lakbima.lk

දකුණේ නිදන් හාරද්දී උතුරේ හාරන්නේ රත්තරන්

පැරණි නිදන් ගොඩදැමීමට කැමැති ඇත්තෝ ඕනෑ තරම්ය. ඔවුන්ගේ බලා‍පොරොත්තුව නිධානයක් ගොඩදමා එක රැයකින් කෝටිපතියකු වීමයි. ඒත් එසේ නිදන් හාරා එක රැයින් ‍පොහොසත් වූවන් ගැන නම් අපි අසා නැත්තෙමු. ඒත් නිදන් සොයන්නට ගොස් ‍පොලීසියේ තපින්නට මහ උළුගෙදර කූරු ගණින්නට වූ අය නම් ඕනෑ තරම්ය.

තිස් වසරක් පුරා මෙරට වෙලාගෙන තිබූ යුද්ධය නිමා වූයේ 2009 වර්ෂයේ මැයි 19 දාය. ඒ කොටි නායක වේලුපිල්‍ලේ ප්‍රභාකරන් ඝාතනය විමත් සමගිනි. යුද්ධය නිමා වී දස  වසරක් ගෙවී යද්දී රටේ ඇතැම්මුන්ට නිදන්වලට වඩා ඉල්ලමක් පහළ වී තිබේ. ඒ උතුරු නැගෙනහිර දෙමළ වැසියන් විසින් යුද සමයේ වළදමා තිබූ රත්තරන් ගොඩ ගැනීමේ උන්මාදයයි.

යුද සමයේදී දෙමළ වැසියන් තම ජිවිත බේරා ගනු වස් තමන්ගේ ගම්බිම් අතහැර එකල උතුරු පළාතෙන් පිටව ගියේ ‍පොකුරු පිටිනි. එසේ යන විට  ඔවුන්ගේ රත්තරන් වළදමා ගිය බව බොහෝ අයගේ විශ්වාසයයි. දැන් කොළඹ සිටින ඇතැමුන්ගේ අදහස එදා එසේ වළදා දැමූ බව කියන රත්තරන් සොයා ගැනීමය.

ඊට ‍පොලීසියේ ඉහළ නිලධාරින්ගේද ආශිර්වාදය ලැබිම ඔවුන්ව තව තවත් දිරිමත් කරවීමට හේතු වී  ඇත.

නුවර - යාපනය ප්‍රධාන මාර්ගයේ  වව්නියාව පසුකළ විට හමුවන්නේ තාණ්ඩිකුලම්ය. තාණ්ඩිකුලම් මංසන්ධියෙන් වමට හැරි කිලෝ මිටර් අටක් පමණ දුරක් ගිය විට හමුවන්නේ ඊච්චන්කුලම් නගරයය. ඊච්චන්කුලම් ‍පොලීසිය පිහිටා ඇත්තේද නගර මධ්‍යයේමය. ‍පොලීසිය අසල සිට නැවත කිලෝමීටර් අටක් පමණ මඩු දේවස්ථානයට යන මාර්ගයේ යන විට ඇත්තේ කල්මඩු පුරා විද්‍යා රක්ෂිත ප්‍රදේශයය.

එල්.ටී.ටී.ඊ.ය සංවිධානය විසින් තනන ලද මහවිරු සොහොන් බිමක් පිහිටා තිබූ භූමියක් මෙහි වේ. 2009 වසරට පෙර නම් මෙම සොහොන මියගිය කොටි වෙනුවෙන් ඉතා අලංකාරවත් අයුරින් පවත්වාගෙන ගිය එකකි. නමුත් පසුව එම සොහොන්පිටිය යුද හමුදාව විසින් කඩා ඉවත් කෙරුණු අතර දැන් එහි ඇත්තේ නටබුුන් පමණිය.

මෙම සොහොන් කොත් තුළ රත්තරන් ඇති බවට බොහෝදෙනාගේ විශ්වාසයයි. වන්නි දිසාව භාරව සිටි නියෝජ්‍ය ‍පොලිස්පති යු.කේ. දිසානායකගේ යටතේ තිබූ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් වරක් රත්තරන් ගොඩගැනීමට ගොස් අත්අඩංගුවට පත් වූයේද මෙම ස්ථානයට නුදුරුනි. තමන්ගේ පහළ නිලධාරින් කළ වරදට එවකට වන්නි නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාටද බන්ධනාගාර ගතවීමට වූයේ මේ රත්තරන් නිසාය.

අතුරුගිරියේ ඇලුමිනියම් කොන්ත්‍රාත්කරුවෙකු වූ උපාලි අරුණ ඊච්චන්කුලම් යුද හමුදා කඳවුරේ පැවැති ආධුනික හමුදා සෙබළුන්ගේ විසිර යාමේ උත්සවයකට සහභාගි වූයේ මීට වසරකට පමණ ඉහතදීය. එහිදී ඔහුට ඊච්චන්කුලම් ‍පොලිස් ස්ථානාධිපතිවරයා දැන හඳුනාගත හැකි විය.

දෙහිඅත්තකණ්ඩියේ පදිංචිකරුවෙකු වූ ‍පොලිස් පරීක්ෂකවරයා විවාහ වී පදිංචිව සිටියේ වව්නියාවේය. ඔහු සමග එදා ඇති කර ගත් මිතුරුදම උපාලි දිගින් දිගටම පවත්වාගෙන ගියේය.

මීට මාස හයකට පමණ උඩදී දිනක් පෙන්තකොස්ත සභාව විසින් පවත්වනු ලැබූ දේව මෙහෙයකට උපාලි සහභාගි විය. දේව මෙහෙය පැවැත්වූයේ විදේශයේ සිට පැමිණි ෆාස්ටර්වරයෙකු විසිනි.

දේව මෙහෙය අවසානයේ උපාලිත් සමග කතා කරමින් සිටි ඔහු පැවැසුයේ ඊච්චන්කුලම් කොටි සොහොන් තුළ රත්තරන් කිලෝ 300 ක් බැරල් තුනක වළදමා ඇති බවය.

ඒ අනුව උපාලි ෆාස්ටර්වරයා සමග ගොස් ඊච්චන්කුලම් මහවිරු සොහොන බලා පැමිණියේය. මේ අතර කඩුවෙල ප්‍රසිද්ධ ස්ථානයකින් උපාලි පේනයක් බැළීය. එහිදී කියැවුණේ එකි භූමියේ රත්තරන් ඇති බවත් වඩාත් තහවුරු කිරීමට නම් එහි පස් පිඬක් ගෙනත් දෙන ලෙසය.

ඒ අනුව එම සොහොන් බිමෙන් පස් සාම්පලයක් ගෙන ගිය උපාලිට පේනකරු කියා සිටියේ අනිවාර්යයෙන්ම එහි රත්තරන් වළලා ඇති බවයි.

වවුනියාවට ගිය උපාලි ලැඟුම්හලක නවාතැන් ගෙන ඊච්චන්කුලම් ‍පොලීසියේ ස්ථානාධිපතිවරයාද එහි කැඳවාගෙන සොහොන් බිමේ වූ රත්තරන් ගොඩදැමීමේ සැලසුම සකස් කළේය.

ඒ අනුව ඉකුත් 16 රාත්‍රී 11.00ට පමණ අදාළ සොහොනට ගිය ඔවුහු තමන්ගේ සැලසුම් අනුව කටයුතු කළෝය. ඒ අනුව කැබ් රථය මාර්ගය අයිනේ නවතා බොනට්ටුව ඇර එක් පුද්ගලයෙක් පමණක් එහි රැඳවූයේ රථයේ යම් දෝෂයක් ඇති බව බලන අයෙකුට හැඟෙන පරිද්දෙනි. සෙස්සෝ සොහොන හෑරීමට අවශ්‍ය උපකරණද රැගෙන සොහොන් බිමට ගියහ.

මේ අතර රාත්‍රී මුර සංචාරයේ යෙදුණ ඊච්චන්කුලම ‍පොලීසියේ ‍පොලිස් නිලධාරීන් පිරිසකට එම කැබ් රථය මුණ ගැසිණි. රථය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව එහි සිටි තැනැත්තා පැවැසූ මුත් ‍පොලිස් නිලධාරීන්ට ඒ ගැන ඇති වූයේ සැකයක්. ඒත් එවිටම රේඩියෝ සංඥා මගින් එම ‍පොලිස් කණ්ඩායම ඇමැතු ඊච්චන්කුලම ‍පොලිස් ස්ථානාධිපතිවරයා එකී ‍පොලිස් කණ්ඩායමට වෙනත් තැනක සැකකටයුතු සිද්ධියක් පරීක්ෂා කිරීමට යන ලෙස අණ කළේය.

ප්‍රධානියාගේ උපදෙස් පරිදි ‍පොලිස් මුර කණ්ඩායම ඉන් ඉවත්ව ගියහ.

මේ අතර වව්නියාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති අනුර අබේවික්‍රම වෙත තොරතුරක් ලැබුණේය. එයින් කියැවුණේ ඒ ඊච්චන්කුලම් සොහොන් බිමේ පිරිසක් රත්තරන් ගොඩගැනීමට යන බවය.

වහාම ඔහු මේ බව උතුරු පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු වෙත දැන්වීය. අනතුරුව නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා යටතේ ඇති වව්නියාව දිසා දුෂණ මර්දන අංශය වෙත දන්වා උපදෙස් ලබා දුන්නේය. ඒ 17 අලුයම 1.00 ට පමණය.

දිසා දුෂණ මර්දන අංශයේ නිලධාරින් ඊච්චන්කුලම් බලාගොස් සොහොන් බිම හාරමින් සිටි උපාලි ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් අතර එහි සිටි එක් කම්කරුවකු පමණක් පළා යාමට සමත් විය.

ඔවුන් රැගෙන එද්දී අතුරු මාර්ගයක තිබූ කළු පැහැති ඇල්ටෝ මොටර් රථයක් අශ්ව වේගයෙන් ඉගිල ගිය අතර ‍පොලිස් නිලධාරින්ද එම රථය පසු පස හඹා ගියේය. තරමක ලුහුබැඳීමකින් පසුව එම රථය හරස්කර නතර කරගැනීමට දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට හැකිවිය. පුදුමයට මෙන් එම රථයේ සිටියේ නිල ඇඳුමෙන සැරසුණු ඊච්චන්කුලම් ‍පොලිස් ස්ථානාධිපතිවරයා හා ඔහුගේ සහයක ‍පොලිස් කොස්තාපල්වරයාය.

“මොකද මේ” කියා ස්ථානාධිපතිවරයා විමසූ විට “සර් අපි රේඩ් එකකට ආවා”යැයි දූෂණ මර්දන අංශයේ නිලධාරින් පවසා සිටියත් ‍පොලිස් පරීක්ෂකවරයා ඒ ගැන වැඩි තැකීමක් නොකරම යන්නට ගියේය.

රත්තරන් ගොඩ ගැනීමට තැත් කළ පිරිස වව්නියාව ‍පොලිස් ස්ථානය වෙත රැගෙන යාමෙන් පසු උපාලි ඇතුළු පිරිස සියලු තතු අනාවරණය කරන්නට විය. මෙම ජාවාරමට ඊච්චන්කුලම ‍පොලිස් ස්ථානාධිපතිවරයා සෘජුව සම්බන්ධ වී ඇති බවට මෙහිදී කරුණු හෙළි විය.

ඒ අනුව උතුරු පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මෙම ‍පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට වව්නියා දිස්ත්‍රික් 03 ‍පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා වෙත පවරනු ලැබිය.

‍පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මේ සම්බන්ධව විමර්ශනය කිරීමට වව්නියාව මූලස්ථාන ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක මහින්ද විල්ලොවආරච්චිගේ ප්‍රධානත්වයෙන් යුත් උප ‍පොලිස් පරීක්ෂක ආර්.පී.ඩී.එල්. රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් පත් කළේය.

එකී විමර්ශනවලට අනුව ඊච්චන්කුලම් ‍පොලිස් ස්ථානාධිපතිවරයා එදින ‍පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේද ව්‍යාජ සටහන් තබමින් බව ‍පොලීසිය අනාවරණය කර ගත්තේය.

එමෙන්ම මොහු සැකකරුවන් වු උපාලිව හමුවීමට හොටල්වලට ගිය අවස්ථාද සීසීටීවී දර්ශන ඔස්සේ තහවුරු විය. උපාලිගේ ජංගම දුරකථන තොරතුරු සොයා බැලිමේදී ‍පොලිස් ස්ථානාධිපතිවරයා හා සබඳතා පැවැත් වූ බවට තහවුරු වන දුරකථන තොරතුරුද අනාවරණය කර ගත්තේය. එමෙන්ම මෙම ‍පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම ජනවාරියේදී ස්ථාන මාරුවක් ලැබි ඇති නමුත් මොහු එය ප්‍රතික්ෂේප කරමින් නැවත ඊච්චන්කුලම ‍පොලිස් ස්ථානයේම රැඳී සිටි බවද හෙළි විය.

මේ සියලු කරුණු අනාවරණය වීමෙන් පසු ‍පොලිස් ස්ථානාධිපතිවරයා හා ඔහුගේ සහයක ‍පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැණිනි.

ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.