lakbima.lk

තරුණයකු අතුරුදන් කර වසර 11ක් නිදැල්ලේ සිටි ඒ.එස්.පී.

පොලිස් නිලධාරීන් විසින් රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරික තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කෲර වධ හිංසාවට ලක්කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූයේ ඉකුත් පෙබරවාරි මාසයේය.

ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ‍පොලිස් නිලධාරියා වූයේ  දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ‍පොලිස් පරීක්ෂක කපිල නිශාන්තය. එමෙන්ම එහි ස්ථානාධිපතිවරයා ඇතුළු එම ඒකකයට අනුයුක්ත තවත් ‍පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට පත් වූයේද එම ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙනි.

ඒ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනවලට අනුවය. එම නිලධාරීන් අත්අඩංගුවට ගෙන මාසයක් පමණ ගතවූ තැන පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ තවත් සිදුවීමක් පිළියන්දලින් හෙළිවිය. මේ අතුරුදන් කිරීමටද සම්බන්ධ වී සිටින බව කියන්නේ ‍පොලිස් නිලධාරීයෙක්වීම මෙහි ඇති විශේෂත්වයයි. ඒ  මන්නාරම සහකාර ‍පොලිස් අධිකාරි උපුල් දයාප්‍රිය අලවත්ත (47) නමැති නිලධාරියාය.

අපරාධ පරීක්ෂණ   දෙපාර්තමේන්තුව පසුගිය 01 වැනිදා එම අතුරුදන් කිරීමට සැකපිට සහකාර ‍පොලිස් අධිකාරීවරයා අත්අඩංගවට ගත්තේය.

උපුල් අලවත්ත නමැති සහකාර ‍පොලිස් අධිකාරිවරයා මෙම ධුරයට උසස්වීම් ලැබූයේ ඉකුත් වසරේ අගභාගයේදීය. ඒ අතුරුගිරිය ‍පොලිස් ස්ථානාධිතිවරයා ලෙස රාජකාරි කරමින් සිටියදීය. උසස්වීම් ලබා ඔහු ගියේ මන්නාරමටය.
ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක- වරයකු ලෙස දිවයිනේ ප්‍රදේශ රැසක ‍පොලිස් ස්ථානාධිපති ධුරය හොබවා ඇති මොහු 2008 වසරේදී රාජකාරි කරමින් සිටියේ පිළියන්දල ‍පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසය.

දෙදහස් අට වසරේ දෙසැම්බර් තිස්එක් වෙනිදා පිළියන්දල ‍පොලීසියේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි ‍පොලිස් සැරයන් කමල් ඇතුළු ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු ‍පොලිස් ස්ථානාධිපති උපුල් අලවත්ත  වෙත රැගෙන ගියේය.

‍පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ අජිත් සුනන්ද කණ්ඩම්බි යන තැනැත්තෙකි.

ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ පිඟන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ හැරී ගමගේ නමැත්තාගේ නිවසට පැන මුදල් සොරකම් කිරීමේ වරදකට සැකපිටය. මෙම අජිත් සුනන්ද නමැත්තා අත්අඩංගුවට පත් වූ දිනට පසුදින ඔහුගේ බිරිඳ වූ ‍පොල්හේන, මඩපාත පදිංචි ප්‍රියන්ති ගුණසේකර සිය සැමියා බැලීිමට පිළියන්දල ‍පොලීසිය වෙත ගියාය. ඇය දුටුවේ ‍පොලීසියේ සිරමැදිරිය අසල බංකුවක වාඩි වි සිටි අජිත්වය. ඔහුගේ මුහුණින් දිස් වූයේ දැඩි වෙහෙසකර බවකි.

“මගේ දෙයියනේ, මොකද මේ” ඇය විමසීය.

“මට ගැහුවා හරියට. ඉන්න අමාරුයි” ඔහු කෙඳිරිය. එහෙත් ප්‍රියන්තිට කළ හැකි කිසිවක් නොවීය. ඇය කෑම පාර්සලයදී පිටව ගියාය.

පිඟන් සංස්ථාවේ සභාපතිවරයකුව සිටි මාකවිට ගමගේ දොන් හැරී නමැත්තාගේ නිවසේ මෙහෙකරු වූයේ අජිත් සුනන්දය. ඔහු රුපියල් ලක්ෂයක මුදලක් රැගෙන ගොස් ඇති බව මාකවිට ගමගේ දොන් හැරී විසින් පිළියන්දල ‍පොලීසියට පැමිණිලිකර තිබුණි. අජිත් සුනන්ද අත්අඩංගුවට ගෙන තිබුණේ එම පැමිණිල්ලට අනුවය.

පසුදා, එනම් ජනවාරි පළමු වැනි දිනත් අජිත් සුනන්ද ‍පොලීසියේ සිටිනු දුටු ‍පොලිස් සැරයන් කමල්,  ‍පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ගොස් “චීෆ් අර ඇකියුස්ට මොකද? කරන්නේ” යැයි ඇසීය.

“ආහ්, ඒක ක්‍රයිම් කේස් එකක්නේ. එයාලට දෙනවා” යැයි ‍පොලිස් ස්ථානාධිපතිවරයාගේ පිළිතුර විය.
එහෙත් සැකකාර අජිත් සුනන්ද තවත් දින දෙකක් ‍පොලිස් සිර මැදිරියේ සිටියේය. එසේ සිටි ඔහු පිළියන්දල ‍පොලීසියේ සිල්වා නමැති නිලධාරියා හා ‍පොලීසියෙන් පිටතට පැමිණ මාකවිට ගමගේ දොන් හැරී නමැත්තාගේ සුදු පැහැති මෝටර් රථයෙන් ‍පොලීසියෙන් බැහැර යන අයුරු අජිත් සුනන්දගේ ඥාතියකු දැක්කේය.

මේ පිළිබඳ අජිත් සුනන්දගේ ඥාතීන් ‍පොලීිසියෙන් විමසූ අවස්ථාවේදී කියා තිබුණේ ඔහු හැරී ගමගේගේ ගෙදරින් සොරකම් කළ රන්බඩු පෙන්වීම සඳහා රැගෙන ගිය බවයි.

එසේ  පිළියන්දල ‍පොලීිසියෙන් රැගෙන ගිය අජිත් සුනන්ද යළි කිසිදා ‍පොලීසියට නැවත ගෙන ආවේ නැත. ගෙදර ගියේද නැත. ඥාති ගෙදරකට ගියේද නැත.

මෙසේ පිළියන්දල ‍පොලීසියේ සිටියදී අජිත් සුනන්ද  අතුරුදන් විමේ සිද්ධිය පිළිබඳ පැමිණිලි කිරීමට තමන් පිළියන්දල ‍පොලීිසියට හා ගල්කිස්ස ‍පොලීිසියට ගියද එකී පැමිණිලි භාර නොගත් බව අජිත් සුනන්දගේ බිරිඳ පවසයි.ඉන් අධෛර්යමත් නොවූ ඇය මේ පිළිබඳ මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිලි කර සිටියාය. එහිදී පිළියන්දල ‍පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් හැත්තෑපන්දහසක් ගෙවීමට නියෝග වී තිබේ.

ඉන් නොනැවතුණු අජිත් සුනන්දගේ බිරිඳ 2009 වසරේදී මේ සම්බන්ධව ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ  ජනාධිපති සම්බන්ධීකරණ ‍ලේකම්වරයකු වූ වජිර ඉරුගල්බණ්ඩාර වෙත දන්වා සිටියාය. ඔහු මේ සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ‍ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ වෙත සැලකර  සිටියේය. ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ සෙවීමට ‍පොලිස්පතිවරයා වෙත පැමිණිල්ල යොමු කළේය.

ඒ අනුව ‍පොලිස්පතිවරයා විසින් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර සිටියේය. අපරාධ පරීක්ෂණ   දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ‍පොලිස් පරීක්ෂක උදය කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙහි මුල සිට පරීක්ෂණ කටයුතු ඇරඹූහ.

එහිදී අජිත් සුනන්දගේ බිරිඳ වූ ප්‍රියන්ති ගුණසේකර සඳහන් කර සිටියේ 2008-12-24 වෙනි දින සිය සැමියා වැඩකළ නිවසේ හිමිකරු වූ මාකවිට ගමගේ දොන් හැරී  සිය නිවසට පැමිණ සැමියා ගැන විමසා සිටි බවය.
අජිත් සුනන්ද තමාගේ නිවසේ රුපියල් ලක්ෂයක් රැගෙන ගොස් ඇති බවත් නිවසට පැමිණියහොත් ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලා දුරකථන අංකයක් ලබා දුන් බවත් ඇය එහිදී ප්‍රකාශ කර තිබිණි.

2008-12-31 වෙනි දින සැමියා නිවසට පැමිණි අවස්ථාවේ ඇය මාකවිට ගමගේ දොන් හැරි  වෙත සැමියා නිවසට පැමිණි බව දන්වා තිබේ. ඒ අනුව ඔහු පිළියන්දල ‍පොලීසියේ ‍පොලිස් නිලධාරීන් සමග පැමිණ සිය සැමියාව ‍පොලීසියට රැගෙන ගිය බවද ඇය ඇය ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධව එදින 31 රාත්‍රියේ සේවය කළ ‍පොලිස් නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෙම විමර්ශනයට අදාළව සැකකරුවන් හත්දෙනකු නම් කෙරුණි.
‍පොලිස් නිලධාරීන් වන අගුල්මඩුව විදානලාගේ කමල්,  හේරත් මුදියන්සේලාගේ උපුල් රන්ජන් ස්ටැන්ලි අමරසේකර, විජයමුණිගේ අසංක ශාමල්, විශ්‍රාමික උප ‍පොලිස් පරීක්ෂක වීරකොන්ඩ ආරච්චිගේ ජයන්ද සිල්වා, මාකවිට ගමගේ දොන් හැරී, කටුවාවලගේ දොන් ප්‍රසන්න නොහොත් ඩීන් හා ‍පොලිස් නිලධාරී නවරත්න යන අය මෙසේ සැකකරුවන් ලෙස නම් කෙරුණි.

ඉන් පළමු තිදෙනා මේ සම්බන්යෙන් අත්අඩංගුවට පත්ව මේ වනවිට සිටින්නේ ඇප මතය. තවත් තිදෙනෙක් සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවය. කටුවාවලගේ දොන් ප්‍රසන්න නොහොත් ඩීන් නමැත්තා බන්ධනාගාර ගතව සිටියදී මියගියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට ‍පොලිස් ස්ථානාධිපතිව සිටි ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක  උපුල් අලවත්තගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වරින් වර අවස්ථා පහකදී ප්‍රකාශ ලබා ගත්තේය. අවසන් වරට ප්‍රකාශයක් ලබා ගත්තේ ඉකුත් 01 දා වන අතර එහිදී ඔහු රහස් ‍පොලිස් නිලධාරින් අත්අඩංගුවට පත්වූයේ අජිත් සුනන්දගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මොහු දැනුවත් වී සිටි බව අනාවරණය කර ගැනීමෙන් පසුවය.

ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.