lakbima.lk

මඩකලපුව ෂරියා සරසවියේ අලගිය මුලගිය තැන් සොයා ගියෙමු

වසර දහයකට පසු ලෝකයෙම අවධානය ලංකාව දෙසට යොමු විය. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමගිනි.

මෙවන් වටපිටාවක් තුළ අන්තවාදී අදහස් මති මතාන්තර හා ශ්‍රී ලාංකේය අනන්‍යතාව විදහාපාන සංස්කෘතිය උඩු යටිකුරු කිරීමට සමත් එහෙම පිටින්ම සෞදි අරාබි සංස්කෘතිය වැද්දගන්නා ඉගැන්වීම් සිදු කරන විශ්වවිද්‍යාලයක් හෙවත් ෂරියා විශ්වවිද්‍යාලයක් මඩකලපුව වාලච්ච්ෙන ‍පොලිස් බල ප්‍රදේශයට අයත් පූනානි ප්‍රදේශයේ ඉදිවෙමින් තිබෙන බවට වූ කතා බහ යළි කරළියට පැමිණ තිබේ.

මෙම විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට වැඩ ආරම්භ කිරීමට සිදු වූයේ මීට වසර හයකට ඉහතදීය. ඒ අයි.එම්.ඒ.එම්. හිස්බුල්ලාගේ මූලිකත්වයෙනි. එවකට රජයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය භාරව සිටියේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුමය. මෙම විශ්වවිද්‍යාල විද්‍යායතනය මඩකලපුව විශ්වවිද්‍යාලය (Batticaloa Campus Pvt) යන නමින් හඳුන්වා දෙන බව එහි නිර්මාතෘ එවකට නියෝජ්‍ය ඇමැතිවරයකු වූ එම්.අයි.ඒ.එම්. හිස්බුල්ලා එදා පැවැසුවේය. ඒ එහි මුල්ගල තැබිමේ  අවස්ථාවේදීය. මේ සඳහා මාධ්‍යවේදීන් ලෙස අපට ද ඇරයුම් ලැබි තිබිණි. දෙසීයයක්, තුන්සියයක් පමණ පිරිසක් සහභාගී වූ මෙම උළෙ‍ලේ දී හිස්බුල්ලා නියෝජ්‍ය ඇමැතිවයා පැවැසුවේ  ලංකාවේ දුගී දුප්පත් ජනතාවගේ ඉගෙනීමට දක්ෂතා දක්වන සිසු සිසුවියන් උදෙසා වෘත්තීය පුහුණුවක් ලබා දිය හැකි ආයතනයක් මෙහි ඇති කරන බවයි. එහි සිංහල, දෙමළ, මුස්ලිම් කිසිදු භේදයකින් තොරව ‍පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, තිරිකුණාමලය, අනුරාධපුර ආදී දුෂ්කර ප්‍රදේශවල තරුණ තරුණියන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් පාඨමාලාවලට බඳවා ගන්නා බවද හෙතෙම පැවැසුවේය. දැන් සමාජ මාධ්‍ය ඔස්සේත් ඔවුන්ගේ නිල වබේ අඩවියේත් දැක්වෙන ආකර්ෂණීය ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද රූපාවලිය වෙනුවට එදා ප්‍රදර්ශනය කළේ බැනරයක දැක්වූ ආකර්ෂණීය සැලැස්මයි. ඒ පිළිබඳව විස්තර කරන විට කාටත් සිතෙන්නේ මෙය මෙම ප්‍රදේශයට ඉතා වටිනා වස්තුවක් බවයි. එහෙත් මේ වසර හය ඇතුළත එය විශ්වවිද්‍යාල විද්‍යායතනයක් නොව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත්ව තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් වාලච්ච්ෙන පුනානි ප්‍රදේශය අයත් වන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බි කලාපයටය.

2009 එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙරටින් තුරන් වීමත් සමගම එවකට සිටි ආණ්ඩුවත් මහවැලි බලධාරිනුත් හිස් ඉඩම් ආයෝජනය සඳහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ අක්කර 25 සිට ඉහළට අක්කර 100 දක්වාද විවිධ පුද්ගලයන්ට, ව්‍යාපාරික ආයතනවලට හා සංවිධානවලට තිස් අවුරුදු බදු පදනම මත බදු දුන්නේය .මෙහි බහුතර ඉඩම් ප්‍රමාණයක් එසේ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාගෙන ඇත්තේ මෙරට ප්‍රභූන් හා දේශපාලනඥයන් විසිනි.

එවකට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයකුව සිටි එම්.අයි.ඒ.එම්. හිස්බුල්ලා ද හීරා පදනම නමින් පදනමක් ආරම්භ කර සිය පුත්‍රයා සමග එය පවත්වාගෙන ගියේ දේශපාලන ඉදිරි ගමන් මග ගැන සිතාය. එම පදනමේ මුල් කාලීන අරමුණ වූයේ කාන්තාවන් හා ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැපවීම ය. ඒ අනුව මෙම පදනමේ නමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් අක්කර 35ක ඉඩමක් අවුරුදු 30ක දීර්ඝ කාලීන බදු පදනම යටතේ මඩකලපුව - ‍පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ පුනානි ප්‍රදේශයෙන් ලැබෙන්නේය. ඒ 2013 වසරේ මුලදීය.

ඉන් අනතුරුව 2013 අගෝස්තු මාසයේ 13දා හෝ ආසන්න දිනකදී එවකට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් හා හිස්බුල්ලා නියෝජ්‍ය ඇමැතිවරයාගේ සහභාගීත්වයෙන්ද හීරා පදනමට විශාල බරපැනක් සැපයූ බවට සැලකෙන සෞදි අරාබියේ ජෙඩාහි පදිංචි අලි අබ්දුල්ලා අලි ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම කතා බහට ලක්වී ඇති විශ්වවිද්‍යාලයට මුල්ගල තබා වැඩ ආරම්භ කළේය. එය ආරම්භ වූයේ එවකට රජය විසින් නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කළ විශේෂ ව්‍යාපෘතියක් වූ අ.‍පො.ස. (උ.පෙ.) විභාගයෙන් පසු විශ්වවිද්‍යාල වරම් අහිමි වන තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබා ජාතික වෘත්තීය සුදුසුකම් සහතික (ව්ශ්‍රී-5,6)  ලබා දෙන ආයතනයක් ලෙසය. දිවයින පුරා මෙවැනි ආයතන 25ක් පිහිටුවීමද සැලසුම් කර ඇති බව එකල්හි කියැවුණි. මුලදී මෙහි වෘත්තීය පුහුණු පාඨමාලා පහක් හඳුන්වා දෙන බවද කියැවුණි. මෙහි මුල්ම නම වූයේ මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කො‍ලේජිය යන්නයි. එම වෘත්තීය පුහුණු ආයතනය 2016 අගෝස්තු වන විට ඉදිකර අධ්‍යයන කටයුතු ඇරඹීමට නියමිතව තිබිණ, එහෙත් 2015 ආණ්ඩු පෙරළියත් සමග මෙම විශ්වවිද්‍යාල විද්‍යායතනයද වෙනස් මුහුණුවරක් ගනිමින් උසස් අධ්‍යාපනය ලබා දෙන විශ්වවිද්‍යාලයක් බවට ලියාපදිංචි කිරීමට ඉල්ලා ඇත. ඒ 2015 ජූලි 03 දාය.

මේ වන විට මෙම විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි ඉදිකිරීම්වලින් සියයට හැටක් පමණ ඉදිකර අවසන්ය. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක විය හැකි පරිදි අධ්‍යයන පීඨ හයකින් යුත් විශාල විශ්වවිද්‍යාලයකි. එම අධ්‍යයන පීඨ හයෙන් තොරතුරු තාක්ෂණ පීඨයේ වැඩ කටයුතු සියයට සියයක්ම දැන් අවසන් වී ඇත. සිසුන් හැටකට එකවර අධ්‍යයන පහසුකම් ලැබිය හැකි පරිගණක විද්‍යාගාර පහක් මෙම තොරතුරු තාක්ෂණ පීඨයේ ස්ථාපිත කර ඇත. අති නවීන තාක්ෂණික මෙවලම් සහිතව එකවර සිසුන් 300කට මෙම පරිගණක විද්‍යාගාරවල අධ්‍යයන කටයුතුවල නිරත විය හැකිය. එමෙන්ම දේශන ශාලා හතක් මේ වන විට ඉදි කරඇති අතර එක දේශන ශාලාවක සිසුන් හැටකට අසුන් ගත හැකිය. ශ්‍රවණාගාර දෙකක් ඇත. එකක් එකවර සිසුන් තුන්සිය පනහක් සඳහා අසුන් ගැනීමටද අනෙක සිසුන් හයසිය පනහක් අසුන් ගැනීමට ද හැකිවන පරිදි ස්ථාපික කර ඇත. මීට අමතරව අති නවීන මහල් තුනකින් යුතු පුස්තකාල ගොඩනැගිල්ලක් ද විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් සඳහා අති නවීන සැප පහසුකම් සහිත නිවස්නද ස්ථාපිත කොට හමාරය. තවත් ශිෂ්‍ය නේවාසිකාගාර පෙළක්ම ඉදිවෙමින් පවතියි.

පළමුවෙන්ම ඉදි වූ මෙහි පරිපාලන ගොඩනැගිල්ල මෝගල් අධිරාජයාගේ සමයේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව යමින් අරාබි කරයේ ඇති නිවාස හා මුස්ලිම් දේවස්ථානවල ස්වරූපයක් ගන්නේය.

මෙහි ඇරඹීමට නියමිත නීති පීඨයේ ඉස්ලාමීය නීතිය ඉගැන්වීම සිදු කිරීමට යන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ‍ලේකම් මහාචාර්ය චන්න ජයසුනම පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අනාවරණය කළේය. එහිදී මහාචාර්යවරයා වැඩි දුරටත් පැවැසුවේ මෙහි සංස්කෘතික හා භාෂා කටයුතු පීඨය තුළ ෂරියා දෙපාර්තමේන්තුව නමින් පමණක් එක් දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට නියමිත බැවින් මෙහි ෂරියා නීතිය ඉගැන්වීම සිදු කෙරෙනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ‍ලේකම් මහාචාර්ය චන්න ජයසුමන පැවැසුයේ මේ වනවිටත් ඉස්ලාමීය නීතිය ඉගැන්වීම සඳහා මැ‍ලේසියාවේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් කිහිප දෙනෙක්ම බඳවා ගැනීමට කටයුතු කර ඇති බවයි. එබැවින් තව දුරටත් මුදලට අධ්‍යාපනය විකුණන උපාධි කඩය කිසිසේත්ම ක්‍රියාත්මක නොවිය යුතුයි. ඒ වගේම හැකි ඉක්මනින් මෙම කටයුතු නැවැත්විය යුතුයි. ගොඩනැගිලි රජයට පවරා ගෙන එහි සම්පත් සුදුසු පරිදි භාවිත කළ යුතුයි යනුවෙනි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ විසින් හෙළිදරව් කළ විශාල මුදල් කන්දරාවක් ලංකා බැංකුව හරහා හීරා පදනමට ලැබෙන්නේ කෙසේද? එහි අරමුණූ මොනවාද. වර්තමාන නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ පුත්‍රයා වන තිරාස් හිස්බුල්ලාගේ නමින් හදා ගත් පදනමකට මේ සා විශාල මුදලක් එවන්නේ ඇයි? ඔවුන් ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති තොරතුරුද පරස්පරතා සහිත බව ආශු මාරසිංහ මන්ත්‍රීවරයා කියයි. එය ප්‍රදානයක්ද ණයක්ද? මේ සා විශාල ප්‍රදානයක් නැතහොත් ණයක් පදනමකට ලබා ගත හැකිද?

රාජතාන්ත්‍රික ගනුදෙනුවක්ද නොවේ. එසේ තනි පුද්ගලයන්ට හෝ පදනම්වලට විදේශයකින් ණය හෝ ප්‍රදාන ලබාගත හැකිද? සොයා බැලිය යුත්තේ එයයි.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනඥයන් රැසක්ම මෙම විශ්වවිද්‍යාලයට විරෝධය දක්වති. එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවේ 2015 ජූලි 03 දා මෙය විශ්වවිද්‍යාලයක් ලෙස ලියාපදිංචි කිරීමට ඉල්ලා ඇති බවත් ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්                          සභාව අවසර ලබා දී නැති බවත්ය. එහෙත් ශ්‍රී ලංකා ආයෝජන  මණ්ඩලයේ සමාගමක් ලෙස සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති මෙය රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යාමට හැකි බවත් එවැනි පෞද්ගලික විශ්වවිද්‍යාල දාසයක් මේ වන විට රටේ පවතින බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියමයන්ට අනුව මිස සිසුන් බඳවා ගැනීම හෝ විෂයයන් ඉගැන්වීම විෂය නිර්දේශ ක්‍රියාත්මක කිරීම සිදු නොවන බව නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මාධ්‍ය හමුවේ පැවැසීය.

මෙම ඉඩමේ අයිතිය හිමි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බි කලාප නේවාසික ව්‍යාපාර කළමනාකරු තුෂාර දන්තනාරායනගෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ.

2013 වසරේ හීරා  පදනම නමින් පදනමකට මෙම ඉඩම තිස් අවුරුදු දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබා දී තිබෙනවා. නමුත් මෙහි රාජ්‍ය විරෝධී රජයට එරෙහිව හා මෙරට නීතියට පටහැනි දේවල් සිදුවන බවට අපට වාර්තා වුණොත් අපි මේ බදු බලපත්‍රය කැන්සල් කරලා දානවා. ඒ සඳහා අපට බලය තිබෙනවා. මෙම ඉඩම ඉල්ලා තිබුණේ උසස් අධ්‍යාපන  ආයතනයක් ඉදි කිරීමට ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාවකුත් සමග. ඒ කා‍ලේ හිටිය අධ්‍යක්ෂ මණ්ඩලය නීත්‍යනුකූල ලියවිලි පරීක්ෂා කර බලා මෙම ඉඩම ලබා දී තිබෙනවා යනුවෙනි.

කෙසේවෙතත් මෙම වසරේ සිසුන් 3670ක් බඳවා ගැනීමට නියමිත අතර අගෝස්තු මාසයේ මෙය විවෘත කිරීමටද නියමිතය. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට අනුව නම් මෙහි උපකුලපති සිංහල බෞද්ධයෙකි. ආචාර්යවරුන්ගෙන් හරි අඩක්ම සිංහල බෞද්ධය. දැනට පරිපාලන කටයුතු භාරව කටයුතු කිරීම සඳහා ‍ලේඛකාධිකාරීවරුන් දෙදෙනකු සිටිති. එක් අයෙක් මුස්ලිම් ජාතිකයෙකි. අනෙකා සිංහල කාන්තාවකි. දැනට කාර්ය මණ්ඩලයේ තිස්පහකට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර දැන් සතියක පමණ සිට ඔවුන් කිසිවකු රාජකාරියට වාර්තා කරන්නේද නැත. ලක්ෂ විස්සක් පමණ වන මුස්ලිම් ප්‍රජාවටත් ලෝක මුස්ලිම් ප්‍රජාවටත් විශේෂයෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලටත් විවෘත කර සිදු කරන්නට යන, මෙම වසර හය තුළ සිව් වතාවක් නම් වෙනස් කළ ආයතනයට රජයේ සෘජු මැදිත්වීමක් හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේත් සෘජු මැදිහත් වීමක් අත්‍යවශ්‍ය බව දැන් සියලු දෙනාගේම මතයයි.

ප්‍රියන්ත බණ්ඩාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.