lakbima.lk

ඒ තාත්තා 5වැනි මහලෙන් දරුවා බිමට දමද්දී බැංකු නිලධාරියෙකු ඔහු අල්ලා ගත්තා

මීට දෙසතියකට පෙර රටම කතා කළේ එක් වීර තාත්තෙක් පිළිබඳවය. ඔහු මහනුවර යටිනුවර වීදියේ රාම්රාජ්ය. පිය සෙනෙහස කවියට ගීයට විෂය නොවනා රටක එක රැයකින් රාම්රාජ් රටේම වීර තාත්තා වූයේ ගිනිගෙන දැවෙනා ගොඩනැගිල්ලක කොටු වූ තම දරු තිදෙනා බේරා ගැනීමට ඔහු ඉදිරිපත් වූ නිසාය. එහෙත් රාම්රාජ්ගේ එකී වීරත්වය සම්පූර්ණ වීමට තවත් පිරිසක් මහා දායකත්වයක් දැක්වීය. ඒ ගිනිගෙන දැවෙනා ගොඩනැගිල්ල පාමුල ජීවිත අවදානම නොතකා රැස්වූ පිරිසය. රාම්රාජ් උඩුමහලින් හෙලූ දරුවෝ කිසිදු හානියක් නොවන්නට මල්පෙති ලෙසින් රැක ගත්තෝ ඔවුහුය.

දරු තිදෙනා සහ බිරිඳගේ දිවි රැකගන්නට රාම්රාජ් දැක්වූ වීරත්වය හමුවේ රටකට අමතක වූ ඒ අසල්වැසියන්ගේ වීරත්වයට නිසි හරසර ලබා දෙන්නට ලක්බිම ඉරිදා සංග්‍රහයේ අපි පසුගියදා මහනුවර, යටිනුවර වීදියට ගියෙමු. මේ ඔබ කියවන්නේ එකී නිහඬ වීරයන්ගේ කතාවයි.

පසුගිය අට වෙනිදා යටිනුවර වීදිය උණුසුම් කළ ගිනිදැල් නිවී ගොසිනි. එහෙයින් ගතට කිසිදු උණුහුමක් නොදැනේ. එහෙත් යටිනුවර වීදියෙන් හරි කාසල් වීදියටම එළඹෙන විටදී මේ ලියුම්කාරියගේ හිත උණුහුම්ව හෘද ස්පන්දනය වේගවත් වූ බව නොකියාම බැරිය. ඒ මීට දෙසතියකට පෙර ගිනිදළුවලින් වැසී ගිය ගොඩනැගිල්ලක සිට තම දරුවන් බිමට හෙළන්නට කටයුතු කළ රාම්රාජ් නම් තාත්තාගේ දරු සෙනෙහසට කැටිවූ වීරත්වය සිහියට ආ නිසාය. අදටත් එකී වීරත්වය අමතක වන්නට නොදී අපට සිහි කැඳවන්නට මෙරට සමාජ මාධ්‍ය සහ වබේ අඩවි කටයුතු කරනා බැවින් තවදුරටත් රාමරාජ් ගැන ලියන්නට නොසිතා රටකට අමතක වූ මහනුවර මනුස්සකමේ සැඟවුණ චරිත සොයන්නට තීරණය කළෙමු.

ඒ කතාව ඔබට කියන්නට  අපි තෝරාගත්තේ ජනවාරි 08 මනුස්සකමේ අරුත රටට කියා දුන් බොහෝමයක් අතරින් එක් පුද්ගලයෙකි. ඔහු නමින් එස්.එම්. නසීර්ය. නසීර් යනු කුඩාම කාලයේ සිට අද වනතුරු මේ නුවර හැදුණු වැඩුණු අයෙකි. ඔහු සෙල්ලම් කළේ නුවරය. ඉගෙන ගත්තේ නුවරය. අදටත් ‍පොළවේ පයගසා ජීවත් වන්නේ නුවරය. නුවර සැඟව තිබි පසුගිය 8වනදා රටට නොව ලෝකයටම හෙළිවූ මනුස්සකම නසීර් අප හා මෙසේ පැවැසුවේය.

අපි වෙනදා වගේම එදිනෙදා වැඩ කරමින් සිටියා. උදේ 07ට විතර ලොකු ශබ්දයක් ආවා. අපි ගිහින් බැලුවා. මොකක්ද ඒ සද්දේ කියලා. එතකොට මේ ගොඩනැගිල්‍ලේ දවෛනි තට්ටුවෙන් ලොකු දුමක් එලියට ආවා. ඒ ගමන උඩතට්ටුවේ හිටපු අය කෑ ගැහුවා බේර ගන්න ගිනි ගන්නවා කියලා. එතකොට තමා අපි ගියෙ. ඒ වෙලාවේ මේ පැත්තෙ කඩ පේළියම වහලා තිබ්බේ. ඒත් ඒ වෙලාවේ හිටපු හැමෝම එකතු වුණා. කවුද කියන්න නම් අපිත් දන්නේ නැහැ ඒ එදා තමුන් ලද අත්දැකීම නසීර් සිහිකරනා ආකාරය. එහෙත් ඒ මොහොතේ ඔවුන් කටයුතු කළේ කෙසේදැයි කියා දැන ගැනීමට මේ ලියුම්කාරිය තුළ වූයේ විශාල කුතුහලයකි.

අපි හැමෝම එතනට ගියා. උඩ ගෙදර හිටපු අය තාවකාලිකව ආපු කණ්ඩායමක්. අපි වැඩිය ඒ අය හඳුනන්නේ නෑ. ඒ ගෙදර මහත්තයා කීවා බබාලා ඉන්නවා බේරගන්න කියලා. ඒත් අපි කොහොමද උඩට යන්නේ. පහළ ඉඳලා කීවා අපි බබාලව දාන්න අපි අල්ල ගන්නම් කියලා. ඒත් එයා බය වුණා. පස්සේ එයාලගේ මෙට්ටෙ ඔතලා බබාව පහළට එවන්න හැදුවා. ඒකට අපි බය වුණා මොකද උස වැඩියිනේ. පහළට එනකොට බර වැඩිවෙලා මෙට්ටෙ වෙනම බබා වෙනම දෙපැත්තකට වැටෙයි කියලා. එයා ඒත් එක්කම ඇඳ ඇතිරිල්ලක් එව්වා පහළට. ඒත් එක්කම අපි ඇඳ ඇතිරිල්ල අල්ලන්න ලෑස්ති වෙන්න කලින් රාම්රාජ් මහත්තයා එක දරුවෙකු පහළට දැම්මා. ඒක දැක්කම මෙතන හිටපු අපට උඩට ගත් හුස්ම පහළට දාන්න බැරි වුණා. ඒ වෙනකොටත් බොහෝ පිරිසක් මෙතන හිටියා. බොහොම සතුටින් කියන්න ඕන මෙතන හිටියා හැටන් නැෂනල් බැංකුවේ වැඩකරන මහත්තයෙක්. ඒ මහත්තයා තමයි කීවේ බය නැතිව දරුවා දාන්න කියලා කීවා වගේම දරුවාව පරෙස්සමට අතින් අල්ල ගත්තා. ඒත් එක්කම එයා උඩ බලලා ඒ තාත්තට අතින් කීවා දරුවා සුරක්ෂිතයි කියලා. ඒ විදිහට දවෛනි දරුවා දානකොට අපි සූදානම් වෙලා හිටියා ඇතිරිල්ල වෙත දරුවව ගන්න. ගිනිදළු මැද රාම්රාජ් බිම හෙලූ දරුවෝ සුරක්ෂිතව අසල්වාසීන් අල්ලා ගත්තද වැඩුණු මිනිසුන් වූ රාම්රාජ් සහ ඔහුගේ බිරිඳ බිමට ගත්තේ කෙසේදැයි අප තුළ වූයේ කුතුහලයකි. නසීර් ඒ කුකුස මෙසේ සන්සිඳ වූයේය.

දරුවෝ පහළට දැම්මට පස්සේ එයා අතින් ගහලා වීදුරුව කැඩුවා. ඒ වෙලාවේ තමයි එයාගේ අත තුවාල වුණේ. ඇය ටිකක් මහත කෙනෙක්. පහළට දාන්න බැහැ. ඒ නිසා ඇයට සෙමින් බහින්න කියලා අපි සූදානම්ව හිටියා. ඒත් ඇයට දරාගන්න බැරි වුණා. අත ලෙස්සලා බිරිඳ වැටුණා. එයාවත් පුළුවන් විදිහට ඇල්ලුවා. අවසානයේ රාම්රාජ් මහත්තයා ආවේ. මේ කට්ටිය මෙතන පදිංචි වෙලා වැඩි කලක් නෑ. මෙතනට රැස්වූ සමහර අය රාම්රාජ් මහත්තයලා කාගේ කවුද කියලාවත් දන්නේ නෑ ඔහු පැවැසීය. ඒ අසීරු අවස්ථාවේ උදවුවට පැමිණි පිරිස කවුරුන්දැයි කීමට නසීර්ටද දැන් මතක නැහැ. කවුද ආවේ කවුද නාවේ කියලා කියන්න බැහැ. මොකද කාසල් වීදියේ කඩ ඇරලා තිබ්බේ නෑ. යටිනුවර වීදිය වුණත් එහෙමයි. පාසල්වලට යන අය කාර්යාලවලට යන අය නිසා නුවර වීථි බොහෝ කාර්යබහුලයි. ඒ හැමෝම ආවා. පාරෙ යන අය බස්වල අය බැහැලා උදව් කරා. මේ අවට වෙළෙඳසැල්වල හිටපු ගැහැනු ළමයි පිරිමි ළමයි වැඩිහිටියෝ හැමෝම ආවා. සමහරු අලුත්ම සාරි, කොට්ට මෙට්ට වගේ ඒවා අරගෙන ආවා. මේ ජීවිත බේරගන්න වගේම ගින්න නිවන්න ගොඩක් අය පුළුවන් තරම් උත්සාහ කරා. අඩුම වතුර බාල්දියක වතුර ටිකක් හරි ගෙනත් දුන්නා. කිසි කෙනෙක් කිසිදෙයක් බෑ කිව්වේ නෑ.  හොයලා බලලා උදව් කරා. මේ සිදුවීමෙන් පසු නුවර මිනිස්සු කියන්නේ කිසිම බේදයක් නැතිව උදව් කරන, මනසින් උසස් පිරිසක් බව රාම්රාජ් සහ එම පවු‍ලේ අය පැවැසීය. ඒ පිළිබඳ නසීර් දරනුයේ මෙවැනි අදහසකි.

ඔව් කතාව ඇත්ත. රාම්රාජ් මහත්තයා දමිළ අයෙක්නේ. එයා මෙහේ ඇවිත් බොහෝම ටික කාලයයි. එතකොට මම වුණත් මුස්ලිම් ජාතිකයෙක්. එදා අර දරුවා අල්ලපු මහත්තයා මං හිතන්නේ බෞද්ධ. තව විවිධ ආගම් කුල භේද වයස් භේද අඩුම ගැහැනු පිරිමි කියලවත් වෙනසක් නැතිව තමයි මිනිස්සු එදා ඒ අයට උදව් කළේ ඒ තරම් එකමුතුකමක් සාමාන්‍යයෙන් අද සමාජයේ දකින්න බෑ. ඒ වෙලාවේ ඉඳපු සමහර අය මේ පැත්තේ පාරවල් දන්නේ නෑ. අපි තමයි ගොඩනැගිල්ලට හැකි ඉක්මනින් ඇතුළු වෙන්න යන්නේ කොහොමද කියලා හමුදාවෙන් ආපු මහත්තුරුන්ට කියලා දුන්නේ. මෙවැනි සිදුවීමකදී ආරක්ෂක අංශයට මහා දායකත්වයක් දක්වන්නට සිදුවේ. සිය ජීවිත අවදානම නොතකා ඔවුන් දැක්වූ සහයෝගය සුළුපටු නොවේ.

හමුදාවේ හා ‍පොලීසියේ නිලධාරී මහත්වරු අපිට ගොඩක් උදව් කරා. ඒ වෙලාව උදේ 07 කියන්නේ මාර්ග තදබදය උපරිම තියෙන වෙලාවක්. ඒ නිසා ගිනි නිවන රථවලට එන්න අමාරුයි. ඒ නිසා වෙලාවක් ගතවුණා. ඒ වෙනකම් ‍පොලීසිය හමුදාව එකතු වෙලා තමයි ගින්න පාලනය කළේ. අවසානයේ අපි ඇතුළේ අය බේරගෙන යම් දුරකට ගින්න පාලනය කරාට පස්සේ තමයි ගිනි නිවන රථ ආවේ. ඒ ආවත් ඇතුළට ගන්න අමාරු වුණා ‍පොඩි මාර්ගයක් නිසා. නමුත් ඒ හැම බාධකයක් මැඩගෙන අපි කිසිදු ජීවිත හානියක් නොකර තත්ත්වය පාලනය කර ගත්තා කීවොත් මම නිවැරදියි කියලා හිතනවා යැයි නසීර් පවසන්නේය.

මහනුවර නගරාධිපතිතුමන්ද සිදුවීම දැනගත් මොහොතේ සිට අවසන් මොහොත දක්වාම සොයා බලා කටයුතු කර ඇත. සිය ධුරයේ වගකීමට එහා ගිය මානුෂික බැඳීමකින් ඔහු මේ කටයුතුවලට එක්වූ බව කාසල් වීදියේ බොහෝ දෙනෙක් පවසති. ජීවිත බේරගත්තද රාම්රාජ්ලාට යනඑනමං නැතිවිය. ඇඳිවත හැර අන් සියල්ල අහිමි වූ ඔවුනට යළි පිහිට වූයේද නුවරුන්මය.

මේ වෙනකොට ඒ ගෙදර අය රැඳිලා ඉන්නේ මහනුවර කැප්පෙටි‍පොල ශාලාවේ. සල්ලි ගෙවලා තියෙන්නේ ත්‍රීවිල් සංගමය හා දානපතියන්. මම අවුරුදු 40ක් මේ කාසල් පාරේ ඉන්නේ. අපේ සමිතියක් තියෙනවා. අපි ලෑස්ති එයාලට නිවාස ඉදිකර ගන්නකම් කුලියට ගෙයක් අරන් නවතින්න අදාළ ප්‍රතිපාදන දෙන්න. ඊට අමතරව නිවසක් ඉදිකර ගැනීමට රාම්රාජ් මහත්තමයාට ඉඩමක් ලබාදීමට කටයුතු කරලා තියෙනවා. පල්ලෙකැ‍ලේ ප්‍රදේශයේ එම ඉඩමේ නිවසක් ඉදිකරවන්න අපි උදව් කරන්න තමා බලා‍පොරොත්තු වෙන්නේ. ඒ මෙතුවක් රටුන් නෑසුදේය.

රාම්රාජ් වසරක පමණ කාලයක් නුවර පදිංචිව සිට ඇත්තේ තනිවමය. නිවසේ සිට රත්තරන් ආ‍ලේප කිරීම ඔහුගේ ව්‍යාපාරය වී ඇත. වාර්තා වන ආකාරයට පවු‍ලේ සියලුදෙනා නුවර පදිංචියට පැමිණ ඇත්තේ ගින්න ඇති වූ දින (08) අලුයමය. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සිතාබලාය.

තෙරුණි නිසංසනී ද සිල්වා

ඡායාරූප: අංජන වීරසිංහ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.