lakbima.lk

සිරීපාදේ ඉරසේවය ලෝකෙටම එකයි

වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වූයේ ඉකුත් සතියේ යෙදුණු උඳුවප් පුන් ‍පොහොය දිනෙනි. ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමත් සමග දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ ගණනක් දෙනා සමන්ගිර තරණය කර ශ්‍රී පාද පත්මය වන්දනා කර ගනිති. ශ්‍රී පාද පත්මය පිහිටි සමනළ කන්ද සුවිශේෂී පරිසර කලාපයක්ද වන නිසා දෙස් විදෙස් බොහෝ දෙනා මේ පරිසර සුන්දරත්වයටද වශීකෘත වන්නේ ඉබේටමය.

ගිරි දුර්ග, වන දුර්ග මෙන්ම ජල දුර්ගද පසු කරමින් සමන්ගිර තරණය කරන බොහෝ දෙනාගේ ඉලක්ක අරමුණු දෙකක් වෙති. ඉන් එකක් ශ්‍රී පාද පත්මය වැඳ පුදා ගැනීමය. අනෙක ඉර සේවය හෙවත් සූර්ය උදාව දැක බලා ගැනීමය. අලුයම් කාලයේ ශ්‍රී පාද උඩමලුවේ රැඳී සිටින්නෙකුට මේ උඩමලුවට පැමිණෙන බැතිමතුන් ඉර සේවය දැකබලා ගැනීම සඳහා කොතරම් උනන්දුවක් දක්වන්නේදැයි හොඳින්ම  වැටහෙනු ඇත. ඒ තරමටම මේ සූර්ය උදාව චමත්කාර ජනකය.

හිමිදිරි උදෑසන සිරිපා මලුවේ සිට පෙරදිග අහස දෙස බලන්නෙකුට වලාකුළු අතරින් හිරු පායාගෙන එනු ලබන්නේ ඉතා චමත්කාර දසුනක් මවමිනි. මුළු පෙරදිග අහසම රන්වන් පාටින්ද කහ පාටින්ද තවත් විටෙක තද රතුපාටින්ද බැබළෙයි. විස්තර කළ නොහැකි වර්ණ සංයෝජනයක් ඇති වෙයි. සූර්යා වරෙක මතුවෙමින්ද තවත් වරෙක ගිලෙමින්ද ගෙන එන දර්ශනය, බැතිමතුන් හඳුන්වන්නේ “ඉර සේවය’ යනුවෙනි. සූර්යය දෙවි රාජයා තෙවරක්ම ශ්‍රීපාද පත්මයට වන්දනා කරනබව අතීත සාහිත්‍ය කරුවන් වර්ණනා කර ඇත්තේ මේ සංසිද්ධියමය.

ක්‍රමයෙන් සූර්යයා මතු වූ විට අන්ධකාරය දුරු වී ආලෝකය ඇතිවේ. ඒ පෙරවරු 6.30 ට පමණය. මේ වේලාවන් දවසින් දවස වෙනස්වේ. හිරු මතුවෙන කල ඈත පිහිටි කඳු මුදුන් අහස පසුබිම් කොටගෙන, අඳුරුපාටින් මතු වී පෙනේ. මේ වන විට අහසේ බටහිර අර්ධය අඳුරේ ගිලී පවතී. ක්‍රමයෙන් හිරු එළිය වැඩිවෙත්ම සමනළ කන්දේ යෝධ සෙවණැල්ල ඉදිරිපස ඇති උස් භූමිය තුළ පතිතවේ. ඉතාම චමත්කාර ජනක මේ දසුන දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනා වශී කිරීමට සමත්ය.

මෙම ස්වාභාවික සංසිද්ධිය ඉර සේවය ලෙසින් අප විසින් හැඳින්වුවද ශ්‍රී ලංකා ෙජෙව තාරකා විද්‍යා ඒකකයේ පර්යේෂණ අංශය වරෙක පෙන්වා දුන්නේ මෙම ශ්‍රී පාද කන්දේ සෙවණැල්ල ලෝකයේ ඉපැරණිම ස්වාභාවික දින දසුන බවය.

සමනොළ කඳු මුදුනේ උදෑසන ඉර සේවය ලොව පැරණිතම දින දර්ශනය බවට තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා ෙජෙව තාරකා විද්‍යා ඒකකය පර්යේෂණ රාශියක් සිදු කළේය. ඒ පර්යේෂණ කණ්ඩායම මොරටුව විශ්වවිද්‍යාලයේ ආතර් සී ක්ලාක් ආයතනයේ අභ්‍යාවකාශ යෙදුම් අංශයේ පර්යේෂණ තාරකා විද්‍යාඥ ජනක  අදත්සූරිය, ලංකා ෙජෙව තාරකා විද්‍යා ඒකකයේ පර්යේෂණ අංශයේ අරවින්ද සුමනරත්න, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ කමල් අබේවර්ධන, ඉන්දික විජේතුංග යන පර්යේෂකයන්ගෙන් සමන්විත වූහ.

සූර්ය උදාව සිදුවන අවස්ථාවේ සිරිපා මලුවේ සිටින අයෙකුට එහි බටහිර ක්ෂිතිජය දෙස බැලුවහොත් ශ්‍රී පාද කන්දේ ප්‍රතිබිම්බය කේතුවක හැඩයෙන් දැක බලාගත හැකිවේ. උදෑසන කාලයේ පරිසරයේ ජල වාෂ්ප ඝනත්වය ඉහළ අගයක් ගනී. මේ නිසා බටහිර අහසේ සමනොළ කන්දේ ප්‍රතිබිම්බය හොඳින් ප්‍රදර්ශනය වන බව පර්යේක්ෂ-යන්ගේ නිගමනය විය. මෙවැනි ස්වාභාවික සංසිද්ධියක් පියවි ඇසින් දැක බලාගත හැකි ලොව ඇති එකම ස්ථානය ශ්‍රී ලංකාවේ සිරිපා මලුව බව ඔවුහු විශ්වාස කරති.

වර්තමාන ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද පත්මය පිහිටුවීමට පෙර සිටම මෙම සමනොළ කඳුවැටිය වසරකට වරක් තරණය කිරීමට එකල විසූ ජනතාව පුරුදු වී සිටින්නට ඇති බවය. අතීතයේ ලක්දිව පුරා සූර්යය වන්දනාව ප්‍රචලිතව තිබූ බැවින් මිනිසුන් සූර්යය වන්දනාව සඳහා සමන්ගිරට පැමිණ තිබේ. බුදුපියාණන් වහන්සේ සමන්ගිරට වැඩම කොට ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීමෙන් පසු මේ සූර්යය වන්දනාව ශ්‍රී පාද වන්දනාවක් බවට පත්වන්නට ඇත. අදත් සිරිපා වන්දනාවට පැමිණෙන බැතිමතුන් “ඉර සේවය” නැරඹීමට බොහෝ සෙයින් උනන්දුවන්නේ, පෙර පුරුද්ද ජානවල ඇති නිසා බවද ශ්‍රී පාද නාහිමියෝ පවසති. සූර්යයා හා කෘෂිකර්මාන්තය අතර පවතින සෘජු සම්බන්ධතාවයද මේ සඳහා බලපාන්නට ඇත.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි රජවරුන් මෙන්ම විදේශීය සංචාරකයන්ද, දේශ ගවේෂකයන්ද උඩමලුවේදී දක්නට ලැබෙන මෙම ඉර සේවය නැරඹීමට උනන්දු වී තිබේ. එපමණක් නොව ඇතැම්  විදේශීය ජාතිකයන් ඒ පිළිබඳව තම දින සටහන් යෙදීමටද අමතක කර නැත.

ක්‍රි. ව. 1911 ජනවාරි මාසයේ 07 දින සමනොළ කඳු මුදුනට නැඟී ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු වූ  ජී. කුක්සන් නැමැත්තා ඉරසේවය නරඹා එහි අසිරිය තම දින ‍පොතේ සටහන් කර ඇත. මෙවැනි සුන්දර දසුනක් ලොව අන් කිසිම තැනකදී දැකගත නොහැකි බව ඔහු තම දින ‍පොතේ ලියා ඇත.  තවද ආර්. පර්සිවෙල් (Percival) ඊ. ටෙනන්ට් (E. Tennent) එච්. වේස් (H. Wace)  මේජර් ස්කිනර් (Majar. Skinner) ඊ. බි. ඇලෙක්සැන්ඩර් (E. B. Alexandre)  සී. එච්. කොලින්ස් (C.H. Collins) ආර්. එච්. බැසට් (R. H. Busset) ජෝන් ස්ටිල් (John Steel) යන රත්නපුර දිසාවේ සුදු ඒජන්තවරුන්ද මේ අසිරිමත් ඉර සේවය පිළිබඳ චමත්කාරය දින සටහන්වලට එක්කර තිබේ.

ශ්‍රී ලංකාවේ පිහිටි සමනොළ කඳු ශිඛරය ලොව පිහිටි එකම ස්වාභාවික පිරමිඩය විය හැකි බවට ඒ පිළිබඳ පර්යේෂකයන්ගේ මතයයි. එම ස්වාභාවික පිරමිඩය මුදුනට නැවුම් හිරුරැස් දිනපතාම පතිත  වීම නිසා මෙම ස්වාභාවික කඳු මුදුන බොහෝ විශ්ව ශක්තීන්ගෙන් යුක්තවන බවද ඔවුන්ගේ මතයයි. නැගෙනහිර දේශාංශ 80.15ං සිට 81ං දක්වා ද උත්තරාංශක 6.22ං සිට 7ං දක්වාද විහිදීමක් තුළ පිහිටා ඇති සමනොළ කන්දේ ආකර්ෂණීය බව වැඩිවීමටද ඉහත තත්ත්වයන්ද බොහෝ සෙයින් ඉවහල් වන්නට ඇත.

ලොව එකම ස්වාභාවික පිරමිඩය ලෙසත් ලොව ඇති එකම ස්වාභාවික දින දසුන දර්ශනය වන ස්ථානය ලෙසත් වර්තමාන පර්යේෂකයන් හඳුනා ගැනීමට පෙර සබරගමුවට අධිගෘහිත සුමන සමන් දෙවිඳුන් තම වාසභවන ලෙස මෙම කඳු මුදුන තෝරා ගත්තේත්, බුදුපියාණන් වහන්සේ තම වාම සිරිපා සටහන තැබිමට මෙම කඳු මුදුන තෝරා ගත්තේත් මෙම සමනළ කන්දේ ඇති ඒ අසිරිමත් බව අදින් වසර 2600කට පෙර ලොවටම  පසක් කර දෙමිනි.

බුද්ධික රත්න කුමාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.