lakbima.lk

වඳ කළාදැයි දැන ගන්න ක්‍රමය මොකක්ද?

 

සිසේරියන් සැත්කම හා එල්.ආර්.ටී. (ස්ත්‍රී වන්ධ්‍යාකරණ) සැත්කම මේ දිනවල සමාජයේ නිතර කතාබහට ලක්වේ. මේ විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ සමග ඒ පිළිබඳ සාකච්ඡා කොට ලියූ ලිපියකි.

සිසේරියන් සැත්කමක් යනු ස්වාභාවික ප්‍රසූතියකට බාධා ඇති විට විකල්පයක් ලෙස යොදා ගන්නා සැත්කමකි. එහිදී සිදුවන්නේ උදර කුහරය විවරකර ගර්භාෂයේ සිටින දරුවා පිටතට ගැනීමය. වර්තමානයේ ඉතා සුලබව සිදුකරන සැත්කම් විශේෂයක් වන සිසේරියන් සැත්කමක් සාර්ථකව නිම කිරීමට පළපුරුදු වෛද්‍යවරයකුට වැයවනුයේ විනාඩි 35ක් වැනි කෙටි කාලයකි. මවගේ ගර්භාෂය පහත්වීම, මවට පූර්ව සිසේරියන් සැත්කම් දෙකක් කර තිබිම වැනි වෛද්‍යමය හේතු ගණනාවක් නිසා වෛද්‍යවරු සිසේරියන් සැත්කම් නිර්දේශ කරති.

සාමාන්‍ය වශයෙන් සිසේරියන් සැත්කම් සිදුකරන්යේ විශේෂඥ ප්‍රසව හා නාරිවේදි වෛද්‍යවරුන් (VOG) පමණක් බව සමාජයේ මතය වෙයි. එහෙත් බොහෝ විට මෙවැනි සැත්කම් සිදුකරනු ලබන්නේ ‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් (SHO) විසිනි. සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමක් සිදුකරන අවස්ථාවේ අවම වශයෙන් හය දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් ශල්‍යාගාරයේ සිටිති. සැත්කම සිදුකරන වෛද්‍යවරයාගේ සහයක වෛද්‍ය, නිර්වින්දන වෛද්‍ය, ප්‍රධාන හෙදි සොයුරිය, උපකරණ ආදිය ලබාදීමට හෙදියක්, ඇයට සහයට හෙදියක් (Running nurse) මෙන්ම විදුලි ලාම්පු සීරුමාරු කිරීමට, ඇඳ සකස් කිරීමට කම්කරුවෙක් ශල්‍යාගාරයේ සිටීම අනිවාර්ය වෙයි. එහෙත් ඇතැම් ශල්‍යාගාරවල මීට වැඩි කාර්ය මණ්ඩලයක්ද ශල්‍යාගාරයේ සේවය කරති. මේ පිරිස අතරින් නිර්වින්දන වෛද්‍ය, ප්‍රධාන හෙද සොයුරිය හා සහායක වෛද්‍යවරයාගේ සෘජු අවධානය රෝගියා වෙත යොමුවන අතර ශරීරයේ සැත්කම වෙනුවෙන් විවර කළ උදර ප්‍රදේශය ඔවුනටද නිරීක්ෂණ වෙයි. එහිදී ශල්‍ය වෛද්‍යවරයා කරන කියන සියලුම දේ ඔවුනගේ ඇසට හසුවේ. මේ අතරින් සහායක වෛද්‍ය සහ නිර්වින්දන වෛද්‍යවරුන්ට මුළු සැත්කමම නිරීක්ෂණය වෙයි. එහිදී ශල්‍ය වෛද්‍යවරයා විසින් ශරීරය විවර කිරීම, ඒ සඳහා භාවිත කරන ශල්‍ය උපකරණ, ශරීර අභ්‍යන්තරයේ කරන කැපුම්, පිළිස්සුම් වැනි සියල්ල ඔවුනගේ නිරීක්ෂණයට ලක්වීම අනිවාර්යයෙන් සිදුවෙයි.

සිසේරියන් සැත්කමට බඳුන් කරන කාන්තාවගේ දරුපවුල සම්පූර්ණ වී සිටීනම් පෙර ප්‍රසූති දෙකක් සිසෙරියන් ක්‍රමයට සිදුකර ඇත්නම් අදාළ කාන්තාවගේ සහ ඇගේ ස්වාමියාගේ අනුමැතිය ඇතිව වන්ධ්‍යාකරණ සැත්කමක්ද බොහෝ විට සිදුකරනු ලබයි. මෙහිදී ශ්‍රී ලංකාවේ සිදුකරන ජනප්‍රිය ස්ත්‍රී වන්ධ්‍යාකරණ සැත්කම වනුයේ එල්.ආර්.ටී. යනුවෙන් හඳුන්වන පැලෝපීය නාල අවහිර කිරීමේ සැත්කමයි. මෙසේ පැලෝපීය නාල අවහිර කිරීම නිසා ඒ තුළින් ඩිම්බයකට ගමන් කිරීමට ඇති ඉඩකඩ වැසී යයි. ඒ නිසා ඩිම්බයට ශුක්‍රාණුවක් සමග සංසේචනය වී යුක්තානුවක් බවට පත්ව කලලය ලෙස වර්ධනය වීමට ඇති ඉඩ අවහිර වෙයි.

එල්.ආර්.ටී. සැත්කම ලෝකයේ ක්‍රම ගණනාවකටම සිදුවේ. ඒ අතරින් ශ්‍රී ලංකවේ වඩාත් ජනප්‍රිය ක්‍රමය වනුයේ "Pomeroy" ක්‍රමයයි. එහිදී සිදුකරන්නේ පැලෝපීය නාලය මදක් ඔසවා එය ලූප් එකක් ආකාරයෙන් එක්කර නාල දෙක එකට සම්බන්ධ වන තැනට දියවන මැහුමක් දමා පසුව ලූප් එකෙන් කොටසක් කපා දැමීමය. එමගින් පැලෝපීය නාලය වෙන්වෙන අතර ඩිම්බයකට ගමන් කිරීමට ඇති ඉඩකඩ ඇහිරී යයි එහෙයින් සැත්කමකට ලක් වූ කාන්තාව ගැබ් ගැනීමකට ලක් වෙන්නේ නැත.

මෙම ක්‍රමයේ අමතර වාසියක්ද වෙයි. ඒ අවශ්‍ය නම් පැලෝපීය නාලය යළි යථා තත්ත්වයට රැගෙන ඒමට හැකි වීමයි. එහිදී වෙන්කළ දෙකෙළවර යළි සම්බන්ධ කර ඩිම්බ ගමනා ගමනය යථා තත්ත්වයට පත්කිරීමට වෛද්‍යවරු උත්සාහ කරති. එසේ වූවත් පැලෝපීය නාලය වෙන් කොට තැබූ කාලයේ ඒ තුළ සිදුවන වෙනස්කම් නිසා ඩිම්බයට ගමන් කිරීමට මෙන්ම, ශුක්‍රාණුවක් හා සංසේචනය වී යුක්තානුවක් බවට පත්වී ගර්භාෂයට පැමිණීමට ඇති ඉඩ අවම වෙයි. එලෙස වන්ධ්‍යාකරණයට ලක්කළ පැලෝපීය නාලවල අභ්‍යන්තරයේ ඇති කෙඳිවලට හානි පැමිණීම මෙලෙස ඩිම්බ ගමන් කිරීමට මෙන්ම සංසේචනයටද බාධා ඇතිවීමට හේතුව වෙයි.

කෙසේ වෙතත් "Pomeroy" ක්‍රමයට අමතරව ශ්‍රී ලංකාවේ භාවිත කරන තවත් ජනප්‍රිය වන්ධ්‍යාකරණ සැත්කමක් වනුයේ "Fimbriectomy" ක්‍රමයයි. එහිදී පැලෝපීය නාලය මුළුමනින්ම ඉවත් කරනු ලැබේ. එම සැත්කමට ලක්වූ කාන්තාවනට යළි දරු උපතක් බලා‍පොරොත්තු විය නොහැක. එහෙත් මෙම සැත්කම කරනු ලබන්නේ දරු පවුල සම්පූර්ණ වූ සිසේරියන් සැත්කම් තුනක් සිදුකළ හෝ දරු ප්‍රසූතිය අවදානම් කාන්තාවන්ට පමණි.

ලෝකයේ වෙනත් රටවලද විවිධකාරයේ ස්ත්‍රී වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකෙරෙයි. Irving ක්‍රමය ඒ අතරින් බොහෝ ජනප්‍රිය එකකි. එහිදී කෙරෙනුයේ පැලෝපීය නාලය දෙකට කපා එක් කොටසක් ශරීරයේ මසට යට කිරීමය. Uchida ක්‍රමයට කරන වන්ධ්‍යාකරණයේද මෙලෙසින්ම පැලෝපීය නාලය දෙකට කපා එක කොටසක් මසට යට කිරීම සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ සහ තවත් රටවල් ගණනාවක යොදාගන්නා Filshie සහ Hulka ක්ලිප් යොදා පැලෝපීය නාලය අවහිර කිරීමද තවත් ජනප්‍රිය ක්‍රමයකි.  Silastic සහ Falope ring   ක්‍රමද පැලෝපීය නාල අවහිර කර වන්ධ්‍යාකරණය කිරීමට යොදා ගනී.  "diathermy" ක්‍රමයේදී පැලෝපීය නාලය දෙකෙළවරින් පුළුස්සනු ලබයි.

මේ සෑම ක්‍රමයකදීම සිදුකරනුයේ ඩිම්බ ගමන් කිරීම අවහිර කිරීමය. සාමාන්‍ය වශයෙන් ගත් කළ ස්ත්‍රීන් උදෙසා නිර්දේශ කරන සියලු පවුල් සැලසුම් ක්‍රම අතරින්  එල්.ආර්.ටී. සැත්කම් කුමන ක්‍රමයකට සිදුකළත් ඉහළ සාර්ථක බවක් ගනී. එය යළි යථා තත්ත්වයට පත්කිරීමට ඉතා අසීරුවීම එල්.ආර්.ටී. සැත්කමේ ප්‍රධානතම අවාසියයි.

මේ දිනවල සමාජයේ බොහෝ කතාබහට ලක්වී ඇත්තේ පෙර සඳහන් වෘත්තීය වන්ධ්‍යාකරණ ක්‍රමවලට අමතරව වෙනත් ක්‍රමයකින් පැලෝපීය නාල ආශ්‍රිත වන්ධ්‍යාකරණය කළ හැකිද යන්නයි. පැලෝපීය නාලය තෙරපීම, මිරිකීම හෝ සැත්කම් සඳහා යොදාගන්නා අඩුවකින් තදකිරීම වැනි ක්‍රම මගින්ද ඩිම්බ ගමන් කිරීමට බාධා පැමිණවිය හැක. මෙය සැත්කමක් අතරතුර අත්වැරදීමකින් හෝ ච්ෙතනාන්විතව සිදුකළ හැකි මුත් පැලෝපීය නාලවලට සිදුකරන එවැනි හානි නිසා හටගන්නා නිසරු බව කල් ගතවීමේදී යළි යථා තත්ත්වයට පත්වීමටද ඉඩ තිබේ. සාමාන්‍ය වශයෙන් වෘත්තීය මට්ටමින් කරන වන්ධ්‍යාකරණ සැත්කම් 98% තරම් ඉහළ සාර්ථක බවක් ගන්නා නමුදු, වෘත්තීය නොවනාකාරයෙන් පැලෝපීය නාලවලට හානි කිරීමෙන් ඇතිවන වන්ධ්‍යාකරණය සාර්ථක වනුයේ 80% වැනි ප්‍රතිශතයක් දක්වා පවතී.

එක් දරුවකු හෝ දෙදෙනකු සිටින කාන්තාවකට තවත් පිළිසිඳ ගැනීම් සිදුනොවන අවස්ථා ඕනෑතරම් ඇත. මෙය ද්විතීය නිසරුභාවය ලෙස සායනිකව හඳුන්වනු ලබයි. මෙම තත්ත්වයටද පැලෝපීය නාලවල සිදුවන අවහිර වීම් ප්‍රධාන හේතුවකි. එහෙත් එවැනි අවහිරතාවන්ට හේතුව වෘත්තීය නොවන ක්‍රම මගින් පැලෝපීය නාලවලට හානි සිදුවීමම නොවන බව අවධාරණය කළ යුතුවේ. ද්විතීය නිසරු බවට බලපානා හේතු අතර පෙර සිදුකළ සිසේරියන් සැත්කමකදී සිදුවුණ පැසවීමකින් පැලෝපීය නාලවලට විෂබිජ ඇතුළු වීම, නාල තුළ රුධිරය තැන්පත් වීම සහ එන්ටඩාමෙටේ‍රා්සියස් වැනි රෝග තත්ත්වයන්ද වෙයි. ඊට අමතරව ශේ‍රා්ණි ප්‍රදේශයේ සිදු කළ වෙනත් සැත්කම් නිසාද පැලෝපීය නාලවල ක්‍රියාකාරීත්වය නතර වී ද්විතීය වඳබව ඇතිවිය හැක.

දරුවකු නොලැබිමට හේතුව පැලෝපීය නාලවල අවහිරතාවය දැයි සැකකරන කාන්තාවකට එම සැකය නිවැරදි කර ගැනීමට පෙනී සිටිය යුතු පරීක්ෂණ ගැනද මේ දිනවල බොහෝ දෙනා උනන්දුවක් දක්වති. එවැනි සැකයක් ඇති නම් ඒ සඳහා වෛද්‍යවරු පරීක්ෂණ කිහිපයක් නිර්දේශ කරනු ලබයි. වඩාත් සරල ක්‍රමය වනුයේ HSG පරීක්ෂණයයි. එහිදී යෝනි මාර්ගය තුළින් ගර්භාෂයට යවනා ඩයි විශේෂයක් පැලෝපීය නාල දක්වා ගමන් කරවා රෝගියා එක්ස් කිරණ පරීක්ෂණයට ලක්කරයි. ඊට අමතරව (Hycosy) පරීක්ෂණයද ඇතැම් කාන්තාවන්ට සිදුකරයි. එහිදී විශිෂ්ට දියරයක් යෝනි මාර්ගය ඔස්සේ ගර්භාෂයට ඇතුළු කර ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීම සිදුකරයි. ඊට අමතරව Laparos copy ක්‍රමයටද පැලෝපීය නාල පරීක්ෂා කළ හැක. එහිදී ගර්භාෂයට ඩයි විශේෂයක් යවා පෙකිණිය අසලින් කැමරාවක් ඇතුළු කර පැලෝපීය නාල නිරීක්ෂණය      කිරීම සිදුවෙයි. එහෙත් මේ ක්‍රම සියල්ලන්ගෙන්ම විමසා බැලිය හැක්කේ පැලෝපීය නාලවල අවහිරතාවක් තිබේද යන්න පමණි.

අවහිරතාවක් නොමැතිව පැලෝපීය නාල තුළින් ඩයි ගමන් කළද, නාල තුළ ඇති අභ්‍යන්තර තත්ත්වයන් විනාශ වී ඇතිනම් එවැනි කාන්තාවනට පිළිසිඳ ගැනීම් ඇතිවන්නේ නැත. ද්විතිය නිසරු බවට හේතුව පැලෝපීය නාලවලට සිදුවූ හානියක් නිසා හෝ ඒ ආශ්‍රිත රෝගි තත්ත්වයක් නිසා අභ්‍යන්තර ව්‍යුහයේ වෙනස් වීමක්දැයි දැනගැනීමට Falloposcopy නමැති පරීක්ෂණය සිදුකරයි. එහිදී ගර්භාෂය තුළින් පැලෝපීය නාලයට සියුම් කැමරාවක් යවනු ලබයි. එම පරීක්ෂණ ලංකාවේ සිදුවන බවක් දැනගන්න නැත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.