lakbima.lk

නාමල් කුමාර රෝහිණී හතුරුසිංහගේ “මල්ලීි

කැළුම් රෝහිණි හතුරුසිංහ යන නම කියු පමණින් ඇය කවුද කියා රට්ටුන්ගේ මතකයට එකවර නැගෙන්නේ නැත. එහෙත් ඇය කාලයක් ලංකාවේ පත්තර සිරස්තල මැවූ චරිතයකි. ඇය කරළියට ආවේ මීට විසි තුන් වසරකට පෙරය. එකල පැවැතියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයයි.

ඇගේ ආණ්ඩුව සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න ඇතුළු හමුදා නිලධාරීන්ගේ අභිරහස් ඝාතන පිළිබඳ සොයා බලන්නට ජනපති කොමිසමක් පත් කළාය.

එවකට උතුරු ප්‍රදේශය භාරව සිටි ආඥාපතිවරයා වූ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු නව දෙනෙකු මරණයට පත් කිරීමට ඔවුන් ගමන්ගත් හමුදා රියේ බෝම්බයක් සවි කරන ලද්දේ තම සැමියා වූ සුසන්ත හතුරුසිංහ බව රෝහිණී හතුරුසිංහ ජනපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් කීවාය. එපමණක් නොව එය සවි කළේ බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ උපදෙස් මත බවද ඇය කී කතාව නිසා කිරිබත්ගොඩ නගරමැද තිබූ විජය විමලරත්න ප්‍රතිමාවද විනාශ කිරීමට ප්‍රකෝපකාරීහු එදවස පියවර ගත්හ.

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු නව දෙනාගේ මරණ සම්බන්ධයෙන් සෙවීමට පත් කර තිබූ ජනපති කොමිසම ඉදිරියටද ඇය දරුවෙකු කරපින්නා ගෙන ගොස් ප්‍රකාශ කළේ තම සැමියා වූ සුසන්ත හතුරුසිංහ රණවිරුවෙකු බවත් ඵහිදී මෙම ක්‍රියාව සිදුකළ බවත්ය. එහෙත් ඇයට මුළු රටම ඇන්ඳවීමට හැකි වූයේ ටික කලක් පමණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය පිළිබඳ කළ විමර්ශනවලදී හෙළි වූයේ ඇය පවසන කතා අසත්‍ය බවය. ඒ සමග රෝහිණි හතුරුසිංහගේ නම මාධ්‍යයෙන් වැසී ගියේය.

රෝහිණී හතුරුසිංහගේ මතකය පිළිබඳ අපට සිහියට එන්නේ ඇය ක්‍රියා කළ ලෙසටම දැන් රටේ පුවත් මැවීමට පුද්ගලයෙක් සිටින බැවිණි. ඒ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරය.

ජනාධිපති මෛත්‍රී්‍රපාල සිරිසේන හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකු විසින් පාතාලය සමග එක්ව සැලසුම් කළ බව නාමල් කුමාර ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ ඉකුත් වසරේ අගෝස්තු මසය. එම කුමන්ත්‍රණයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද සම්බන්ධ බවත් ඔහු කීවේය. එහෙත් සරත් ෆොන්සේකා කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ ගැන විමසූ විට ඔවුන් පැවැසුවේ තමාට විරුද්ධව එවැනි චෝදනාවක් නැති බවය.

කෙසේ නමුදු මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ බව කියන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට පත් වූයේ මාධ්‍යවලට සිරස්තල මවමිනි.

අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ    දෙපාර්තමේන්තුව වෙත නාමල් කුමාර මෙම ඝාතන කුමන්ත්‍රණවලට අදාළ හඬපට ලබා දුන් අතර ඔහු පැවැසූයේ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ තර්ජන නිසා ඇතැම් කොටස් මකා දැමීමට සිදුවු බවය.

මකා දැමූ බව කියන හඬපට ප්‍රතිඋත්පාදනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අධිකරණයේ අවසරය මත හොංකොං බලා ගියේද ඒ අනුවය.

එහිදී පැයක පමණ දුරකථන සංවාද 427ක්, වීඩියෝ 26ක්, ඡායාරූප 4321ක් ප්‍රතිඋත්පාදනය කර ගැනීමට නිලධාරීන්ට හැකි විය. මෙකී දුරකථන සංවාදවලින් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා කළ බව කියන ඝාතන සැලසුම් පිළිබඳ සැලැස්මක් ලිපිකවරයක බහා නාමල් කුමාරට එවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම දුරකථන ඇමැතුම්වලින් හෙළිවූ තොරතුරු අනුවය.

නමුත් ඔවුන් මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා එකී හඬපටය රස පරීක්ෂකවරයා වෙත යැවීමට තීරණය කළේ අධිකරණයේ නියෝග මතය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැන්වූ කරුණු අනුව නාමල් කුමාරගේ පැටිකිරියද හෙළිවෙමින් තිබේ. ඔහු හමුදා සේවයට එක්වී ඇත්තේ ව්‍යාජ සහතික ඉදිරිපත් කරය. නාමල් කුමාර 2001 වර්ෂයේ අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් තුනක් පමණක් සමත්ව සෙසු විෂයන් හතම අසමත් අයෙකු බව හෙළි වී තිබේ.

එහෙත් නාමල් කුමාර විභාග අංක 24321094 යටතේ අධ්‍යාපන සහතිකයක් ගුවන් හමුදාවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඔහු අධි සම්මාන 02ක්, සම්මාන 03ක් සහිතව විෂයන් දහයම සමත් වී ඇති බවය.

2009-01-28 වෙනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිත්‍ය ගුවන් භටයෙකු ලෙස එක් වී අම්පාර කඳවුරේ සේවය කරමින් සිටියදී 2009-09-04 වෙනි දින සේවය හැර ගොස් තිබේ.

නැවත 2010 -04-29 වෙනි දින ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකායට එක් වී ටික කලකින් යුද හමුදාවෙන්ද පලාගොස් තිබේ.

නැවත 2011 - 05 - 20 ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට එක් වී ජූලි මසදී සේවය හැර ගොස් ඇති බවද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

කෙසේ නමුදු මේ වන විට නාමල් කුමාර කියු ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ විමර්ශනයට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාමල් කුමාර පිළිිබඳවද විමර්ශනය කිරීම අරඹා ඇත. ඒ අනුව මොහු පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාවෙන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්ද කරුණු සටහන් කර ගෙන ඇති අතර ව්‍යාජ තොරතුරු සැපයීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ විමර්ශන යට ගැසීමට උත්සහ කර ඇති බවට වරක් නාමල් කුමාර චෝදනා කළ අතර එහිදී ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කළ යුතු ආකාරය නාමල් කුමාර ‍පොලීසියට කියා දිය යුතු නැති බවත් එකී නිලධාරීන් මේ පිළිබඳ විනිවිද බවකින් කටයුතු කරන බවත්ය.

නාමල් කුමාර යුද හමුදාවෙන් ගිය සොල්දාදුවෙකු බව හෙළිවීම හේතුවෙන් ඔහු ගැන ගන්නා පියවර ගැන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගෙන් විමසූ විට ඔහු සඳහන් කර සිටියේ තවම මේ කරුණ හෙළිවෙමින් පවතින හෙයින් හමුදාවෙන් කිසිදු විමර්ශනයක් දැනට ආරම්භ කොට නොමැති බවය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාමල් කුමාර පිළිබඳ යුද හමුදාවෙන් විමසූ අවස්ථාවේ ඔහු හමුදාව හැර ගිය අයෙකු ලෙස  සනාථ කළ බවද ඔහු සඳහන් කර සිටියේය.

තවද නාමල් කුමාර පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්නගෙන් විමසූ විට ඔහු සඳහන් කර සිටියේ නාමල් කුමාර ගුවන් හමුදාවට ව්‍යාජ ‍ලේඛන ඉදිරිපත් කර ගුවන් හමුදා සේවයට එක්වීම හා සේවය අතහැර යාම පිළිබඳ කිසිදු විමර්ශනයක් තවමත් සිදු නොකෙරෙන බවය.

 ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.