lakbima.lk

සේනා ඉබේ ආවාද? ගෙන ආවාද?

මිනිසුන් බොහෝ දියුණුය. ඉරහඳ තරු ජයගත් කතා දැන් පැරණිය. දැන් උදාවී ඇත්තේ සඳේ ගස් වවන කාලයයි. එහෙත් ලංකාවේ අපි තවමත් බොහෝ පසුපසිනි. ඉරහඳ තරු ජයගනු තබා අපට මේ කුඩා රට රැකගන්නටවත් බැරි වග දැන් පෙනෙන්නට තිබේ. ඊට හොඳම උදාහරණය අලි ඇතුන්ගෙන් පටන්ගෙන රිලව්, මොනරුන් දක්වා සත්ව සේනාවෝ සමග ලාංකිකයෝ කරමින් සිටිනා සටනයි. මෙකී සටන් බොහෝ විට නිමවන්නේ ජය පැරදුම් රහිතවය. නැතහොත් දෙපිරිසටම සම ලාභ පාඩු ගෙනඑමිනි. එහෙත් මේ දිනවල ලංකාවේ ගොවීන් මතු නොව දේශපාලනඥයෝද පර්යේෂකයෝද එක සතෙකුට පැරදී බියට පත්ව සිටිති. ඒ සතා මහ ලොකු එකෙක් නොව අඟලක්හමාරක් දිග නැති දළඹුවෙකි. අද වන  විට මුළු ලංකාවම එක තැන නතර කරන්නට සමත්ව ඇති මේ සතා අනෙකකු නොව සේනා දළඹුවාය.

Spodoptera frugiperda යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන සලබයාගේ කීට අවධිය වන සේනා දළඹුවා (Fall armyworm) බඩඉරිඟු ගොවියා නැත්තටම නැතිකොට හමාරය. ලංකාවේ බඩඉරිඟු  බිම් හෙක්ටයාර් 93000න් 43000ක්ම මේ දළඹුවාට බිලිවී හමාරය. ඊට අමතරව ගෝවා, කුරක්කන් ආදී බහු බෝග දැන් ‘සේනා’ට ගොදුරුව අවසන්ය. දෙවියන්ගේ පිහිටෙන් කුඹුරු ටික පමණක් බේරී ඇත. ‘සේනා’ ආවේ කොහෙන්ද? ‘සේනා’ එව්වේ කවුද? ‘සේනා’ කාගේ කුමන්ත්‍රණයක්ද? දැන් රට පුරා මිනිසුන් ප්‍රශ්න කරන්නේය.  ඒ ජයගත නොහැකි සටන්කරුවෙකු බවට සේනා දළඹුවා පත්ව ඇති බැවිනි.

සේනා දළඹුවා කුමන්ත්‍රණයක් යැයි කියනා උදවිය ඊට දෙන උදාහරණ බිබි‍ලේ දොඩම්ය. අතුරු කතාවක් වුවද එය දැන ගැනීම වැදගත්ය.

60-70 දශක වන විට බිබිල කියූ සැණින් දොඩම් මතක් වන්නට තරම් එහි දොඩම් වගාව සරුසාර විය. 70 දශකයේ මුල් භාගයේදී ලාංකික කෘෂි විද්‍යාඥයන් පිරිසක් ඊශ්‍රායලයට කෘෂි පුහුණුවකට ගිය අතර ඔවුන් යළි මෙහි පැමිණ කෙටි කලකින් බිබි‍ලේ දොඩම් වගාවට හඳුනාගත නොහැකි රෝගයක් ඇතිවිය. කෙටි කලක් තුළ හඳුනා නොගත් එම රෝගයෙන් බිබි‍ලේ දොඩම් වගාවම විනාශ වී ගියේය. දැන් බිබි‍ලේ ජනතාවත් රටින් ගෙනෙන විස සහිත දොඩම් කන්නේ ආඩම්බරයෙනි. එහෙත් ඊශ්‍රායලයේ ප්‍රත්‍යන්ත පළාත්වල දොඩම්වලට  බිබි‍ලේ කියා කියන බව ඇතැම්හු පවසති.

මෙවැනි සිදුවීම් ෙජෙව කුමන්ත්‍රණ ලෙස ලෝකය හඳුන්වාදෙයි. පරිසරවේදී තිලක් කන්දේගම මේ කරුණු පිළිබඳ සෘජු පැහැදිලි කිරීමක් කරන්නේ මේ අයුරිනි.

“අපේ රටේ රෝග නිරෝධායන අංශය අතිශයින් දුර්වලයි. ඕනෑම කෙනෙකුට ඕනම දෙයක් ගේන්න පුළුවන්කම තියෙනවා. අලුත්ම තාක්ෂණයෙන් මේවා පරීක්ෂණයට ලක්වෙනවද නැද්ද කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා.

ලංකාවට ‍පොහොර ගේන්නේ විජාතික සමාගම්. එක ‍පොහොර සමාගමකට පුළුවන් මේ ව්‍යවසනය කරන්න. කෙසෙල් ගහේ කොළවලින් කූඩු හදාගෙන ඉන්න සතෙක් ඉන්නවා. මේ සතා ලංකාවට ඇවිත් අවුරුදු 6ක් වෙනවා. මුලින්ම යටියන්තොටට ආවේ. දැන් තව තව ප්‍රදේශවලට පැතිරිලා තියෙනවා. මේ සතා ගැන අද වෙනකන් අධ්‍යයනයක් කරලා නෑ. මුළු ලෝකයම විශ්වාසය කරන දෙයක් තමයි යම්කිසි රෝගයක් බෝගයකට හෝ වෙනත් කාට හරි එන්න කලින් ඒක ඇතිවීමට හේතුව හදනවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය ප්‍රතිකාරය එවනවා. ඒක සල්ලිවලට ගන්න වෙනවා. එහෙම සිද්ධියක් බිබිලෙ දොඩම්වලට ආවා. දොඩම් වගාව සම්පූර්ණයෙන් විනාශ වුණා. වෛරස් එකක් ආවෙ. ලංකාවෙ නොතිබුණු එකක්.”

“සමහර විට ශාක හා සත්ව ජාවාරම්කරුවන් ඒක කළාදැයි සැකයකුත් තියෙනවා. අළු ප්‍රතිකර්ම ඒ සඳහා නිවැරදි බව ඉන්දියාව වැනි රටවල් පිළිගන්නවා. ඒත් අපේ කෘෂිකර්ම නිලධාරීන් ඒ බව කියන්නේ නෑ. අළු ගහන්න එපා කියලා තමයි නිලධාරීන් කියන්නේ. මේ නිලධාරීන් සමාගම්වලින් ලැබෙන සංතෝෂම්වලින් යැපෙනවද කියලත් සැකයක් තියෙනවා. සේනා වසංගතයේද කෘෂිකර්ම නිලධාරීන් හරියට සේල්ස්මන්ලා වගේ මේ බෙහෙත ගහන්න මේ බෙහෙත ගහන්න කියලා කිය කියා ගොවිනට  එක එක බෙහෙත් දෙනවා. ඒ මිනිසුන් මේකෙන් බේරෙන්න හලාහල වස ගිහිං කන්න වවන භව බෝගවලට ගහනවා. වෙළෙඳ‍පොළ හිමියන්ගේ කල්ල මරේ. මේකෙන් වුණේ විෂ විශාල ප්‍රමාණයක් ‍පොළවට එකතු වුණු එක. මේ නිසා ඉදිරියේදී පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන් තවත් වැඩි වේවි. 

තිලක් කන්දෙගමගේ පවසන පරිදී සේනා දළඹුවා සමස්ත වී වගාවට පැතිරුණොත් සම්පූර්ණ සහල් අවශ්‍යතාවද සපුරා ගැනීමට සිදුවන්නේ පිටරටිනි. දැනටත් ඩොලරය ඉහළ යන වේගය නිසා එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙයි. සේනා දළඹු ආක්‍රමණ අ ාහාර හිඟ වෙන්නේ මිනිසුන්ට පමණක් නොවේ. සත්ව ආහාර හිඟයක්ද ඉන් ඇතිවිය හැක. ඊට අමතරව බාල පරපුරේ ‍පෝෂණය සඳහා ත්‍රි‍පෝෂ වැනි ආහාර නිෂ්පාදනයත් අඩාල වෙයි. මේ සියල්ල සලකා බලන කළ සේනා දළඹුවාගෙන් ජාතියට වන හානිය සුළුපටු නැත.

හිටපු රේගු ෙජෙව විවිධත්ව ඒකකයේ අධ්‍යක්ෂ සමන්ත ගුණසේකරද මේ පිළිබඳ තොරතුරු රැසක් අපට හෙළි කළේය.

“රේගුවට පාලනය කළ නොහැකි ආකාරයට ෙජෙව විවිධත්ව ජාවාම සිදුවෙනවා. වබේ සයිට්වල දැන්වීම් දාලා පිට රටින් ආනයනය කළ දේවල් විකුණනවා. ඇන්තූරියම්, වෝටර් ප්ලාන්ට් වගේ පැළෑටි ලංකාවට ගෙන්වීම තහනම්. ඒත් ඒවා විකුණනවා. රේගුවෙන් පරීක්ෂා කළත් ෙජෙව විවිධත්ව ජාවාරම් වෙනවා. මේවා ලෝකයේ කිසිදු රටක සියයට සියයක් පාලනය කරලා නෑ. බෝට්ටුවෙන් මේවා ගේනවා. වී.අයි.පී. හරහා එනවා. බහුජාතික සමාගම්වලින් මේ ජාවාරම් කරනවා. ඊට අමතරව වල්නාශක, කෘමිනාශක, දිලීර නාශක ආදිය කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධවෙලා ගේනවා. මෙරට තහනම් කරපුව ගෙන්වන්න සමහර ඇමැතිවරු සම්බන්ධයි. මීට කලින් බම්බල් බි කියන මීමැස්සා (ස්ටෝබෙරි පරාගනයට යොදා ගන්නා බම්බල් බි විශේෂ) අල්ලපු වෙලාවේ බහුජාතික සමාගමක් රහස් වාර්තාවක් යවනවා. මේවා ගැන මට සාක්ෂිත් තියෙනවා. ඒ රහස් වාර්තාව මම ළඟ  තියෙනවා.  ඒකේ තියෙන්නේ වියදම් කරපු සල්ලිවල ප්‍රතිඵල තිබෙනවා. මේ කාලයේදී එම රෝගය පැතිරුණා. මේ බෙහෙත ගන්න දැන් තමයි හොඳම කාලය ආදී රහස් තොරතුරු. සමහර විට රජයේ නිලධාරීන් ඇමැතිවරු මේවට සම්බන්ධයි.

ඒ නිසා මේ සේනා දළඹුවා මේ නීති විරෝධී පැළෑටි සමග එන්න පුළුවන්. බිජ සමග එන්න පුළුවන්. බහුජාතික සමාගම්වල ඇතැම් නිලධාරීන් මේවට සම්බන්ධයි“  ඔහු සඳහන් කළේය.

එහෙත් මාස තුනක පමණ කාලයක් පුරා මෙම සේනා වසංගතය මුළු රටට හිසරදයක් වන තෙක් බලා සිටීම මෙරට පරිපාලනයේ දුර්වලතාවක් බව සමන්ත ගුණසේකර පවසන්නේය.

“මෙරටට ගෙන්වන පැළෑටි වර්ග රෝග නිරෝධායන ආයතන පරීක්ෂා කොට බලපත්‍රයක් නිකුත් කළ පසු තමයි රේගුව නිදහස් කරන්නේ. ඒත් ජාවාරම්කරුවන් ඔය දෙකටම හොරෙන් මේ පැළෑටි වර්ග ගෙන්වනවා” රේගුවට හසුවන්නෙත්, නියමිත රෝග නිරෝධායන ක්‍රමයට යටත් වන්නේත් නීත්‍යනුකූලව ගෙනඑන ද්‍රව්‍ය හොරෙන් ගේන ඒවා වළකන්න වෙනමම ක්‍රම ඕන” ඔහු පවසන්නේය.

සේනා දළඹුවාගේ ව්‍යාප්තවීමේ වේගය කොතරම්ද යත් පසුගිය බ්‍රහස්පතින්දා වනවිට කියැවුණේ නුවරඑළිය හා යාපනය දිස්ත්‍රික්ක හැර අනිකුත් සියලු දිස්ත්‍රික්වල සේනා පැතිර ඇති බවයි.

එහෙත් ඉන් දින දෙකක් ගතවෙද්දී  ‘සේනා’ ඒ දිස්ත්‍රික්ක දෙකද ආක්‍රමණය කර තිබුණි. අද වන විට මුළු රටේම බඩඉරිඟු වගාවලින් සේනා දළඹුවා 50ක් විනාශ කර අවසන් වී තිබුණි. ‘බඩඉරිඟු  වැනසූ ‘සේනා’ ඉන්පසු කුරක්කන්, වට්ටක්කා, බණ්ඩක්කා, ගෝවා, නෝකෝල් වැනි එළවළු වගාව දෙසටත් හැරී ඇත.

සේනා  දළඹුුවා කුමන්ත්‍රණයක්ද යන පුවතට සුවිශේෂී වලංගු  බවක් එක්ක කරනා පුවතක් පසුගිය සතියේ අපට වාර්තා විය. ඒ ඉකුත් වසරේදී ඇමෙරිකාවෙන් මෙරටට ගෙන්වන ලද බඩඉරිඟු බිජ සමග සේනා දළඹු බිත්තර මෙරටට පැමිණ ඇති බවයි.

එහෙයින් සේනා කුමන්ත්‍රණයක්ද යන්න පිළිබඳව අපි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන්ගෙන් විමසුවෙමු.

“මෙතන මොන කුමන්ත්‍රණයක්වත් නෑ. සේනා දළඹුවා ඇවිල්ලා තියෙන්නේ පියඹලා. බඩඉරිඟු බිජ සමග ඇවිල්ල කියන කතාව අසත්‍යයක්.

මම ඒක ප්‍රතික්ෂේප කරනවා. බිජවලින් ව්‍යාප්ත වෙන්නේ දිලීර, වෛරස්, බැක්ටීරියා වගේ දේවල්. බිජවලින් සතෙක් එන්න බෑ. එක්කෝ බිත්තර එන්න ඕන. නැත්නම් පිලවා එන්න ඕන.

මෙරටට බිජ ගෙන්වන්නේ බිජ ප්‍රතිකාර කරලා. මේ දළඹුවා මීට කලින් ආවේ ඉන්දියාවට. ඉන්දියාවෙන් පියඹලා ඇවිත් තියෙන්නේ”

ඉන්දියාවෙන් මේ දළඹුවා මෙරටට පැමිණියා නම් ඉස්සෙල්ලාම රට මැදට ආවේ කෙසේද සහ යාපනයෙන් සේනා දළඹුවා අවසානයට වාර්තා වීම කෙසේ සිදුවූවේදැයි අපට ප්‍රශ්නයක් මතුවිය. ඒ පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මෙසේ පවසන්නේය.

“යාපනයේ බඩඉරිඟු අක්කර ගණන් වගා කරලා නෑ. ඒ නිසා සමස්තයක් ලෙස ගත් විට සේනා යාපනයේ නෑ. එහෙත් යාපනයේ තිබෙන බඩඉරිඟු පැළෑටි දහය පහළොවක ඒ හැම එකකම මේ සේනා දළඹුවා ඉන්නවා. දළඹුවාට එන්න පුළුවන් එකම මාර්ගය පියඹලා. සේනා කිලෝමීටර් අසූවක් විතර දුර පියාඹනවා. ඊට අමතරව සුළඟට අසුවෙලත් එනවා. දකුණු ඉන්දියාවේ ඉඳලා මෙරටට එන්න එච්චර අමාරු නෑ”

එහෙත් මේ වන විට ‍පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කුඹුරකින් තවත් නාඳුනන දළඹු විශේෂයක්           හඳුනාගෙන ඇති බවත් එම දළඹුවා සැලකිය යුතු හානියක් කුඹුරුවලට කර ඇති බවත් වාර්තා වේ. එම තත්ත්වයද තවමත් බලධාරීන් එතරම් ගණන් ගෙන නැති බව ගොවියෝ පවසති.

එහෙත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ට අනුව ‘සේනා’ කුමන්ත්‍රණයකැයි කීම විහිළුවකි. එහෙත් රටට කෘෂිකර්ම අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක් ඇත. විශ්වවිද්‍යාලවල කෘෂි විද්‍යා පීඨ ඇත. පළාත් 9ට කෘෂිකර්ම අමාත්‍යාංශ 9ක් ඇත. එසේ තිබියදීත් මැඩලීමට මෙතරම් අසීරු වූවේ ඇයි. පිළිතුරු දිය යුතු ප්‍රශ්නය එයයි. සේනාට අමතරව හම්බන්තොට කෙසෙල් වගාවට පැමිණි ආගන්තුක දළඹුවාත්, අනුරාධපුර වී වගාවට පැමිණි ආගන්තුක කෘමි විශේෂයත් හඳුනා ගන්නේ කවදාද?

දැන් ජනපතිවරයා හා අගමැතිවරයා සේනා මැඩලීමට නිශ්චිත කාලයක් ප්‍රකාශයට පත්කරන බව කියයි. වගා හානි වන්දි ගෙවීමට මුදල් වෙන් කරන බවද කියයි. එහෙත් මේ සියල්ල කෙරෙන්නේ ‘සේනා’ මුළු රටම බිලිගත් පසුව වීම ජාතියේ අවාසනාවකි.

තනුජා නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.