lakbima.lk

හිරු පිබිදෙමින් ‍පොළෝ තලයට ටිකෙන් ටික හිරු රැස් පතිත වන්නට විය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථ ඒ වනවිටත් සීතල පිනි බිඳුවලින් නැහැවී ගොස් තිබුණේය. වෙනදාට ගුවන්තොටේ නැති ආරක්ෂාවක් ඉකුත් 05 දා තිබුණේය. අවි ගත් ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගුවන්තොටුපළේ ස්ථාන ගත වී සිටියේ පරිසරය පුරා  තීක්ෂණ තියුණු නෙත් දල්වා ගනිමිනි.

අලුයම 5.00 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යු.එල්. 226 ගුවන් යානය  පිනි තැවරී තිබූ ධාවන පථය මතින් ගුවන්තොටු‍පොළට සේන්දු විය.

ගුවන්යානය ගොඩ බස්සවා මඳ වේලාවකින් එහි දොර විවර කෙරුණු අතර ගුවන් මගීන් එකිනෙකා ඉන් බැස ගුවන්තොට වෙත ඇඳී එමින් තිබුණේය.

මේ අතර සියලු දෙනාම දැක පුරුදු මුහුණක් ගුවන් යානයෙන් පිටතට පැමිණියේය. ඔහු වටා තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුම සිටිනු දක්නට ලැබිණි. ඔහු ගුවන් යානයෙන් බැස ආගමන විගමන නිලධාරීන් වෙත පැමිණියේ කිසිදු වෙනසකින් තොරවය.

ගුවන්තොටේ කාර්ය මණ්ඩලයට මොහුව බලා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් මතුව තිබුණේය. ඒ, එන්නේ නෑ, ගේන්න බෑ කියූ පුද්ගලයා දැන් මෙරට ගුවන්තොටේ සිටින බැවිනි. නළුවෙක්, ගායකයෙක්, මැති ඇමැතිවරයකු නොවූ මොහු අන් කිසිවකු නොව සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ්ය. ඔහු වටා සිවිල් ඇඳුමෙන් සැරසී සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ය.

සුපුරුදු පරිදිම මිනිසුන් කතාවට අල්ලා ගන්නා ඔහු මෙදිනද ගුවන්තොටේ තැති ගැන්මෙන් බලා සිටි සියලු කාර්ය මණ්ඩලයට සිනාවකින් මුව සරසාගෙන “ගුඩ් මෝනිං” යැයි සුබ පැතීය.

ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුගේ ගුවන් තොටු‍පොළේ ලියකියවිලි කටයුතු කඩිනමින් නිම කර දීමෙන් අනතුරුව යොමු කෙරුණේ කටුනායක අපරාධ පරීක්ෂණ    දෙපාර්තමේන්තුවේ කුටිය වෙතය. මාකඳුරේ
මධුෂ් එහි විනාඩි විස්සක් පමණ ගත කිරීමෙන් පසු දැඩි ආරක්ෂාව මැද ඒ මොහොතේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියේය.

කලක්  රට හෙල්ලූ පුද්ගලයෙක් වී නම් ඒ කොටි නායක ප්‍රභාකරන්ය. ප්‍රභාකරන්ගෙන් පසු ඊයේ පෙරේදා සහරාන් නමැත්තා කරළියට එනතුරු අප රටම භීතියෙන් ත්‍රස්ත කළ පුද්ගලයකු වී නම්; ඒ මේ අප කියන සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ්ය. එවැනි අතීතයකට උරුමකම් කියන මාකඳුරේ
මධුෂ් මෙරටට පැමිණ ඇති බව රට පුරා පැතිර ගියේ තටුසලන වේගයෙනි.

විවිධ අපරාධ සිදු කර පසුව මෙරටින් පලා ගොස් එක්සත් එමීර් රාජ්‍යයේ වෙසෙමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ එමෙන්ම විවිධ ඝාතන, අපරාධ රැසකටම අණ දුන් පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස හැඳින් වූ මාකඳුරේ මධුෂ්ගේ පැමිණීම රටේ වැසියන්ට ඒ තරමටම ලොකු ප්‍රවෘත්තියක් වූයේ නැත. ඒ මේ වනවිටත් පාස්කු ඉරිදා බෝම්බයේ උණුසුම තවම පහව ගොස් නොතිබූ නිසාත්, රට පුරා තැනින් තැන මතු වූ අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය කෙරෙහි ජනතා ඇස යොමු වී තිබූ නිසාත්ය.


මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී පවත්වන ලද සිය දියණියගේ උපන්දින සාදයේදී ඩුබායි ‍පොලිස් අත්අඩංගුවට පත් වූයේ ඉකුත් පෙබරවාරි 05 වෙනිදාය. එහිදී මධුෂ් සමගින් අත්අඩංගුවට පත් සෙසු ශ්‍රී ලාංකිකයන් තිස් දෙනාම එක්සත් එමීර් රාජ්‍ය අධිකරණය විසින් වරින් වර මෙරටට පිටුවහල් කරනු ලැබිය.ඉතිරිව සිටියේ මාකඳුරේ
මධුෂ් පමණි.


ඔහු සම්බන්ධයෙන් තීන්දුව ලබා දීමට ප්‍රමාද වී තිබුණේ ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ඔහු එරට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අභියාචනාවක් හේතුවෙනි.එහි තීන්දුව ඉකුත් මැයි 02 දා ලබා දීමට නියමිතව තිබූ නමුත් නැවත වරක් එය මැයි 09 වෙනි දිනට කල් ගොස් තිබිණි.

මධුෂ් මෙරටට එවා තිබුණේ එවැනි පසුබිමක් යටතේය.ලක්ෂ්මන් සමරසිංහ හා මාලනි සමරසිංහගේ වැඩිමහල් පුතු වූ කඹුරුපිටියේ මධුෂ් ලක්ෂිත සමරසිංහ කුඩා කල නම් ඉතාමත් කීකරු නිහඬ චරිතයක් බව ඔහුගේ අතීත පාසල් මිතුරෝ පවසති.

මධුෂ්ගේ මව මිය ගියේ පසුගිය 88-89 භීෂණ කාලයේදී හඳුනන තුවක්කු කරුවන්ගේ වෙඩි පහරකිනි. මධුෂ්ගේ ජීවිත  කතාව වෙනස් වූයේද එතැන සිටය.

එල්.ටී.ටී.ඊ සංවිධානය සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවට  2012 වසරේදී හෙළි විය. එහි කොණක සිටියේ මාකඳුරේ මධුෂ්ය. ඒ බව අනාවරණය වීමත් සමග කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ එවකට සහකාර ‍පොලිස් අධිකාරිව සිටි ජගත් ෆොන්සේකා (වර්තමානයේ පුලියන්කුලම කොට්ඨාස ‍පොලිස් අධිකාරි) විසින් මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර රැඳවුම් නියෝග ලබා ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි මධුෂ්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ලබා ගත්තේය.

මෙහිදී ‍පොලීසියට ටී 56 ගිනි අවියක්, උණ්ඩ, පිස්තෝලයක් ආදියද සොයා ගැනීමට හැකි වූ අතර  වසර එක හමාරක්  පමණ එහි රඳවාගෙන ඔහුගෙන් ප්‍රශ්න කළේය. මධුෂ් ‍පොලිස් අත්අඩංගුවට පත් වූ අවසන් අවස්ථාව මෙය වේ. එවකට ඔහු රැවුළ වවාගෙන සිටියේය.

මේ කාලයේ මධුෂ් සබඳතා පැවැත්වූයේ කලක් පාතාලයේ නමගිය කෙරුමෙකු වූ සොත්ති උපාලිගේ දියණිය වූ සිඟිති සමගිනි. මධුෂ්ට මෙරටින් පලා යාමට සැලසුම් කළේ මේ සිඟිති නමැත්තියයි.

ඒ අනුව ගම්පහ, ජා ඇල, අංක 241/ඒ දරන ලිපිනය භාවිත කර වර්ණකුලසුරිය අජිත් අරංග නමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගත්තේය. ඒ 2015-04-30 දාය. එහි උපන් දිනය ලෙස සඳහන් වූයේ 1979-02-20 දාය.
එකී විදේශ ගමන් බලපත්‍රයෙන් මාකඳුරේ මධුෂ් 2015-06-02 වෙනි දින ඩුබායි බලා පිටත්ව ගියේය. ඒ මාලිගාවත්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ කංජිපාන ඉම්රාන්ගේ සැලසුමක් අනුවය.

ඒ වනවිට ඔහු සිටියේ ඩුබායි රාජ්‍යයේ වන අතර ඔහු විසින් මාකඳුරේ මධුෂ් වෙනුවෙන් කංජිපාන ඉම්රාන්ගේ අනියම් බිරිඳගේ නමට නිවසක්ද මිලදී ගත්තේය.

ලෝකයේ අංක එකට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා වන පාකිස්තානයේ ඉම්රාන් ඩාවුඩ් නමැත්තා දැන හඳුනා ගනු ලැබිමෙන් අනතුරුව ඔහුගේ මත්ද්‍රව්‍ය මෙරටට එවීමට මධුෂ් කටයුතු කරන ලද්දේය. ක්‍රමයෙන් ලංකාවේ ලොකුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා වූ මධුෂ් ඒ මගින් උපයාගත් මුදල රුපියල් කෝටි ගණනකි. එපමණක් නොව ඩුබායි සිට කප්පම් ගැනීම දිගින් දිගටම සිදු කළ අතර දරුණු ගණයේ අපරාධ රැසක්ද මෙහෙයවනු ලැබිය.


ඔහු එහි රැඳී සිටිමින් මෙරට සිටි තවත් පාතාලයන් රැසකට රැකවරණය ලබා දීමට ඉදිරිපත් වූයේද ඔවුන්ද සිය පැත්තට නම්මවා ගනිමිනි. ඒ අනුව අංගොඩ ලොක්කා, කොස්ගොඩ සුජී, කෙසෙල්වත්ත දිනුක ආදී පාතාලයන් රැසක් ඩුබායිවලට පලා යන්නේ මධුෂ්ගේ සහය ලැබිමෙනි. මේ අතර 2016 දී මාකඳුරේ මධුෂ් එරට නේවාසික වීසා ලබා ගන්නට සමත් විය.

මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේදී කළ සෝදිසි මෙහෙයුමකදී ඝාතනයට ලක් වූ කළු තුෂාර නමැත්තාගේ බිරිඳ වූ තිලිනි නිශායා තිලකරත්න ඩුබායි  වෙත  ගෙන්වා ගත්තේද මධුෂ්ය. ඒ ඇය සමග දිවි ගෙවීමටය.

මාකඳුරේ මධුෂ් ඩුබායි සිටියද ශ්‍රී ලංකා ‍පොලීසියට ඔහු හිසරදයක්ව පැවතුණේ ඔහුගේ අපරාධ රැල්ල දිගින් දිගටම පැමිණි බැවිනි. ඒ නිසා ‍පොලීසිය දිගින් දිගටම මධුෂ්ගේ ගෝලයන් අත්අඩංගුවට ගත්තේය. එහෙත් මධුෂ් තව තවත් ගෝලයන් රැස් කර ගත්තේය.

මේ තත්ත්වය යටතේ මධුෂ් අල්ලා ගැනීමට ‍පොලීසිය අධිකරණයෙන් ජාත්‍යන්තර රතු වරෙන්තුවක්ද ලබා ගත්තේය. එහෙත් ඔහු සොයා ගැනීමට ජාත්‍යන්තර ‍පොලීසියට හැකි වූයේ නැත.

ඉන් අනතුරුව මාකඳුරේ මධුෂ් ඩුබායි සිට මෙහෙය වූ ලොකුම සිද්ධිය වන්නේ ඇරැව්වල රුපියල් කෝටි 500ක දියමන්ති කොල්ලයය. ඒ ඉකුත් නොවැම්බර් 05 දාය.

එමෙන්ම නැවත වරක් ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් වෙනුවෙන් මාකඳුරේ මධුෂ්ගේ නම කරළියට ආවේ මේ කාලයේය. ඒ දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ යැයි කියන නාමල් කුමාර නමැත්තකු විසින් හෙළිකරන්නට යෙදුන කතා වැලක් සමගිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියේ පිටුපස මොහු සිටින බව ඔහු අනාවරණය කර තිබිණි.

මෙම සිද්ධීන් මෙලෙස ලංකාවේ සිදු වෙද්දි මාකඳුරේ මධුෂ් ඉකුත් පෙබරවාරි 04 දා ඩුබායි සුපිරි හෝටලයක උපන්දින සාදයක් සංවිධානය කර තිබුණේ සිය දියණියගේ උපන් දිනය වෙනුවෙනි. මෙහිදී ඔහු ලංකාවේ සිටි පිරිසකට ආරාධනා කර සිටියේ සාදය තවත් රසවත් කර ගැනීමටය. ඩුබායි විසූ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ඇන්තනි මොරිල් මාකඳුරේ මධුෂ් සමග පසු වූයේ හිත් නොහොඳිනි. ඒ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙනි. එහෙයින් ඔහුගෙන් ලද තොරතුරක් මත ඩුබායි ‍පොලීසිය උපන්දින සාදය වටලා විෂ මත්ද්‍රව්‍ය සමග 31 කු අත්අඩංගුවට ගෙන තිබිණි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත් වීමත් සමග ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය කිහිපවරක්ම උත්සහ කළත් එය ව්‍යර්ථ විය. එහෙත් නැවත වරක් ඉකුත් අපේ‍රල් 03 දා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හා ‍පොලිස් විශේෂ කාර්ය
බළකායේ නිලධාරියෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එරට ජනාධිපති ෂික් කලිෆා බින් සයිඩ්  වෙත යොමු කරන ලද ලිපියක්ද, මාකඳුරේ මධුෂ් මෙරටට අවශ්‍ය කරන්නේ කුමන කරුණු නිසාදැයි සඳහන් කළ සවිස්තරාත්මක වාර්තාවක් සමගිනි. අබුඩාබිවලදී එරට විදේශ අමාත්‍ය ආචාර්ය අන්වර් බින් මොහොමඩ් හමු වී ජනාධිපතිවරයාගේ ලිපිය ලබා දී ඇත. එමෙන්ම මාකඳුරේ මධුෂ්     සම්බන්ධයෙන් මෙරට ඇති   සියලුම අපරාධයන් පිළිබඳ තොරතුරු කරුණු සහිතව ඉදිරිපත් කරමින් මේ සම්බන්ධව දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

එහිදී එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම ඉදිරිපත් කළ සියලු කරුණු ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙරට රජය වෙත දන්වා සිටින බවය.

ඒ අනුව මාකඳුරේ මධුෂ් සම්බන්ධව එරට අධිකරණ කටයුතු අවසන් බවත් ඔහුව පිටුවහල් කිරීමට සුදානම් බවත් ඉකුත් දිනෙක මෙරටට දන්වා ඇත. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර ‍පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 03 දා ඩුබායි බලා පිටත්ව ගියහ.

මෙම මෙහෙයුම ඉතාම රහස්‍යභාවයෙන් කිරීමට නිලධාරින් පියවර ගත් අතර ඩුබායි ගොස් මාකඳුරේ මධුෂ් සම්බන්ධව සියලු කටයුතු කෙරෙන ආකාරය පිළිබඳ විමසිල්ලෙන් සිට ඇත.

අත්අඩංගුවට පත් වූ පසු මාකඳුරේ මධුෂ් විසින් පවසා ඇත්තේ තමන් එරට අත්අඩංගුවේ සිටි කාලයේ මෙරටට දුරකථන ඇමතුම් පවා ලබා දුන් බවය. ඒ ඩුබායි ‍පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේය. තමුන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා අභියාචනාවක් ඉදිරිපත් කළේ නැති බවද ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුදු එම සිදු වීමෙන් පසු මෙරටට පිටුවහල් කරන තුරුම දින 20 ක් තමන්ට සිටින්නට වූයේ කළුවර මැදිරියක් තුළ බවද ඔහු ප්‍රකාශ කළ බව රහස් ‍පොලීසිය පවසයි.

මේ වන විට දින 90 ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින මාකඳුරේ මධුෂ්      සම්බන්ධයෙන් දිවයින පුරා ඇති අපරාධ චෝදනා සම්බන්ධයෙන් රහස් ‍පොලීසිය සියලුම ‍පොලිස් ස්ථාන වලින් වාර්තා කැඳවීමට තීරණය කර තිබේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ද වාර්තා කැඳවා ඇති අතර ඉන්පසු මොහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට රහස් ‍පොලීසිය සැලසුම් කර තිබේ.

එතෙක් දැනට හෙළි වෙමින් පවතින සියලුම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතින්නේ මාකඳුරේ මධුෂ්ට ඊළඟට වෙන්නේ මොකද්ද යන්න රට්ටු තුළ ප්‍රශ්නාර්ථයක් රඳවමිනි.

 ශානිකා මාධවි පීරිස්

  1. රහස් බුද්ධි වාර්තා රට කළඹවමින් එළියට යන්නේ කොහොමද?
  2. බුර්කාව ලංකාවේ මුස්ලිම් කතුන්ගේ ඇඳුමක් නොවේ - මුස්ලිම් විද්වත්හු අදහස් දක්වති
  3. පාස්කු ඉරිදා සිට මාධ්‍ය හැසිරුණේ කොහොමද?
  4. ලොකු පුටු හයකට අලුත් මුහුණු හයක්
  5. පුපුරන්න බලා සිටින බෝම්බ නිෂ්ක්‍රිය කරන STF සෙබළු
  6. ගම්‍පොළදී අත්අඩංගුවට පත් සහරාන්ගේ ගෝල හක් සහෝදරයෝ
  7. ආරක්ෂක ‍ලේකම්වරු අස්කරන - පත්කරන රටේ සිටි බලවත්ම ආරක්ෂක ‍ලේකම්
  8. මුස්ලිම් අන්තවාදීන් මරා දැමූ ඔපරේෂන් සයින්තමරුතු
  9. මරාගෙන මැරුණු ප්‍රහාරයේ නායකයා සහරාන්ගේ මාමණ්ඩිය ‘ලක්බිම’ට කතා කරයි
  10. හැත්තෑහත් අවුරුද්දකට පෙර ජපන්නු කොළඹට බෝම්බ දැමූ පාස්කු ඉරිදා
  11. කතෝලිකයන්ට සුවිශේෂී වූ කොච්චිකඩේ සහ කටුවාපිටිය පල්ලි
  12. ප්‍රේමදාස මහත්තයා මරන්න එව්ව බාබු ගැන කලින්ම අනතුරු ඇඟෙව්වා
  13. ත්‍රස්තයන් මරාගෙන මැරෙන්නට කළ රහසිගත මෙහෙයුම
  14. බුර්කාව ත‍්‍රස්තවාදය හා අපේ උගතුන්
  15. ආරක්ෂක ප‍්‍රධානීන් පුටු සටනක:ජාතික ආරක්ෂාවට හෙණ
  16. අපේ ඔත්තු සේවාවන් කළේ කුමක්ද?
  17. ගමට නැති ආරක්ෂාව මළගමට ලැබුණ කටුවාපිටිය
  18. කැලිෆෝනියාවට ගිය ඒකීය රාජ්‍යයේ බිඳ වැටීම
  19. මානව සම්පත් කළමනාකාරිනිය තට්ටු අටකින් පහළට පැන්නාද වැටුණාද?
  20. මෙදා අවුරුද්දේ නැකත් සීට්ටුවට එක්වූ අලුත් නැකත
  21. මෙදා සැරේ පිටකොටුවේ වැඩියෙන්ම විකිණුණේ ඇඳුම් නොවෙයි ෆෑන්
  22. හද්දා පිටිසර තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය සමග විනෝද වූ ෆේස්බුක් සාදය
  23. මාලපල්ල මරා උපන් මාකුඹුරේ ඉස්ටේසම
  24. මේ කොළඹ නන්නත්තාර වන සතියයි
  25. ශිවශංකර් මෙනන් ගෝඨා හමුවෙන් රටට දෙන ඉඟිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.