lakbima.lk

මේ රස්නය මරණයෙන්ද කෙළවර විය හැක

අධික උෂ්ණත්වය දරා ගන්නට නොහැකිව තම නිවෙස්වල වහල මත රාත්‍රියේ නිදා ගන්නා මිනිසුන් පිළිබඳව අප මතෛක් අසා තිබුණේ අසල්වැසි ඉන්දියාවේ ය. එලෙස වහල මත නිදා ගන්නා නිසා ම උඩින් බිමට වැටී අනතුරුවලට ලක් වූවෝ ද එරට ඕනෑ තරම්ය. එපමණක් නොවේ, ශරීරයට දැනෙන අධික උෂ්ණත්වය දරා ගත නොහැකිව සෑම වසරක දී ම ඉන්දියාවේ සැලකිය යුතු පිරිසක් මිය යති. තව ටික දිනකින් ලංකාවේ තත්ත්වය ද ඒ වගේම වෙතැයි සිතෙන්නේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ සුළඟේ වේගය අඩුවීම, මේ දිනවල පවතින අධික උෂ්ණත්වයට ප්‍රධාන හේතුව බවයි. ඊට අමතරව වායුගෝලීය ජල වාෂ්ප ප්‍රමාණය වැඩිවීම නිසා මෙම අධික රස්නය අපේ ශරීරයට දැනෙන ප්‍රමාණය වැඩි වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකිකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය පවසන්නී ය. දහදිය දැමීමෙන් ශරීරයට මහත් අපහසුවක් දැනෙන්නේ, එලෙස වායුගෝලයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වීම නිසා ය. සාමාන්‍යයෙන් වැඩිපුර රස්නය දැනීමේදී ශරීරය උත්සාහ ගන්නේ, වැඩිපුර දහදිය පිටකිරීම තුළින් ශරීරය සිසිල් කරගැනීමට ය. එහෙත් වාතයේ ජලවාෂ්ප සාන්ද්‍රණය වැඩි වීමත්, සුළඟේ වේගය අඩුවීමත් නිසා සිරුරේ දහදිය වාෂ්ප වීමට ඉඩක් නැත. එවිට සිදුවෙන්නේ දහදිය ශරීරය දිගේ බේරීමයි. මේ කාරණා නිසා තමයි, අපිට දැනෙන රස්නය වගේ ම ශරීරයෙන් පිටවෙන දහදිය ප්‍රමාණය වැඩි. ඒ වගේම ශරීරයට දැනෙන අපහසුවත් වෙනදාට වඩා වැඩිවෙන්නේ ඒ නිසයි.

එමෙන් ම මේ දිනවල දහවල් කාලයේ පවතින්නේ, වලාකුළුවලින් තොර පැහැදිලි අහසකි. එමනිසා  හිරු එළිය හොඳින් ‍පොළවට පතිත වන අතර, ඒ හේතුවෙන් වායුගෝලය ආශ්‍රිත ‍පොළව හොඳින් රත්වෙන්නට පටන් ගනී. එමනිසා ඇඟට දැනෙන රස්නය ද වැඩි ය. ඒ වාගේ ම රාත්‍රී කාලයට ඇත්තේ වලාකුළු සහිත අහසකි. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ දී පෘථිවිය තාපය පිටකරමින් සිසිල් වීමට ඉඩ තිබෙන නමුත්, රාත්‍රි කාලයේ දී අහසේ වලාකුළු පවතින විට තාපය පිටවීමට බාධා ඇතිවේ. එවිට පෘථිවියේ සිසිල් වීම අඩු ය. මේ දිනවල රාත්‍රි කාලයේ දී ද වැඩි උෂ්ණත්වක් අපට දැනෙන්නේ එබැවිනි.

මේ නිසා ම මේ දිනවල දහවල් කාලයේ ගමන් බිමන් යන්නට බොහෝ දෙනා දක්වන්නේ, මැලිකමකි. දහවල් කාලයේදී පමණක් නොව, උදෑසන අට නවය පමණ පසුවන විට, එළිමහනට යාමට තබා, නිවසක් තුළ සිටීමට පවා නොහැකි තරම් අපහසුතාවක් අපේ ශරීරයට දැනෙයි. එකදිගට පතිත වන හිරු එළියේ රශ්මිය දරන්නට බැරි තරම් ය. උදෑසනේදී පවා එළිමහනට ගිය විට, “අප සිටින්නේ, ඉරට හැතැම්මයක් දුරින්” සිතෙන තරමට ම අධික උෂ්ණත්වයක් අපගේ සිරුරට දැනෙන්නට පටන් ගනී.

එමෙන් ම ශරීරයට දැනෙන මේ අධික රස්නය නිසා අපේ සෞඛ්‍යයට එල්ල වෙන්නේ ද බරපතළ ගැටලුවකි. සාමාන්‍යයෙන් උෂ්ණත්වය අඩුවැඩි වෙද්දී ඊට සරිලන ආකාරයෙන් ශරීරය පාලනය කර ගැනීම සඳහා සිරුරේ ක්‍රමවේදයක් පවතී. එහෙත් අධිකව

උෂ්ණත්වය ඉහළ යාමකදී සිරුරේ පවතින එම උෂ්ණත්ව පාලන හැසිරවීම බිඳවැටෙයි. අධික රස්නය සහිත දිනවලදී අප විවිධ වෙනස්කම්වලට භාජනය වෙන්නේ එහි ප්‍රතිඵල අනුව යැයි, ජාතික අක්ෂි රෝහ‍ලේ කායික රෝග සහ දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පවසන්නේ ය.

මෙහි උච්ඡතම අවස්ථාව හීට් ස්ටේ‍රා්ක් තත්ත්වයයි. විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් පුද්ගලයෙකු මරණයට  පත්වීම පවා  විය හැකි  බවයි. අව්වට වැඩිවශයෙන් නිරාවරණය වුණාම විජලනය ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. විජලනයත් එක්ක සිරුරෙ සියලු පද්ධතීන් ඇණහිටිනවා. හීට් ස්ටේ‍රා්ක් අවදානම මතුවෙන්නෙ මේ තත්ත්වයත් සමඟයි. ඔහු පෙන්වා දෙන්නේ ය.

ඔහු පෙන්වා දෙන්නේ, අධික ශීතල මෙන් ම අධික උෂ්ණත්වය ද ශරීරයට අහිතකර බලපෑම් එල්ල කරන බවයි. එමනිසා අධිකව උෂ්ණත්වය වැඩිවීමේදී අපස්මාරය වැනි රෝග තත්ත්වයක්  වුව ද ඇති වීමේ හැකියාව ඇත. එය ද මරණීය අවදානමක් පවා ඇතිකරන තත්ත්වයකි. එමනිසා අධික රස්නය නිසා ඇතිවන විජලනය මෙන් ම අහිතකර බලපෑම අවම කර ගැනීම සඳහා වැඩිපුර ජලය පානය කිරීමත්, හැකිතරම් අව්වට නිරාවරණය වීමෙන් වැළකීමත් මෙන් ම ළා පැහැ ඇඳුම් ඇඳීමත් වැදගත් වේ.

මේ තත්ත්වය වැඩි වශයෙන් බලපෑම් එල්ල කරන්නේ අව්වට වැඩිපුර නිරාවරණය වන පුද්ගලයන්ට ය. විශේෂයෙන් ම හමුදා  අභ්‍යාසවල  නිරත  වෙන්නන්  මෙන් ම ගොඩනැගිලි ඉදිකිරීම් ආදියෙහි නිරත වන්නන්ට මෙය වඩාත් අහිතකරව බලපෑ හැකිය. අනෙක් අතට දැන් එළැඹෙන්නේ අවුරුදු සමයයි. අවුරුදු කාලය වෙද්දී මේ උෂ්ණත්වය අඩු වේයැයි සිතිය නොහැක්කේ, පවතින තත්ත්වය සම්පූර්ණයෙන් සමනය වෙන්නේ ලබන මැයි අග නිරිත දිග වැසි මෝසම ස්ථාපිත වීමෙන් පසුව යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති බැවිනි. විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පෙන්වා දෙන්නේ, මේ නිසා අවුරුදු සමය වෙනුවෙන් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදීත්, මැයි දිනය නිමිති කරගනිමින් මැයි පෙළපාළි පවත්වද්දීත්, සංවිධායකයන් මෙන් ම ඊට සහභාගී වෙන්නන් ද මේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවය. මීට පෙරත් මේ කාලයේදී අධික රස්නයට වැඩිපුර නිරාවරණය වීමෙන් පුද්ගලයන් මිය ගිය බව ද අපි අමතක නොකළ යුතු ය.

ඉකුත්  වසරේ මැයි පළමුවැනිදා පැවැති එක් මැයි රැලියක් අතරතුරදී පුද්ගලයන් දෙදෙනෙකු මිය යාම එවැනි එක් සිදුවීමකි. ඔවුන්ගේ මිය යාමට හේතු ලෙස මුලින් ම සඳහන් වූයේ, අධික උෂ්ණත්වය හා තෙහෙට්ටුව ශරීරයට දරාගත නොහැකිව ඇතිවූ තත්ත්වයක් මත මෙම මියයෑම් සිදු වූ බව ය. ඊට අමතරව මැයි රැලිවලට සහභාගී වී සිටිය දී උණුසුමට ඔරොත්තු නොදීම නිසා රෝගී වූ තවත් කිහිප දෙනකු ම රෝහල්ගත වී ප්‍රතිකාර ලබාගෙන තිබිණි. අනෙක් අතට මැයි රැලියක් අතරතුර ඔවුන් එලෙස මිය යන්නේ, ඊට දින දෙකකට පෙරදී, පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මිය යාමට වුව ද හැකියාව ඇති බැවින් මැයි රැළිවලට සහභාගී වීමෙන් වැළකී සිටින ලෙස කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක 'ලක්බිම ඉරිදා සංග්‍රහයට' අදහස් දක්වමින් අනතුරු හැඟවීමක් ද කර තිබියදී ය. එහෙත් ලංකාවේ බොහෝ දෙනෙක් එවැනි  උපදෙස්  නොසිතන බව අපට සිතෙයි. මේ දිනවලද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විටින් විට අධික රස්නය පවතින ප්‍රදේශ පිළිබඳව දැනුම්වත් කරන අතර, ඒ සෑම අවස්ථාවකදී ම අව්වට නිරාවරණය වීමෙන් සෞඛ්‍ය බලපෑම් එල්ල වන බව ද පෙන්වා දෙයි. එහෙත් ඒ ගැන දැඩි අවධානයකින් කටයුතු කරන්නේ අතළොස්සක් දෙනා පමණි.

එහෙත් වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින තත්ත්වය අනුව මේ ගැන වැඩිපුර අවධානයක් යොමු කළ යුතු බවයි. විශේෂයෙන් ම අවුරුදු උළෙලවල්වලදී මැරතන් තරග, කොට්ටා‍පොර තරග  ආදිය  සංවිධානය කිරීම ද ඉතාම අවදානම්සහගත ය. සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ මේ දිනවල අව්වට වැඩි වශයෙන් නිරාවරණය වීම මෙන් ම වැඩිපුර දහදිය දමන කවර හෝ ක්‍රියාකාරකමක නිරත වීම අවදානම් සහගත බවයි. එමනිසා එක්කෝ මේ ක්‍රියාකාරකම්වලට සහභාගී නොවී සිටීම වැදගත් ය. නොඑසේ නම් එවැනි තරග හෝ මැයිදින පෙළපාළි සංවිධානය කිරීමේ කාලසීමාව හෝ පවත්වන ස්ථානය වෙනස් කිරීමට වගබලා ගත යුතුව ඇතැයි වරුණ ගුණතිලක අවධාරණය කරන්නේ ය.

එමෙන් ම අධික උෂ්ණත්වය හේතුවෙන්  වැඩි  බලපෑමක් එල්ල වෙන්නේ, වැඩිහිටියන්ට සහ ළමුන්ට ය. වෛද්‍ය වරුණ ගුණතිලක පෙන්වා දෙන පරිදි, ඔවුන්ගේ දේහ ස්වභාවය මෙන් ම එවැනි තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව අඩුකම ඊට හේතුවයි. එමනිසා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි බලපෑමක් ඔවුන්ට එල්ල විය හැකි ය. එබැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම ද වැදගත් ය. විශේෂයෙන් ම මේ දිනවල කුඩා දරුවකු හෝ වයස්ගත පුද්ගලයකු වාහනයක්   තුළ හෝ  එළිමහනේ  වැඩි  වේලාවක්  තනියම රඳවා සිටීම සුදුසු  නොවේ. විශේෂයෙන් ම කුඩා දරුවකු වාහනයක් තුළ තනිව සිටීමේදී තනියම එහි ජනේලයක් හෝ දොරක් විවෘත කර ගැනීමට ඔහුට නොහැකි වේ. එවිට වැඩි වේලාවක් රස්නයට නිරාවරණය වීම නිසා පෙර කී ආකාරයේ හීට් ස්ටේ‍රා්ක් තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැඩිය.

කාලගුණ විද්‍යා අනාවැකිකරණ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය පෙන්වා දෙන පරිදි, නැවත සාමාන්‍ය මට්ටමින්  වර්ෂාවක්  ලැබිය  හැකිවන්නේ ලබන අප්‍රේල් මැද පමණ වන විට ය. ඒ, අන්තර් වැසි මෝසම ස්ථාපිත වීමෙනි. එහෙත් සැලකිය යුතු වර්ෂාවක් ලැබෙන්නේ ලබන මැයි මස අගදී ය. මේ නිසා රටේ  විදුලිබල  සැපයුමට ද බාධා  එල්ල වී ඇත.  ලංකා  විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ, ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩු වී ඇති බැවින් ජල විදුලි ජනනය සියයට විස්සකින් පමණ පහළ බැස ඇති බවයි. මේ තත්ත්වයට විකල්පයක් ලෙසින් මාවුස්සාකැ‍ලේ ජල ‍පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව කෘත්‍රිම වැසි වස්සවන්නට ද විදුලිබල මණ්ඩලය පසුගියදා පියවර ගත්තේ ය. එහෙත් වැසි ඇතිකරන ආකාරයේ වලාකුළු වර්ධනය නොවීම මත ඒ කටයුත්ත ද අසාර්ථක වී තිබේ.

එබැවින් විදුලිය සැපයුම සීමා කරන්නට විදුලිබල මණ්ඩලය මේ වන විට පියවර ගෙන ඇත. එහෙත් මේ තත්ත්වයෙන් ද රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට වක්‍රව බලපෑම් එල්ල වන බව වරුණ ගුණතිලක පෙන්වා දෙන්නේ ය. ඒ, බොහෝ පළාත්වල විටින් විට විදුලි සැපයුම අඩාළ වීම නිසා ශීතකරණ පහසුකම් අඩාළ වීම හේතුවෙනි. එය වැඩි බලපෑමක් එල්ල කරන්නේ ඖෂධවල ගුණාත්මකභාවයට ය. සමහර ඖෂධ තිබිය යුත්තේ සෙල්සියස් අංශක විසිපහක් තරම් උෂ්ණත්වයකයි. ඒත්  මේ  දිනවල බොහෝ පළාත්වල පරිසර  උෂ්ණත්වය සෙල්සියස් අංශක තිහ ඉක්මවනවා. එය ඖෂධවල ගුණාත්මකත්වයට අහිතකර බලපෑම් එල්ල කරන්නක්.

විශේෂයෙන් ම ඉන්සියුලින් වැනි ඖෂධ ප්‍රශස්ත උෂ්ණත්වයක් තුළ පවත්වා ගත නොහැකි වීම තුළ එහි ඇති ක්‍රියාකාරී ගුණයට බාධා විය හැකි ය. ඊට අමතරව පිළිකා නාශක, විවිධ එන්නත් වර්ග ආදිය ද නියමිත උෂ්ණත්වයේම තබා ගැනීම අතිශය වැදගත් වේ. එහෙත් පරිසරයේ පවතින අධික උෂ්ණත්වය මෙන් ම විටින් විට විදුලි සැපයුම අඩු කරවීමට ද සිදුවීම නිසා ඖෂධවල ගුණාත්මකභාවයට වැඩි බලපෑමක් එල්ල වී තිබේ.

විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක

 ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.