lakbima.lk

ගෙල නොකපාම උගුරේ පිළිකාව ඉවත් කළ විස්මිත සැත්කම

හයිලෙවල් පාරේ නිතර යනෙනා අයට හෝමාගම නගරය අරුමයක් නොවේ. එහෙත් හෝමාගම මූලික රෝහල ඇත්තේ කොහේදැයි විමසුවහොත් බොහෝ දෙනෙකුට එක එල්‍ලේ පිළිතුරු දිය නොහැකි වනු ඇත. ඒ හෝමාගම මූලික රෝහල පිහිටා ඇත්තේ හයිලෙවල් මාර්ගයෙන් මතු නොව කැලණිවැලි දුම්රිය මගින්ද මඳක් ඈතට වන්නට  මාලපල්‍ලේ වන හෙයිනි. එවැනි හුදකලා තැනක පිහිටා ඇති මේ රෝහල පිළිබඳ පසුගිය සතිඅන්තයේ ලංකාවේ සියලු ජනමාධ්‍ය එකවර කතා කළෝය. ඒ එහි සිදුවූ අපූරු සැත්කමක් නිසාය. රටේම මහ ඉස්පිරිතාලය වූ කොළඹ ජාතික රෝහ‍ලේත්, අනුරාධපුර, ගාල්ල ආදි ප්‍රත්‍යන්ත රෝහලකත් මෙතුවක් නොකළ ඒ සැත්කම කළේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ්ය.

හිරු නොබසින අධිරාජ්‍යයේ වෛද්‍යවරයෙකු ලෙස සුවිශේෂී පුහුණුවක් ලැබ මව්බිමට පය තබා මාස දහඅටක් තුළ කුලියාපිටිය සහ ජාතික රෝහ‍ලේ සේවය කළ මේ ජීවකයාණෝ ඒ දෙ‍පොළේදීම විස්මිත සැත්කම් කිහිපයක් සිදුකළහ. දිනෙන් දින තම කීර්තිය මෝරා වැඩෙද්දී වුවද අගනගරයෙන් බැහැර හෝමාගමට ලද ස්ථාන මාරුව සතුටින් බාර ගත් වෛද්‍ය සකාෆ් එහි පැමිණ මේ ගෙවී යන්නේ දවෛනි මාසයයි. අලුත් දෙයකට සූදානමින් නිති කල්බලනා ඔහු වෙතට පහුගිය දිනෙක මැදිවිය ඉක්මවූ රෝගියෙකු පැමිණියේය. උගුරේ අවහිරතාව රෝගියාගේ පැමිණිල්ල විය. රෝගියාගේ පෙර රෝග විනිශ්චයට පත් විමසා බැලූ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් එකී වාර්තා සියල්ල පසෙක තබා සිය අසුන රෝගියා සමීපයට ඇදගත්තේ අලුත්ම රෝගියෙකු ලෙස ඔහුගේ රෝගය පරීක්ෂා කරන්නටය.

රෝගියාගේ උගුර පරීක්ෂා කළ සැණින් වෛද්‍ය සකාෆ්ට රෝගය පසක් විය. උගුරේ ස්වර තන්තු ඉක්මවන තරමට පැතිරෙමින් තිබූ ගෙඩිය පිළිකාවක් බව සැකහැර තහවුරු වුවද එය සායනිකව තහවුරු කර ගතයුතු විය. ඒ සමගම මේ පුද්ගලයාගේ උගුරේ ඇති පිළිකා ගෙඩිය ඉවත් කිරීම මතෛක් සිරිලක භාවිත නොවූ නවතම තාක්ෂණ ක්‍රමයක් යොදා ගැනීමටද වෛද්‍ය සකාෆ්ට සිත්වූයේය. TOUSS (Trans Oral Ultrasonic Surgery) යනුවෙන් හඳුන්වන මේ ක්‍රමය මේ සිරිලක මෙතුවක් භාවිත නොවුණද කරුණු දෙකක් උඩ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ්ගේ සිත මේ සැත්කමට ඇදී ගියේය. ඉන් පළමුවැන්න මේ සැත්කම තමුන් විශේෂඥ ශල්‍ය පුහුණුව ලද එක්සත් රාජධානියේ සුලබව සිදුවන බැවින් ඔහු ඊට හුරුව සිටීමය. දෙවැන්න උගුර, කන, නාසය පිළිබඳ ලොව අංක එකේ ශල්‍ය වෛද්‍යරයා ලෙස පිළිගැනෙන ස්පාඤ්ඤ ජාතික මාරියෝ ෆර්ඩිනැන්ඩීස් යටතේ ඔහු මේ ශානරයේ සැත්කම් පුහුණුවක් ලබා තිබිමය. එහෙත් මේ රටේ කිසිදාක මෙවැනි සැත්කමක් මින් පෙර කරනැති නිසා ඊට හෝමාගම මූලික රෝහ‍ලේ රෝහල් අධිකාරිගෙන් අවසර ගතයුතුම විය.

රෝහ‍ලේ වෛද්‍ය අධිකාරී ධුරය හොබවන්නී වෛද්‍ය සුභාෂිනී පඬුවාවලය. වෛදය රිස්නි සකාෆ්ගේ විස්තරය අසා සිටි ඕ එක පයින් ඊට එකඟ වූවාය. දැන් අවසරය ලැබි අවසන්ය. ඊළඟට ඇත්තේ ගැටලු නිරාකරණය කර ගැනීම සහ අඩුපාඩු සපුරා ගැනීමය. සැත්කමට අත්‍යාවශ්‍යව උපකරණය අල්ට්‍රාසොනික් ස්කැල්පල් මැෂින් නම් වන්නේය. එවැන්නක් හෝමාගම රෝහ‍ලේ නැත. එහෙත් වෛද්‍ය රිස්නි සකාෆ් වැඩ අල්ලන්නේ නැති තැනින් නොව ඇති තැනිනි. මේ ඔහු ඒ පිළිබඳ දක්වන අදහස්ය.

“අල්ට්‍රාසොනික් මැෂින් එක නැති වුණාට මම බැලුවේ අපිට තියෙන දේවල් ගැන. හොඳ ශල්‍යාගාරයක් හෝමාගම තියෙනවා. ඒ විතරක් ‍නෙවෙයි මෙවැනි සැත්කම් සඳහා අත්‍යවශ්‍ය කැමරා පද්ධතියක් රෝහ‍ලේ තියෙනවා. ඒ ඔක්කෝටම වඩා කැපවීම තියෙන හෙද කාර්ය මණ්ඩලයක්, නිර්වින්දනය කාර්ය මණ්ඩලයක් මෙහි සිටිනවා. සුළු සේවකයන් පවා කැපවීමෙන් වැඩ කරනවා. මට මෙවැනි සැත්කම් සඳහා දැනුම හා පළපුරුද්ද තියෙනවා. අපිට නැත්තේ අල්ට්‍රාසොනික් ස්කැල්පල් මැෂින් එක විතරයි. ඒක ඉදිරියේදී සපයා ගන්නා බලා‍පොරොත්තුවෙන් මම වැඩේ පටන් ගත්තා” වෛද්‍ය සකාෆ් පවසන්නේය.

ලංකාවේ නමෝ විත්තියෙන් කරන ට්‍රාන්ස්ඕරල් අල්ට්‍රාසොනික් ශල්‍යකර්මය හෝමාගම රෝහ‍ලේ කරනා බව දැනගත් සමස්ත කාර්ය මණ්ඩලය ඉන් බොහෝ සතුටු වන්නෝය. වෛද්‍ය රිස්නි සකාෆ් කරන්නට යන සැත්කම මුළු රෝහ‍ලේම සැත්කම වන්නේය. සියලු දෙනා ඊට හැකි විලස දායක වන්නට වූහ. රෝගියාගේ වෛද්‍ය වාර්තා කඩිනමින් ලබාගත යුතු විය. එහෙත් සී.ටී.වාර්තාව ලබා ගැනීම ගැටලුවක් විය. ඒ හෝමාගම රෝහ‍ලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් නොමැති නිසාය. රෝහ‍ලේ ස්කෑන් පරීක්ෂණ භාර කණ්ඩායම මුල් වී සහෝදර රෝහලක් මාර්ගයෙන් රෝගියාගේ සී.ටී. වාර්තාව කඩිනමින් ලබා ගත්තේය. එමගින්ද පිළිකාව තහවුරු විය. ඊළඟට ඇත්තේ බයොප්සි පරීක්ෂාවය. රෝහ‍ලේ ව්‍යාධවේදීන් සමග කතාකර දෙදිනක් තුළ එකී වාර්තාවද ලබා ගන්නට වෛද්‍ය සකාෆ් සමත් වන්නේය. දැන් සියල්ල සූදානම්ය. එහෙත් වාට්ටුවේ හෙදියක් දිනක් වහා වෛද්‍යවරයා වෙත පැමිණෙන්නේ රෝගියාට හුස්ම ගන්නට බැරිව බව පවසමිනි. රෝගියාට හුස්ම ගැනීම පමණක් නොව කතා බහ කිරීමටද බැරි බව වටහා ගත් වෛද්‍ය රිස්නි සකාෆ් වහා ඔහු පරීක්ෂා කරන්නේය. රෝගියාගේ උගුර දුටු වෛද්‍යවරයාගේ ඇස් බැම නතර වූවේ නළ‍ලේ උඩ කෙළවරේය.

“මම ඊට දින දහයකට පෙර බලද්දී රෝගියාගේ බෙල්‍ලේ ගෙඩියක් තිබුණාට ඔහුගේ ස්වර තන්තු හොඳින් පෙනුණා. ඒත් එදා බලනකොට මුළු උගුරම වසාගෙන පිළිකාව පැතිරිලා. ස්වර තන්තු වැහිලා. ඔහුට හුස්මගන්නත් බැරි වුණේ ඒකයි. මම වහාම එළියෙන් බටයක් දාලා ඔහුට ඒ පහසුකම් ලබාදුන්නා” වෛද්‍ය සකාෆ් පවසන්නේය. රෝගියාගේ තත්ත්වය සලකා බැලූ රෝහල් අධිකාරිනිය සැත්කමට වහ වහා දින නියම කළාය.

එහෙත් අත්‍යාවශ්‍ය මූලිකම උපකරණය රෝහ‍ලේ නැත. ඒ අල්ට්‍රාසොනික් ස්කැල්පල් මැෂිමයි. වෛද්‍ය රිස්නි සකාෆ් ලංකාවට වෛද්‍ය උපකරණ ගෙන එන ප්‍රමුඛ සමාගමකට දුරකතන ඇමැතුමක් දී තම අවශ්‍යතාව පවසන්නේය. එහෙත් මෙම යන්ත්‍රයෙන් උගුර අභ්‍යන්තරයේ සැත්කම් කළහැකි බව සමාගම පවා නිසි ලෙස දැනුවත්ව සිටියේ නැත. කෙසේ හෝ සියලු කරුණු සපුරාගෙන පසුගිය සෙනසුරාදා සැත්කම කරන්නට දින නියම විය.

මුළු රෝහලම සැත්කමේ වගකීම් නිසි ලෙස කරට ගෙන තිබූ හෙයින් වෛද්‍ය රිස්නි සකාෆ් පසුවූයේ බොහෝ සැහැල්ලුවෙනි. නියමිත වේලාවටම නිර්වින්දනය කළ රෝගියාගේ මුඛය විවර කොට ඒ තුළින් යැවූ නළයක් ඔස්සේ කැමරාව ඇතුළු කර අනතුරුව ශල්‍ය උපකරණ ඇතුළු කරන ලදී. උගුර ඇතුළත සියලු දර්ශන රූපවාහිනී තිරමත දිස්වෙන හෙයින් සැත්කම ඇහින් බලා කරන්නාක් මෙන් විය.

රෝගියාගේ උගුර වසා සිටි පිළිකාවෙන් 95 - 98 අතර ප්‍රමාණයක් පැය කිහිපයක් තුළඉවත් කරන්නට වෛද්‍ය සකාෆ් සමත්වන්නේය. උගුරේ කිසිදු කැපුමකින් තොරව සිදුකළ මේ සැත්කමේ රුධිර වහනයක් කිසිත් සිදුවූයේ නැත. තුවාලද නැත. සැත්කමින් පසු රෝගියා දැඩි සත්කාර ඒකකයට නොව සාමාන්‍ය වාට්ටුවකට ඇතුළු කිරීම නිසා නව සැත්කම් ක්‍රමය වටහා ගැනීමට කොයි කාටවත් පහසුවිය. උගුරේ සැත්කමකට පසු අවම වශයෙන් ප්ලාස්ටර් කැබැල්ලක්වත් ගෙලෙහි නොමැතිව වාට්ටුවට ගෙනා රෝගියාට බලා‍පොරොත්තු වූ වේලාවටම සිහිය පැමිණි අතර විශේෂ අපහසුවකින් තොරව ඔහු සිටිනු දැකගත හැකි විය.

ට්‍රාන්ස්ඕරල් අල්ට්‍රාසොනික් ක්‍රමයට කරනා සැත්කමේ අගය වෛද්‍ය සකාෆ් මෙසේ පැහැදිලි කරන්නේය.

“උගුර විවෘත නොකර කරනා සැත්කම්වල අගය මෙතකයි කියා නිමකරන්න බෑ. පළමුවැනි වාසිය තමයි තුවාල නොවීම. එනිසාම රෝගියාට අපහසුතා සංකූලතා අඩුයි. ඒ වගේම තමයි ශරීරයේ ඕනෑම තැනක කරන කැපුමකදී රුධිර නහර, පටක ආදියට හානි සිද්ධ වෙනවා. විශේෂයෙන් උගුර වගේ තැනක තියෙන ‍ලේ නහර ස්වරතන්තු වැනි සංවේදී අංගවලට හානි වෙනවා. එමගින් කථන සහ ස්වසන හැකියාවට බාධා විය හැකියි. ඒනිසා ගෙ‍ලේ කැපුම් නැතිව කරන සැත්කම ගොඩක් වටිනවා.

මෙම සැත්කමින් පසුවද රෝගියා විකිරණ ප්‍රතිකාර (රේඩියෝ සහ කිමෝ තෙරපි) සඳහා යොමුකළ යුතු වෙයි. යම් හෙයකින් මෙම රෝගියාගේ උගුර විවර කළේ නම් ඔහු කීමෝ තෙරපි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සති දෙකක්වත් බලා සිටිය යුතු වේ. ඊට හේතුව තුවාල වේලෙනතුරු කීමෝ තෙරපි ලබාදිය නොහැකි වීමයි. එහෙත් එම කාලය තුළ රෝගියාගේ පිළිකා ෙසෙල වර්ධනය අඛණ්ඩවම සිදුවේ. ඒනිසා වැඩිපුර ප්‍රමාණයක් රේඩියෝ තෙරපි ලබා දීමේ අවදානමට මුහුණ දීමට රෝගියාට සිදුවේ.

ඊට අමතරව සැත්කම්වලදී භාවිත කරන ඩයටමි නම් උපකරණයේ අධික තාපය නිසාද රෝගීන් අපහසුතාවට පත්වේ. තාපය මගින් කැපුම් සිදුකරන එම උපකරණය නිසා අනවශ්‍ය ලෙස පේශිවලට හානි පැමිණෙන අතර එය අධික වේදනාවක් ගෙන එන්නට සමත් වෙයි. වැඩි කාලයක් රෝගියා රෝහ‍ලේ නතර කර ගැනීමටද එම තත්ත්වය බලපායි.

එහෙත් මෙම නව ක්‍රමයට සැත්කම් කිරීම නිසා අත්වෙන ප්‍රධාන වාසිය රෝගියාට ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට හැකි වීමයි. එනම් දින දෙකක් තුළ සාමාන්‍ය ආකාරයට ආහාර ගැනීමට හැකි වීම, කතා බහ කිරීමට හැකි වීම එම වාසි අතර වෙයි. පසුගිය සඳුදා වනවිටත් එම රෝගියා සාමාන්‍ය පරිදි ආහාර ගැනීම අරඹා තිබූ අතර කථන හැකියාවද හොඳ මට්ටමක තිබුණි. ඊට අමතරව ශ්වසන අපහසුතා මග හැරීම සඳහා යොදා තිබූ බටය වසා දැමූවද ඔහු පහසුවෙන් කතාබහ කරනු දැක ගත හැක.

ලෝකයේ සැත්කම් සඳහා වන තාක්ෂණය දිනපතා නොව පැයෙන් පැය අලුත්වන තරමේ තරගකාරීත්වයකින් යුක්තය. එකී නව දැනුම නොපමාව අප රටට ලබාගත යුතුවාක් මෙන්ම ඊට අදාළ උපකරණද ඉක්මනින් ලබාගැනීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමය. මෙතරම් විස්මිත දස්කමක් පෑමට වෛද්‍ය රිස්නි සකාෆ් ඇතුළු කණ්ඩායම සමත් වුවද තවමත් හෝමාගම රෝහල සතුව සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් නොමැත. පිළිකා රෝගියෙකු නොව ඕනෑම රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී කාලය ඉතා වැදගත්ය. එහෙයින් සති ගණන් ‍පොරොත්තු ‍ලේඛනවල සිට වාර්තා ලබා ගැනීමට රෝගීන්ට සිදුවන්නේ නම් වෛද්‍යවරු කොතරම් දක්ෂයෝ වුවද ඉන් ඵලක් නැත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.