lakbima.lk

මුස්ලිම් නෙවේ කියල අපිව පාකිස්තානයෙන් එළෙව්වා මුස්ලිම් කියල ලංකාවෙන් එළවන්න හදනවා

 

අපිව පාකිස්තානයෙන් එළෙව්වෙ අපි මුස්ලිම් නමෛයි කියලයි, අපිව ලංකාවෙන් එළවන්න හදන්නෙ අපි මුස්ලිම් කියලාි ඔහු තාරික් මොහොමඩ් ය. ඔහු මේ බව කීවේ, ප්‍රංශයේ ඇසෝසියේටඩ් පේ‍රස් ආයතනයේ මාධ්‍යවේදියකු වෙත අදහස් දක්වමිනි. කඳුළු පිරුණු ඇස්, ගොත ගැහෙන වදන් අපට කියාදෙන්නේ උපන් බිමෙන්  ප්‍රතික්‍ෂේප වී, රැකවරණය පතා පැමිණි රට තුළදීද ඔවුන් කෙතරම් අසරණ වී ඇත්ද යන්න ය.

ඔහු ඇතුළු පාකිස්තානු මුස්ලිම්වරු  ලංකාවට එන්නේ  සරණාගතයන් ලෙසින් ජාත්‍යන්තර  රැකවරණය  පතාගෙනය.  එහෙත් දැන් ඔවුන්ට සිදු වී ඇත්තේ කබලෙන් ලිපට වැටෙන්නට ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග බියෙන් ඇළලී ගිය  මෙරට  ජනතාව  තම ගම්බිම්වල මේ සරණාගතයන් තබා ගන්නට ද බිය වූහ. එහි ප්‍රතිඵලය වූයේ ඔවුනට රැකවරණය පතා ආ බිමක යන එන මං නොමැතිව අසරණයන් වන්නට සිදුවීමය.

පාකිස්තානය ඉස්ලාම් රාජ්‍යයකි. එහි බහුතරය සුන්නි මුස්ලිම්වරුන් ය. එහි ජීවත්වන හින්දු, ක්‍රිස්තියානි, හා අහමදියා මුස්ලිම්වරු සුළුතර කණ්ඩායම් ය. විටින් විට දැඩි පීඩනයන්ට මුහුණ  දෙන්නට  ඔවුන්ට  සිදු වී ඇත්තේ මේ නිසා ය. පාකිස්තානයේ මේ සුළුතරය එක්කෝ ඉස්ලාම් ධර්මයට බලහත්කාරයෙන් බඳවාගෙන ය.  නැත්නම් ඝාතනයට ලක්කොට හෝ රට අත්හැර යාමට බලකර ඇත. මේ සුළුතරය තම උපන්බිම තුළ විටින් විට පහරදීම් ගණනාවකට මුහුණ දුන්හ. දෙදහස් දහහතේ දෙසැම්බර් මාසයේ පල්ලියකට පහර දීම ඉන් එක් අවස්ථාවකි. එමඟින් නවදෙනෙකු ඝාතනයට ලක්වූ අතර පනස් හත් දෙනෙක් ආබාධිත වූහ. දෙදහස් දහසයේදී පාකිස්තානු ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් ක්‍රීඩාපිටියකට ප්‍රහාරයක් එල්ල කෙරුණේ පාස්කු ඉරිදාවකය. ඒ ස්වයං ඝාතක බෝම්බයට හසු වී හැත්තෑ දෙනෙක් මියගියහ. තුවාල ලැබූවෝ තුන්සියය ඉක්මවූහ. දෙදහස් නවයේදී අන්තවාදීහු පිරිසක් පන්ජාබ්හි ගොජ්රා නගරයේ නිවාස හතළිහක් පමණ ගිනිතබා විනාශ කළහ. දෙදහස් පහළොවේදීත්, දෙදහස් දහතුනේදීත්, මේ ආකාරයෙන්ම බෝම්බ ප්‍රහාරවලට ලක්වෙන්නට ඔවුන්ට සිදුවිය. මේ සුළුතරය පහරදීම්වලට ලක්වෙන්නේ කුරාණයට අපහාස කිරීම, අල්ලාහ් දෙවියන්ට හෝ මුහම්මද්තුමාට අපහාස කිරීම වැනි චෝදනාවලට ලක්වෙමිනි.

මොවුන් පාකිස්තානයෙන් පළා එන්නේ මේ පීඩනයන් දරාගන්නට නොහැකි වූ තැන ය. බොහෝ හින්දුවරු ඉන්දියාවට පළා ගියහ. ශ්‍රී ලංකාවට මේ වෙද්දී පැමිණි සරණාගතයන්ගේ ගණන එක්දහස් හයසිය හැත්තෑ අටක් බව  විදේශ  කටයුතු  අමාත්‍යාංශයේ සංඛ්‍යා‍ලේඛන අනාවරණය කරන්නේ ය.

ඒ අතරේ දරුදැරියෝද එකසිය පනහක් පමණ වෙති. ඔවුන් රැකවරණය පතා ලංකාවට පැමිණෙන්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂණය මත, ඔවුන් මෙරට රැඳුණේ, කවදා  හෝ  දිනෙක ලංකාවෙන් පිටවී ගොසින්, සරණාගතයන් භාරගත හැකි රටක නීත්‍යනුකූල දේශපාලන සරණාගතභාවය ලබාගැනීමේ බලා‍පොරොත්තුවෙ දෑස් දල්වාගෙනය. ඒ දිනය එන තෙක් බියකින් සැකයකින් තොරව තම දරුමල්ලන්ද සමගින් දිවි ගෙවන්නට ලංකාව තුළ ඉඩක් වේයැයි ඔවුන් සිහින මවන්නට ඇත. ඔවුන් විදෙස් මාධ්‍යයන්ට පවසා තිබුණේ ශ්‍රී ලංකාව තුළ තමන්ට ආරක්ෂාකාරී හැඟීමක් දැණුන බවය. එහෙත් පාස්කු ඉරිදා මෙරට දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරවලින් ඔවුන්ගේ සිහින ඉරිතලා ගියේ ය.

ජාතියක් ලෙසින් ශ්‍රී ලාංකිකයෝ ආගන්තුක සත්කාරයට ළැදියාව ඇත්තෝ ය. එහි කිසිදු සැකසංකාවක් නැත. පාකිස්තානයෙන් පිටවී සරණක් පතා ශ්‍රී ලංකාවට එද්දී ලාංකිකයෝ ඔවුනට සහෝදරත්වයේ දෑත් දිගු කළේ ඒ නිසා බවට විවාදයක් නැත. එසේ වූ අපම සරණ පතා ආ උන් ගෙයින් එළියට ඇද දමන්නේ කෙසේ දැයි මොහොතකට සිතිය යුතුව ඇත. මේ ගිනිපුපුර මුලින්ම පත්තු වූයේ මීගමුවෙනි. ඒ, පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුවය. දරුණු ගණයේ ප්‍රහාරයක වේදනාවෙන් බරිත  වූවන්ගේ  පීඩාව හඳුනාගන්නට බැරිකමක් නැත. එහෙත් මුහුණත් සමග තරහට නහය  කපා  ගන්නවා සේ,  රැකවරණය පතා ආ මුස්ලිම් සරණාගතයන්ගෙන් ඒ තරහ පිරිමහ ගන්නට යත්න දැරීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි කාරණාවකි.

අපි පාකිස්තානයෙන් පිටවෙලා ලංකාවට ආවෙ ලංකාවෙ අපිට ආරක්ෂාකාරී හැඟීමක් තිබුණ නිසයි. ඒත් අද ලංකාවෙනුත් අපිට ඒ බයම ඇතිවෙලා. පාකිස්තානයේදී වගේම ලංකාවෙ අපි හිටපු නිවසෙනුත් එළියට ඇදල දාන්න මිනිස්සු එකතු වෙලා මේ තත්ත්වයට මුහුණ දුන් සරණාගතයකු තම අත්දැකීම සිවිල් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දුට පවසා තිබුණේ එලෙසිනි. අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයසැති දරුවන් දෙදෙනෙක් හා සිය බිරිඳ සමග ඔහු වාසය කර ඇත්තේ මීගමුවේ කුලී නිවෙසකය. ඒ, එක්සත් ජාතීන්ගේ හා ශ්‍රී ලංකා රජයේ නිරීක්ෂණය මැද සරණාගතයකු ලෙසිනි.

ඔවුන් ඊළඟට ඔවුන් ගෙන ගියේ අතුරුගිරියට ය. එහෙත් සරණාගතයන්ට රැකවරණය දෙන්නට අතුරුගිරියේද සූදානමක් තිබුණේ නැත. ඉකුත් අටවෙනිදාවේ අම්බලන්තොට නගරයේ සියලු වෙළෙඳසල් වසා දමමින් එහි ජනතාව හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කළේ, මෙරට රැඳී සිටින පාකිස්තානු සරණාගතයන් පිරිසක් හම්බන්තොට රිදියගම නිවර්තන නිවසට රැගෙන ඒමට විරෝධය පළ කරමිනි. ඒ නිසා අද වෙද්දී මේ සරණාගත පිරිස පස්යා‍ලේත්, මීගමුවේත් තාවකාලික නිවාසවල ‍පොලිස් ආරක්ෂාව මැද්දේ දිවි ගෙවන්නේ අපා දුක් විඳිමිනි.

ඇතැමුන් දැන් නගන තර්කය වෙන්නේ ශ්‍රී ලංකාව තුළ මේ තරම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබියදීත් මේ සරණාගත ප්‍රශ්නය විසඳන්නට ආණ්ඩුව කිසිවක් නොකරන බවය. මේ පිරිස යළි කෙදිනක හෝ නැවත යවා ගන්නට හැකියාවක්  නොලැබෙනු ඇතැයි මත පළ කරන්නෝද සිටිති. එහෙත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, ඔවුන්ට මෙහි දිගුකාලීනව  රැඳී  සිටීමේ  කිසිදු  වුවමනාවක්  නොමැති බවයි.  අනෙක් අතට  විදේශ  සරණාගතයන්ට  ලංකාවේ  දොරටු  විවර  වෙන්නේ,  සරණාගතයන්ට  ජාත්‍යන්තර  ආරක්ෂාව සහ රැකවරණය ලබා දීමට අදාළව  දෙදහස් පහේදී එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සමග  විදේශ  කටයුතු  අමාත්‍යංශය ඇතිකරගෙන තිබෙන එකඟතාවකට අනුවය. එහෙත්  විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ රැකවරණය පතා මෙරටට පැමිණෙන කිසිදු සරණාගතයකු මෙරට පදිංචි කරන බවක් ඉන් හැඟවෙන්නේ නැති බවයි.

එක්සත් ජාතීන්ගේ සරණාගත මහකොමසාරිස් කාර්යාලය ඔවුන් මෙහි කැඳවාගෙන ආයේ, සරණාගතභාවය නීත්‍යනුකූලව ලබා දිය හැකි රටක ඔවුන් පදිංචි කරවන තෙක් පමණි. ඔවුහු අද වන විටත් ඒ සඳහා වෙහෙසෙමින් සිටිති. එහෙත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එතෙක් ඔවුන් රැක බලා ගැනීම ශ්‍රී ලාංකික අපගේ වගකීම බව අපට අමතක කළ නොහැකිය.

එහෙත් අද වෙද්දී අප ප්‍රතික්‍ෂේප කළ මේ සරණාගත පිරිසගේ තත්ත්වය බොහෝම නරක ය. සරණාගත කඳවුරුවල ඔවුන්ගේ දරුවන්ට පවා අවම පහසුකම් හෝ නැත. ඒ නිසාම මේ බොහොමයක් පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොසිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුනට අවැසි ආහාරපාන ලබා දෙන්නේ ය. එහෙත් ඒ සියල්ලට ම වඩා ඔවුන්ගේ මානසික තත්ත්වය අන්තයටම පිරිහී ගොසින් ය. උපන් රටෙනුත්, රැකවරණය පතා ආ රටෙනුත් තමන් ප්‍රතික්‍ෂේප වූවාය යන හැඟීම දිවා රෑ ඔවුහු පෙළෙන්නෝ ය. එය වඩාත් බරපතළය. වසර ගණනාවක යුද්ධයෙන් පීඩා විඳ අහවර දරුණු ත්‍රස්ත ප්‍රහාරයකට ද මුහුණ දුන් අපට යුද්ධයේ බිහිසුණු බව හෝ ප්‍රහාරයේ වේදනාව ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ තුළින් වන අසරණභාවය ගැන කියාදෙන්නට වුවමනාවක් නැත. ඔවුන්ද එකී ප්‍රහාර ගණනාවකින් බැට කා පීඩිත වූ මිනිසුන් ය. එබැවින් සැකයේ අඳුරු මායාවෙන් මිදී, සානුකම්පිත දෑසින් ඔවුන් දෙස බලන්නට අපි ඔබට ආරාධනා කරන්නෙමු.

 ගයාත්‍රි ගීගනආරච්චි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.