lakbima.lk

නත්තල් දා කුඩාවැල්ල ලේ වැල්ලක් කළ සිව් පුද්ගල ඝාතනයේ සුලමුල හෙළිවෙයි

දෙදෙනෙක් අත්අඩංගුවේ පසුගිය නත්තල් දින රට පුරා කතෝලිකයෝ නත්තල සමරමින් සිටියහ. සැබැවින්ම කතෝලිකයෝ නොවන පිරිස්ද ආගම් භේදයකින් තොරව නත්තල් මිහිර විඳින්නට සූදානමින් සිටියහ. පසුගිය නත්තල් දවසේ කුඩාවැල්ල ධීවර වරාය පිරී තිබුණේ එදින රාත‍්‍රියේ එළැඹෙන නත්තල සමරන්නට සූදානමින් මාළු මිලදී ගන්නට පැමිණි අයගෙන් හා ධීවරයන්ගෙනි.

එදා උදයේ දහසකට වැඩි පිරිසක් කුඩාවැල්ල වරායට පැමිණ සිටියහ. කුඩාවැල්ල ධීවර වරායේ ඉතා ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ මහින්ද මුදලාලි සතු වූ කලණි බහු දින යාත‍්‍රාවෙන් ගොඩගත් මසුන් ඒ ආසන්නයේම ගොඩ ගසා විකුණන්නට වූයේ මහින්ද මුදලාලිගේ පුතුන් දෙදෙනෙකු වූ බිංදු හා සනා දෙදෙනාය. ඊට ඔවුන්ගේ සමීපතමයන් කිහිප දෙනෙකුද හවුල් වී සිටියහ. පෙරවරු හත පසුවී ගත වූයේ විනාඩි කිහිපයකි. යතුරු පැදියක් වේගයෙන් පැමිණ බිංදුලා ආසන්නයේම නතර කෙරිණි. සම්පූර්ණයෙන්ම හිස ආවරණය කරගෙන පැමිණි යතුරු පැදිකරුවන් දෙදෙනා ඉදිරියට පැමිණි යතුරු පැදිය ආපසු හරවා නතර කොට බිමිට බැස්සේය. බිංදුලා හෝ වෙනත් කිසිවෙකු යතුරු පැදිකරුවන් කෙරෙහි අවධානය යොමු නොකළහ. යතුරු පැදියේ පසුපසින් පැමිණි එක් අයෙකු ඔහු රැුගෙන ආ කළු‍ පාටට හුරු ගමන් මල්ලෙන් ටී පනස් හයේ ගිනි අවියක් රැුගෙන බිංදුලා දෙසට එල්ල කරමින් වෙඩි වරුසාවක් තැබුවේ කිසිවකුටත් කිසිවක් සිතන්නටවත් මොහොතක් ඉඩ නොතබිමිනි. වෙඩි හඬත් සමග එකා පිට එකා වැටෙන්නට වූහ. යතුරුපැදිය පදවාගෙන පැමිණි අයද යතුරු පැදියෙන් බිමට බැස රිවොල්වරයකින් හතර අතට වෙඩි තබන්නට වූහ.

වෙඩි වරුසාව මැදින් බිංදු කලණි බෝට්ටුවට පැන සැඟව ජීවිතය බේරා ගත්තද ඔහුගේ මලනුවන් වූ සනා ලේ විලක් මැද මරණයට පත්ව තිබිණි. විනාඩි කීපයක් ගිනි වරුසාවක් මුදා හළ වෙඩික්කරුවන් දෙදෙනා අහසටද වෙඩි කිහිපයක් තබා පැමිණි යතුරු පැදියෙන්ම පලා ගියහ.

වෙඩි ප‍්‍රහාරයට ලක්වූ දහයකට වැඩි පිරිසක් තැන තැන වැටී සිටියහ. සනාගේ සිරුර ආසන්නයේම තවත් තිදෙනකුම වෙඩි වැදී මිය ගොස් සිටියහ. ඔවුන් අතර මාළු‍ මිලදී ගැනීම සඳහා බෙලිඅත්ත අම්බල ප‍්‍රදේශයේ සිට පැමිණි දෙදරු පියෙකු වූ සඳුන් චාමරගේ සිරුරද විය. සඳුන් චාමර දෙල්ගොඩ පිහිටි සිය නිවසේ සිට දෙමාපියන්ගේ සුව දුක් බැලීම සඳහා අම්බලට පැමිණ තිබූ අතරවාරයේදී මෙම අවාසානාවන්ත ඉරණමට ගොදුරුව තිබිණි. මියගිය අය අතර බිංදුලා ළඟ සේවය කළ සසිත් තිවංක හා සමීර යන අයද වූහ. ප‍්‍රහාරයෙන් තවත් හත්දෙනකු තුවාල ලබා තිබුණු අතර අම්බලන්තොට මාමාඩල ප‍්‍රදේශයේ සිට පැමිණි වරාය කම්කරුවෙකු වශයෙන් සේවය කළ අයෙකුද එ් අතර වූහ. ඔහු ගේ තත්ත්වය බරපතළ වූයේය.

කුඩාවැල්ල ප‍්‍රහාරයත් සමග පොලිස් දෙපාර්තමේන්තුවද සසල වූයේය. මෑත කාලයේදී මෙතරම් දරුණු ප‍්‍රහාරයක් මෙවැනි ජනාකීර්ණ තැනක සිදු ව නොතිබිණි. ඉහළම පොලිස් නිලධාරීන් කුඩාවැල්ල ධීවර වරායට පැමිණ පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා උපදෙස් ලබා දුන් අතර ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කෙරිණි. තංගල්ල, බෙලිඅත්ත, මිද්දෙනිය, සූරියවැව, වීරකැටිය යන පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරීන් රැුසක් පැමිණ ප‍්‍ර දේශයේ ආරක්ෂාව තර කළ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් කැඳවීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි. සිද්ධිය වූ දවස පුරා පොලිස් පරීක්ෂණ සිදු කෙරිණි. ප‍්‍රහාරයේ අලගිය මුලගිය තැන් හොයන්නට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියමයෙන් විමර්ශන කණ්ඩායමක් කොළඹ සිට කුඩාවැල්ල බලා පැමිණියහ.

දකුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධනගේ අධීක්ෂණය යටතේ තංගල්ල හා මාතර දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ කණ්ඩායම් මෙහෙය වූ අතර තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංගගේ ප‍්‍රධානත්වයෙන් කණ්ඩායමක් ප‍්‍රධාන විමර්ශන ආරම්භ කළෝය.  තංගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ. ඞී. දයානන්දගේ ප‍්‍රධානත්වයෙන් තවත් පොලිස් කණ්ඩායමක් වෙනමම පරීක්ෂණ ආරම්භ කළහ.

තංගල්ල කොට්ටාසයේ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්ද වහාම කුඩාවැල්ල වරායට පැමිණි අතර තංගල්ල කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරුන් වන අබේරාජ් ගම්ලත් හා බී. එම්. එම්. දසනායක යන අයද සිද්ධිය වූ ස්ථානයේ රැුඳී සිටිමින් පරීක්ෂක කණ්ඩායම්වලට උපදෙස් දෙනු ලැබීය.

කුඩාවැල්ල ප‍්‍රදේශවාසීන් මෙන්ම දකුණේ බොහෝ අය පැවැසුවේ පොලීසියට වෙඩික්කරුවන් සොයා ගැනීමට නොහැකි වෙනු ඇති බවයි. ‘‘කිසිම සලකුණක් නෑ. මෝටර් සයිකලේ සලකුණක් නෑ. සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කර ගෙන ආපු දෙන්නෙක් වෙඩි තියලා තියෙන්නේ. ගියේ කොහාට ද කියල කිසිම  සලකුණක් නෑ . ඉතින් කොහොමද මිනීමරුවො අල්ලන්නෙ?’’ බොහෝ අය පවසන්නට වූහ.

මේ කතා මැද්දේ පොලීසිය දිවා ? දෙකේ පරීක්ෂණ සිදු කරන්නට විය. පොලිස් නිලධාරීන් සියයකට වැඩි පිරිසක් ප‍්‍රදේශය පීරා තුවක්කු කරුවන් පිළිබඳව තොරතුරු සොයන්නට වූහ. කුඩාවැල්ල ධීවර වරායේ සිව් පුද්ගල ඝාතනය සිදු කොට මසක් යන්නට මත්තෙන් එහි සියලූ තොරතුරු සොයා ගන්නටත්, යතුරුපැදියේ පැමිණි එක් වෙඩික්කරුවෙකු අත් අඩංගුවට ගන්නටත් තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ පො. ප. නුවන් විජේගුණවර්ධනට හැකි වූයේය.

මේ වන විට කුඩාවැල්ලේ සිව් පුද්ගල ඝාතනයට සම්බන්ධ එක් වෙඩික්කරුවකුද, සැක කරුවන්ට අනුබල දුන් අයකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාර ගත කොට තිබේ. වෙඩි තැබීමේ ප‍්‍රධාන සැකකරු පිළිබඳව පොලීසියට නිශ්චිත තොරතුරු ලැබී ඇති අතර ඔහු සමග ටී පනස් හය ගිනි අවිය සොයා ගැනීම සඳහා පොලීසිය කල්යල් බලමින් පසුවෙති. නුදුරේදීම එම ප‍්‍රධාන සැකකරු කොටු කර ගන්නා බව පොලීසිය කියයි.

කුඩාවැල්ලේ මහින්ද මුදලාලිලාගේ පාර්ශ්වය ප‍්‍රබල ව්‍යාපාරික පවුලක් වන අතර කුඩාවැල්ලේ අණසක ඔවුන් යටතේ පැවතිණි. මහින්ද මුදලාලිලා සමග තවත් පාර්ශ්වයක් බල අරගලයක යෙදී සිටින බවත් ඔවුන් මේ වන විට ප‍්‍රදේශය අතහැර ගොස් සිටින බවත් ප‍්‍රදේශවාසීහු පවසති.

පොලීසිය පවසන්නේ වෙඩිතැබීම කොන්ත‍්‍රාත්තුවක් මත සිදු කළ එකක් බවයි. ඒ සඳහා කවුරුන් හෝ විශාල මුදලක් යටකොට ඇති බව පොලීසිය පවසයි.

කුඩාවැල්ලේ වෙඩික්කරුවන් සොයා ගැනීම පොලීසියට දැඩි අභියෝගයක් වී තිබිණි. අභියෝගය ජය ගැනීම සඳහා මූලික පරීක්ෂණ ආරම්භ කළ අතර ආසන්නයේ ඇති දුරකථන හුවමාරු කුලූනුවල තොරතුරු අධිකරණ ක‍්‍රියාමාර්ග මගින්  සපයා ගන්නට පොලීසිය ක‍්‍රියා කර තිබුණි. ඒ සමගම සී.සී.ටී. වී. කැමරා සවි කොට ඇති ස්ථාන පිළිබඳව විමසිලිමත් වූ පරීක්ෂක කණ්ඩායම් ඒ ඔස්සේ විමර්ශනයක්ද සිදු කළ අතර ඝාතකයන් පලා යන අයුරු දැක්වෙන දර්ශන කිහිපයක්ද සොයා ගැනීමට පොලීසිය සමත් විය.

‘‘අපි ඝාතකයන්ගේ හැඩ රුව පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත්තා. ඊට අමතරව ඝාතකයන් පලා ගිය ප‍්‍රදේශය පිළිබඳව අපට අවබෝධයත් තිබෙනවා. ඒ අනුව අපරාධකාරයන් සම්බන්ධව අපට යම් වැටහීමක් ලැබුණා. ඒ අනුව අපි වැඩි අවධානයක් යොමු කොට ඒ ප‍්‍රදේශය පුරා ආරක්ෂක වැටක් එලූවා. ඒ සමගම ඒ ප‍්‍රදේශයේ සැරිසරන අපරාධකාරයන් පිළිබඳව, ආරක්ෂක හමුදාවලින් පැන ආ අය පිළිබඳව පොලීසිය සතු සටහන් විමර්ශනයට ලක් කොට සැක කටයුතු පුද්ගලයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළා’’ යැයි පොලීසිය පවසයි.

මෙම සොයා බැලීම් අතර තුරදී පෞද්ගලික ඔත්තුකරුවකු මගින් පො.ප. නුවන් විජේතුංගට යම් තොරතුරක් ලැබී තිබුණු අතර ඒ අනුව  එක් ඝාතකයකු නාකුළුගමුව ගලගම ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තංගල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් රංජිත් ජයන්ත වෙත ඉදිරිපත් කරනු ලදුව හෙතෙම ලබාදුන් නියෝගයකට අනුව පැය 24 ක් පොලීසියේ රඳවාගෙන ප‍්‍රශ්න කරන්නට විය. අත්අඩංගුවට පත් සැකකරු එහිදී ඝාතනය පිළිබඳ බොහෝ තොරතුරු  පොලීසියට ලබා දුන්නේය.

අත්අඩංගුවට ගැනීමට නියමිත ප‍්‍රධාන සැකකරුගේ මෙහෙයවීම  මත ඝාතනය සැලසුම් කොට ඇති අතර පළමු පියවර වශයෙන් ඝාතකයන් දෙදෙනා ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර ඩබල් කැබ් රථයකින් කුඩාවැල්ලට පැමිණ ප‍්‍රහාරය එල්ල කොට පලා යා හැකි මාර්ග පිළිබඳව සොයා බැලීමක් සිදු කොට තිබේ.

ප‍්‍රහාරය එල්ල වූ 25 දින පෙරවරු 6.10 ට පමණ කුඩාවැල්ල ධීවර වරායට පැමිණ ඇති අත්අඩංගුවට පත් තුවක්කුකරු  තමන්ගේ ඉලක්කය සිටීදැයි තහවුරු කොටගෙන ඇති අතර ඒ බැව් ඔහු ප‍්‍රධාන සැකකරුගේ නිවසට ගොස් දැනුම් දීමෙන් අනතුරුව අංක තහඩු නැති යතුරු පැදියෙන් පැමිණ මෙම ප‍්‍රහාරය සිදුකොට පලා ගොස් තිබේ.

පලා ගිය ඝාතකයන් ප‍්‍රධාන සැකකරු  විසින් වගා කරනු ලබන ඉඩමක ඇති අගලක යතුරු පැදිය සඟවා  කණින ලද වළක් තුළ ටී පනස් හය ගිනි අවිය සඟවා එම පළාතෙන් පලා ගොස් තිබේ. අනතුරුව ගලගම මංසන්ධියේ තී‍්‍රවීලර් රියැදුරෙක් බිය ගන්වා සඟවා තැබූ ටී පනස් හය බහාලූ බෑගය දික්වැල්ල වැවුරුකන්නල පන්සල අසලට ගෙන්වා ගෙන ඇති ප‍්‍රධාන සැකකරුද ප‍්‍රදේශයෙන් පලා ගොස් තිබේ.

අපරාධකරුවන් කුමන මාර්ගවලින් අපරාධ කළද එම අපරාධ හෙළි කරගැනීමට පොලීසිය සමත් බව මෙම ඝාතනයන් හෙළිවීමෙන් තහවුරු වන බව පොලීසිය කියයි. අපරාධකරුවන් හඳුනා ගැනීමේ විවිධ දියුණු තාක්ෂණික ක‍්‍රම භාවිත කිරීම තුළින් මෙම අපරාධයේ සුලමුල සොයාගත් බව පොලීසිය පවසයි.

චන්ද්‍රසේන ගමගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.