lakbima.lk

බලාගෙනයි සතුන්ට දැමූ කිරිපිටි වෙළෙඳ‍පොළට ඇවිත්

කල් ඉකුත් වීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින් සත්ව ආහාර ලෙස වෙන් කළ කිරිපිටි තොගයක් නැවත අසුරා වෙළෙඳ‍පොළට යවන මහා පරිමාණයේ කූට ඡාවාරමක් වරකා‍පොල ‍පොලිස් වසමේ සිදු කෙරෙන බවට ඉකුත් දිනෙක ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය වෙත තොරතුරක් ලැබුණි.

තොරතුරෙන් කියවුණ පරිදි මෙකී ජාවාරම සිදු කෙරුණේ වරකා‍පොල, පැණිහෙළ ප්‍රදේශයේ නිවෙසකය.

එසේ තොරතුරු ලැබුණ පසු ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙක් මෙම ඇසුරුම් අංගණය අවට දින කිහිපයක් ආවේක්ෂණ රාජකාරියේ නියැලී ‍පොලිසියට ලැබුණ තොරතුරු සත්‍ය බවට තහවුරු කර ගත්හ. ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඊ.එස්.ධර්මප්‍රිය මේ පිළිබඳ සිය ඉහළ නිලධාරීන් වන ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්. ආර්. ලතීෆ් හා ‍පොලිස් අධිකාරි එන්.පී.ජී.එස්. රත්නේපිටියට මේ පිළිබඳ  දැනුම් දුන්නේය.

අනතුරුව ඔවුන්ගෙන් ලද උපදෙස් මත මෙම ස්ථානය වැටලීම් කිරීම සඳහා ඒ අනුව සැලසුම් සකස් කෙරුණි.

ඉකුත් 04 වෙනි දින ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ ‍පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බි.  රාජනායකගේ ප්‍රධානත්වයෙන් ‍පොලිස් සැරයන්වරුන් වන (4393) දිසානායක, (53684) රවීන්ද්‍ර, ‍පොලිස් කොස්තාපල්වරුන් වන (81321) අමරසිංහ, (81387) කුමාර හා ‍පොලිස් කොස්තාපල් රියැදුරු (79214) හේරත් යන නිලධාරීන් කණ්ඩායම පස්වරු 2.30ට පමණ කොළඹින් පිටත්ව වරකා‍පොල බලා ගියේය.

මේ අතර මොවුන් මේ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ද දැනුවත් කර එම ස්ථානයට පැමිණෙන ලෙස දන්වන ලදී.

පස්වරු 4.30ට පමණ පැණිහෙළ අදාළ ස්ථානයට ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වටලන ලදී. ඒ අවස්ථාවේ එම අංගණයේ කළමනාකරු හා තවත් සේවකයන් දෙදෙනකූ සිටිය අතර ඒ වන විටත් කිරිපිටි නව ‍ලේබල් යටතේ ඇසුරුම් කෙරෙමින් පැවැතුණි.

මේ වන විට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක්ද පැමිණ සිටි අතර විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග ඔවුන්ද ඇසුරුම් අංගණය පරීක්ෂා කිරීමේදී අයර්ලන්තයේ නිෂ්පාදනය කර මෙරටට ආනයනය කළ බවට සඳහන් ව්‍යාජ ‍ලේබල් යටතේ ඇසුරුම් කරන ලද මිනිස් පරිභෝජනයට  නුසුදුසු කිරිපිටි පැකට් 2250 ක්, එසේ ඇසුරුම් කිරීමට සූදානම්ව තිබූ කිරිපිටි කිලෝ 14,000ක්, කිරිපිටි ඇසුරුම් යන්ත්‍රයක්, විද්‍යුත් තරාදියක් සහ තවත් උපකරණ කීපයක්ද සොයාගත හැකි විය. වහාම සේවකයන් තිදෙනා අත්අඩංගුවට ගත් නිලධාරීන් ඔවුන්ගෙන් මේ පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූහ. මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු කොළඹ පදිංචි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකි. ඔහු කොළඹ සිට මෙය මෙහෙයවා ඇති අතර හැටන් පදිංචි දෙමළ අයෙකු මෙහි කළමනාකරු ලෙස සේවය කරමින් සියල්ල රැක බලා ගෙන තිබේ.

මෙම අංගණය වරකා‍පොල ප්‍රදේශයේ කාන්තාවකට හිමි වන අතර ඇය දැඩි ලෙස ණය වීම හේතුවෙන් ණය පියවා ගැනීමට හිලව්වක් ලෙස මෙම අංගණය කොළඹ ව්‍යාපාරිකයාට බදු දී තිබේ. මෙම ස්ථානයේ මෙකී ජාවාරම  මාස දෙක හමාරක පමණ කාලයක සිට ක්‍රියාත්මක කර ඇති බවද විමර්ශනවලදී සොයා ගැනීමට ‍පොලීසියට හැකිවිය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මිල්කෝ සමාගම  මගින් මිනිස් පරිභෝජනයට නුසුදුසු වූ කිරිපිටි සත්ව ආහාර වශයෙන් ලබා දීම ටෙන්ඩර් කැඳවා සිදු කෙරෙනු ලබයි. එසේ සත්ව ආහාර වලට ලබා දෙන කිරිපිටි ටෙන්ඩර් ඉහත කී ව්‍යාපාරිකයා විසින් ලබා ගෙන ඒවා නැවත සකස් කර මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳ‍පොළට යැවීමේ ජාවාරම සිදු කර තිබෙන බව මූලික විමර්ශන වලදී හෙළි විය.

එසේම පරිභෝජනයට නුසුදුසු මෙම කිරිපිටි නැවත ඇසුරුම් කර වෙළෙඳ‍පොළට යවනවාට වඩා මෙම ජාවාරම්කරු විසින් ඒවා රජය හා විවිධ සංවිධාන හරහා අවතැන් වූවන් සඳහා ලබා දෙන සහනාධාර මලු වලට ඇතුළත් කරන බවද මෙහිදී අනාවරණය විය.

මෙසේ මිනිස් පරිභෝජනයට නුසුදුසු වූ කිරිපිටි ග්‍රෑම් 450 පැකට් වශයෙන් අසුරා වෙළෙඳ‍පොළට නිකුත් කිරීමට සූදානමින් සිටි බවද මෙහිදී අනාවරණය විය.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට  විවිධ කරුණු රැසක් අනාවරණය වෙමින් පවතින අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙය විශේෂ කාර්ය බළකාය  විසින් පරිභෝගික සේවා අධිකාරිය වෙත ලබා දී තිබේ.

මෙම වැටලීමත් සමග මිල්කෝ සමාගමේ සේවකයන් විශේෂ කාර්ය බළකාය වෙත දැඩි ලෙස ප්‍රසාදය පළ කර සිටි අතර ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ සත්ව ආහාර ලෙස ඉවත් කරන ලද තවත් කිරිපිටි ටොන් 650 ක් ජාවාරම්කරුවන්  අතට පත්ව තිබෙන බවත් ඒ පිළිබඳවද සොයා බලන ලෙසත්ය. ඒ අනුව ‍පොලිස් විශේෂ කාර්ය බළකාය තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතුවල නියැලී සිටී.

ශානිකා මාධවී පීරිස්

ඡායාරූප - මනෝජ් එදිරිසිංහ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.