lakbima.lk

මෝටර් රථ ලියාපදිංචියට නව ක්‍රමයක්

සල්ලි තිබුණ පලියට වාහන ගන්න යන්න එපා මල්ලි. හැම තැනම වංචාකාරයෝ. ටිකක් හොයලා බලන්න. පත්තරවල තියෙන ඒවා කියවන්නේ නැද්ද? හොරාට අමුණන වාහන හැමතැනම මේ පසුගිය සතියේ වාහනයකට අත්තිකාරම් බඳින්නට ගිය අපේ මිතුරෙකුට ඔහුගේ සොහොයුරිය දුන් අවවාදයකි. මෙය අපේ මිතුරාට පමණක් නොව වාහනයක් ගන්නට යන ඕනෑම කෙනෙකුට ලැබෙන ඔවදන්වල ස්වභාවයයි. ඊට හේතුව වර්තමානයේ ජපානයේ භාවිත කළ වාහන හෝ මෙරට භාවිත කළ වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයේ පිරී ඇති දූෂණ සහ වංචාවන්ය.

එහෙත් මේ සියලු අකටයුතුකම් අද සිට නිම වන්නේය. ඊට හේතුව ලංකාවේ රථවාහන බලකාරයා වන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නූතන සුහුරු තාක්ෂණය යොදාගෙන වාහන ලියාපදිංචිය අලෙවිය ආදී සියලු කරුණු මුල සිටම නියාමනය කරන්නට යෑමය. සැබැවින්ම මේ නව ක්‍රමය යටතේ ලංකාවට ගෙන එන වාහන ලියාපදිංචි වන්නේ කවුරුන් හෝ මිලට ගත් පසුනොව ඒවා වරායෙන් ගොඩබාන විටදී බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජයගත් චන්ද්‍රසිරි පවසන්නේය. මේ ඔහු ඒ පිළිබඳ දක්වන අදහස්ය.

මේ ක්‍රමය හඳුන්වන්නේ E-Motaring කියලා. මේ මගින් නවතම තාක්ෂණය යොදාගෙන රථවාහනවල කෙරෙන නීති විරෝධී කටයුතු වළකන්න පුළුවන්. ඒ වගේම ලියාපදිංචි, අලෙවිය වගේ කටයුතු නිසි ලෙස නියාමනය කරන්නත් පුළුවන්. තවදුරටත් කියනවා නම් ජනතාවගේ කාලය ඉතුරු කරලා නිවැරදි සේවය කාර්යක්ෂමව ලබා දෙන්න පුළුවන්.

එමගින්ද ඔවුන්ගේ පිරිවැය ඉතිරි වෙනවා. දූෂණ වංචා සීමා වෙනවා. රාජ්‍ය මුදල් ආරක්ෂිත වෙනවා. ඒ වගේම රථ වාහන පහසුකම් සපයන ආයතනවලට පහසුකම් සැලසෙනවා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් පවසන්නේය.

මෙම ඊ-මෝටරින් ක්‍රමය ආරම්භ වන්නේ මෝටර් රථයක් මෙරටට ගෙනඒමත් සමගය. ආනයනය කළ වාහනය වරායෙන් මෙරටට ගොඩබාන විටදීම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙයි. ඒ සඳහා දෙපාර්තමේන්තුව මගින් යම් සුවිශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ඒ පිළිබඳව අදහස් දක්වන එම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණික අංශයේ කොමසාරිස් තුෂාර සුරවීර.

වාහනය මෙරටට ඇතුළු වෙද්දීම අපි වාහනය පිළිබඳව දත්ත ඇතුළත් VIC ස්ටිකර් එකක් වාහනය තුළ අලවනවා. එම කේතාංකය එම වාහනය ගති ලක්ෂණ පිළිබඳ සියලු විස්තර තිබෙනවා. යම් අයෙකු වාහනයක් සේල් එකකින් මිලදී ගන්නා විට වාහනයේ සියලු තොරතුරු මෙම බාකොඩ් එක ස්කෑන් කිරීමෙන් ලබාගත හැකි වෙනවා.

මින් නොනවතින මෙම දෙපාර්තමේන්තුව චැසි අංකය හා වාහන පැති පෙනුමත් ඡායාරූප ගත කිරීමද සිදුකරයි. එම ඡායාරූප වාහනය ලියාපදිංචියේදී හා ඉලෙක්ටේ‍රානික ක්‍රියාදාමයටද ඇතුළත් කරනු ලැබේ. ඒ අනුව චැසි අංකය හෝ බඳ වෙනස් කිරීම තවදුරටත් කිරීමට නොහැක.

අදාළ වාහන අයිතිකරු ලිපි ‍ලේඛන රැගෙන එක් අවස්ථාවක් පමණක් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත පැමිණිය යුතුය. ඉන් අනතුරුව සියලු කරුණු අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනීමට හැකි වේ.

මෙම ලියාපදිංචියේ අපි ස්ටිකර් එකක් ඉදිරිපස වීදුරුවේ අලවනවා. එසේ වීදුරු නොමැති වාහනවල (යතුරු පැදි) ප්‍රධාන ලාම්පුවේ මෙම ස්ටිකරය අලවනවා. එය අප හඳුන්වන්නේ  RFID යනුවෙන් (Radio Frequency Identification) රේඩියෝ තරංග මගින් තොරතුරු හඳුනා ගැනීම මෙම ක්‍රමයේ විශේෂයයි.

මෙම ස්ටිකරය කියවීමේ යන්ත්‍ර මගින් කියවීමෙන් අදාළ රථ වාහනයේ සියලුම විස්තර ලබා ගැනීමට හැකි වෙනවා.

තුෂාර සුරවීර පවසයි. මෙම ස්ටිකරය මගින් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට ‍පොලීසියට මාර්ග සංවර්ධන අධිකාරියට නගර සභාවල්වලට, සමීක්ෂණ සිදුකරන ආයතන, විශ්වවිද්‍යාල වැනි ආයතනවලට හැකි වේ. (නමුත් ඔවුනට මෙම ස්ටිකරය කියවීමේ යන්ත්‍ර තිබිය යුතුය). මේ තුළින් ඉතා සුළු මොහොතකදී අදාළ වාහනයේ සියලු විස්තර ලබා ගැනීමට හැකි වේ. එසේම ලියාපදිංචි වෙනස් කිරීම ඇතුළු වාහනේ සියලු තොරතුරු හා වෙනස් කිරීම් මෙම ක්‍රමය තුළ යාවත්කාලීන කිරීමට නියමිතය. දැනට මෙරටට ගෙන්වන නව රථ වාහන සඳහා පමණක් මෙම RFID ක්‍රමය මුලින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉදිරියේදී මෙරට ලියාපදිංචිව පවතින සියලුම වාහන සඳහා RFID ක්‍රමය හඳුන්වා දීමට නියමිත බව මෝටර් රථ කොමසාරිස් පවසයි. 

ශිරෝමි  රත්නායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.