lakbima.lk

මත්පෙති සමග ටෙලි නිළියක් කොටු වූ පොල්හේනේ බිච් පාටිය

මාතර, මිරිස්ස ලංකාව පුරා ප්‍රකටව තිබුණේ එහි සුන්දර වෙරළ තීරය නිසාය. දෙස් විදෙස් සංචාරකයන්ගේ මනබඳින තෝතැන්නක් වූ මිරිස්ස වෙරළ තීරයේ ඒ සුන්දරත්වයේ කීර්ති නාමය යටපත් කරමින් වෙනත් දෙයක් සඳහා ප්‍රසිද්ධියක් මතුවෙමින් තිබේ. ඒ රාත්‍රී එළිමහන් සාද (බිච් පාටි) හා ඒ හා එකට බැඳුණු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙනි.

මීට වසර කීපයකට ඉහතදී බිච් පාටි තිබුණේ කොළඹ හා ඒ ආශ්‍රිතවය. ඒත් දැන් එකී බිච් පාටි කොළඹට සමු දෙමින් රටේ ඈත පළාත් කරා යමින් තිබේ. මේ අතර ප්‍රධාන තැනක් ගන්නේ ආරුගම්බේ හා මිරිස්ස වැනි වෙරළ තීරයන්ය.

සාමාන්‍ය සංචාරක ව්‍යාපාරයට වඩා බිච් පාටි ලාභදායී ව්‍යාපාරයක් බැවින් දැන් මිරිස්ස වෙරළේ ඇති සංචාරක හෝටල් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ එම රාත්‍රී සාද සඳහාය.

“Mirissa Sensation” එන්න ඔබත් අත්විඳින්න යැයි ඉකුත් දිනවල අන්තර්ජාලයේ පළකර තිබුණේ එවැනි රාත්‍රී බිච් පාටියක් ගැනය.

මෙය සංවිධානය කර තිබුණේ මිරිස්ස හෝටලයකිනි. සාදය ඉකුත් 02 දා පස්වරු 6.00 සිට පසුදා (03) උදෑසන දක්වා පැවැත්වෙන බව එහි සඳහන් කර තිබූ අතර ඇතුල් වීමට රුපියල් හාරදහසක් අය කෙරෙන බවත් එහි වැඩිදුරටත් සඳහන් වී තිබුණි.

ඉකුත් 02 දා පස්වරු 6.00 වන විට මෙකී හෝටලයේ අතුරු සිදුරු නැතිව දෙස් විදෙස් තරුණ තරුණියන්ගෙන් පිරී ගියේය. කොළඹ-මාතර අධිවේගී මාර්ගය ඔස්සේ ඉතා පහසුවෙන් මිරිස්සට ළඟා විය හැකි බැවින් මෙම සාදය සඳහා බොහෝ දෙනෙකු අති සුඛෝපභෝගී වාහනවලින් මෙන්ම අධිවේගයේ බස් රථ වලින්ද පැමිණ තිබුණි. රාත්‍රිය උදාවත්ම 1500 ක් පමණ පිරිසක් සාදයට එක්ව සිටියහ. මුදල් ගෙවා ඇතුළු වීමෙන් පසු තමන්ට අවශ්‍ය ආහාර පාන සඳහා වෙනම මුදල් ගෙවිය යුතුව තිබුණි. මෙම සාදයේ කෙටි ආහාර පාන වර්ග, මත්පැන්, මත්ද්‍රව්‍ය වර්ගද නොඅඩුව තිබුණේ සාදය උත්කර්ෂවත් කිරීම උදෙසාය.

පසුබිම්  සංගීතය සමග මතින් මත් වූ තරුණ තරුණියන්ට සිය නර්තනයේ රිද්මය එක දිගටම පවත්වාගෙන යාම සඳහා සංවිධායකයන් අපූරු උපක්‍රමයක් යොදා තිබුණි. ඒ එක්තරා පෙත්තකි.

මෙම සාදයෙන් පසු දිනද ආෆ්ටර් පාටි ලෙස හැඳින්වූ තවත් සාදයක් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි. එහෙයින් සාදයේ සිටි තරුණ තරුණියන් දාහත්දෙනකු අලුයම 4.00 ට පමණ සාදයෙන් පිටතට පැමිණියේ සාදයෙන් ලැබූ වින්දනයට වඩා වෙනත් ආකාරයක වින්දනයක් ලබාගැනීම සඳහාය.

මිරිස්ස හෝටලයෙන් පිටතට පැමිණි ඔවුන් එහි සිට කිලෝ මීටර් 12 ක් පමණ දුරින් පිහිටි ‍පොල්හේනේ පිහිටි හෝටලයක් වෙත ගියහ. එහි ගොස් රුපියල් දස දහස බැගින්  ගෙවා යුගල කාමර දෙකක් වෙන් කර ගත්තෝය.

ඔවුන් මෙසේ ‍පොල්හේන හෝටලයේ ලැඟුම් ගෙන සිටියදී මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය වෙත තොරතුරක් ලැබුණි. ඒ විෂ මත්ද්‍රව්‍ය සමග තරුණ පිරිසක් හෝටලයේ ලැඟුුම් ගෙන සිටින බවය. ඒ ඉකුත් 03 දා පෙරවරු 11.00 ට පමණය.

වහාම ක්‍රියාත්මක වූ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ‍පොල්හේන හෝටලයට ගොස් අදාළ කාමර පරීක්ෂා කළෝය. එහිදී ඔවුන් දුටුවේ තරුණයන් දාහතර දෙනකු හා තරුණියන් තුන්දෙනකු එකම කාමරයකට වී මත්ද්‍රව්‍ය භාවිත කරන ආකාරයයි.

‍පොලීසිය ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගත් අතර එහිදී ඔවුන් සන්තකයේ තිබූ කොකේන් ග්‍රෑම් 01 මිලි ග්‍රෑම් 480 ක්, කොකේන් භාවිත කරන උපකරණ හා හඳුනා නොගත් මිලිග්‍රෑම් 250ක සුදු පැහැති පෙත්තක්ද අත්අඩංගුවට ගත්තේය. මෙම පෙත්ත මතෛක් මෙරටින් හමු නොවූ මත් පෙත්තක් බව ‍පොලීසියේ විශ්වාසයයි.

අත්අඩංගුවට පත් වූ පිරිමි පුද්ගලයන් වයස අවුරුදු 18 -26 ත් අතර වියේ පසුවූවන් වන අතර තරුණියන් තිදෙනා 24, 20 වියේ පසුවූවන් වූහ.

මොවුන් කොළඹ, හැඳල, වැල්ලවත්ත, පානදුර, මීගමුව ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

අත්අඩංගුවට ගත් පිරිස මාතර ‍පොලිස් ස්ථානය වෙත ගොස් ප්‍රකාශ ලබා ගැනීමේදී එක් තරුණියක් ප්‍රකාශ කර සිටියේ තමන් ටෙලි නිළියක් බවය.

“අපි ඔයාව දැකලා නෑනේ නාට්‍යවල යැයි ‍පොලිස් නිලධාරීන් පවසන විට ඇය එක්තරා නාට්‍යයක නමක් සඳහන් කර එහි ගමේ සිට කොළඹ පැමිණෙන තරුණියකගේ චරිතයත්, මේ වන විට රූගත වෙමින් පවතින ගින්දරී 2 චිත්‍රපටයේත්, පිටකොටුව චිත්‍රපටයේත් රඟපා තිබෙන බව ප්‍රකාශ කර සිටියාය.

ඊට අමතරව මෝස්තර නිරූපණයේ යෙදෙන බවද ඇය පවසා තිබේ. සෙසු තරුණියන් දෙදෙනාද මෝස්තර නිරුපණ ක්ෂේත්‍රයේ නියැළෙන බව ‍පොලීසියට ප්‍රකාශ කර තිබේ.

මොවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු මොවුන් විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සෙවීමට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරිණි. ඊට අමතරව ෆේස්බුක් සාදය පැවැත්වූ බව කියන හෝටලයට ගොස් එහි දහවල් තැබිමට සූදානම් කර තිබූ පසු සාදයන්ද අවලංගු කිරීමට ‍පොලීසිය ක්‍රියා කළේය.

මීට පෙරද මිරිස්සේ මෙම හෝටලය තුළ තිබි විෂ මත්ද්‍රව්‍ය සොයාගත් බවත් ‍පොලීසිය පවසයි.

මාතර කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී ජී. එච්. මාරපනගේ අධීක්ෂණයෙන් ‍පොලිස් අධිකාරී 01 වයි.එල්. ලීලවංශ හා මාතර මූලස්ථාන ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ධම්මික අමරසේනගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක උදිත කුමාරගේ මෙහෙයවීමෙන් ‍පොලිස් සැරයන් (55804) ප්‍රියංකර, (56615) සුනිල්, (37066) පතිරණ, ‍පොලිස් කොස්තාපල් (55836) ක්‍රිෂාන්ත, කාන්තා ‍පොලිස් කොස්තාපල් (6647) යුගානි හා ‍පොලිස් කොස්තාපල් රියැදුරු (80473) වසන්ත යන නිලධාරීන්, නිලධාරිනියන් විසින් වැටලීම් කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙය නීතියේ රැහැනට හසු වූ එක් ස්ථානයක් පමණි. මෙවන් සාද තවත් බොහෝ ඇත. ඉකුත් වසරේදී වාද්දුවේ ප්‍රදේශයේද හෝටලයක මෙවන් සාදයක් තිබි එහිදී අධික ලෙස විෂ මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් තරුණ ජීවිත හතරක් අකාලයේ මිලින වී ගිය අයුරු අමතක කළ නොහැක.

ශානිකා මාධවී

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.