lakbima.lk

 
දිනය අප්‍රේල් 23  ය. වේලාව උදෑසන හත ය. මීගමුව - කොළඹ පාර තවමත් පාළු ය. මීගමු අහස ශෝකාකූල මන්දාරමකින් බරව ඇත. මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ අවසන් කටයුතු කරන දිනය අද ය. අපි මේ ගමන් කරමින් සිටින්නේ අසුරු සැණෙකින් ගමක් නිහඬ කළ යක්ෂයාගේ ප්‍රහාරයෙහි කඳුළු දහරා ඔස්සේ ය.
 
 
වත්තල, කඳාන, සීදුව පසුකරමින් අපි මීගමුව දෙසට ගමන් කරමු. වෙනදා රථවාහන උතුරා යන මාවතේ අද වාහනයක් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. මගට පිළිපන් මිනිසෙකු දකින්නට ලැබෙන්නේ ඉඳහිට ය. මහමගද මග දෙපසද දකින්නට ඇත්තේ සුදුකොඩි ය. සිය නිවස ඉදිරිපිට පුංචි සුදු කොඩියක් සවි  කරන දරුවෙකු සහ දැරියකි. හිනාවක් නැති මුහුණු ය. කටුනායකට ළඟා වන විට අපි පසුකළ මළගෙවල් ප්‍රමාණය විස්සකට තිහකට වැඩි මිස අඩුනම් නැත. තේ කෝප්පයක් බොන්නට කඩයක් සොයා ගන්නට අපට කටුනායකද පසු කරන්නට සිදුවිය.
 
තව ටික දුරක් ගියාම හමුවෙන සෙබස්තියන් උන්නාසෙගෙ සුරුවම ළඟින් දකුණට හැරෙන්න තේ කඩයේ ගැහැනිය කීවේ ළය අත් තබාගෙන ය. ඒ, මළ ගෙදරකට යන පාරක් නොව අප ඇසුවේ මළ ගමකට යන පාරක් නිසා ය.
“අනේ ඒ මිනිස්සු මොන වැරැද්දක් කළාටද?” අපි පිටත් වන විට ඇය කියූ වදන් සෑහෙන වේලාවක් යනතුරු සවනත දෝංකාර දුන්නේය. 
 
එඩිතර රෝමානු සොල්දාදුවෙකුගේ ස්වරූපයෙන් දිස්වන ශාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයාණන්ගේ ප්‍රතිමාවෙහි මුහුණින් පළ කළ සංවේගය කියාපෑවේ අප හැරුණේ නිවැරදි මාවතට බව ය. මග දිගට සුදු කොඩිවැල් ය. සෑම තැනම යුද සෙබළුන් ය. ප්‍රධාන මාර්ගයෙන් හැරී කටුවාපිටිය දේවස්ථානය අසලට යන තුරුම ත්‍රිවිධ හමුදාව හා ‍පොලීසිය එක්ව තර කළ ආරක්ෂක රැකවල් ය. අවමංගල්‍ය උත්සවවල කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම එහි අරමුණ ය.
 

දේවස්ථාන තාප්පය දක්වා පැමිණි කුරිරු ප්‍රහාරයේ ලකුණු ය. සමුගත් ඇතැමුන්ගේ රුව රැගත් දැන්වීම් ය. හද කකියවන කාරණය තාප්පයේ සිදුරු අතරින් ඇස ‍පොවා සිය නෑ මිතුරන්ගේ සුසුම් ‍පොදක් සොයනා මිනිසුන්ගේ දසුන ය. අපි දේවස්ථානය තුළට නොගොස් ඒ අද්දරින් වැටුණු කදිරාණ පාරේ ඉදිරියට ගියෙමු. බුදුන් දවස දරුවා අහිමි වූ සොවින් කිසිවෙකු නොමළ ගෙයකින් අබ සොයා ඇවිදි කිසාගෝතමිය සිහිවිය. කටුවාපිටිය අවටද කිසිවෙකු නොමළ ගෙයක් නොමැති තරම ය. 
 
එක්කෝ පියා ඉතිරිව මව හා දූ දරුවන් සමුගෙන ය. නැතිනම් දූ දරුවන් ඉතිරිව මව හෝ පියා සමුගෙන ය. දුරින් නෑ වෙන අයෙකු හෝ සමු නොගත් කෙනෙකු කටුවාපිටියෙන් සොයා ගැනීම උගහට ය. කදිරාණ පාරෙන් හැරී කටුවාපිටිය ජූඩ් මාවතට පිළිපන් අපිට අසන්නට ලැබුණේ එකම පවු‍ලේ හත් දෙනෙකු සැහැසි ලෙස බිලි ගන්නට දේවස්ථානයට ආ යක්ෂයා රුදුරු වූ බව ය. වඩු කාර්මිකයෙකු ලෙස සාමකාමී දිවි පවෛතක් ගත කළ දිලිප් කුමාර් (45) හා ඔහුගේ දියණි සජිනි හා පුතු විමුක්ති සමුගත් අතර ඉතිරි වූයේ තුවාල ලබා සිටින බිරිඳ පමණි. 
 
දරු දෙදෙනද සැමියාද අහිමිව අපේ කාලයේ පටාචාරාවක සේ සිටින ඇයට දුක කියන්නට වචන නැත. ඒ නිසාම අපිදු ඇගෙන් කිසිත් නොවිමසීමු. දිලිප් කුමාර්ගේ සොයුරිය රසිකා දිල්රුක්ෂි (35) විසුවේ යාබද නිවසෙහිය. ඇයත් හසිනි හා හිමායා දියණියනුත් මතුනොව පුතු ශාලෝම්ද පැහැර ගන්නට යක්ෂයා  රුදුරු විය. ඒ පවුලෙන් ඉතිරි වූයේ පියා පමණි. ඔහුටද කතා කරන්නට වචන නැත. ඔක්කොම නැතිවුණා එච්චරයි ඒ කඳුළුවල සහකම්පනය අකුරට හරවන්නේ කෙසේදැයි මම නම් නොදනිමි. 
 
මං උදේ පූජාවට ගියේ නෑ. අක්කයි දුවයි මහත්තයයි පූජාවෙ හිටියා. සද්දෙ ඇහෙනකොටම මං පල්ලිය ළඟට දිව්වා. වෙන්න තියෙන නරකම දේ වෙලා ඉවරයි. අයියටත් තුවාල වෙලා හිටියෙ. ඒත් එයා කොහොමහරි අක්කවයි දුවවයි අරගෙන වාහනේකට නැග්ගා. 'ඇතුළෙ ගොඩක් අය තුවාල වෙලා. එයාලව බලන්න' කියලා අයියා ගියා. ඒත් අක්කවයි දුවවයි බේර ගන්න බැරි වුණා. කදිරාණ ඩේවිඩ් මාවතේ පදිංචිව සිටි දිනේෂා ගීතානිගේ සොහොයුරා පවසන්නේ ය. දෙව්මැදුරට ආ යක්ෂයා දිනේෂාගේත් දියණි ශේෂානිගේත් දිවි පැහැරගෙන අවසන්ය.   
 
ඒ තාත්තාටද දුක කියන්නට වචන ඇත්තේ නැත. අර පේන ගෙදර දරුව බඳින්න හිටිය පුතා  හුඟ කාලෙකින් ඇවිත් තියෙන්නෙ. අම්මලා  රෑ පූජාවට යන්න කතා කළාම 'බෑ මං මෙයත් එක්ක උදේ පූජාවට යනවා' කියලා ඉඳලා. උදේ පූජාවට ගිහින් අන්තිමට දෙන්නම එකට අවසන් ගමන් ගියා. ළඟදී වෙඩින් එක ගන්නත් හිටියේ ඈත පෙනෙන සුදු කොඩියක කතාව කියන ඇගේ නෙත් අගද කඳුළු ය. ඒ අප බොහෝ දුරක් ඇවිද ගොඩවැදුණූ  වෙළෙඳස‍ලේ හිමිකාරියයි. කී දෙනෙක්ගෙ කතා කියල කියන්නද මහත්තයෝ. මේ හැමෝම කඩේට ආව ගිය ළඟපාත මිනිස්සු ඇය සුදු කොඩි ලෙළෙන පාළු වූ  මාවත දෙස බලාගත්වනම කියන්නේ විස්සෝපයෙනි.
 
බිරිඳයි දරුවොයි ඔක්කොම බෝම්බෙන් නැතිවෙලා. ඒ දුක උහුලන්න බැරුව තාත්තත් මීගමුවෙදි කෝච්චියට පැනලා කඩමණ්ඩියේ සිටි අයෙකු කියන්නේ තවත් හද කම්පිත කරවන කතාවකි.
 
මීගමුව බාල්දි හන්දියේ ශාන්ත සෙබස්තියන් ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සම්පත් විශ්ව කීර්තීත් මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාස‍ලේ එකොළාස්වන ශ්‍රේණියේ හා නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දියණියන් දෙපළත් සමුගෙන ය.  දිවි බේරුණු මව තවමත් ජාතික රෝහ‍ලේය. 
 
සිය ගණනක් මරණයට ගොදුරු වූ ගමක එක් එක් අයගේ කතා ඇසීම පළක් නැත. ඒ හැම කතාවේම ආරම්භය එකකි. අවසානයේ ඉතිරි කඳුළු පමණි. හඬා දොඩා විඩාවට පත්ව ශේෂ වී ඇති ඥාති මිත්‍රාදීන්ගේ සුසුම් පවා මහත් බරකි. 
 
වෙනදා ලෙඩට දුකටද සතුටට සැපතටද නිදහසේ පා තැබූ දෙව්මැදුරට අද මේ බැතිමතුන්ටද ඇතුළු වන්නට වී ඇත්තේ ආරක්ෂක අංශවල දැඩි පරීක්ෂාවෙන් අනතුරුව ය.
 
මගේ මොනව පරීක්ෂා කරන්නද දුවේ තව. මගේ දුවයි දුවගෙ දරුවොයි ඔක්කොම නැතිවුණ කොට වියපත් මවක ගුවන් හමුදා සෙබළියකගෙන් ඇසුවේ හිස අත් තබාගෙන ය. එමතුද නොව දෙව්මැදුරේ ගේට්ටුවෙන් ඇතුළු වන සාමාන්‍ය වැසියන්ද පූජකවරුද කන්‍යා සොයුරියන්ද භික්ෂුන් වහන්සේද පරීක්ෂාවට ලක් විය. එහි අරමුණ ආරක්ෂාව ය. එහෙත් දෙව්මැදුරු බිමක් තුන් බියට හසුවූ විසාලා මහනුවර මෙන් වැනසී ගිය පසු පරීක්ෂා  කරන්නට දෙයක් ඉතිරිව නැති සේ ය. ඒ තරමට ඒ මිනිස්සුන්ගේ හදවත්  ඔහේ ගලාගිය කඳුළු දහරා විසින් හිස් කොට තිබේ.

'මෙය අපරාධ ස්ථානයකි ඇතුළුවීම තහනම්' දැන්වීම් පටියෙන් පල්ලිය වටකොට ඇත. එහෙත් ඔවුන් කළ අපරාධයක් නැත. ඔවුන් කළ එකම දේ අහිංසකව දෙවියන් නැමදීම පමණකි.
 
150 වන සංවත්සරය නිමිති කොටගෙන පසුගිය ජනවාරි 20 පැවැත්වූ මංගල්‍යයට පෙර කටුවාපිටිය දේවස්ථානය මනරම් ලෙස අලුත්වැඩියා කෙරිණි. අලුත් උළු හෙවිල්ලිනි. අලුත් වීදුරු පිරිද්දිනි. අලුත් තීන්ත ආ‍ලේප කෙරුණි. ඒ සොඳුරු බව වැනසෙන්නට ගියේ නිමේෂයකි.
 
කවුළුවකින් එබි බැලුවෙමි. පාස්කු ඉරිදාවේ උත්ථානය ලැබූ ජේසුතුමාගේ සුරුවමෙහිද මූනිස්සම් ඇති කළ කඩතොලු ලකුණු ය. විසිරුණු රුධිර පැල්ලම් ය. අලුත් උළු හෙවිල්ලූ වහල සම්පූර්ණයෙන්ම වාගේ ‍පොළවට පතිතව තිබුණි. ඒ, මොහොතකට පෙර සුන්දර ලෙස ශාලාව සැරසූ බොහෝ දෙනාගේ රුධිරය සුසුම් හා කඳුළු සඟවා ගනිමිනි.  උදෑසන අටයි හතළිස් හතට එළැඹුණු  යක්ෂයාගේ හෝරාවෙහි කම්පනයෙන් නතර වූ ඔරලෝසුව තවමත් එලෙසින්ම ය. ආරක්ෂක අංශ දහස් වතාවක් වළකනු ලැබුවද හැඬූූ කඳුළෙන්  දේවස්ථාන බිම පුරා තමන්ගේ සමීපතමයාගේ ලකුණක් සොයන මිනිසුන් ය. 
 
යක්ෂයාට හසුවූ ජීවිතවල සුසුම් තැවරුණු ‍ලේන්සු ය. මිරිවැඩි ය. අත්බෑග ය.
මේ මිය ගියේ මේ තුවාල වුණේ දෙවියන්ට සාක්ෂි දරන්න ආපු මිනිස්සු. මේ අය ගැන අපි ආඩම්බර වෙන්න ඕන. ඔවුන් අපෙන් ඈත් වුණත් ස්වර්ගයේ ආරක්ෂාව හිමි වෙනවා. දෙවියන් සමග ඒකාත්මිකව හිටපු වෙලාවකයි ඔවුන් මිය ගියේ. මියගිය, තුවාල ලත් ඥාතීන් දකිද්දි ලොකු දුකක් දැනෙනවා තමයි. 
 
ඒත් එදා ජේසුතුමන් කුරුසියේ එල්ලී සිට කීවේත් 'ඔවුන් නොදැන කරන දේට සමාව දෙන්න' කියලා. ඒ නිසා අපි වෛරය සිත්වලින් ඈත් කර මියගිය අය වෙනුවෙන් දෙවියන් යදිමු අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අවමඟුල් දේව මෙහෙයේ පවසන වදන් ඈතින් ඇසෙයි.
 
දේව මෙහෙය පැවැත්වුණේ තාවකාලිකව සකස් කළ ශාලාවක ය. 

ළයාන්විත ගීතිකා හඬ අතර ඇතැමුන්ගේ ශෝකාලාපද මුසුව එන්නේය. 
ආරක්ෂක හේතුන් මත එකවර විශාල ප්‍රමාණයක් දේවස්ථානය තුළට නොකැඳවා වරින් වර කිහිපය බැගින් මෘත දේහ සුසාන භූමිය වෙත යැවීමට පියවර ගෙන තිබුණි. දේවස්ථානයට අයත් සෙල්ලක්කට්ටුව සුසාන භූමිය ප්‍රමාණවත් නොවීම නිසා ඩේවිඩ් වත්තද සුසාන භූමියක් බවට පත්ව තිබුණි. 
 
සුප්‍රකට විනිෆ්‍රිඩා ව්‍යාපාර ජාලයේ හිමිකරු වූ ඩේවිඩ් මහත්තයාගේ අභාවයෙන් පසු එම ඉඩම් පල්ලියට පැවරී තිබුණි. ඩේවිඩ් මහත්තයාගේත් බිරිඳගේත් පුතුගේත් සුසානයන් අසලින් එක්ව සමුගත් පිරිස උදෙසා ඉඩ වෙන් විණි. පවුල්වල ඉතිරි වී ඇති ළබැදියන්ගේ අඳෝනා මැද ඔවුහු අවසන් ගමන් ගියහ.
 
ගමක් මළගමක් කළ අනුවේදනීය මොහොතේ දුක බෙදා ගනිමින් වතුර බෝතලයකින් සිසිල් පැන් උගුරකින් විස්කෝතුවකින් සංග්‍රහ කරන්නට පැමිණි ස්වේච්ඡා කණ්ඩායම් ය. සුසාන භූමියේද මංමාවත්වලද ආරක්ෂාව තර කරන හමුදාවේ හා ‍පොලීසියේ සහෘදයන් ය. හඬමින් කඳුළු පිසිමින් පාරවල් ගානේ ඇවිද යන ගම් වැසියන් ය. ඒ කඳුළු අහුලමින් පියවර තබනා දෙස් විදෙස් මාධ්‍යවේදීන් ය. මේ සැවොම කියන්නේ ඛිෙදවාචකයේ රුදුරු පැතිකඩ ය.
 
මිහිරාන් කරුණාරත්න
 
ඡායාරූප : මලිත් ගමගේ
  1. කැලිෆෝනියාවට ගිය ඒකීය රාජ්‍යයේ බිඳ වැටීම
  2. මානව සම්පත් කළමනාකාරිනිය තට්ටු අටකින් පහළට පැන්නාද වැටුණාද?
  3. මෙදා අවුරුද්දේ නැකත් සීට්ටුවට එක්වූ අලුත් නැකත
  4. මෙදා සැරේ පිටකොටුවේ වැඩියෙන්ම විකිණුණේ ඇඳුම් නොවෙයි ෆෑන්
  5. හද්දා පිටිසර තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය සමග විනෝද වූ ෆේස්බුක් සාදය
  6. මාලපල්ල මරා උපන් මාකුඹුරේ ඉස්ටේසම
  7. මේ කොළඹ නන්නත්තාර වන සතියයි
  8. ශිවශංකර් මෙනන් ගෝඨා හමුවෙන් රටට දෙන ඉඟිය
  9. එන්.ඩී.ටී. ගහලයෝ ශනිල්ක මරා ගනිති
  10. තරුණයකු අතුරුදන් කර වසර 11ක් නිදැල්ලේ සිටි ඒ.එස්.පී.
  11. බැඳුම්කර හොරකමේ තෝරු මෝරු හතරක් ඇල්ලූ මෙහෙයුම
  12. මේ රස්නය මරණයෙන්ද කෙළවර විය හැක
  13. තුසිතපුරයේ අපා දුක් විඳින, රජකමටත් සුදුසු මිනිස්සු
  14. ජ’පුර සරසවියෙන් ලෝකයට අලුත් වැඩක්
  15. ශ්‍රී ලංකා-ඉන්දියා බැතිමතුන් එකට වැඳ වැටෙන කච්චදූව
  16. සිරිසඟබෝ රජු හිස දන් දුන්නේ අත්තනගල්ලේ දී නොවේ
  17. නීතිඥ නාගානන්දට වුණා වගේ පෙරකදෝරු රස්සාව නැතිවෙන්නේ කොහොමද?
  18. දකුණේ නිදන් හාරද්දී උතුරේ හාරන්නේ රත්තරන්
  19. අවුරුදු විසිපහක්ම රෝදපුටුවේ ගිය හමුදාවේ ධෛර්යය
  20. දරුවන් රකින්නට නුවර කලාවියේ දෙන අපූරූ දානය
  21. ස්ථාන මාරුවකින් කෙළවර වූ ජී. ටී. බොස්ගේ වැදි නැටුම
  22. ඉන්දියාවේදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ
  23. කැඩුණු අමුණ බැඳගන්නට මුදල් නැතිව අකලට මහලු වෙන ගමක්
  24. ජංගම දුරකථනයෙන් කතා කර කර දුම්රිය මග දිගේ එලොව යන්නෝ
  25. ඩුබායි ගෙන ගිය බව කියූ කෝටි 700 දියමන්තිය පානදුරෙන් මතුවූ හැටි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.