lakbima.lk

කළුතරින් මතු වූ අලුත් සක්විත්තා “අසංක”

සක්විති කියූ සැණින් අප මතකයට එන්නේ මහා පරිමාණයෙන් මෙරට ජනතාවගෙන් මුදල් වංචා කළ සක්විති රණසිංහය. වසර ගණනාවක් ගියද ඔහු සිදු කළ මුදල් වංචාව රට්ටුන්ට හොඳහැටි මතකය. ඔහුගේ ඒ මුදල් වංචාව රටේ කොතරම් ප්‍රකට වුණේ යත් මුදල් වංචා කරන්නන්ට 'සක්විති' යන නම පටබැඳුණේද ඉන් අනතුරුවය.

එම සක්විති රණසිංහගෙන් පසුව මෙරට කුඩා සක්විත්තන් රැසක් වරින්වර බිහිවන නමුත් ඔවුන් ඒ තරම් ප්‍රකට වූයේ නැත. එහෙත් සක්විති රණසිංහට නොදවෛනි අපුරු  රංගනයක යෙදුන මහා පරිමාණයේ සක්විතියෙකු ගැන ඉකුත් සතියේදී අසන්නට ලැබුණි. ඒ කළුතර, දොඩන්ගොඩ ප්‍රදේශයෙනි. ඔහු රුපියල් කෝටි හත්සියයකට ආසන්න මුදලක් වංචා කර ඇති බව චෝදනා එල්ල වී තිබේ.

ඔහු අසංක ප්‍රේමචන්ද්‍රය. අසංකගේ පියා දක්ෂ ලී කැටයම් ශිල්පියෙක් විය. ඔහු කළුතර ප්‍රදේශයේ ලී කැටයම් කිරීමට පැමිණ අසංකගේ මව හඳුනාගෙන තිබේ. එම හැඳුනුම්කම විවාහයක් තෙක් ගෙන ගිය අතර එම යුවළට දාව එකම දරුවා වූයේ අසංක ප්‍රේමචන්ද්‍රය.

මේ අතර 1996 ජුලි 24 වෙනි දින අසංකගේ ජීවිතයට කණකොකා හැඬුවේය. එදා උදේ කොළඹ ගිය අසංකගේ මව ආපසු එන්නට දුම්රියට ගොඩවූවාය. ඒත් ඇයට පණපිටින් ගෙදර එන්නට බැරි විය. කොටි දුම්රිය මැදිරියේ අටවා තිබූ බෝම්බයක් දෙහිවල දුම්රිය ස්ථානයේදී පුපුරා ගියේය. අසංකගේ මවද එම බෝම්බයේ ගොදුරක් බවට පත්විය.

මෙකී සිද්ධියෙන් පසු අසංකගේ පියාගේද කල්පනාව යම් තරමකට පිරිහී ගියේ අසංකව තව තවත් අසරණ කරමිනි.

අධ්‍යයන ‍පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රමාණවත් විභාග ප්‍රතිඵලයක් නොමැති කමින් පෙදරේරු වෘත්තියට පිවිසි අසංක කිසිවිටෙකත් තම ගම් ප්‍රදේශයේ පෙදරේරු රැකියාව නොකිරීමට වගබලා ගත්තේය. ඒ ඔහු එවැනි රැකියාවක් කරන බව කිසිවෙකුටත් දැනගැනීමට නොහැකි වන බැවිනි.

කාලය කමෛන් ගෙවී යද්දී ඔහු ඒ පළාතේ ප්‍රබල දේශපාලනඥයෙකුවූ අමාත්‍යවරයෙකුගේ  කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස රැකියාවක් ලැබිය. ඒ 2010 වසරේදී. ජැන්ඩියට හැඳ පැළඳ සමාජයේ කැපීි පෙනෙන චරිතයක් වීමට උත්සහ කළ අසංක මෙහිදී විවිධ තරාතිරම්වල පුද්ගලයන් හඳුනාගත්තේය.

ඕනෑම අයෙකු ආකර්ෂණය කර ගැනීමට චතුර කතිකත්වයක් හා කපටිකමක් තිබු අසංක පසුව රැකියාවෙන් ඉවත්ව විවිධ දේ ඇපයට තබාගෙන මුදල් ‍පොලියට ලබා දීමේ ව්‍යාපාරයක් ඇරඹුවේය.

පසුව ඔහුගේ සිහිනය මල්ඵල ගන්වමින් දොඩන්ගොඩ ප්‍රදේශයේදී සෙන්හිරු ලෑන්ඩ් ඇන්ඩ් කේ‍රඩිට් මූල්‍ය ආයතනය ආරම්භ කළේය. එහි කළමනාකරණ අධ්‍යක්ෂ වූයේ අසංකය. එහි උපදේශකයෙකු වූයේ තමන් කලක් තිස්සේ හඳුනන ප්‍රබල දේශපාලන පක්ෂයක කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයෙකි. මේ නිසා ඔහුගේ හිතවත්කම මත අසංකගේ මූල්‍ය ආයතනය වෙත ජනතාව මුදල් බැර කිරීමට දෙවරක් සිතුවේ නැත. එමෙන්ම මෙකී ආයතනය විසින් මසකට සියයට හතරක මුදලක් ගැණුම්කරුවන්ට ලබාදෙන ලදී.

තරගකාරී ‍පොලියකට තැන්පත් භාර ගැනීමට අමතරව ඔහු ඉඩම් කට්ටි කර විකිණීම, විවිධ දේ උකසට ගෙන ණය දීම, වාහන ‍පොත් ඇපයට ගැනීම ආදි ව්‍යාපාරයන්වලද නිරතව වැඩි වැඩියෙන් මුදල් උපයන්නට වූයේය.

ඔහු අන්කිසිවෙකුටත් වඩා ආකර්ෂණීය මුදලක් ඉඩම්වලට ලබාදීම නිසා ඔහුගේ ඉඩම් ව්‍යාපාරය දිනෙන් දිනම ප්‍රසිද්ධ විය. මේ අතර ඔහු දොඩම්ගොඩ අලුත් අවුරුදු උදානය වෙනුවෙන් සයිකල් සවාරියක්ද පැවැත්වූ අතර මින් වඩ වඩාත් ඔහුගේ සෙන්හිරු ආයතනය දොඩන්ගොඩින් පිටතටත් ප්‍රසිද්ධ විය.

එහි ප්‍රතිඵලයක් ලෙස කළුතර, අළුත්ගම, බුලත්සිංහල ආදි ප්‍රදේශවලද මොහු සිය ශාඛා විවෘත කරනු ලැබිය. මේ වනවිට ඔහුගේ සේවක මණ්ඩලය පනහකට වැඩි විය. අසංකට වඩාත්ම කිට්ටුවෙන් සිටියේ සුරංග හා කැළුම් දර්ශනය. කැළුම් යනු අසංකගෙන් ලබා ගත් ණය පියවීමට අ‍පොහොසත්ව රැකියාවට පැමිණි අයෙකි.

මේ අතර අසංක මතුගම - කොළඹ මාර්ගයේ ධාවනය සඳහා අර්ධ සුඛෝපභෝගී බස්රථ මිලට ගත්තේය.

අසංක විවිධ බැංකුවල    කළමණාකරුවන්, වතුවල කළමණාකරුවන් හා සුහද වී  ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබා දෙමින් වතුකම්කරුවන්ගේ මුදල්ද ඉතා සූක්ෂ්ම ලෙස ඔහුගේ ආයතනය වෙත තැන්පත් කර ගනු ලැබිය. මේ අතර දොඩම්ගොඩ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ සේවය කරන විසි දෙනෙකුට වඩා මෙහි මුදල් තැන්පත් කර තිබුණේ වැඩි ‍පොලියක් ගැනීමටය. එමෙන්ම එකිනෙකාට හොරෙන් මෙහි මුදල් තැන්පත් කිරීමට ඇතැම්හු පෙළඹී තිබුණි.

මෙහි වැඩිම මුදල් ප්‍රමාණයක් තැන්පත් කරන්නන් හට විදේශ සංචාර ලබා දීමටද අසංක ක්‍රියා කළේය. මේ සියල්ල ඔහු කළේ ඔහුගේ මුදල්වලින් නොව මහජනතාව තැන්පත් කරන මුදල්වලිනි. අවසානයේ ඔහු සිරවූයේ මුදල් අතරය.

මේ අතර ඔහු මීට සති කිහිපයකට ඉහතදී සිහිකල්පනාව මඳ සිය පියාව වැඩිහිටි නිවසකටද ඇතුළත් කරනු ලැබූයේ ඔහුගේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔහු බාධාවක් විය හැකි බව සිතුණ නිසා විය යුතුය.

සිය බංකොලොත්භාවය වසා ගනිමින් සියලුම ගණුදෙණුකරුවන්ට මීට සති දෙකකට පමණ ඉහතදී ඔහු අමතක නොවන තරු හතේ සාදයක්ද පිරිනැමූයේ ගණුදෙණුකරුවන්ගේම තැන්පත් මුදල්වලිනි. ඉකුත් 09වෙනි දින ඔහු මෙරටින් පලා ගොස් තිබුණේ එළැඹෙන 2019 වසරට ඔහුගේ සියලුම ගණුදෙණුකරුවන්ට මතක සිටින ත්‍යාගයක් ලබා දෙමිනි.

මේ වනවිට පැමිණිලි 40කට වඩා ලැබි ඇති අතර මේ පැමිණිලි සම්බන්ධයෙන් කළුතර දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ  අධීක්ෂණයෙන් කලුතර කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී උපුල් නිල්මිණ ආරියරත්නගේ උපදෙස් මත දොඩම්ගොඩ ‍පොලීසිය ද, කොළඹ අපරාධ කොට්ඨාසයද විමර්ශන සිදුකරනු ලබන්නේ පැන ගිය අසංක සොයා ගැනීමටය.

ශානිකා මාධවී  පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.