lakbima.lk

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තීරණාත්මක මංකඩ අබියස

 

 

සිවු වැනි ඊළාම් සටනේ තමා අණ දුන් යුද්ධ පෙරමුණුවලින් ජය ගත් සේ, මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා අවසානයේදී මාණ්ඩලික ප්‍රධානී පුටුව අරබයා හටගත් යුද්ධයද ජයග්‍රාහීව අවසන් කළේය. මාණ්ඩලික ප්‍රධානි ධුරය වූ කලී යුද හමුදාවේ දෙවැනි පුටුවයි. එම පුටුවට ඉහළින් ඇත්තේ යුද හමුදාපති පුටුව පමණි. එබැවින් මාණ්ඩලික ප්‍රධානී පුටුව තීරණාත්මක මංකඩකි. මෑත කාලයේ යුද හමුදාපති පුටුවේ වාඩි වූ එක් අයෙක් හැර අනෙකුත් සියල්ලෝම ඒ තැනට ආවේ දෙවැනි පුටුවේද වාඩි වීය. එසේ නොමැතිව පැරෂුටයකින් පැමිණ යුද හමුදාපති පුටුවේ වාඩි වූයේ ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පමණි. වන්නි ආඥාපති පුටුවේ සිට පැමිණි ඔහු කෙළින්ම වාඩි වූයේ යුද හමුදාපති පුටුවේය. එහෙත් ඔහු කිසිදු ප්‍රහාරාත්මක සේනාංකයට අණ දුන් සේනාධිපතිවරයෙක් නොවීය. යටත් පිරිසෙන් හමුදාපති ධුරයට පත්වනතුරා ඔහු කිසිදු වීර පදක්කමකට හිමිකම් කීවේද නැත. එහෙත් යුද හමුදාපති පුටුවේ වාඩි වූ පසුව ඔහුගේ නිල ඇඳුමට රණවික්‍රම පදක්කම ප්‍රාතූර්භූත වූවේය. ඔහුගෙන් පසු හමුදාපති පුටුවට පත්වූ ලුතිනන් ජෙනරාල් දයා රත්නායක හා ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මෙන්ම වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකද ඒ තැනට ආවේ මාණ්ඩලික ප්‍රධානි පුටුවේ වාඩිවෙමින් පසුවය.

මෙතෙක් යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වූයේ මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුය. තුන් මසක සේවා දිගුවක් මත රාජකාරි කළ ඔහු ගිය දෙසැම්බර් තිස්එක්වැනිදා ඉසඹු ලැබුවේය. ඊළඟට ප්‍රශ්නය වූයේ ඊළඟ මාණ්ඩලික ප්‍රධානියා කවුදැයි යන්නය. ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය අනුව යුද හමුදාවේ දෙවැනි පුටුවට ළඟින්ම හුන්නේ මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනය. ඔහු යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියාය. විජයබා පාබළ රෙජිමේන්තුවට අයත් නිලධාරියකු වුවත් ඔහු කිසිදු වීර පදක්කමකට හිමිකම් කීවේ නැත. එහි අරුත ඔහු සංග්‍රාම භූමියේ කැපීපෙනෙන නිලධාරියකු නොවන බවය. ගිය සතියේ මේ තීරුවෙන් පැහැදිලි කළ පරිදි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනට වඩා දස්කම් අතින් මාණ්ඩලික ප්‍රධානී ධුරයට හිමිකම් කී කීපදෙනෙක් වූහ. ඒ අතරින් ප්‍රමුඛව කියැවුණේ මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වාය. සිවු වැනි ඊළාම් සටනේ මුළු රටේම ප්‍රසිද්ධියට පත් ඔහු ගුවන් සංග්‍රාමික බළසේනාධිපති හා කොමාන්ඩෝ බළසේනාධිපති ධුරද හොබවා තිබේ. පළමු වන කාර්ය සාධක බළකායේ (පසුව 58 වැනි සේනාංකය) අණදෙන්නා වූ ඔහු සිය ගමන ඇරඹුවේ වයඹ වෙරළේ වූ මන්නාරමෙනි. වන්නියේ සහල් බඳුන ලෙස ප්‍රකටව අති දුෂ්කර විවෘත භූමිය ජය ගැනීම ඔහුගේ මුල් ජයග්‍රහණය වූවේය. අනතුරුව වයඹ වෙරළේ මුහුදු කොටි කඳවුරු පිහිටි විඩත්තල්තිව්, වෙල්ලන්කුලම්, නච්චිකුඩා යන ප්‍රදේශ මුදාගැනීමට 58 වැනි සේනාංකය සමත් වූවේය.

යාපනය නගරයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට කොටි යොදා ගත් බිම වූ පුනරින්ද ජයගත් ඔහු පරන්තන් හන්දියද අල්ලා ගත්තේය. ඒ අවස්ථාවේදී ඔහුගේ සේනාංකය කොටස් දෙකකට බෙදී අලිමංකඩ හා කිලිනොච්චිය දෙසට ගමන් කර එම නගර අල්ලා ගැනීමට දායකත්වය සැපයීය. අනතුරුව පරන්තන් මුලතිව් (ඒ -35) පාර දිගේ ගමන් කළ 58 වැනි සේනාංකය විශ්වමඩු හා පුතුක්කුඩිඉරිප්පු නගර අල්ලා ගත්තේය. ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමට භූමියේ සිට භට පිරිස් මෙහෙය වූයේ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාය. ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමෙන් ඉක්බිතිව මුලතිව් දකුණට ගමන් කළ 58 වැනි සේනාංකය අවසාන සටනේදී කොටි නායකයා කොටු කළ සේනාංකය  තුනෙන් එකක් බවට පත්විය.

සිව් වැනි ඊළාම් සටනේදී බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යුද ඉතිහාස ‍පොතේ නව පිටුවක් පෙරළුවේය. ඒ තිස් වසරක යුද්ධයේදී එක දිගට වැඩිම දුරක් ගමන් කළ සේනාංකයට නායකත්වය දීමෙනි. වයඹ වෙරෙළන් ගමන් ඇරඹූ ඔහු සිය පැවරුම නිමා කරන විට සිටියේ ඊසානදිග වෙරළේ වෙල්ලමුල්ලිවයික්කාල් බිමේය.

ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරියකු වූ ඔහු සිය දිවි පරදුවට තියා කළ වීර වික්‍රමාන්විත දස්කම් වෙනුවෙන් ඔහු වීර වික්‍රම, විභූෂණ, රණවික්‍රම, රණශූර ඇතුළු පදක්කම් රැසකට උරුමකම් කියන්නේය. යුද හමුදා ඉතිහාසයේ එම වීර පදක්කම් ත්‍රිත්වයම මුලින්ම දිනාගත් දෙවන ලුතිනන්වරයා ඔහුය.

යුද හමුදා මූලස්ථානය විසින් මීළඟ මාණ්ඩලික ප්‍රධානී ධුරයට මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා ඇතුළු ඔහු සමග එකම දිනයේ අධිකාරිය ලැබූ නිලධාරීන් කීපදෙනකුගේ නම් ජනපතිවරයාට නිර්දේශ කර තිබුණි. එම නම් අතරින් මීළඟ මාණ්ඩලික ප්‍රධානියා ලෙස තෝරා ගැනීමේ බලය තිබුණේ සන්නද්ධ හමුදාවල ප්‍රධානියා වන ජනපතිවරයාටය. ජනපතිවරයාගේ තේරීම වූයේ මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වාය. මේ සිවු වැනි ඊළාම් සටනේ යුද පෙරමුණේ සිටි සේනාංකාධිපතිවරයකු මාණ්ඩලික ප්‍රධානී පුටුවේ වාඩි වූ දෙවැනි අවස්ථාවය. මින් පෙර වන්නි සටනේ ආරම්භක යුද පෙරමුණ වූ 57 වැනි සේනාංකාධිපති ධුරය දැරූ මේජර් ජෙනරාල් ජගත් ඩයස් ද මාණ්ඩලික ප්‍රධානි ධුරය දැරීය. එහෙත් ඔහුට එම ධුරයෙන් පමණක් සැනසී ඉසඹු ලැබිමට සිද්ධ විය. ඔහුද ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරියකි.

කෙසේ නමුදු ‍පොතේ හැටියට මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා වයස අවුරුදු පනස්පහ සපිරීම හේතුවෙන් මේ වසරේ ජුනි විසිඑක් වැනිදා ඉසඹු ලැබිය යුතුය  58 වැනි සේනාංකයට අණ දෙමින් ඔහු ප්‍රාණ ඇපකරුවන් මුදාගන්නා විට එවිට එම දෙමළ ජනතාවට යටිතල පසුකම් සැපයීම භාරවූයේ එකල බ්‍රිගේඩියර්වරයකු වූ ක්‍රිශාන්ත ද සිල්වාටය. එහෙත් ඔහු පසුකලක හමුදාපති පුටුවේ වාඩි වන විට යුද්ධයට අණදුන් සෙන්පතිවරුන්ටද යුක්තිය ඉටු නොවී නිකම්ම ගෙදර ගියේ ෙදෙවයේ සරදමකට මෙනි. කෙසේ නමුදු මේජර් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා  පමණක් නොව සිවු වැනි ඊළාම් සටනට අණ දුන් තවත් තරු දෙකේ ජෙනරාල්වරු රැසක් මේ වසරේ එම සන්තෑසියට මුහුණදී ඇත්තේය. මින් පෙර මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ වැනි මුළු හමුදාවේම ගරු සම්භාවනාවට පාත්‍ර වූ නිලධාරීන්ට යුක්තිය ඉටුවූයේ නැත. මෙවරද සිද්ධ වන්නේ ඉතිහාසයේ වූ දෙයමද? කවුරු කෙසේ කුමක් කීවද එහි තීරණය ඇත්තේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයාගේ අතේය.

මේ අතරේ ශවීන්ද්‍ර සිල්වාට ලද උසස්වීමත් සමග පුරප්පාඩු වූ යුද හමුදාවේ විධායක ජෙනරාල් ධුරයට මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි වහාම ක්‍රියාත්මක වන පරිදි  පත්ව සිටී. ඔහු මින් පෙර දැරුවේ හම්බන්තොට 12 වැනි සේනාංකාධිපති ධුරයය. ඔහුද වන්නි සටනට අණදුන් සෙන්පතියකි. කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් නිලධාරියකු වූ ඔහු වන්නි සටනට එක්වූයේ හතරවැනි කාර්ය සාධක

බළකායේ සේනාංකාධිපති ලෙසය. මුලතිව් මහ වනයේ නැදුන්කර්නි, ඔඩ්ඩුසුඩාන් හරහා ඔහු අණදුන් සේනාංකය පුදුකුඩිඉරිප්පු දකුණු අන්තය දක්වා ගමන් කළේය. සටන් බිමේ දැක්වූ වීර වික්‍රමාන්විත දස්කම් වෙනුවෙන් ඔහුද වීර වික්‍රම විභූෂණ, රණවික්‍රම හා රණශූර යන පදක්කම් ත්‍රිත්වයට උරුමකම් කියන්නේය. 12 වැනි සේනාංකාධිපති ධුරයට පෙර ඔහු මුලතිව්  59 වැනි සේනාංකාධිපති ධුරය දැරීය.

මේ අතර ‍‍‍ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරු තිදෙනෙක් මේජර් ජෙනරාල් නිලයට පෙරේදා (11) උසස්වීම් ලදහ. ඒ අලිමංකඩ 55 වැනි සේනාංකාධිපති ජයන්ත ගුණරත්න, ප්‍රසන්න චන්ද්‍රසේකර හා චන්දන ගුණවර්ධන යන නිලධාරීහුය.

මිහිරි ෆොන්සේකා

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.