lakbima.lk

විජේවීරත් බිය වූ එකම පොලිස්කාරයා

අසූව දශකයේ ජ.වි.පෙ. දෙවැනි කැරැල්ල සමයේ රටේ වැඩිපුරම කතාබහට ලක්වූ ‍පොලිස් නිලධාරියෙක් වී නම් ඒ ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පළය. ඒ ඔහු එම තරුණ කැරැල්ල මැඬපැවැත්වීම සඳහා ක්‍රියා කළ ආකාරය නිසාය. ‍පොලිස් සේවයෙන් විශ්‍රාම ලත් පසු නිහඬ ජීවිතයක් ගත කළ හෙතෙම පසුගිය 1දා මිය ගියේය. මේ රට ප්‍රකට ඩී.අයි.ජී. උඩුගම්පළ ගැන බොහෝ දෙනා නොදත් කතාවයි.

ඩී.අයි.ජී. උඩුගම්පළ. භීෂණ සමයේ ඒ නම ඇසුවත් ඇතිය. බොහෝ දෙනෙක් භීතියට පත්වූවෝය. ඒ බොහෝදෙනා අතරේ රජයට එරෙහිව දෙවරක් සන්නද්ධ කැරලි ගැසූ ජවිපෙ නායක රෝහණ විජේවීරද සිටියේය. මේජර් ජෙනරාල් ජානක පෙරේරා වරක් අප සමග පැවැසුවේ හෙතෙම රෝහණ විජේවීර අත්අඩංගුවට ගත් මොහොතේ තමා ජානක පෙරේරා බව නොදැන ඔහු තමාගෙන් ඉල්ලීමක් කළ බවය. ඒ තමා ඩී.අයි.ජී. උඩුගම්පළ, කර්නල් (එකල) ලකී අල්ගම හා කර්නල් (එකල) ජානක පෙරේරා යන තුන්දෙනාට හැර වෙන ඕනෑම අයෙකුට භාරදෙන ලෙසය. මේ තිදෙනාගෙන් දෙදෙනෙක් හමුදාවේය. ‍පොලීසියේ එකම කෙනා ඩී.අයි.ජී. උඩුගම්පළය. උඩුගම්පළට රෝහණ විජේවීර පමණක් නොව එකල තරුණයෝ දැක්වූයේ පුදුමාකාර බියකි.  ඊට හේතු වූයේ ඔහුගේ චරිතය වටා ගෙතී තිබූ කතන්දරය.

ඔහුට මුළු රටම  බිය වුවත් අපි ඔහුට බිය වූවේ නැත. හේතුව ඔහු මගේ ගමේ (ගාල්ල උළුවිටිකේ)  අසල්වැසියෙකු වීම නිසාය. මේ කියන කාලයේ ඩී.අයි.ජී. ප්‍රේමදාස උඩුගම්පළ   දකුණු පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා විය. ඔහුගේ කාර්යාලය පිහිටියේ මාතරය. ඔහු එක් සොයුරෙකු වූ කුලසිරි උඩුගම්පළ එකල රාජකාරි කළේ මොරවක ‍පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසය. තවත් සොයුරකූ වූ ලුතිනන් (පසුව කර්නල්) පද්මසිරි උඩුගම්පළ සේවය කළේ කොළඹ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේය. එල්.ටී.ටී.ඊ. මෙන්ම ජවිපෙ භීෂණය මැඬලීමට මේ සොයුරෝ තිදෙනාම එක්ව සිටියහ.

ඩී.අයි.ජී. උඩුගම්පළගේ  මව වන උළුවිටිකේ ගමගේ ඇලිස් චන්ද්‍රාවති සිටියේ උළුවිටිකේ මහ ගෙදරය. එම නිවසේ ප්‍රේමදාස උඩුගම්පළගේ සොයුරෙකු වන පාලිත උඩුගම්පළත් ඔහුගේ බිරිඳ රමණී උඩුගම්පළ හා එම යුවළගේ කුඩා දරුවන් දෙදෙනාද වූහ. එකල රමණී උඩුගම්පළ උළුවිටිකේ තැපැල් ස්ථානාධිපතිනිය වූවාය. ඇය මගේ මවගේ මිතුරියක වූවාය.

තැපැල් කාර්යාල පිහිටියේ මහගෙදර ඉදිරිපස කාමරයේය. රමණී හා පාලිත යුවළට දරුවෝ දෙදෙනෙක් සිටියහ. වැඩිමලා දුවය. ඇගේ වයස අවුරුදු හතරකි. බාලයා පුතාය. ඔහු  දෙහැවිරිදිය. දිනය එක්දහස් නවසිය අසූඅටේ ජූලි විසිතුන් වැනිදාය. එදින රාත්‍රියේ පාලිත උඩුගම්පළ නිවසේ පිටුපස වූ කුස්සියෙන් රාත්‍රී කෑම බෙදාගෙන සාලයට ආවේ අනෙක් අත තුවක්කුවත් දරාගෙනය. දේප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් එල්ලවන තර්ජන හමුවේ ඔහු සිටියේද සන්නද්ධවය.

රාත්‍රියේ කෑම පිඟාන සමග ගේ තුළට පැමිණි ඔහුට පිටුපස දොර අගුල්ලෑමට අතපසු විය. වත්තේ සැඟව හුන් සන්නද්ධ පිරිසට විවෘතව පැවැති දොරෙන්ගේ ඇතුළත පෙනුණි. ඔවුන් දුටුවේ තුවක්කු පසෙක තබා පාලිත උඩුගම්පළ රාත්‍රී ආහාරය ගන්නා අයුරුය. ඒ අවසරයෙන් සන්නද්ධව පිරිස නිවසට ඇතුළු වූහ. තුවක්කුව අතට ගැනීමට පාලිත උඩුගම්පළට ඉඩක් ඉතිරි නොවීය. බත් පිඟාන විසිව ගියේය. ඒ තිරිසනෙකු වුවත් කෑම කනවිටකදී ගහන්නේ නැති බව කියන රටකදීය. බත්කමින් හුන් පාලිත උඩුගම්පළ යටත් කරගත් සන්නද්ධ පිරිස ඔහුගේ අත්බැන්දහ. බියට පත්ව සිටි දරු දෙදෙනා කාමරයේ රෙදි ගොඩ අස්සේ හැංඟුණහ. සියලුදෙනාගේ අවසාන මොහොත ළඟාවී ඇති බව දැනගත් උඩුගම්පළ මාතාව ජවිපෙන් ඉල්ලීමක් කළාය.

දරුවන්ට මුකුත් කරන්න එපා. මාව මරා දාන්න හැත්තෑහතර වැනි වියේ පසුවූ උඩුගම්පළ මාතාව ඉදිරියේ සන්නද්ධ තරුණයෝ ඇගේ පුතුව කපා කොටා වෙඩි තැබූහ. මරුවාගෙන් ඈටද ගැලවිල්ලක් නොවීය. ඉක්බිතිව නිවසේ ඇඳවල් මත තිබූ මෙට්ට එකතු කරගත් සන්නද්ධ තරුණයන් මළසිරුරු මත දමා ගිනි තැබූහ. ඒ ගින්න නිවසේ එක කොටසක් පුරා පැතිරුණි. වහළ ගිනිගෙන බිමට කඩා වැටුණි. හයක් හතරක් නොතේරෙන දරු දෙදෙනා පණපිටින් ගින්නට හසුවිය. දරු සෙනෙහසින් ළය පිරී ඉතිරී ගිය රමණී උඩුගම්පළ ගිනි ගොඩට පැන්නේ දරුවන් බේරා ගැනීමටය.

සියල්ල අවසන් වන විට හුස්ම ගනිමින් හුන්නේ රමණී උඩුගම්පළ පමණි. අනෙක් සිව්දෙනාගේ සිරුරු පිලිස්සී අඟුරු බවට පත්වී තිබුණි. ඔවුන්ගේ අවසන් කටයුතු කෙරුණේ පෙට්ටිවලට සීල් තබාය. බරපතළ තත්ත්වයේ හුන් රමණී රෝහල් ගත කළද ඵලක් නොවීය. අවසානයේදී ඈ සිය සැමියාද දරු දෙදෙනාද ගිය තැනටම ගියාය.

තමාගේ මව ජවිපෙ විසින් ඝාතනය කරන විට ඩී.අයි.ජී. උඩුගම්පළ දකුණු පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා විය. විජේවීර මගේ අම්මා මරලා අපේ ගෙදරට ගිනි තැබුවත් මගේ බලප්‍රදේශයේ පිහිටි විජේවීරගේ මහගෙදරට වැලි කැටයක් විසිකරන්න මම ඉඩ දුන්නේ නෑ. විජේවීරගේ අම්මා ජීවත් වූ ඒ ගෙදරට මම ‍පොලිස් ආරක්ෂාව දුන්නා. ඔහු එසේ කීවේය.

ඩී.අයි.ජී. උඩුගම්පළ නම රටේ ප්‍රසිද්ධ වූයේ භීෂණ සමයට බොහෝ කලකට පෙරය. ඔහුගේ කරළ පැහුණේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදීය. එම සබඳතාවට පසුබිම හැදෙන්නේ ජේ.ආර්. විපක්ෂනායක ධුරය හොබවද්දීය. ඔහු මැතිනියට එරෙහිව මහනුවරට විරෝධතා පා ගමනක් ලෑස්ති කළේය. එම විරෝධතාවට අත්තනගල්‍ලේදී දැඩි ප්‍රහාරයක් එල්ල වූයේය. ජේ.ආර්.  ඝාතන කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වුණ බවද එකල කියැවුණි. ජේ.ආර්.ට ගැහූ ‍පොලු පාර වැළැක්වූයේ ප්‍රේමදාස උඩුගම්පළය. ඔහු මැරයාට පන්න පන්නා පහර දුන්නේය. එකල ඔහු රාජකාරි කළේ ‍පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේය. අහම්බෙන් ඔහුට ජේ.ආර්.ගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූයේ ඔහු එදින විශේෂ රාජකාරි සඳහා ජේ.ආර්.ගේ  පෙළපාළියට යොදවා තිබූ බැවිණි. ජේ.ආර්. අගමැති වූ පසුව කළෙහිගුණ අමතක කළේ නැත. උඩුගම්පළ සොයාගෙන ඔහුට සිය ආරක්ෂාව භාර දුන්නේය. ඒ සිද්ධිය ජේ.ආර්. ජනපති වූ පසුව මතක් කළේ ගම්පහ රත්නාවලී බාලිකාවේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිණි. රත්නාවලිය විදුහල්පතිනිය උඩුගම්පළගේ බිරිඳ  වූවාය. මේ නිසා ඔහුද උත්සව සභාවේ විය. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකිලා ඇත්තේ නිල ඇඳුම්ලාගෙන සිටින අර ‍පොලිස් නිලධාරියා නිසයි. එදා මට ‍පොලු පාර වැදුණානම් අද ජේ.ආර්. කෙනෙක් නෑ ජනපතිවරයා ඒ කතාව කීවේ වේදිකාව පාමුල හුන් ප්‍රේමදාස උඩුගම්පළ පෙන්වමිනි.

එකල ‍පොලිස්පතිවරයා පවා ජනපති සමග සම අසුන්ගෙන ජනපති නිල රියේ ගියේ නැත. ‍පොලිස්පතිටත් නැති ඒ තැන ප්‍රේමදාස උඩුගම්පළට හිමිව තිබුණේය.

වරක් උඩුගම්පළ ජනපතිවරයාගේ රැස්වීමට ප්‍රමාද වී ගියේය. ඒ ගැන ජනපති විමසූ විට ඔහු කීවේ තමාට ඇත්තේ නිතර කැඩෙන කසිකබල් වාහනයක් බවත්, වාහනයක් ඉල්ලුවත් ‍පොලිස් මූලස්ථානයෙන් නොදෙන බවය. ඊට පිළිතුරු දුන් ‍පොලිස්පතිවරයා කීවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැන්ෂන් ගියවිට ඇතිවන පුරප්පාඩුව අනුව ඔහුට වාහනයක් දිය හැකි බවය. එසැණින් ජනපතිවරයා කීවේ ‍පොලිස්පතිවරයා ඉල්ලා අස්වී ලිපිය තමාට භාර දෙන්නේ නම් ක්ෂණිකව පුරප්පාඩුවක් ඇතිවන බවය.  ජේ.ආර්ගේ පණිවුඩය තේරුම් ගත් ‍පොලිස්පතිවරයා හැරෙන තැපෑලෙන්ම ප්‍රේමදාස උඩුගම්පළට නව නිල රථයක් දුන්නේය.

ජේ.ආර්ගේ පමණක් නොව ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ආර්. ප්‍රේමදාස ජනපතිවරයාටත් නැතිවම බැරි ‍පොලිස් නිලධාරියා වූයේ ඩී.අයි.ජී. ප්‍රේමදාස උඩුගම්පළය. කිරිපැණි මෙන් තිබූ ඔවුන් දෙදෙනාගේ සබඳතාව එකවර විරසක වූයේ මුළු රටම පුදුමයට පත් කරවමිණි. මේ විරසකය සමග තමාගේ ජීවිතය අනතුරේ බව දත් ඩී.අයි.ජී. උඩුගම්පළ යටිබිම් ගත විය. ජනපතිවරයාගේ චර පුරුෂයෝ ඔහු සෑම තැනම සෙව්වෝය. එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකි විය. මේ අතරේ ප්‍රේමදාස උඩුගම්පළගේ සොයුරෙකු වූ මුණිදාස උඩුගම්පළ අභාවප්‍රාප්ත විය. මළගම තිබුණේ උළුවිටිකේය. උඩුගම්පළ මළගමට එතැයි සිතූ ප්‍රේමදාසගේ චරපුරුෂයෝ මුළු ගාල්ලටම මුර දැමූහ. රාත්‍රී යාමයේ ගමේ මනුස්සයකු මෙන් පැමිණි අයෙකු මළගෙදරට ගොඩ වැද අවසන් ගෞරව දක්වා ගියේය. ඒ කිසිවෙකු නොව වෙස්වලාගත් ඩී.අයි.ජී. උඩුගම්පළය. තවත් දවසක ‍පොලීසිය මාර්ග බාධකයකදී මෝටර් රියක් නතර කරවීය. රියැදුර අසුනේ සිටියේ සුරූපී කාන්තාවකි. වාහනයේ පිටුපස අසුනේ සිටියේ ටයිකෝට් පැලඳගත් ලොකු හිස්වැස්මක් දමාගත් තලතුනා මහත්මයෙකි. ඔහු බිමතින් සිටින බවක් පෙනේ. ඒ නිසා වාහනය පදවන්නේ බිරිය බව සිතූ ‍පොලීසිය යන්න කීවේය. එහෙත් එම බේබද්දාගේ චරිතයට වෙස් මාරුකරගෙන සිටියේ ප්‍රේමදාස ජනපතිවරයාගෙන් වසන්වී සිටින ඩී.අයි.ජී. උඩුගම්පළ බව ‍පොලිස් නිලධාරීහු නොහඳුන ගත්හ. මෝටර් රිය පදවාගෙන ගිය කාන්තාව කර්නල් පද්මසිරි උඩුගම්පළගේ බිරිඳය. මෙසේ ප්‍රේමදාස සමග හැංඟිමුත්තන් කරමින් සිටී ඩී.අයි.ජී. උඩුගම්පළ මතුවූයේ ඉන්දියාවෙනි. ඔහු ඉන්දියාවට පලා ගියේ මාළුකාරයකුගේ වෙස් ගෙනය. මොරටුවෙන් මාළු බෝට්ටුවක නැගී ඔහු ඉන්දියාවට පලා ගොස් තිබුණි. ඔහුත් ආර්. ප්‍රේමදාස ජනපතිවරයාත් අතර ඇතිවූ විරසකය මාධ්‍යයෙන් මතෛක් හෙළි නොවූ කතාවකි. ප්‍රේමදාස ජනපතිවරයා ඩී.අයි.ජී. උඩුගම්පළ ගැන සැක කරන්නට පටන් ගත්තේ මහාචාර්ය රැල්ෆ් බුල්ජන්ස් පැහැරගෙන යාමේ සිද්ධියත් සමගය. එම සිද්ධියට චෝදනාව එල්ල වූයේ ගාමිණී දිසානායක ඇමැතිවරයාටය. මහාචාර්යවරයා පැහැරගෙන ගියේ පසුකලක දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ ප්‍රසිද්ධ දේශපාලනඥයකු වූ අයකුගේ පියා ඇතුළු පිරිසකි. ඔවුන් මේ සිද්ධිය ගැන ගාමිණි දිසානායකගේ නම සඳහන් කර පා‍පොච්ඡාරණය කිරීමට සැරසුණි. ඒ සමගම ඩී.අයි.ජී. උඩුගම්පළගෙන් ඉල්ලීමක් කෙරුණි. ඒ ගාමිණී මේ සිද්ධියෙන් බේරා ගැනීමටය. මේ සිද්ධියට උඩුගම්පළ මැදිහත් වූ බව ආර්. ප්‍රේමදාස ජනපතිවරයා දැන ගත්තේය. එකල ඔහුත් ගාමිණීත් අතර සීතල යුද්ධය ඇරඹී තිබුණේය. ඒ පසුබිම නිසා කෝපයට පත් ජනපතිවරයා කල්පනා කරන්නට ඇත්තේ ඩී.අයි.ජී. උඩුගම්පළ තමාට හොරෙන් ගාමිණී - ලලිත් පිල සමග ගනුදෙනු කරන බවය. විරසකයට මුල එයය.

කෙසේ නමුදු ඉන්දියාවට පලා ගිය ප්‍රේමදාස උඩුගම්පළ යළි ලංකාවට ආවේ ජනපති ප්‍රේමදාස ඝාතනයෙන් පසුවය. ඩී.බි. විජේතුංග ජනපතිවරයාගේ සමයේ ලංකාවට පැමිණි ඔහු වරාය අධිකාරියේ උප සභාපති ලෙස පත්වීම ලද ටික දවසකින් තිරයෙන් මැකී ගියේය. පසුකලක ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීය. ඒ අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව රෝහණ වීජේවීරගේ මස්සිනා කළ පැමිණිල්ලක් විභාග කිරීමටය. එහිදී ඔහු සිය පැරණි රජදහනේ  රාජකාරී කළ ගෝලයන්ට කීවේ එක කතාවකි. ඒ තමා සියල්ල නීත්‍යනුකූලව කර ඇති බවය.

ඒ කතාව නම් ඇත්තේය. රටුන් කුමන කතා කීවද ‍පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඔහු ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අකුරට වැඩ කළ නිලධාරියකු ලෙසය. කොටින්ම කියනවානම් ඔහු වරක් සිය පුත්‍රයා පවා හිරේ දැම්මේය. ඊට ජීවමාන සාක්ෂිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහය. එකල ඔහුත් රාජකාරි කළේ ගම්පහ ‍පොලීසියේය.

සිසුන් පිරිසක් බස් රියැදුරෙකුට පහර දීමේ පැමිණිල්ලක් ‍පොලීසියට ඉදිරිපත් විය. සැකකරුන් අතරේ ගම්පහ එස්.පී. උඩුගම්පළගේ පුතාද විය. ‍පොලිස් නිලධාරීන් පුතා කූඩුවට නොදමා බංකුවේ වාඩි කළේය. කෝ පුතා එස්.පී. උඩුගම්පළ ඇසීය. බංකුවේ වාඩිවෙලා ඉන්නවා. ‍පොලිස් නිලධාරීහු කිහ. සැකකාරයෙක් කොහොමද බංකුවේ ඉන්නේ. දානව එයත් කූඩුවට ඔහු නියෝග කළේය. ඉන් අපහසුතාවට පත්වූයේ ‍පොලිස් නිලධාරීන්ය. තමාද ආදරයෙන් පුතා යනුවෙන් කතා කරන ‍පොලීසියට එන යන එස්.පී. මහත්තයාගේ පුතා කූඩුවේ සිටීම ගැන ඔවුහු දුක් වූහ. අන්තිමේදී පුතා ඇතුළු සිසුන් කූඩුවෙන් එළියට ආවේ බස් රියැදුරා සමාදාන වීමට කැමැති වූ නිසාය.

ඒ ඩී.අයි.ජී. උඩුගම්පළගේ හැටිය. පුතාටත් නීතිය එකය. භීෂණයට ඔහු භීෂණයෙන්ම පිළිතුරු දුන්නේය. ඒවායේ හරි වැරැද්ද කෙසේ වූවත් ඔහු කීවේ නීත්‍යනුකූලව බලයට පත්වූ රජය පෙරළීමට ක්‍රියාත්මක වු සන්නද්ධ කැරැල්ල මැඩ පැවැත්වීම රජයේ නිලධාරියකු ලෙස තම රාජකාරිය බවය. ජ.වි.පෙ.ට එරෙහිව ඔහු ඇරැඹූ මෙහෙයුම නිසා ඔහු එම සංවිධානයේ අංක එකේ ඉලක්කම විය. එහෙත් ඩී.අයි.ජී. උඩුගම්පළ හැමදාමත් මාරයාගෙන් බේරුණේය. එහෙත් ඔහු සමග නම කියැවුණු අනෙකුත් පිරිසකට එවැනි වාසනාවක් නොවීය. ආර්. ප්‍රේමදාස, රංජන් විජේරත්න, මේජර් ජෙනරාල් ලකී අල්ගම, මේජර් ජෙනරාල් ජානක පෙරේරා, කර්නල් තුවාන් නිෂාම් මුත්තලිෆ්, ‍පොලිස් අධිකාරී රොනි ගුණසිංහ ඇතුළු සියල්ලෝම අකල් මරණවලට ගොදුරු වෙද්දී ඔහු ජීවිතයේ පරමායුෂ විඳ ස්වාභාවික මරණයකින් සදාකාලික නින්දට ගියේ දිවි ගමනේ අසූ තුන් වැනි කණුවද පසුකරය.

මිහිරි ෆොන්සේකා

Comments  

+2 #1 Sunanda 2019-01-10 09:15
මිණිමරැවා නුඹට යන්න ආත්මයක් නැත. 1989 නයිවල මරාදාපු 34 වෙනුවෙන් නුඹට ආත්මයක් නොලැබේවා කියා මා ඉල්ලා සිටින අතර ආත්මයක් ආත්මයක් ගානේ නුඹට පලිසන් දෙනවා
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.