lakbima.lk

වැලට අහුවෙන සහරාන්ගේ ගෝලයෝ

පාස්කු ඉරු දින ඛිෙදවාචකයට ඉකුත් 21දාට මසක් පිරුණේය. මසක් ගත වූවද ඒ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය නමැති බෝම්බයේ අංශු තවමත් රටපුරා ජනහදවත් තුළ විසිරී ඇත්තේය. ‍පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ පැය විසිහතර පුරාම විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත්තේ කුඩා අංශු එක් වී තවත් බෝම්බයක් පිපිරවීමට පෙරය.

දිනෙන් දිනම කෙරෙන සෝදිසි මෙහෙයුම්වලින් විවිධ ප්‍රදේශවලින් අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය මෙන්ම තවුහිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම්ට සම්බන්ධ ප්‍රබල පුද්ගලයන් අත්අඩංගුවට පත්වන්නේය.

ඉකුත් 18 දා කුරුණෑගල ‍පොලීසිය මගින් අලවතුගොඩ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් නිලධාරියකු අත්අඩංගුවට පත් විය. පසුව හෙළි වූයේ ඔහු මරාගෙන මැරුණු බෝම්බකරු සහරාන්ගේ සමීපතමයකු බවයි.

මෙම පුද්ගලයා පදිංචිව සිටියේ මහනුවර, අලවතුගොඩ, මාවතු‍පොළය. 2006 වසරේදී පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සුචිගත කරන්නකු ලෙස පාර්ලිමේන්තු රාජකාරියට මොහු එක් වී තිබේ. මොහු පිළිබඳ තොරතුරු ‍පොලීසියට ලැබි තිබුණේ අත්අඩංගුවට පත් වූ තවත් සැකකරුවකු හරහාය.

කුරුණෑගල අලපලාදෙණිය ‍පොල් ඉඩමක සහරාන් විසින් පුහුණු කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබුණේ කුරුණෑගල ‍පොලීසියටය. එම තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වූ ‍පොලීසිය එකී ඉඩමට ගොස් පරීක්ෂා කර පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්තේය. ඒ ඉකුත් 9දාය.

අලපලාදෙණිය, දඹුලු පාර පදිංචි ඉඩමේ හිමිකරු සමග තල්ගස්පිටිය, අඹකොටේ පදිංචි මෙම පුහුණු වැඩසටහන් සම්බන්ධීකාරකවරයකු හා මෙහි දේශකයකු වූ තිහාරිය, නුවර පාර පදිංචි පුද්ගලයකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 24දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඔවුන්ගෙන් හෙළි වූ කරුණු මත තවත් පුද්ගලයන් දෙදෙනකු ඉකුත් එකළොස් වැනිදා කුරුණෑගල ‍පොලීසිය අත්අඩංගුවට ගත්තේය.

ඒ කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේ ඊ.සී.ජී. යන්ත්‍ර ශිල්පියකු ලෙස සේවය කළ තල්ගස්පිටිය, අඹකොටේ පදිංචිකරුවකු හා හාලි ඇල්ල, අඹකොටේ පදිංචිකරුවකි. හාලිඇල්ල පුද්ගලයා සතුව තිබූ චෙක්පත් විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමටද මෙහිදී ‍පොලීසියට හැකියාව ලැබුණි.

ඔවුන් දෙදෙනා රඳවාගෙන වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී හැන්සාඩ් නිලධාරියා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. මොහු දීර්ඝ කාලයක් තිස්සේ සහරාන් සමග සබඳතා පවත්වා ඇති බවත් ඔවුන්ගේ දේශනවලට සහභාගි වී ඇති බවද ‍පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.

මොහු කුරුණෑගල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 90ක රැඳවුම් නියෝග ලබා ගත් ‍පොලීසිය ඔහුද රැගෙන ඉකුත් 21දා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ගියේය. එහි ගොස් මෙම සැකකරු භාවිත කළ පරිගණකය, ලිපි ‍ලේඛන ආදී සියල්ල පරීක්ෂාවට ලක්කර තිබේ. පැය දෙක හමාරක පමණ කාලයක් මෙසේ පරීක්ෂා කර ඇති අතර එහිදී එම්.එස්. ෆවුන්ඩේෂන් යන පදනමට මුදල් ලක්ෂ ගණනින් බැර කරන ලද රිසිට්පත් රැසක් සොයා ගෙන ඇත. එම්.එස්. ෆවුන්ඩේෂන් යන්නෙන් හැඳින්වෙන්නේ මොහොමඩ් සහරාන් යන නම විය හැකි බව ‍පොලීසිය සැක පළ කරනු ලබයි.

ඒ අනුව මේ වන විට කුරුණෑගල ‍පොලීසිය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හැන්සාඩ් නිලධාරියා පිළිබඳ එසේ අනාවරණය වෙද්දී කල්මුණේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට පත්වූයේ සහරාන් හෂීම්ගේ තවත් ප්‍රබල අනුගාමිකයෙකි. කල්මුණේ සියාම් නම් වූ සහරාන්ගේ ප්‍රධාන සංවිධායකයා ලෙසද කටයුතු කළ අයෙක් බව කියැවේ. ඉකුත් 26දා සයින්තමරුතු, බෝලිවියානු සුනාමි ගම්මානයේදී නිවසකදී මරාගෙන මැරුණු සහරාන්ගේ දෙමාපියන් ඇතුළු ඥාති පිරිස වෑන් රථයකින් එම නිවසට රැගෙන ගොස් තිබුණේද මොහුගේ ආධාර ඇතිව බව අනාවරණය වී තිබේ. මොහුත් සමග ඊට සම්බන්ධ වූ තවත් පුද්ගලයන් සිවුදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබූ අතර වළදමා තිබූ සංයුක්ත තැටි 31ක්ද එහිදී සොයා ගැනුණි.

සහරාන් හෂීම් ලබාදෙන මුදල්වලින් හොරොව්පතාන ප්‍රදේශයේ තවුහිද් ජමාත් සංවිධානය පුළුල් කිරීමේ කටයුතු කළ මුස්ලිම් විදුහල් දෙකක විදුහල්පතිවරුන් දෙදෙනකුද අත්අඩංගුවට පත්වූයේ ඉකුත් 17දාය. මින් එක් අයෙක් වැඩබලන විදුහල්පතිවරයෙකි. මොවුන් සහරාන්ගේ දේශනවලට සහභාගි වී ඇති අතර සහරාන් හා ඉල්හාම් අහමඩ් හොරොව්පතාන ප්‍රදේශයට පැමිණ මොවුන් හමුවී ඇති බවද තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයකු බේරුවල - දර්ගා නගරයේදී අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 27දාය.

ඒ අලුත්ගම ‍පොලීසිය විසින් මෙම මොහොමඩ් බසීර් නමැති මෙම පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී සහරාන් හෂීම් සමග සබඳතා පවත්වා ඇති බව තහවුරු වීම නිසා ඔහුව ඉකුත් 21දා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත භාරදෙනු ලැබුණි.

සහරාන් ඔහුගේ දේශනවලින් දිවයින පුරාම නගරවල සිය අනුගාමිකයන් බිහිකර ඇති බව මෙම අත්අඩංගුවට ගැනීම් ඔස්සේ හෙළි වී තිබේ. වත්තල මාබෝල ප්‍රදේශයේදීද කෝටිපති  ව්‍යාපාරිකයකු ඉකුත් දා අත්අඩංගුවට පත්වූයේද සහරාන් සමග මෙන්ම පාතාලයේ පුද්ගලයන් සමගද සබඳතා පවත්වන බවට බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට ලද තොරතුරක් මතය.

මොහොමඩ් රිස්වාන් නම් එම සැකකරු කෝටිපති ව්‍යාපාරිකයකු විය. 2009දී ත්‍රිරෝද රථ රියැදුරකු වූ ඔහු මේ වන විට සුවිසල් නිවාස දෙකක හිමිකරුවකු වේ. ඔහුට එතරම් මුදලක් එකවර ලැබුණේ කෙසේද යන්න ගැටලුවක් බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

මෙලෙස රටපුරා කෙරෙන සෝදිසි මෙහෙයුම්වලින් මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් ගණන ඉකුත් 22දා වන විට 89කි. ඉන් විසිදෙනෙකු සිටින්නේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේය.

සහරාන් හෂීම්ගේ බලා‍පොරොත්තුව වී ඇත්තේ 2021 වන විට ඔවුන්ගේ අනුගාමිකයන් පමණක් සිටින ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීමය. නමුත් එම බලා‍පොරොත්තුව ඉටුකිරීමට දැන් ඔහුගේ අනුගාමිකයන්ට නොහැකිය. මක්නිසාද මේ වනවිටත් ඒ අනුගාමිකයන්ගෙන් බහුතරයක් සිටින්නේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ බැවිනි.

 ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.