lakbima.lk

අපටත් නොදැනීම අපේ සල්ලි බැංකුවෙන් ගන්නා ATM හොරු

අද මෙරට බොහෝ දෙනාගේ මුදල් පසුම්බිවල ඇත්තේ මුදල් නොව කේ‍රඩිට් කාඩ් (ණයවර කාඩ්පත්) හෝ ඩෙබිට් (හරකාඩ්) කාඩ්පත්ය. එකල මුදල් පසුම්බියේ මුදල් දමාගෙන ගොස් ගැට කපන්නන්ට හසුවූවෝ බොහෝය.
තාක්ෂණයේ දියුණුවත් සමග කේ‍රඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් කාඩ්පත් රහස්‍ය අංකයක් (පින් අංකය) සමග කරළියට පැමිණියේ මුදල් ආරක්ෂාකාරිව භාවිත කිරීමටය.

නමුත් වර්තමානය වන විට එසේ ආරක්ෂාකාරී යැයි සිතූ කේ‍රඩිට් කාඩ්පත් (ඒ.ටී.එම්.) තුළින්ද මුදල් අවභාවිත වන්නට පටන් ගෙන තිබේ. ඇතැම් විට එසේ මුදල් වංචාකාරයන්ට තොරතුරු ලබා දෙන්නේ තමා විසින්ම බව බොහෝදෙනා දන්නේ නැත. සිය ගිණුමෙන් මුදල් වංචා වූ විට ඒ පිළිබඳ බැංකුවට දොස් පවරමින් බැංකුවටම වැරැද්ද යොමු කිරීමට බොහෝදෙනා පෙලඹී සිටිති.

ඉකුත් සතිය පුරාම අසන්නට ලැබුණේ මිරිහාන, පිටකොටුව ආදී ප්‍රදේශවල ටෙලර් යන්ත්‍රවලින් ඒ.ටී.එම්. කාඩ්පත් භාවිත කර කිසියම් පිරිසක් මුදල් වංචනික ලෙස ලබාගන්නා බවය. මේ නිසා බැංකුවල මුදල් තැම්පත් කර තිබූ බොහෝ ගනුදෙනුකරුවන් ඉකුත් සතිය පුරාම කලබල වී බැංකු වෙත දුරකථන ඇමැතුම් ලබාදෙන්නට වූයේ ඒ.ටී.එම්. කාඩ්පත් අවලංගු කිරීමටය. එහිදී බැංකු සේවකයන්ද දැඩි අපහසුතාවට පත් වූහ. ඇතැම් බැංකු ශාඛාවලින් කාඩ්පත් භාවිත කර මුදල් ගැනීම පසුගිය සතියේ අත්හිටුවා තිබුණේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙසිනි.

බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ගනුදෙනුකරුවකුට ස්වයංක්‍රීය ටෙලර්කාඩ් දෙවර්ගයක් නිකුත් කරනු ලැබේ. මින් එක් වර්ගයක් කාන්දම් තීරුවක් සහිත මැග්නටික් ලයින් කාඩ්පතකි. එකී මැග්නටික් ලයින් නම් කොටස කාඩ්පතේ කළු තීරය වේ. අපගේ සියලු තොරතුරු සඳහන්ව ඇත්තේ කාඩ්පතේ මෙම තීරයේය. අනෙක් වර්ගයේ කාඩ්පතෙහි කෙළවරක කුඩා සිම් කාඩ්පතක් බදු චිප් එකක් තිබේ. මෙහි සියලු තොරතුරු සඳහන් වන්නේ මෙකී චිපය තුළය.

වර්තමානයේ බොහෝ දෙනා භාවිත කරනු ලබන්නේ මැග්නටික් තීරුව සහිත ස්වයංක්‍රීය කාඩ්පත්ය. ගනුදෙනුකරුවන් ඒ.ටී.එම්. යන්ත්‍රයක් අසලට ගොස් කාඩ්පත යන්ත්‍රයට ඇතුළු කරන ස්ථානයේ ඉතා සියුම් උපකරණයක් මෙම වංචාකරුවන් විසින් සවිකරනු ලබයි. එය හඳුන්වන්නේ ස්කිමරය ලෙසය. මෙය එක්තරා අන්දමකින් ස්කෑනරයක් හා සමානය. යමෙක් යන්ත්‍රයට ඇතුළු කරන කාඩ්පත මෙම ස්කිමරයට සම්බන්ධ වී යන්ත්‍රය තුළට ඇදී යන විට මැග්නටික් තීරුවේ අඩංගු සියලුම දත්ත ස්කිමරයේ සටහන් වේ.

එමෙන්ම පෑන් තුඩකටත් වඩා කුඩා යතුර පුවරුවේ කුඩා කැමරාවක් සවිකර තිබෙන බව කිසිවකු කිසිදිනෙක සිතන්නේ නැත. එහෙත් මෙම වංචාකරුවන් යතුරුපුවරුවේ එසේ කුඩා කැමරාවක් සවි කරන අතර ඉන් ගනුදෙනුකරුවකු රහස්‍ය අංකය යතුරු පුවරුවේ සටහන් කරන විට එයද මේ වංචාකරුවන්ට ලබාගත හැක්කේය. යමෙක් ආරක්ෂිතව කුටියක් තුළට ගොස් යන්ත්‍රයෙන් මුදල් ලබාගෙන පිටතට පැමිණෙන විට වංචාකරුවන් පිටත සිට වයි ෆයි තාක්ෂණය ඔස්සේ ඒ ගනුදෙනුකරුවාගේ තොරතුරු ලබාගෙන හමාරය. පසුව ඔවුන් ඊට ව්‍යාජ කාඩ්පතක් සකසා කිසිඳු අවහිරයකින් තොරව බැංකු ගිණුම්වලින් මුදල් ලබාගනිති.

හුදෙක්ම මෙම ජාවාරම් සිදුකෙරෙන්නේ බැංකු පරිශ්‍රයන්වලින් පිටත හුදෙකලා පිහිටා ඇති ඒ.ටී.එම්. යන්ත්‍ර තුළිනි. මන්ද ඒවා නිරීක්ෂණය කිරීමට කිසිවකුත් නැති හෙයින් වංචාකරුවන්ට මෙම උපකරණ යන්ත්‍රයේ අලවා යාමට ඇති පහසුවයි. මීට අමතරව ඇතැම් විට ඒ.ටී.එම්. යන්ත්‍ර අසල එය අලුත්වැඩියා කරන අයුරින්  වංචාකරුවන් රැඳී සිට මඳ වේලාවකින් යන්ත්‍රය පරීක්ෂා කිරීමට යැයි ඔබේ කාඩ්පත ඉල්ලා සිටිය හැකිය. නැතහොත් ඔබට ඔවුන් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී ඒ.ටී.එම්. කටයුතු කර දීමට පෙලඹේ. එබැවින් මෙවන් වංචාකාරයන්ගෙන් ගැලවී ඒ.ටී.එම්. කාඩ්පත් ආරක්ෂිතව භාවිත කළ යුතු ආකාරය පිළිබඳ ‍පොලිස් තොරතුරු කොට්ඨාසයේ සහකාර ‍පොලිස් අධිකාරි දමයන්ත හෙට්ටිආරච්චිගෙන් විමසා සිටියෙමු.

තොරතුරු තාක්ෂණයේ නිපුණයෙක් වූ ඔහු සඳහන් කර සිටින්නේ පළමුව ගනුදෙනුකරුවන් මැග්නටික් ලයින් කාඩ්පතක් වෙනුවට චිපයක් සහිත කාඩ්පතක් වෙත යොමු විය යුතු බවය. මන්ද චිපයකින් කිසිදු විටෙක දත්ත ලබාගැනීමේ හැකියාවක් නැත. එහි හැකියාව පවතින්නේ බැංකුවට පමණි. මෙහි දත්ත සටහන් කර ඇත්තේ රහස් ගුප්ත සංකේතයන් ඔස්සේ වීම නිසා මෙය වඩාත් ආරක්ෂාකාරී වේ.

එමෙන්ම සහකාර ‍පොලිස් අධිකාරි දමයන්ත හෙට්ටිආරච්චි පවසන්නේ යන්ත්‍රය තුළට ඒ.ටී.එම්.කාඩ්පත ඇතුළත් කිරීමේදී එහි කට කොටස අසල යම් ඉස්සීමක් තිබේදැයි පරීක්ෂා කරන ලෙසය. එම යන්ත්‍ර මුවේ වෙනසක් වේ නම් වහාම ඒ පිළිබඳ බැංකුව වෙත දැනුම් දෙන ලෙසත්ය. යතුරු පුවරුවේ රහස්‍ය අංකය සටහන් කරන විට එක් අතකින් එය වසාගෙන සටහන් කිරීම තුළින් කැමරාවක් වේ නම් ඊට දර්ශනය නොවන බවද ඔහු පවසයි.

යන්ත්‍රයේ වෙනදාට වඩා අමුතු උපකරණ තිබේදැයි විමසිලිමත් වන ලෙසත් කිසිදු අවස්ථාවක ඒ.ටී.එම්. කටයුතු සඳහා පිටස්තරයකුගේ සහායක් ලබා නොගන්නා ලෙසද ඔහු මහජනතාවටද දන්වා සිටියි.යන්ත්‍රය අසලදී කිසියම් ගැටලුවක් ඇති වුවහොත් එහි සඳහන් කර තිබෙන බැංකුවේ දුරකථන අංකයට අමතන ලෙසද එසේම සියලුම බැංකු කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන කෙටි පණිවුඩ සේවාව ජංගම දුරකථනයේ සක්‍රිය කරන ගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් දන්වා සිටියි.

ඒ.ටී.එම්. කාඩ් මගින් මුදල් සොරකම් කිරීම පිළිබඳව පසුගිය සතිය වනවිට සමාජයේ විශාල ආන්දෝලනයක් ඇති වූ අතර එවැනි සිද්ධීන් කීපයක්ම වාර්තා වූ බවද ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ පිළිබඳව පරීක්ෂණ කළ ‍පොලීසිය මෙසේ ඒ.ටී.එම්. කාඩ් මගින් මුදල් වංචා කළ රුමේනියානු ජාතිකයෙක් හා චීන ජාතිකයන් දෙදෙනෙක් මේ වන විට ‍පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ශානිකා මාධවි පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.