lakbima.lk

ලංකාවේ ගොවිතැන වනසන සේනා දළඹු සංහාරයට දහයියා අළු

ඉන්දියාවෙන් මෙන්ම බටහිරින්ද ආ ආක්‍රමණික සේනාවෝ ලංකාව ආක්‍රමණය කළ පුවත ඉතිහාසයේ ලියැවී තිබේ. එහෙත් මේ දිනවල මුළු රටම තැති ගන්වමින් සිටිනා ආක්‍රමණික හමුදාව පැමිණ ඇත්තේ අප්‍රිකාවේ නයිජීරියා දේශයෙන් බව කියැවේ. රටක් හාමතේ තබන්නට හැකි වෙතැයි විද්වතුන් පවසන මෙකී හමුදාව සමන්විත වනුයේ සේනා දළඹුවන් නම් දළඹු විශේෂයෙනි.

රජරට ප්‍රදේශයේ බඩඉරිඟු වගාවන්ගෙන් ඇරඹුන සේනා දළඹු ආක්‍රමණය මේ වනවිට නැගෙනහිර පළාතේ ගොවිබිම් වෙතද පැතිරී අවසානය. එහෙත් මේවනතුරුත් සේනා දළඹුවා වනසන්නට සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදීමට කෘෂි බලධාරීහු සමත්ව නැති බවට රජරට සහ නැගෙනහිර ගොවීහු චෝදනා කරති. උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ප්‍රියන්ජනී මාදන පවා පවසනුයේ සේනා දළඹු උවදුර මඩින්නටම කියා විශේෂිත කෘෂි රසායනයක් මේ වනවිටත් හඳුනාගෙන  නැති බවය.

දැනට භාවිත කරන කෘෂි රසායනවලින් වර්ග 12කට පමණ සේනා දළඹුවා මඩින්නට පුළුවන්. මේ වර්ග 12 කාණ්ඩ තුනකට අයත්. ඉතින් එක කාණ්ඩයක් භාවිත කෙරුවොත් දළඹුවන් ඊට ප්‍රතිරෝධි ගුණය. වඩවා ගන්න නිසා කාණ්ඩ තුන මාරුවෙන් මාරුවට යොදා ගන්නැයි අපි ඉල්ලා සිටිනවා ප්‍රියන්ජනී මාදන පවසන්නීය.

එහෙත් නූතන විද්‍යාවට අභියෝගයක් වී ඇති සේනා දළඹුවා මඩින්නට අවැසි හොඳම අවිය අපගේ ගොවිබිම්වල තිබෙන බව පරිසරවේදී තිලක් කන්දේගම පවසන්නේය. ඔහු පවසනුයේ අතේ ඇති දේ භාවිත නොකොට වෙනත් රටවල කෘෂි රසායනවලින් සේනා දළඹුවන් මඩින්නට යෑම විහිළුවක් බවය.

සේනා දළඹුවා මඩින්නට තවමත් රසායනයක් සොයාගෙන නෑ. ඒ වෙනුවට ආණ්ඩුව රසායන 10ක 12ක නම් කියවනවා. ගොවියෝ හතර අතේ ණය වෙලා ඒවා ගෙනල්ලා ගහනවා. ඒත් දළඹුවා එහෙමමයි. අන්තිමට වෙන්නේ අපි නිකං වස කන එක විතරයි. ඒත් මේ දළඹු උවදුර මඩින්නට ඕනෑ කරන බෙහෙත අපේ සාම්ප්‍රදායික ගොවිතැනේ යෙදුන ගොවියෝ දන්නවා. එය අපේ ක්‍රමයක්. පරිසරවේදී තිලක් කන්දේගම පවසන්නේය.

ඔහුගේ ක්‍රමය නම් සේනා දළඹුවන් මැඬලීමට දහයියා පිළිස්සූ අළු යොදාගැනීම සාර්ථක බවය.

දහයියා පිළිස්සූ අළු වගාවට යෙදුවාම සේනා දළඹුවා වගාවේ රැඳෙන්නේ නෑ. මම මේක ආවාට කියන කථාවක් ‍නෙවෙයි. කාලයක් පරීක්ෂණ කරලා බලලයි කියන්නේ තිලක් කන්දේගම පවසන්නේය. ඔහු දහයියා අළු මගින් සේනා දළඹුවා මර්දනය කළ හැකි බව පවසනුයේ යම් පදනමක් සහිතවය. ඒ බකමූණ ප්‍රදේශයේ ක්‍ෂේත්‍රයන් ගණනාවක අත්හදා බලා සාර්ථක වූ පසුවය.

වසවිස නැතිව වගාකරන කණ්ඩායම් ගණනාවක් රටේ ඉන්නවා. මා එක්කත් එවැනි කණ්ඩායමේ කීපයක් වැඩ කරනවා. අපි කරන්නේ අපේ ඉපැරණි සාම්ප්‍රදායික ඥානයට අනුව කෘෂිකර්ම කටයුතු කරන එකයි. බකමූණ ප්‍රදේශයේ ඉන්නා එවැනි ගොවි කණ්ඩායම් 16ක් යොදාගෙන එකිනෙකාට වෙනස් ක්‍ෂේත්‍රයන් 16ක මේ ක්‍රමය අත්හදා බැලුවා. සතියක් ඇතුළත මේ ගොවිබිම් සේනා දළඹුවාගෙන් මිදුනා තිලක් කන්දේගම පවසන්නේය. මේ වනවිට සේනා දළඹුවා කුරක්කන් වගාවන් තුළද හමුවී ඇත. එහෙයින් සෙසු බෝග සියල්ලටම මේ අවදානම එල්ල වෙමින් පවතී.

එම නිසා රටක කුසගින්න සම්බන්ධ ගැටලුවක් වෙමින් පවතින සේනා දළඹුවා දහයියා අළුවලින් මැඩිය හැකි බවට ඇති විද්‍යාත්මක සාක්ෂි මොනවාදැයි අපි තිලක් කන්දේගමගෙන් විමසා සිටියෙමු.

විද්‍යාත්මකව තහවුරු කිරීම අවශ්‍ය වන්නේ නූතන විද්‍යාව කරන සොයා ගැනීම්නේ. මේක එන්නේ අපේ සාම්ප්‍රදායික ඥානයේ. අපේ අත්තලා මුත්තලා පාවිච්චි කරන නැණ නුවණේ තමයි මේවා තියෙන්නේ. පණුවන් නසන්නට අළුවලින් පුළුවන් කියන එක අපි දන්නේ පාරම්පරිකව. ඒක විශ්වාසයි අත්දුටුයි, සත්තයි, හෘදයාංගමයි ඒවගේ දේකට මොකටද විද්‍යාත්මක පර්යේෂණ ඔහු ප්‍රශ්න කරන්නේය.

සේනා දළඹු වසංගතය මඩින්නට දහයියා අළු යෙදිය යුතු ක්‍රමයක් වෙයි. ඒ අනුව උදෑසන 7ට පෙර පත්‍රමත පිනි තැවරී ඇති අවස්ථාවේ දහයියා අළු ක්‍ෂේත්‍රයට ඉසිය යුතුවේ. එවිට පින්නේ ඇති තෙත් ගතිය නිසා. අළු එහි රැඳෙයි එමගින් ඇති වන ගඳ දළඹුවාට ක්‍ෂේත්‍රයේ විසීම එපා කරවන අතර එම නිසා දළඹු උවදුර මැඩීම පහසුවෙයි.

තිලක් කන්දේගම පවසන ආකාරයටම නොවුණත් අළුමගින් සේනා දළඹුවා මැඩිය හැකි බව නූතන විද්‍යාවද තහවුරු කර ඇත. ඊට හොඳම සාක්ෂිය උතුරුමැද කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ප්‍රියන්ජනී මාදනගේ මෙම ප්‍රකාශයය.

අළු සහ වැලි කලවම් කර වගාවට යෙදීම මගින් මෙම උවදුර මර්දනය කළ හැකිය යන එකේ විද්‍යාත්මක පදනමක් නැත්තේම නෑ. මොකද දළඹුවන් ස්වසන ක්‍රියාව සිදුකරන්නේ හමේ තියෙන ශ්වසන ග්‍රන්ථිවලින්. අළු දැම්මම ඒ ග්‍රන්ථි ආවරණය වෙනවා. එතකොට දළඹුවාට හුස්මගත නොහැකිව මිය යනවා. එමගින් මේ ව්‍යාප්තියට යම් සහනයක් ගන්න පුළුවන් ප්‍රියන්ජනී මාදන පවසන්නීය.

කෙසේ වෙතත් නූතන විද්‍යානුකූල කෘෂිකර්මය සේනා දළඹු වසංගතය ව්‍යාප්ත කිරීමට හේතුවක් බව තිලක් කන්දේගම ප්‍රකාශ කරයි.

බලන්න කෘෂි නිලධාරීන් කියනවා සියලු වල් මර්දනය කරන්නලු. එහෙම කරන්න ඕන තැන් තියෙනවා. ඒත් මේ ගැටලුවේදී වල්පැළ පැවැතීම අප්‍රමාණ ආරක්ෂාවක්. මොකද සේනා දළඹු බිත්තර කන ඉබි කුරුමිණියා (Lady Bird) ඉන්නේ මේ වල්අතර ඉතින් බඩඉරිඟු වගාවේ වල් මර්දනය නිසා විලෝපිකයා දුරුවී පර‍පෝෂිතයා ශක්තිමත් වන බව කියන්න පුළුවන් තිලක් කන්දේගම පවසන්නේය.

කෘෂි රසායන මගින් සේනා දළඹුවා මර්දනය කිරීම අසීරු වීමට තවත් ප්‍රායෝගික ගැටලු පවතින බව කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ප්‍රියන්ජනී මාදන ප්‍රකාශ කරන්නීය.

මේ වනවිට සමහර ගොවිබිම්වල බඩඉරිඟු ගස් අඩි 7 - 8 උසට වැවිලා. ඒවාට කෘෂිනාශක යෙදීම ගැටලුවක්. මොකද ඒතරම් උසට යෙදීමේදී කෘෂි රසායන යොදන කෙනාගේ ඇඟට එන්න පුළුවන්. අනිත් එක පණුවන් කරල් ඇතු‍ලේ ඉන්න අවස්ථා වැඩියි. එතකොට කරලට බෙහෙත් ගහන්න බෑ. එහෙම කරන එක අවදානම්.

එහෙත් දහයියා බඩඉරිඟු කරල්වලට යෙදීම මගින් මිනිස්සුන්ට වසවිස කැවීමේ අවදානමක්ද නැත. ඊට හේතුව ඔහු දහයියා පිළිස්සූ අළු යනු දත් මැදීමට පවා යොදා ගන්නා ද්‍රව්‍යයක් වන බැවිනි. එහෙත් අමතර වියදමකින් තොරව සපයා ගන්නට පුළුවන් දහයියා අළු යොදා සේනා දළඹුවා මැඩිමට තවමත් වගකිව යුත්තන් පියවර ගෙන නැත. ඒ පිළිබඳ තිලක් කන්දේගම දරනුයේ මෙවැනි අදහසකි.

රටේ වී මෝල් ළඟ දහයියා කඳු ගැහිලා. කරන්න දෙයක් නෑ. අපි ප්‍රායෝගිව පෙන්නලා තියෙනවා. එහෙම තියෙද්දීත් කෘෂි බලධාරීන් සේනා දළඹුවා මර්දනය කරන්න විවිධ රසායන නිර්දේශ කරනවා. ඒත් ඒවා 100 සාර්ථක නැතිබව ඔවුන්ම පවසනවා. එහෙනම් වෙන්නේ මොකක්ද? රටතුළ සේනා දළඹු වසංගතය පැතිරී මහා පරිමාණ වගා හානි සිදුවෙනවා. ඒ අතර වල්නාශක ටොන් ගණන් විකිණෙනවා. අන්තිමට කරල පැහෙන්නේ පිටරට කොම්පැණිවල. අපි වසකනවා දළඹුවෝ අස්වැන්න කනවා.

දළඹුවා මර්දනය කරන්න පුළුවන් දහයියා ඔහේ දිරා යනවා දහයියා අළු මහා පරිමාණ වගාවට යෙදීම ප්‍රායෝගික නොවන බවට වන තර්කය පිළිබඳවද අප තිලක් කන්දේගමගෙන් විමසුවෙමු. ඔහු පවසනුයේ දහයියා අළු විෂ රහිත බැවින් කුඩා ළමයෙකුට පවා ක්‍ෂේත්‍රයට යෙදිය හැකි බවයි. එමෙන්ම කලකට පෙර රබර් වතුවලට ගෙන්දගම් ගැසීමට යොදා ගත් යන්ත්‍රයට සමාන යන්ත්‍ර මගින් දහයියා අළු ඉසිය හැකි බවද ඔහු පවසන්නේය. 

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.