lakbima.lk

චිකාගෝ ක්‍රමයට බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරු මීමුරෙන් මතුවෙයි

කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ මහනුවර කඳවුරේ නිලධාරීන් ඉකුත් 11 වෙනි දින වඩාත් කාර්ය බහුල වී සිටියහ.  ඒ අන් කිසිවෙක් නිසා නොව ඉකුත් නොවැම්බර් 17 වැනිදා වැලිකඩ බන්ධනාගාරයෙන් පැනගිය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යළි නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම සඳහාය.

මෙසේ බන්ධනාගාරයෙන් පැනගිය පුද්ගලයා වූයේ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විසි නව හැවිරිදි වීරක්කොඩිගේ සුනිල් ශාන්ත නොහොත් අජිත් වීරසිංහය මොහු පාතාල නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ ප්‍රබල ගෝලයෙකු බව කියන අතර හෙතෙම එක සතියක් තුළදී හෙරොයින් කිලෝ තුනකට වැඩි ප්‍රමාණයක් අලෙවි කරන බවද ‍පොලීසිය පවසයි.

දිවයින පුරා විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණ කිහිපයකම නඩු පවතින මොහු  පසුගිය අප්‍රේල් මාසයේදී හොරණ ප්‍රදේශයේදී රුපියල් දෙකෝටියකට අධික හෙරොයින් තොගයක් සමග ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට කොටු විය. ඔහු බන්ධනාගාර ගතව තිබුණේ ඒ සඳහාය.

ඉකුත් නොවැම්බර් මස 16 වෙනි දින කෑගල්ල අධිකරණයේ පවතින නඩුවක් සඳහා මොහු කොළඹ වැලිකඩ බන්ධනාගාරයෙන් කෑගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි. නැවත ඔහුට විරුද්ධව නොවැම්බර් 9 වැනිදා මතුගම  අධිකරණයේ නඩුවක් විභාග වීමට නියමිතව තිබුණි. ඒ නිසා ඉකුත් 17 වෙනිදා මෙම සුනිල් ශාන්ත නමැත්තා කෑගල්ල බන්ධනාගාරයෙන් වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් බාර දී තිබූ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිටි නිලධාරියෙකු ඔහු භාර ගෙන නැවත බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් තිබුණි.

ඒ අනුව මේ පිළිබඳ වහාම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුම වැඩ තහනමටද ලක්වූහ.

මේ අතර කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සුනිල් ශාන්ත කෑගල්ල බන්ධනාගාරයේදී භාවිතා කළ ඇපල් වර්ගයේ ජංගම දුරකථන තුන පිළිබඳ තොරතුරු විශ්‍ලේෂණය කිරීමේදී ඉන් වැඩිම දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ අයෙකුට බව අනාවරණය විය. ඒ අනුව ‍පොලීසිය එකී දුරකථන අංකයේ හිමිකරුගේ නිවස සොයා ගියේය. මෙම පුද්ගලයා එක්තරා රක්ෂණ සමාගමක රක්ෂණ නියෝජිතයෙකි.

ඉකුත් නොවැම්බරයේදී කොළඹ - මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට පත්විය. එහි හිමිකාරිත්වය තිබුණේ සුනිල් ශාන්තගේ නමටය. සුනිල් ශාන්ත මෙම රක්ෂණ නියෝජිතයාට විටින් විට කතා කර තිබුණේ එම අනතුරට සම්බන්ධ රක්ෂණ    වන්දි ලබාගැනීම සඳහාය. එසේ විටින් විට රක්ෂණ නියෝජිතයාට කතා කළ සුනිල් ශාන්ත එම රක්ෂණ වන්දි මුදල පුණ්‍යලතා නමැත්තියකගේ බැංකු ගිණුමට බැර කරන ලෙස දන්වා ඇත්තේය. එකී බැංකු ගිණුමේ තොරතුරු අනුව මෙකී පුණ්‍යලතා නමැත්තියගේ පදිංචිය මීමුරේය.

ඒ අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ‍පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු ඉකුත් 06දා සිට මීමුරේට ගොස් කළ රහසිගත සොයා බැලීම්වලදී අනාවරණය වූයේ සුනිල් ශාන්ත මීමුරේ, හතේ ඇල පිහිටි තානායම අසලට දුරකථන ඇමතුම් ලබා ගැනීමට පැමිණෙන බවය. එසේ පැමිණි දිනක ඔහුගේ පසුපසින් ගිය ‍පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට ලැබුණේ ඔහු හතේ ඇල තානායම හිමිකරුගේ පල්‍ලේඇල පිහිටි නිවසට ගිය බවය. එහෙත් ඒ බන්ධනාගාරයේ සිටි සුනිල් ශාන්ත නොව ඒ වගේම ඔහු කොණ්ඩ රැවුල් කපා සිය ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන සිටියේය. ‍පොලිස් නිලධාරීන් වහ වහාම මේ පිළිබඳව සිය ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්හ.

ඒ අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය හා ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්.ලතිප් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය ‍පොලිස්පති කමල් ද සිල්වාගේ අධීක්ෂණයෙන් එහි අධ්‍යක්ෂ ‍පොලිස් අධිකාරි ප්‍රියන්ත ලියනගේ ගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක චමින්ද වෙලගෙදරගේ මෙහෙයවීමෙන් මෙම සැලසුම සකස් කෙරුණි.

එකී සැලසුමට අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ මහනුවර කඳවුරේ නිලධාරීන් ඉකුත් 11වෙනි දින සංචාරකයන් ලෙස මැද මහනුවර සිට මීමුරේ දක්වා පැය හතර හමාරක දිගු දුෂ්කර ගමනක යෙදුණි. පසුව මීමුරේ, හතේ ඇල වෙත ගොස් එහි නවාතැන එදින රාත්‍රියට වෙන් කරවා ගත්හ. ගෙවිය යුතු මුදල වූ රුපියල් 4500 නවාතැන් හිමිකරුගේ නිවසට පැමිණ ගෙවීමට මොවුන් එහිදී පෙරොන්දු වූහ.

ඒ අනුව රාත්‍රියේ මුදල් ගෙවීමට එකී නිවසට ගිය ‍පොලිස් කණ්ඩායමට සුනිල් ශාන්ත, ඔහුගේ දහසය හැවිරිදි දියණිය, පුණ්‍යලතා නමැත්තිය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මිනුවන්ගොඩ මධුසංඛ එහි සිටිනු දක්නට ලැබුණි. ඒ සමගම ‍පොලීසිය ඔවුන් සිව්දෙනා වහා අත්අඩංගුවට ගනු ලැබිය.

අත්අඩංගුවට පත් වී කොළඹ රැගෙන එනතුරු සුනිල් ශාන්ත සියල්ල පවසන්නට විය.

තමන්ගේ දියණිය තරුණයෙකු හා ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බව ආරංචි වීම මෙසේ බන්ධනාගාරයෙන් පලා යාමට හේතුව වූ බව ඔහු පවසා තිබේ. තමන් හා බැඳීමෙන් සිටින දියණිය තරුණයා හා පලා යනු ඇතැයි බියට පත් වූ මොහු මාකඳුරේ මධුෂ් හරහා ඉන්දික නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට රුපියල් ලක්ෂ පහළොවක මුදලක් ලබා දීමේ ‍පොරොන්දුව මත බන්ධනාගාරයෙන් මුදවා ගන්නා ලෙස දන්වා තිබේ.

සුනිල් ශාන්ත කෑගල්‍ලේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේ මෙකී ඉන්දික නමැත්තා බන්ධනාගාර නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් මෝටර් රථයකට නංවා පිටකොටුව බස් නැවතුම්‍පොළට රැගෙන විත් තිබේ.

සුනිල් ශාන්ත බස් රථයක නැග බොරැල්ලට පැමිණීමේදී ඉන්දික යළි මෝටර් රථයකින් පැමිණ සුනිල් ශාන්ත සමගින් අලුත්ගම අවන්හලකට ගොස් මත්පැන් පානය කර ගාල්ල බලා පිටත්ව ගොස් ඇත. එහි ගොස් සිය දියණිය හා පෙමින් වෙලී සිටින තරුණයා රැගෙන විත් පහර දීමෙන් අනතුරුව සුනිල් ශාන්ත, දියණිය, පුණ්‍යලතා හා මධුසංඛ සමගින් මීමුරේ ගොස් සැඟවී සිට තිබේ.

‍පොලිස්පති පුජිත් ජයසුන්දරගේ නියෝග මත මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති හෙයින් අත්අඩංගුවට පත් සියලු දෙනාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.