lakbima.lk

ඡායාරූපවලින් ඩයස්‍පෝරාව අන්දන උතුරේ හොර කොටි

මීට දස වසරකට ඉහතදී නම් කොටි ප්‍රහාර, කොටි කඳවුරු, එල්.ටී.ටී.ඊ.ය යන වචන මෙරට ජනතාවට සාමාන්‍ය දෙයකි. දිනපතාම ජනමාධ්‍ය වලින් ඒ වචන අසන්නට දකින්නට කියවන්නට ලැබුණු නිසාය. මේ වචන ජනතාවට සාමාන්‍ය දේ යැයි කීවත් රටේ ජනතාව ඒවායින් කෑ බැට අනන්තය අප්‍රමාණය.

යුද්ධය අවසන් වී දස වසරක් සපිරෙන මේ අවස්ථාවේ යළි කොටි ගැන ඇසීමට ලැබිම රටම තිගැස්ස වීමට ලක් වන්නකි. ඒ ගිනිපෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයක් දක්වන හෙයිනි.

මේ දිනවල මාධ්‍යවල කොටි නැවත හිස ඔසවමින් සිටින බවට තොරතුරු වාර්තා කර තිබේ. එහි මුල පුලියන්කුලම ප්‍රදේශයේදී ඉකුත් ජනවාරි 01 දා අවි ආයුධ සහිත ගමන් මල්ලක් මහමග තිබි හමුවීමයි. පසුව කරන ලද සොයා බැලීම්වලදී හෙළි වූයේ එම ආයුධ සහිත බෑගය පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි සාමාජිකයෙකු සතු එකක් බවය.

මෙකී සිද්ධියට අදාළව සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට පත් වුවද ආනන්ද රාසා තවම අත්අඩංගුවට පත් වූයේ නැත. ආරක්ෂක අංශ වන්නි කැලය පුරා සෙවූ මුත් ඔහුව හමු වූයේ නැත. මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී ‍පොලීසියට අපූරු කතාවක් හෙළි විය. ඒ නැති කොටි පෙන්වා සල්ලි හම්බ කිරීමේ ජාවාරමකි. එහි එක් කොණක ඇත්තේ විදේශයන්හි සිටින දෙමළ ඩයස්පේරාවය. ඔවුන් තමාට කියා ඊළාම් රාජ්‍යයක් බිහි කිරීම වෙනුවෙන් මෙරටට මුදල් එවන බව ප්‍රසිද්ධ රහසකි. 2009 වසරේදී යුද්ධය අවසන් කිරීමෙන් පසු කිහිපවරක්ම කොටි නැගී සිටීමට උත්සහ කළද ඒ සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථ වූයේ ආරක්ෂක අංශ නිසාය.

දෙමළ ඩයස්‍පෝරාවේ මේ සල්ලි ගැන දන්නා උතුරේ තරුණයන් මෙය සල්ලි ආකරයක් බව වටහා ගෙන තිබේ. ඒ සල්ලි ගහ සෙලවීමට තරුණයන් දැන් අලුත් ක්‍රමයක් සොයාගෙන තිබේ. ඒ හොරට කොටි ඇඳුම් ඇඳීමයි.

පුලියන්කුලමේදී අවි ආයුධ සහිත ගමන් මල්ලක් මහමග දමා පලා ගිය ආනන්ද රාසයියා සමග සබඳතා පැවැත්වූ තරුණයෙක් මේ වන විට සිටින්නේ ‍පොලිස් අත්අඩංගුවේය.

ඔහු පවසන්නේ තමන් දිනක් ආනන්ද රාසයියා ළඟ සිටියදී ඔහුට විදේශයෙන් ඇමතුමක් ලැබුණු බවය. ඉන් කියවුණේ මේ වන විට උතුරේ යළි ගැටුම් ඇති කරවීම සඳහා මේ වනවිට තරුණයින් සූදානම් කරමින් සිටින බවත්ය.

නමුත් ඇත්තටම මේ දිනවල උතුරේ තරුණයින් ඇඟපත නොවෙහසා මුදල් හම්බ කිරීමට පෙළඹී ඇති බව බොහෝ දෙනා දන්නේ නැත.

විදේශයන්හි සිටින කොටි ඩයස්‍පෝරාව නිතරම උතුරේ වැසියන් පිළිබඳ අවධානයෙන් සිටින බව නොරහසකි. ඔවුන් ඇතැම් තරුණයින්ට දුරකථන ඇමතුම් දෙමින් තරුණයින්ගේ බොඳ වූ සිහින ගැන කතා කර නැවත එම සිහින ඇති කරවන්නේ ඉතා සූක්ෂ්ම ආකාරයෙනි.

ඇතැම් විට තරුණයින්ගේ ක්‍රීඩා උත්සවයකට, සංගීත ප්‍රසංගයකට මුදල් එවන ඔවුන් ඉන් නොනැවතී තරුණයින්ට අලුත්ම යතුරුපැදි මිලදී ගැනීමටද මුදල් ලබා දෙන්නේ කිසිදු ලෝබකමක් නොමැතිවය.

මේ නිසාම උතුරේ තරුණයින්ද පෙළඹෙන්නේ වැඩි මහන්සියකින් තොරව මුදල් උපයා ගැනීමටය. උතුරේ තරුණයින් වඩාත් ප්‍රිය කරන්නේ දකුණු ඉන්දීය සිනමා චරිතයන් වීමටය. ඒ නිසාම ඔවුන් ගමේ නගරයේ ඇවිද යන්නේ ඒ ඒ සිනමා පටවල ඇති විවිධ චරිතයන් අනුකරණය කරමිනි.

දකුණේ තරුණයින් ළඟ ඇත්තේ පිහියයි. නමුත් උතුරේ තරුණයින් ළඟ ඇත්තේ කඩුවය. ඔවුන් කඩුවක් සමග ඡායාරූපයක් ගෙන විදේශයේ කොටි ඩයස්‍පෝරාවට යැවූ විට “මූ නම් නියම බඩුවක්” යැයි සිතා ඩයස්‍පෝරාව එම තරුණයින්ගේ බැංකු ගිණුම් වලට රුපියල් පනස් දහසෙන් එහා ගිය මුදල් බැර කරන්නේ උතුරේ ගැටුම් ඇති කරවීමේ ප්‍රීතියටය.

තරුණයින්ගේ වීරත්වය පිළිබිඹු කරන ආකාරය අනුව මෙහිදී ඔවුන්ට ඩොලර් හිමි වේ.

එමෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඇඳුම්, කොටි, ලාංඡන සමග ඔවුන් කටයුතු කරමින් ඒවා ඡායාරූප ගත කර අන්තර්ජාලයට මුදා හරින්නේද ඩයස්‍පෝරාවේ වුවමනාවටය. ඒ මගින් සෙසු දෙමළ සමාජයේද උත්තේජනයක් ඇති කරවීමටය.

ආවා කල්ලියේ ක්‍රියාකාරකම් උතුරේ යාපනය, කෝපායි, චුන්නාකම්, මානිප්පායි යන ‍පොලිස් වසම් හතරේ ඇති වෙද්දී ඊට මුවා වී වාසි ගත්තෝද උතුරේ බොහෝය.

ඇතැම් නිවාසවලට පහර දීම සම්බන්ධයෙන් ‍පොලීසි වලට පැමිණිලි ලැබෙන්නේද නැත. එහෙත් ඒවා ඡායාරූප ගත කර ස්විස්ටර්ලන්තයේ හෝ කැනඩාවේ සිටින තම ඥාතීන්ට යවයි. ඒ වන විට එරට සිටින ඥාතීන්ගේ ඇතැම් විට වීසා කාලය අවලංගු වීමට ආසන්නව ඇත. මෙම ඡායාරූප පෙන්වා තමන්ට තවමත් උතුරේ හිරිහැර පවතින බව පෙන්වා වීසා කාලය දික් කර ගැනීමද සිදු කර ගෙන තිබේ. එමෙන්ම තමන්ට හිරිහැර ඇති බව පෙන්වා විදේශයන්හි දේශපාලන රැකවරණය මත පදිංචියට යාමද සිදු කර ගනියි.

උතුරේ ඇතැම් වැඩිහිටියන්ද මාසිකව තමන්ට විදේශයෙන් බැරවෙන මුදල බලා‍පොරොත්තුවෙන් සිටින්නේ ඇඟිලි ගනිමිනි.

දකුණේ වැසියන්ට මෙවැනි කාරණා සංකීර්ණ වුවද උතුරේ වැසියන්ට මේවා ඉතාමත් සරල දේවල්ය.

ඇතැමුන්ගේ මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් මේ වන විට ඒ ඒ රටවල තානාපතිවරුන්ද දැනුවත් කිරීමට මේ වන විට ‍පොලීසිය ක්‍රියා කර තිබේ.

මේ වන විට උතුරේ ආවා කල්ලිය අභිභවමින් ආනන්ද රාසයියා ඉදිරියට පැමිණ තිබේ. මෙම කතාවේ කතා නායකයා වන ආනන්ද හා ශංකර් තවමත් සිටින්නේ ‍පොලිස් ඇසට යටිනි  ඔවුන් අත්අඩංගුවට ගත් දිනෙක පුලියන්කුලමේ සැබෑ කතාව හෙළිදරව් කෙරෙනු ඇත.

 ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.