‍ලේමෝ බෝම්බ 03ක් ගොඩ ගැනීමට ‍පොලීසියට හැකිව තිබේ.

එමෙන්ම මෙම ස්ථානයෙන් මීට පෙර ආනන්ද රාසාද වරින්වර පැමිණ පිස්තෝල ආදිය රැගෙන ගොස් ඇති බවද ත‍ලේසිංහම් ‍පොලීසියට පවසා තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබා ගෙන වැඩි දුර ප්‍රශ්න කරනු ලබයි.

උතුරු පළාත භාර  ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රොෂාන් ප්‍රනාන්දුගේ අධීක්ෂණයෙන් වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික් භාර නියෝජ්‍ය ‍පොලිස්පති අනුර අබේවික්‍රමගේ උපදෙස් මත වව්නියාව දිසාව භාර ‍පොලිස් අධිකාරි ටී.එම්.එස්.එම්.තෙන්නකෝන් හා පුලියන්කුලම ‍පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකාගේ මෙහෙයවීමෙන් පුලියන්කුලම ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සුපුල් විදානගේ ඇතුළු ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක යෙදී සිටින්නේ විදේශයේ මුදල්වලින් මෙරට නිදා සිටින කොටි ත්‍රස්තවාදීන්ව යළි ඇහැරවා මෙරට යළි ත්‍රස්තවාදි තත්ත්වයක් ඇති කිරීමට උත්සහ කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමටය. මේ සඳහා උතුරු පළාතේ සියලුම ‍පොලිස් නිලධාරීන් මේ වනවිට සුදානමින් තබා තිබේ.

පුනරුත්තාපනය නොවූ හිටපු කොටි සාමාජිකයන් මේ සඳහා මුලික වී කටයුතු කරන බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණකි.

 ශානිකා මාධවී පීරිස්

 

  1. බලාගෙනයි සතුන්ට දැමූ කිරිපිටි වෙළෙඳ‍පොළට ඇවිත්
  2. ගෙල නොකපාම උගුරේ පිළිකාව ඉවත් කළ විස්මිත සැත්කම
  3. අප්‍රිකාවේ බල්ලන්ට හැදෙන ලෙඩක් අපේ රටෙත්
  4. විජේවීරත් බිය වූ එකම පොලිස්කාරයා
  5. ආණ්ඩුකාරවරු ගෙදර යැවූ චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණය
  6. නාමල් කුමාර රෝහිණී හතුරුසිංහගේ “මල්ලීි
  7. සේද මාවතේ රහස් සොයා මන්නාරම් වරාය කැණීම් යළි ඇරඹේ
  8. සිරීපාදේ ඉරසේවය ලෝකෙටම එකයි
  9. ලංකාවේ ගොවිතැන වනසන සේනා දළඹු සංහාරයට දහයියා අළු
  10. චිකාගෝ ක්‍රමයට බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරු මීමුරෙන් මතුවෙයි
  11. කළුතරින් මතු වූ අලුත් සක්විත්තා “අසංක”
  12. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට රෝද පුටුවෙන් යන ධෛර්යය
  13. මධුෂ්ගේ තවත් තිර නාටකයකට රඟ දැක්වුණු කෝටි 700 දියමන්ති කොල්ලය
  14. හමුදාපතිවරියක් සිටින ලෝකයේ ලංකාවේත් තරු දෙකේ ජෙනරාල්වරියන් බිහිවුණා
  15. ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ‍පොලිස්පති සී.අයි.ඩී.යට කී කතාව
  16. මහින්දගේ නමත් පැටළුණ ඉරාන ජාතිකයාගේ ඩොලර් මල්ල
  17. අපරාධකරුවෙකුට රැකවරණදී රිමාන්ඩ් වුණු හමුදා තුනේම ලොක්කා
  18. එස්.ටී.එෆ් වෙඩි පහරට බිලි වූ කොස්ගොඩ තාරකගේ වමත සහ දකුණත
  19. ඩෙංගු මඩින්නට බත්කූරු මෙහෙයුමක්
  20. ජාත්‍යන්තර ‍පොලීසියට නව සභාපතිවරයෙක්
  21. ප්‍රතිජීවක නිසා 2050දී මිලියන 10ක් මරුට
  22. ගාලු මුවදොරෙන් කොළඹ හතට ගිය ලංකාවේ ලොකුම යුද ස්මාරකය
  23. මැති සබයේදී මියගිය මන්ත්‍රීවරු
  24. බදුල්ල බන්ධනාගාරයෙන් පැන යන්නට හැදූ නවුෆර්ගේ වැරදුණ කුරුමානම
  25. අගමැතිවරු අරලියගහ මැදුරට ආ හැටි - ගිය හැටි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.