lakbima.lk

ලොක්කන්ගේ දුරකථන ආණ්ඩුව ටැප් කරලද?

ප්‍රංශයේ ජනාධිපතිව සිටි චාල්ස් ඩිගෝල් ඝාතනය කිරීමට සැලසුම් කළ කුමන්ත්‍රණයක් පිළිබඳ ත්‍රාසජනක නවකතාවක් ලියැවී තිබේ. “ද ඩේ ඔෆ් ද ජැකෝල්” (වෘකයාගේ දවස) යනුවෙන් ලියැවුණු එම ‍පොතේ එන වීරයා රහස් පරීක්ෂකයෙකි. ජනපති ඝාතනයට එන වෘකයා යන අන්වර්ථ නමින් හඳුන්වන නාඳුනන ස්නයිපර්  තුවක්කුකරුවා හඳුනා ගත්තේ එම රහස් පරීක්ෂකයාය. වෘකයා පිටුපස මාස ගණනාවක් පුරා පැන්නුවත් ඔහුගේ සියලු මෙහෙයුම් වෘකයාට දැන ගන්නට ලැබේ. අන්තිමේදී රහස් පරීක්ෂකයා මෙහෙයුමේ තොරතුරු පිටට දෙන නිලධාරියා සොයා ගැනීමට සමත් වෙයි. ඔහු මෙහෙයුමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ වාඩිවන කර්නල්වරයෙකි. කර්නල්වරයා තොරතුරු දුන් බව හෙළි වන්නේ රහස් පරීක්ෂකවරයා ඔහුගේ දුරකථනයට හොරෙන් සවන් දීමෙනි. ඔහුගේ දුරකථනය ටැප් කරන්න අවශ්‍යයයි කියලා හිතුණේ ඇයිදැයි ආරක්ෂක ඇමැතිවරයා රහස්  පරීක්ෂකයාගෙන් විමසුවේය.

මම එහෙම විශේෂයෙන් ඒක ටැප් කරන්න හිතුවේ නෑ. මම ඊයේ රාත්‍රීයේ ඔබ සැමගේම දුරකථන ටෙලිෆොන් ටැප් කළා රහස් පරීක්ෂකයා කීවේය.

“ද ඩේ ඔෆ් ද ජැකෝල්” නවකතාවේ රහස් පරීක්ෂකයා දුරකථන ඇමතුම් ටැප් කළ බව පිළිගත් ආකාරයටම දැන් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර්  සුමිත් අතපත්තු  එවැනි කාරණාවක් පිළිගෙන තිබේ. සති අන්ත පත්තරයකින් ඇසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දී තිබුණේ යුද හමුදාව දුරකථන ඇමතුම්වලට හොරෙන්  සවන් නොදෙන බවය. එහෙත් ජාතික ආරක්ෂාවට බාධාවක් ලෙස හඳුනාගත් පුද්ගලයන් පිළිබඳ අවශ්‍යතාව අනුව ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට සවන් දෙන බව හමුදා ප්‍රකාශකවරයා පවසා තිබුණි.

එම පුවත්පතට පිළිතුරු දුන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනවිරත්න පවසා තිබුණේ ගුවන් හමුදාව දුරකථන වලට හොරෙන් සවන් නොදෙන මුත් ‍පොලීසිය එය කරන බවය.

කෙසේ නමුදු මේ ප්‍රකාශ වලින් දැන් අලුත් කතාවක් කරළියට පැමිණ ඇත්තේය. එය ආරක්ෂක අංශ දුරකථන ටැප් කරන බව නිල වශයෙන් පිළිගෙන ඇති බවය. ටෙලිෆෝන් ටැප් කිරීම හෙවත් දුරකථන ඇමතුම් වලට හොරෙන් සවන් දීම අලුත් මාතෘකාවක් නොවේ. “ජාතික ආරක්ෂාව” යන අලංකාර වදනට මුවා වී පවතින ආණ්ඩුවේ ඕනෑ එපාකම් අනුව ආරක්ෂක  අංශ හැමදාමත් දුරකථන ටැප් කරන බව නොරහසකි. ඊට හොඳම උදාහරණය චන්ද්‍රිකා බණ්ඩාරණායක ආණ්ඩු සමයේ “රි‍පෝටර්” යනුවෙන් ජනපතිනිය හඳුන්වනු ලැබූ ප්‍රබල ඇමැතිවරයෙකි. එම ඇමැතිවරයා චන්ද්‍රිකාගේ ඇතැම් වැඩ නොරිස්සුවේය. එදා සිට චන්ද්‍රිකාටත් ඔහු පෙන්නන්නට බැරිය.  (පසුකලකදී ඔවුහු දෙන්නා නයි මුගටියෝ බවට පත්වූහ.)  තමාගේ දුරකථනය ටැප් කර ඇති බව එම ඇමැතිවරයා හොඳටම දැනගෙන සිටියේය. එබැවින් ඔහු සිය මිතුරෙකු කතා කළ විට මුලින්ම කරන්නේ අම්මා, මුත්තා සිහි කරමින් බැණ වැදීමය. ඉන් පසුව ඔහු උත්තර දෙන්නේ බැන්නේ ඔහෙට නොවේ. ෆෝන් එක ටැප් කරලා අහං ඉන්න එකාට යනුවෙනි.

දේශපාලනඥයන් පමණක් නොව ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් පුවත්පත්කලාවේදීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්, ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගේ දුරකථනවලට ආරක්ෂක අංශ හොරෙන් සවන්දෙන බව ඉකුත් කාලයේදී කියැවුණි. මෙසේ දුරකථනවලට හොරෙන් සවන් දෙන බවට වැඩියෙන් චෝදනාව එල්ල වුණේ රාජ්‍ය බුද්ධි සේවයටය. “එස්.අයි.එස්.” හෙවත් රාජ්‍ය බුද්ධි සේවය. සෘජුවම පාලනය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයය. එහි අධ්‍යක්ෂවරයා වන්නේ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකි. ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණවලදී කරළියට ආ අතුරු කතාවක් වන්නේ එකල රාජ්‍ය බුද්ධි සේවය ඔහුගේ දුරකථනයට හොරෙන්  සවන් දී ඇති බවය. එකල රාජ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා අණින් රාජ්‍ය බුද්ධි සේවය ලසන්ත වික්‍රමතුංග සමග සබඳතා පැවැත්වූ දේශපාලනඥයෙක්ගේ දුරකථන ඇමතුම් පරීක්ෂා කර තිබේ. එම දේශපාලකයන් අතර එකල විපක්ෂනායක වූ රනිල් වික්‍රමසිංහගේ නමද තිබූ බව සඳහන්ය. මහින්ද රාජපක්ෂ යුගයේදී මෙවැනි චෝදනා රැසක් එල්ල විය. මෛත්‍රීපාල සිරිසේන ‍පොදු අපේක්ෂකයා කිරීමේ තිරය පිටුපස මෙහෙයුම ගැන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කීවේ මහින්දගේ බුද්ධි අංශ නිලධාරීන්  තමාගේ දුරකථන ටැප් කරන නිසා රහස් පණිවුඩ කතා කළේ වට්ස්-ඇප් හරහා බවය. කෙසේ නමුත් සිය දේශපාලන අවශ්‍යතා සඳහා දුරකථන ටැප් කළ බවට චෝදනා එල්ල වුණාද එම ආණ්ඩු සමයේදී දුරකථනවලට හොරෙන් සවන් දී එල්.ටී.ටී.ඊ. ඉදිරි සැලසුම් පිළිබඳ තොරතුරු රැසක්ද අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ එකල සමත් විය. ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් එල්.ටී.ටී.ඊ.යේ අධි ප්‍රවාහන නෞකා රැසක් ගිල්වා දැමුවේ දුරකථන වලට හොරෙන් සවන් දී ලද තොරතුරු අනුවය. යුද හමුදා බුද්ධි අංශය එසේ එල්.ටී.ටී.ඊ.යේ දුරකථනවලට හොරෙන් සවන් දී එවැනි තොරතුරු  නාවික හමුදාවට දුන් බව අද්මිරාල් වසන්ත කරන්නාගොඩ  ලියූ “විජයග්‍රහණය” කෘතියේද සඳහන්වේ.

එහෙත් රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලනඥයන්ගේද, ලසන්ත වික්‍රමතුංග ඇතුළු පුවත්පත්කලාවේදීන්ගේ දුරකථන ටැප් කිරීම ජාතික ආරක්ෂාවට අදාළ වූයේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයකි. එමෙන්ම දුරකථන ටැප් කිරීමට ලක් වන පුද්ගලයා ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද නැද්ද යනුවෙන් බෙදා වෙන් කිරීමට නිර්නායකය කුමක්ද? එවැනි නිර්නායක නැති බව පැහැදිලි වන්නේ ජාතික ආරක්ෂාවට මුවා වී කබරගොයා තලගොයා කිරීමේ න්‍යාය හැම ආණ්ඩුවකදීම ක්‍රියාත්මක වන බැවිනි. එහෙත් යහපාලනයේ නාමයෙන් බලයට පත් වූ ආණ්ඩුවක් පෞද්ගලික නිදහසට බාධා පමුණනු ඇතැයි තවදුරටත් හිතුවේ නැත.

දැනට හෙළි වී ඇති තොරතුරු වලට අනුව ආණ්ඩුවේ ඕනෑ එපා කම් මත පමණක් නොව ‍පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ පුටු අතර උද්ගත වූ සීතල යුද්ධය හේතුවෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරීන් රැසකගේ දුරකථනවලට හොරෙන් සවන් දෙන බවට තොරතුරු හෙළි වී  තිබේ. ඒ කතාව එළියට එන්නේ ‍පොලිස්පති පූජිත් ජයසුන්දර හා ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරු අතරේ ඇති වූ ප්‍රශ්නයේදීය. තමන්ගේ දුරකථනවලට හොරෙන් සවන් දීමට ‍පොලිස්පතිවරයා නියම කර ඇති බව කියමින් ‍‍‍ජ්‍යෙෂ්ඨ  පොලිස් නිලධාරීහු ‍පොලිස් කොමිසමටත් ආරක්ෂක       අමාත්‍යාංශයටත් පැමිණිලි කළහ. එපමණක් නොවේ වැඩ තහනමට ලක්ව  සිටින නියෝජ්‍ය ‍පොලිස්පති නාලක ද සිල්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය ‍පොලිස්පතිව සිටි අවධියේ නුගේගොඩ  නිවසක දුරකථන ඇමතුම් පනස් දහසක් ටැප් කළ හැකි යන්ත්‍රයක් සවි කර ඇතැයි චෝදනාවක් එල්ල විය. ත්‍රස්ත විමර්ශන අංශය පිහිටු වූයේ ත්‍රස්තවාදී කටයුතු ගැන සොයා බැලීමට මුත් ඉකුත් කාලයේ එම අංශය කර ඇත්තේ වෙනත් වැඩ බව දැන් හෙළි වෙමින් තිබේ. මේ ආකාරයට අනුන්ගේ කතා වලට හොරෙන් සවන් දීමේ චෝදනාවට ජනපතිවරයෙකුට ගෙදර යන්නට සිද්ධ වූ බවද අප අමතක කළ යුතු නැත. ඔහු ඇමෙරිකාවේ ජනපති රිචඩ් නික්සන්ය. “වෝටර් ගේට්” යනුවෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් එම සිද්ධිය අනාවරණය කළ පුවත්පත් කලාවේදීයාට පූලිට්සර් ත්‍යාගයද හිමි විය.

මිහිරි ෆොන්සේකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.