lakbima.lk

මධුෂ් ගැන ගම්මු කියන කතාව

යුද්ධය නරක වුවත් යුද්ධය නිසා එක් හොඳක් වූවේය. ඒ රට්ටු රටේ හතර මායිමේ ඇති ගම්වල වගතුග හරිහැටි දැන ගැනීමය. මාවිල්ආරුව, මුහම‍ලේ, වෙල්ලිමුල්ලවයික්කාල්, නන්දිකඩාල් ආදි නම් සිය ගණනක් දකුණේ ජනතාව මුල්වරට දැනගත්තේ යුද්ධය නිසාය.

යුද්ධය සේම පාතාලයත් නිසා ලංකාවේ ගම් රැසක් මාධ්‍යයෙන් ප්‍රසිද්ධියට පත්වූයේය. ඒ පාතාල නායකයන්ගේ නම්වලට මුලින් ඔවුන් ඉපදුණ ගමේ නම යෙදීම නිසාය. ඔවුන්ගේ නම් ‍පොලිස් ‍පොතේද මාධ්‍යයේද ලියැවුණේ ගමත් සමග පටබැඳුණු නමත් සමගය. නාවල නිහාල්, බැද්දගාන සංජීව, කඩුවෙල වසන්ත, අංගොඩ ලොක්කා, හබරකඩ වසන්ත, රණා‍ලේ සමයං ආදිහු ඊට උදාහරණය. මේ සියලු නම් පරදා මේ දවස්වල මුළු රටම කතා කරන චරිතය මාකඳුරේ මධුෂ්ය. මාකඳුර මින් පෙර ප්‍රසිද්ධියට පත්වූයේ කවියකු නිසාය. ඔහු මාකඳුරේ ගුණවර්ධනය. එනමුත් එම කවියාගේ ගම වූ මාකඳුර පිහිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පන්නලට ආසන්නයේය. මධුෂ් ඒ මාකඳුරේ නොව මාතර මාකඳුරේය. එම ගමින් බිහි වූ රටම දන්නා චරිතයක් වන්නේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාය. එහෙත් මාතර මාකඳුර රටුන් අතරේ පමණක් නොව ලෝකේම ප්‍රසිද්ධියට පත් කළ චරිතය මධුෂ් යැයි කීවට මාකඳුරේ ගම්මු අප සමග අමනාප නොවනු ඇත.

එහෙත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා කියන්නේ මධුෂ්ගේ ගම මාකඳුර නොවන බවය. මන්ත්‍රීවරයා එසේ කියන්නේ ඔහු හා මධුෂ් සම්බන්ධ කර එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමිනි. මන්ත්‍රීවරයාට එල්ල වූ චෝදනාවක් වූයේ ඔහුගේ පුතාගේ විවාහ මංගල්‍යයට ඩුබායි සිට මධුෂ් පැමිණි බවය. එහෙත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා කීවේ තම පුතාගේ විවාහ මංගල්‍යයට තමා මධුෂ්ට ඇරයුම් නොකළ බවය.

“මධුෂ් හා මා අතර කිසිදු සම්බන්ධයක් නෑ. එක්දහස් නවසිය අනූනවයෙන් පසුව මම මධුෂ්ව දැකලත් නෑ. මට දේශපාලනික පහර ගසන බව දන්නා නිසා මම මධුෂ්ගේ පියාගේ මළගෙදරට ගියේ නෑ.

නමුත් ගමේ අය මළගෙදරට ගියා.

මගේ ගම මාකඳුර. මේ නිසා පාතාල නායක මධුෂ් සම්බන්ධ කර ගනිමින් මම සම්බන්ධයෙන් වැරදි මතයක් මාධ්‍ය හරහා සමාජගතව තිබෙනවා. මධුෂ් මාකඳුරේ ‍නෙවෙයි. ඔහු කඹුරුපිටියේ. භීෂණ සමයේදී ඔහුගේ මව ඝාතනයට ලක්වෙනවා. ඒ ඝාතනය සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. මධුෂ්ට අවුරුදු 8දී ඔහුගේ පියා වෙනත් විවාහයක් කරගන්නවා. පසුකාලයකදී ඔහු මාකඳුර ප්‍රදේශයෙන් විවාහයක් කරගෙන එහිම පදිංචි වෙනවා ඔහු පවසන්නේය.

මන්ත්‍රීවරයා කියන එම කතාවේ ඇත්තක් තිබේ. මධුෂ්ගේ හරි ගම කඹුරුපිටිය, මුලටියන පාරේ පිහිටි ගතාරේ වැලිහේන්ගොඩකුට්ටියය. කඹුරුපිටිය ටවුමට පෙනෙන කන්ද වැලිහේන්ගොඩ කුට්ටිය. එනමුත් එම ගමට යා යුත්තේ ගතාරේ නාරන්දෙණියෙන් හැරි බැරගම්මුල්ල පාරේය. වැලිහේන්ගොඩකුට්ටිය මධුෂ්ගේ අම්මාගේ ගමය. මධුෂ්ගේ තාත්තා වූ සමරසිංහ ආරච්චිගේ ලක්ෂ්මන්ගේ ගම ඇඹිලිපිටියය. ලක්ෂ්මන් විවාහ වූයේ මාලනී සමරසිංහ සමගය. එම යුවළට දියණියක හා පුත්තු දෙදෙනක් සිටියහ. බාල පුතා නිරෝෂන් ලක්ෂිතය.

වැලිහේන්ගොඩකුට්ටිය ගම්මුද මාකඳුරේ ගම්මුද මධුෂ් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට බයය. එහෙත් එම ගම් දෙකේම මිනිස්සු මධුෂ්ට දොසක් කියන්නේ නැත. නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත අපට කතා කළ ගම්වැසියකු කීවේ මධුෂ් ගමේ කොයිකාටත් උදව් කළ අයෙකු බවය.

“මධුෂ්ලාගේ මහ ගෙදර තිබුණේ කඳු ගැටයක. පහළ කුඹුරුයායෙ'' ගෙදර පැත්තක අතින් වතුර ගන්න පුළුවන් ‍පොඩි ළිඳක් තිබුණා. කුඹුරු වැඩ කරන කාලයට හැමෝම වතුර බිව්වේ ඒ ළිඳෙන්. ඒ කා‍ලේ මධුෂ් ‍පොඩි දරුවෙක්. ඔය හැම විනාශයකටම මුල මධුෂ්ගේ අම්මාගේ මරණය. අම්මා මැරුණට පස්සේ ඒ දරුවෝ අයා‍ලේ ගියා. ඔහු කියන්නේය.

මධුෂ්ගේ අම්මා වූ මාලනී සමරසිංහ මැරුණේ නැත. මරා දැම්මේය. අසූඅට අසූනවය භීෂණ සමයේ උල්ලල කහගල ඉස්කෝ‍ලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය රැස්වීමක් සංවිධානය කර තිබුණි. එකල රජයේ තහනමට ලක්ව තිබූ ජ.වි.පෙ. සන්නද්ධ අංශය හැඳින්වූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනුවෙනි.

“රෑ අපට තුණ්ඩු කෑලි ලැබුණා. කහගල ඉස්කෝ‍ලේ රැස්වීමට අනිවාර්යයෙන්ම එන්න කියලා. නොගියොත් ඒ අයගෙන් මැරුම්කන්න වෙනවා. ගියොත් හමුදාව අපි ජ.වි.පෙ. කියලා අල්ලන් යනවා. මේ නිසා රැස්වීමට වැඩියෙන් ගියේ ගෑනු. පිරිමි හමුදාවට බයේ එන්නේ නෑ. එදා දවස මට තවමත් මතකයි. හමුදාව එම රැස්වීමට ගිය අයට වෙඩි තිබ්බා. මට මතක හැටියට තුන්හතර දෙනෙක් මැරුණා. මැරුණු ගමේ අය අතරේ මාලනී  අක්කාත් හිටියා. හමුදාව වෙඩි තියෙනකොට ගම්මු සී සීකඩ දිව්වා. මාලනී අක්කා රබර් ගස් ගලවපු වළකට වැටුණා. එයාගේ මිනියවත් ගන්න හමුදාවෙන් ගමේ අයට ඉඩ දුන්නේ නෑ. ත්‍රස්තවාදියකු ලෙසයි ඇය සැලකුවේ. නමුත් එදා මාලනී අක්කා  රැස්වීමට ගියේ තුණ්ඩු කෑල්ලට බයේ. එසේ කියන්නේ වැලිහේන්ගොඩකුට්ටිය ගමේ කාන්තාවකි.

මධුෂ්ගේ අම්මාගේ අකල් මරණයෙන් පසු ලක්ෂ්මන් තවත් විවාහයක් කර ගත්තේය. විවාහයෙන් පසු තාත්තා අතින් දරුවෝ අතහැරුණි. ගම්මු කියන හැටියට එතැන් සිට මධුෂ්ලා බලාගත්තේ ඔවුන්ගේ අත්තම්මා සීයා හා නැන්දලාය. පැටි වයසේ හුන් මධුෂ්ට ගෙදර කීවේ මානපාලය යනුවෙනි. ගමට ඔහු වාසනා විය. මධුෂ් සේම ඔහුගේ මල්ලිත් නංගිත් ඒකා‍ලේ බොහෝ ලස්සනය. එකල මධුෂ්ගේ මල්ලි ලක්ෂිතට ගමේ කොල්ලෝ කීවේ කට්ටා යනුවෙනි. පාතාල නායකයකු වී පසුකලෙක තරුණයන් පිරිවරාගෙන හිටියට ඉස්කෝ‍ලේ යන කාලයේ මධුෂ්ට මෙන්ම ලක්ෂිතටද බජාර් එකේ යාළුවෝ සිටියේ නැත. කොටින්ම කියනවා නම් ඒ කාලයේ මධුෂ් යනුවෙන් තරුණයෙක් සිය ගමේ සිටිනවාදැයි කීමට පවා ගම්මු දැනගෙන සිටියේ නැත.

මධුෂ් ඉස්කෝ‍ලේ ගියේ කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විදුහලටය. මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න අකුරු කළේ නාරන්දෙණිය මැදි විදුහ‍ලේය. ඔහු මධුෂ්ට වඩා වසර කීපයක් බාලය. මන්ත්‍රීවරයකු වීමට පෙර ඔහු රටුන් අතරේ ප්‍රසිද්ධියට පත් වූයේ අයි.ටී.එන්. රූපවාහිනියේ රිදම් චැට් වැඩසටහනේ නිවේදකයා ලෙසය.

ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයා සේම නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයාටත් එල්ල වූ චෝදනාව වූයේ ඔහුත් මධුෂ්  සමග සබඳතා පවත්වන බවය. ඊට එක් හේතුවක් වූයේ මන්ත්‍රීවරයා මධුෂ්ගේ පියාගේ මළගමට යාමය. ඊට උත්තර ලෙස ඔහු පාර්ලිමේන්තුවේදී  කීවේ මධුෂ් මැරුණත් තමා එම මළ ගෙදරටද යන බවය. තමා එසේ කරන්නේ ගමේ මනුස්සකමට බව ඔහු කීවේය. එනමුත් පාතාලය සමග සබඳතා නැති බවත් ඔහු කියන්නේය.  සාම්ප්‍රදායික දේශපාලනඥයන් වගේ කුඩුකාරයන් හදන්නවත් පාතලය හදන්නවත් මිනීමරුවන් හදන්නවත් මට ඕන නැහැ. මට පුළුවන් වුණොත් මනුස්සකම පිරුණු මිනිස්සු ටිකක් හදන්න හදවතින්ම මම උත්සාහ ගන්නවා. මධුෂ් වගේම මගේ යාළුවන්ගේ හැම ගෙදරකටම මම යනවා. මේ හැමදෙනාම මගේ යාළුවන්. මධුෂ් ඉස්කෝ‍ලේ ගියේ මට වඩා අවුරුදු හතරකට කලින්. මට මධුෂ් ගමන් දෙකකදී තමයි හමුවුණේ. එකවාරයකදී ඉස්කෝ‍ලේදී දැක්කා. පස්සේ 2007 අවුරුද්දේදී කඹුරුපිටියේදී දැක්කා.  ඒ අවස්ථා දෙකේදී හැර මගේ ජීවිතයේ කිසිදාක ඔහු හමුවෙලා නැහැ. හමුවෙන්න වුවමනාවක් ඇතිවෙලත් නැහැ. ආසාවක් තිබිලත් නැහැ. වැඩක් තිබිලත් නැහැ” මන්ත්‍රීවරයා පවසා තිබුණි.

නාරන්දෙණිය මැදි විදුහ‍ලේ සාමාන්‍ය පෙළ දක්වා අකුරු කළ මධුෂ් රස්සාවක් කිරීමට කල්මුණේට යන්නේය. ඒ කඹුරුපිටියේ ගමේ අයෙකු කල්මුණේ දමා තිබූ මෝටර්  සයිකල් වැඩපළකය. මධුෂ්  දෙමළ බස ඉගෙන ගත්තේ කල්මුණේදීය. එකල කල්මුණේට අවි ආයුධවලින් අඩුවක් නොවීය. ඒ කොටින්ගේ ආයුධ හොර පාරෙන් කල්මුණේදී විකිණෙන බැවිනි. තරුණ මදය හිස ගසා තිබූ මධුෂ් ටී-56 ගිනිඅවියක් හා අත්බෝම්බයක් රැගෙන කල්මුණේ සිට කඹුරුපිටියට ආවේය. ඒ ගැන අඟුපිල් ගානේ කයිවාරු ගැසූ ඔහු ගැන ‍පොලීසියට ආරංචි වන්නේය. ඔහු මුල්වරට අත්අඩංගුවට පත්වන්නේ එම සිද්ධියට බව ගම්මු කියති. එම සිද්ධියට හිරේ ගිය ඔහු යළිත් එළියට ආවේ ජීවිතේ කිසිදු දිනක ගොඩට ඒමට නොහැකි වළකට වැටීය. නරක යාළුවෝ හිරගෙදරදී මධුෂ් සමග සබඳතා ගොඩනගා ගත්හ. මධුෂ් මුලින්ම ප්‍රසිද්ධියට පත්වන්නට පටන් ගත්තේද මාකඳුරෙන් නොව කඹුරුපිටියෙනි. ඔහු මාකඳුරේ මධුෂ්  ලෙස බෞතිස්ම ලැබුවේ මාකඳුරෙන් තරුණියක විවාහ කර ගැනීමෙන් පසුවය. එතැන් සිට ඔහුගේ පදිංචිය මාකඳුරේ විය. ඔහුගේ නිවස පිහිටියේ මාකඳුරේ තුන්මං හන්දියෙන් තලහගම පාරට හැරී ටික දුරක් යන විටය. කසාද බැඳ මාකඳුරට ගියත් ඔහු කඹුරුපිටිය ටවුමට ආවේ හයර් දුවන්නටය. එකල ඔහු නිකම්ම නිකං මධුෂ් විය. ඔහු මුලින්ම අපරාධ පටන් ගන්නේ සුළුවෙනි. මධුෂ් කඹුරුපිටියේ ටවුන් එකේ කඩවලින් කප්පම් ගන්න පටන් ගත්තා. ඔහුගේ මල්ලි ලක්ෂිතත් ඔය අපරාධවලට සම්බන්ධ වුණා. අයියා ගිය වැරදි පාරේ ගිය මල්ලිටත් ජීවිතය නැති වුණා කඹුරුපිටියේ ගම්වැසියකු එසේ කීවේය.

මධුෂ් හිරේ සිටින කාලයට ඔහුගේ එළියේ වැඩබලා ගත්තේ ඔහුගේ මල්ලී වූ නිරෝෂන් ලක්ෂිත බව සඳහන්ය. ලක්ෂිතගේ සහයට සිටි අනෙක් මිතුරා වූත් කඹුරුපිටියේ සපුගොඩ හර්ෂය. වසර කීපයකට පෙර ලක්ෂිත සුදු වෑන් රියකින් පැහැරගනු ලබන්නේ ගතාරේ ඔවුන්ගේ නිවස ආසන්නයේදීය. වෙඩි තබා ඝාතනය කළ ඔහුගේ මළ සිරුර හමුවූයේ මාතර, කඹුරුපිටිය පාරෙනි. මේ අතරේ හර්ෂ ද ඝාතනය විය. එම ඝාතනය කළේ පාත‍ලේ තවත් නායකයකු වන සමයං බව සඳහන්ය. බන්ධනාගාර රියක් තුළදී සමයං ඇතුළු පාතාල සාමාජිකයන් තිදෙනකු මධුෂ්ගේ අණින් මරා දමන්නේ හර්ෂ මැරූ පලිය ගන්නටය.

මධුෂ් ගැන රටම කතා කරන්නට පටන් ගන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මාතර නායකයකු හා දකුණු පළාත් හිටපු ප්‍රවෘත්ති හා ග්‍රාම සංවර්ධන ඇමැතිවරයකු වූ ඩැනි හීන්තැටිය ඝාතනය කිරීමත් සමගය.

ගම්මු කියන විදිහට ඔහු හිටපු ඇමැතිවරයා මරන්නේ දේශපාලන ප්‍රශ්නයකට නොවේ. හිටපු ඇමැතිවරයාගේ ඥාතිවරියක මධුෂ්ගේ පුතාට බැණ වැදී තිබේ. ඉන් කෝපයට පත්වන මධුෂ් ඇයට බැණ වැදී තිබේ. මේ සිද්ධිය දැනගත් හිටපු ඇමැතිවරයා සිය ගල්කටස් තුවක්කුව රැගෙන මධුෂ්ගේ නිවසට පැමිණ අහසට වෙඩි තබා තර්ජනය කර තිබේ. එම මොහොතේ මධුෂ් සිටියේ දරුවාට බත් කවමිනි. උඹ බොරුවට අහසට වෙඩි තියනවා.

ඒත් මම උඹට වෙඩි තියන්නේ ඇත්තටම. මේ වෙලාවේ උඹට වෙඩි තිබ්බොත් දරුවාට සාක්කි දෙන්න වෙන නිසා මම වෙඩි තියන්නේ නෑ” යනුවෙන් මධුෂ් ඒ මොහොතේ ඩැනී හිත්තැටියට පැවැසූ බව ගම්මු කියති. එම සිද්ධිය එතැනින් නතර වූයේ නැත. යුද හමුදාවෙන් පැන ගිය සෙබළකු වන කමාන්ඩෝ නිශ්ශංක අතින් ඩැනි හිත්තැටිය ඝාතනයට ලක්විය. කුලී මිනීමරුවකු වන ඔහුට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව දුන්නේ මධුෂ් බව චෝදනා එල්ල විය. මේ ඝාතනය වන විට මධුෂ් සිටියේ රක්ෂිත බන්ධනාගාරයේය. හිරෙන් එළියට පැමිණි ඔහු යළි මතු වුණේ ඩුබායිවලිනි.

ඩුබායිවල මධුෂ් සිටියද මාකඳුරේ වන සියල්ල ඔහු දන්නේය. මධුෂ්ගේ මාකඳුරේ ගෙට සී.සී.ටී.වී හයි කරලා තියෙන්නේ. ඔහු ඩුබායිවල ඉඳලා ගෙදර වන දේවල් බලා ඉන්නවා. ඔහු ගැන තොරතුර හොයන්න ගමට කවුරු හරි ආවොත් ඒ බව ඔහු දන්නවා මාකඳුරේ ගම්වැසියකු අපට එසේ කීවේය.

මධුෂ් ඩුබායිවල සිටියද ඔහුගේ නීත්‍යනුකූල බිරියද පියාද හුන්නේ මෙරටය. මධුෂ්ගේ තාත්තා වූ ලක්ෂ්මන් මීට වසරකට පමණ ඉහතදී රිය අනතුරකින් මිය ගියේය. ඒ ඔහුගේ පවු‍ලේ වූ තෙවැනි මරණයය. මීට පෙර ඔහුගේ මවත් සොයුරාත් මිය ගියහ. එම තුන්දෙනාටම පින් පිණිස මධුෂ් මාතර, කිරින්ද, පුහුල්වැල්ල විහාරස්ථානයක දෙමහල් ගොඩනැල්ලක් ඉදිකිරීමට යහමින් මුදල් වියපැහැදම් කළේය. එම ගොඩනැගිල්ල විවෘත කෙරුණේ දෙදහස් දහඅටේ දෙසැම්බර් මස විසිදෙවැනිදාය. ඒ වෙනුවෙන් විවෘත කෙරුණු සමරු ඵලකයේ සඳහන් වනනේ මෙසේය.

සමරගිරි ගතාර කඹුරුපිටියේ විසූ නැසීගිය එකම පවු‍ලේ පියා, මව හා ‍පොඩි පුතු සමරසිංහ ආරච්චිගේ ලක්ෂ්මන්, මාලනී සමරසිංහ, සමරසිංහ ආරච්චිගේ නිරෝෂන් ලක්ෂිත යන උපාසක උපාසිකා මතාවන්ට පින් පිණිස මෙම දෙමහල් ගොඩනැගිල්ලෙන් යුත් ධර්ම ශාලාව, ආවාසගෙය, දාන ශාලාව එම පවු‍ලේ ලොකු පුතා ඇතුළු පවු‍ලේ සැම විසින් හද බැතියෙන් සඟ සතුකොට පූජා කරන ලදී යනුවෙනි.

එම සමරු ඵලකය උපුටා ගැනීමේ ලකුණු අතරේ සිටින ''ලොකු පුතාගේ'' නම විවෘත කිරීමේ පින්කමේදී කරළියට ආවේ නැත.

එනමුත් එම ලොකු පුතා කවුදැයි රටට රහසක් වුවද කිරින්ද, පුහුල්වැල්ල, කඹුරුපිටිය, ගතාර, මාකඳුරේ ඇතුළු අහල ගම් හතකට රහසක් නොවේ. ඒ ලක්ෂ්මන් හා මාලනී යුවළගේ ලොකු පුතා මධුෂ් බව ඔහු එකදහස් නවසිය හැත්තෑනවයේ ඉපදුණු දා පටන්ම ගම්මු දන්නා නිසාය.

මිහිරි ෆොන්සේකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.