lakbima.lk

ඩුබායි ගෙන ගිය බව කියූ කෝටි 700 දියමන්තිය පානදුරෙන් මතුවූ හැටි

රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්තියක් ඇතුළු මැණික් තොගයක් මහරගම ව්‍යාපාරිකයෙකුගේ නිවසින් ‍පොලිස් වෙස් ගත් පිරිසක් කොල්ලකනු ලැබුයේ ඉකුත් වසරේ නොවැම්බර් 05 වෙනිදාය.

ඩුබායි සිටි මාකඳුරේ මධුෂ් විසින් මෙහෙයවනු ලැබූ එම කොල්ලයට සම්බන්ධ පුද්ගලයෝ තිදෙනෙක් මීට පෙර අත්අඩංගුවට ගැනුණේ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය මගිනි. එහෙත් දියමන්තිය පිළිබඳ කිසිදු හෝඩුවාවක් ‍පොලීසියට ලැබුණේ නැත. අත්අඩංගුවට පත් වුවන්ද පවසා සිටියේ එය මධුෂ්ට යැවූ බවය. එමෙන්ම මධුෂ්ද වරින් වර මහරගම ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් දෙමින් පවසා තිබුණේ දියමන්තිය ඔහු ළඟ බවය.

මේ සියලු කරුණු එක් කළ ‍පොලීසිය විශ්වාස කළේද දියමන්තිය මේ වන විට ඩුබායි සිටින මධුෂ් වෙත යවා ඇති බවය. ඒ සඳහා උපකාර කළේ ගායන ශිල්පී අමල් පෙරේරා හා ටෙලි නාට්‍ය නළු රයන් බව ඇතැම් මාධ්‍ය රසකතා ලියූහ. එම චෝදනා ගැන ඩුබායි සිට ලක්බිම ඉරිදා සංග්‍රහයට සම්මුඛ සාකච්ඡාවක් දුන් නීතිඥ උදුල් ප්‍රේමරත්න සඳහන් කළේ තමන්ට එල්ල කළ අපහාස චෝදනාවලට එරෙහිව අමල් පෙරේරා මාධ්‍ය ආයතනවලට අපහාස නඩු පවරන බවය.

මේ වනවිට රණාල, කුරුඳුවත්ත, අංක 100/02 පදිංචි පිටිගොඩආරච්චිගේ කසුන් සඳරුවන් (28) හා කඩුවෙල, වැලිහිද, අංක 577/ඒ පදිංචි පනාගොඩගේ හේමාල් රංජන පෙරේරා (28) යන තරුණයන් මෙහිදී ‍පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි. හේමාල් කුලියට වාහන සපයන ආයතනයක හා ජංගම දුරකථන අලෙවි සලක  හිමිකරුවෙකු විය.

කසුන් සඳරුවන්ගේ බාප්පා වන්නේ දොඩම්දූව වඩුගේ කැළුම් ඉන්දික නොහොත් “කැවුමාය” (40).

මෙකී කැළුම් ඉන්දික නොහොත් “කැවුමාගේ” උපදෙස් මත කසුන් හා හේමාල් මහරගම දියමන්ති කොල්ලයට සම්බන්ධ වී ඇති බව මෙහිදී ‍පොලීසියට අනාවරණය විය.

දියමන්ති කොල්ලය සඳහා මධුෂ් ඔත්තු බැලීමට, කොල්ලකෑමට හා දියමන්තිය ගෙන යාමට ආදි ලෙස කණ්ඩායම් තුනක් යොදවා තිබුණි. මිරිහානෙ ‍පොලිස්  විශේෂ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ කොල්ලය සඳහා ඔත්තු බැලූ වෙඩිකන්දේ කසුන් හා කොල්ලය සඳහා ගිය “ලොකු අයියා” හා “මාතර මල්ලිවය.”

පෑලියගොඩින් අත්අඩංගුවට ගෙන තිබූ කසුන් හා හේමාල් කොල්ලයෙන් පසු දියමන්තිය ගෙන යාමේ සිටි පිරිසය.

නිවසෙන් දියමන්තිය හා මැණික් ගල් කොල්ලකෑමෙන් පසු “ලොකු අයියා” එදිනම සවස පිලියන්දල ඇවිදින මංතීරුව අසලදී දියමන්තිය, මැණික් ගල්, පිස්තෝල 02ක් හා  ටී 56 ගිනි අවියක් කැළුම් ඉන්දිකට භාර දුන්නේය. ඒ ඩුබායි සිට මධුෂ් ලබා දුන් උපදේස් මතය.

මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසු ‍පොලීසිය කැළුම් ඉන්දික නොහොත් “කැවුමා” සොයන්නට විය. ඔහුගේ නිවස වූ පිටිගල, බොරළුහේන පාර, ඉහළ හෙවිස්ස වෙතද ගොස් වෙස්වලාගත් ‍පොලිස් නිලධාරින් සොයා බැලුවත් ඔහු ගැන තොරතුරක් අනාවරණය කර ගත නොහැකි විය. ඔහු පිටිගල ජීවත් වූයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙසිනි.

මේ අතර ‍පොලීසිය ඔහුගේ දුරකථන අංක සොයාගෙන ඒ ඔස්සේ විමර්ශන පැවැත්විය. ඒ අනුව ‍පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත කිරිබත්ගොඩ බස්නැවතුම්ප‍ලේ සිටියදී මනා කඩවසම සිරුරකින් යුත් කැළුම් ඉන්දික ‍පොලිස් අත්අඩංගුවට පත් විය. ඒ ඉකුත් 04දා රාත්‍රී 7.00 ට පමණය. ඒ හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200ක් සමගිනි.

ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග අපරාධ  රැසක තොරතුරු අනාවරණය වීමට පටන් ගත්තේය.

මොහු 2002 වසරේදී පමණ මාතර පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස රැකියාව කර ඇත. එම බස් රථයේ රියැදුරුව සිට ඇත්තේ මාකඳුරේ මධුෂ්ය. ජාඩියට මූඩිය මෙන් ගැළපුණ ඔවුහු පළමුව කුඩා කොල්ලකෑම් කළෝය. කැළුම්ට එරෙහිව 2005 වර්ෂයේදී ගම්පහ මහාධිකරණයේ, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ, කළුතර මහාධිකරණයේ, මහේස්ත්‍රාත් අධිකරණයේ මාලිගාවත්ත, හලාවත අධිකරණයේ නඩු රැසක් විභාග වෙමින් පැවතුණි. ඒ අවි ආයුධ පෙන්වා දේපළ මංකොල්ලකෑම් හා විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙනි. මෙහි එක් නඩුවකදී ඔහුට වසර දහයක සිර දඬුවම් නියම විය.

ඒ අනුව ඔහු 2005 සිට 2015 දක්වා වැලිකඩ බන්ධනාගාර ගතව සිටියේය.

මේ අතර ඔහු රැඳවියකු හා විවාහ විය. ඒ මහාධිකරණයට විවාහ සහතිකයක් ලබා දීමට අවශ්‍ය වූ බැවින් බව ඔහු පවසයි.

හිරෙන් නිදහස්ව පැමිණි පසු ඒ කසාදයට ඔහු ආයුබෝවන් කීවේය. හිරෙන් නිදහස්ව පැමිණියත් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම තවත් දියුණු විය.  මේ සඳහා මාකඳුරේ මධුෂ් නිරන්තරයෙන් ඔහුට උපදෙස් උපකාර ලබා දෙමින් මග පෙන්විය. අවශ්‍ය මුදල්ද එවිය.

කැළුම් ඉන්දික පානදුරේ, කෙසෙල්වත්ත පාර, තක්සලා හරස් පාර පිහිටි දෙමල් නිවසක උඩු මහල රුපියල් විසිපන්දහසක කුලියට ගත්තේ මේ අතරය. එමෙන්ම මොරටුව, කටුබැද්ද පාර, ප්‍රජා ශාලාව පාර, පී. බි. අල්විස් පෙරේරා පාරේ පිහිටි දෙමහල් නිවසක උඩු මහලක්ද රුපියල් විසි අටදහක මාසික කුලියට ගත්තේය. මෙම නිවාස දෙකම පිහිටි ප්‍රදේශය ප්‍රභූන් පදිංචිව සිටින පළාතකි. එබැවින් කැළුම් කිසිවෙකුගේ අවධානයට ලක් නොවී මෙහි සිටියේය.

මෙහිදී ඔහු නිවැසියන් ඉදිරියේ පෙනී සිටියේ වවුනියාව ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත්කරුවෙකු ලෙසය.

කැළුම්ගේ ගෙල පැලඳියේද රත්තරන් සුරයකි. එහි තුළ වූයේ සිංහ තෙල් බව කියයි. මෙම සුරය පැලඳ සිටින විට වෙඩි නොවදින බව ඔහු විශ්වාස කරයි. ඔහුට ලක්ෂ 37කට  මෙම සුරය හදා දී තිබෙන්නේ මීට පෙර, හොර වාලම්පුරි විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකු විසිනි. එහිදී ඔහු රත්තරන්වලට ලක්ෂ දෙකක් හා ජීවන්  කිරීමට ලක්ෂ තිස් පහක් වැය වූ බව කැළුම් අදටත් පවසන්නේ ඉමහත් ආඩම්බරයෙනි.

එක දිනක පානදුරේ නිවසේ සිටියහොත් “අද මම සයිට් යන දවස” යැයි නිවැසියන්ට පවසා ඔහු මොරටුව නිවසට පැමිණේ. එහි දිනක් සිට ඔවුන්ටද පවසන්නේ “අද සයිට් එකට යන්න ඕනේ” යනුවෙනි. එසේ පවසන  ඔහු යන්නේ පානදුරේ නිවස වෙතය.

මෙසේ දෙබිඩි දිවියක් ගත කළ ඔහු කිසියම් අපරාධයක් සඳහා යොදා ගන්නේ එක් ජංගම දුරකථනයක් පමණක් බව මෙහිදී ‍පොලීසියට හෙළි විය. අපරාධයකට යොදා ගත් ජංගම දුරකථනයට කතිරයක් දමා ඔහු ඒවා මල්ලක තැන්පත් කරන අතර මෙසේ ඔහු ඉවත් කළ ජංගම දුරකථන 126 ක්ද පානදුර නිවසේ තිබියදී ‍පොලීසියට හමුව තිබුණි.  එමෙන්ම එම නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී  කිසිදා හමුවේ යැයි නොසිතු සොරා ගනු ලැබූ දියමන්තිය, පවුම් 40ක රන් ආභරණද ‍පොලීසිය විසින් සොයා ගත්තේය.

ඊළඟට ‍පොලීසිය ඔහුව රැගෙන ගියේ කටුබැද්දේ කුලී නිවස වෙතය. එහිදී විවිධ වර්ගයේ ජීව පතොරොම් 746 ක්, ජීව අත්බෝම්බයක්, අත්මාංචු 03ක්, යුද හමුදා හා ‍පොලිස් ඇඳුම්වලට සමාන නිල ඇඳුම් තොගයක් හමු විය.

ඉන් නොනැවතුණු ‍පොලිස් නිලධාරින් පිටිගල පිහිටි කැළුම්ගේ නිවස පිටුපස ස්ථාන තුනක වළදමා තිබූ රුපියල් ලක්ෂ 150 ක් සොයා ගනු ලැබිය.  එසේම ඔහු පිටිගල ප්‍රදේශයේ විහාරස්ථානයක බුදුමැදුරක් තැනීමට හා පළාතේ බෝක්කු පාලම් තැනීමටද අත දිගහැර වියදම් කර ඇති බවද කියැවේ.

මේවා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් හා මාකඳුරේ මධුෂ් විසින් එවන ලද මුදල් බවට ‍පොලීසිය සැක කරනු ලබයි.

එමෙන්ම මේ වන විට අනාවරණය වෙමින් පවතින්නේ 2017.02.17 වෙනි දින රණා‍ලේ සමයං ගමන් කළ බන්ධනාගාර බසයට වෙඩි තැබිමේ සිද්ධියටත් 2017.05.09. වෙනි දින පිළියන්දල නගරයේදී ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය් ‍පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට වෙඩි තැබිමේදී තවත් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියටත් මොහු සම්බන්ධ වී ඇති බවය.

මෙරට හෙරොයින් ජාවාරමේ මධුෂ්ගේ ප්‍රධානියා ලෙස පෙනී සිට ඇත්තේ මොහුය. මෙම කැළුම් සමග දියමන්තිය අත්අඩංගුවට ගත් පසු මහරගම ව්‍යාපාරිකයා විසින් පෑලියගොඩ ‍පොලිස් ස්ථානයට පැමිණ එම දියමන්තිය හඳුනාගෙන එහි ලිපි ‍ලේඛන කිහිපයක්ද ‍පොලීසියට  භාර දීමටද කටයුතු කළේය.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධික්ෂණයෙන් කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි උපාලි ජයසිංහගේ පූර්ණ මෙහෙයවීමෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ලින්ටන් පද්මසිරි ප්‍රමුඛ නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.