lakbima.lk

දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට රෝද පුටුවෙන් යන ධෛර්යය

සිව්වැනි ඊළාම් යුද්ධයේ අවසන් තීරණාත්මක බිම්කඩ වූයේ මුලතිව්, පුදුකුඩිඉරිප්පු නගරය අල්ලා ගැනීමය. එල්.ටී.ටී.ඊ.ය හමුදාවේ ගමන වැළැක්වීමට පුදුකුඩිඉරිප්පුවේදී දැක්වූයේ දැඩි ප්‍රතිරෝධයකි. එහෙත් ජයග්‍රහණයෙන් මිස ආපසු නොහැරෙමු යැයි අදිටනින් යුතුව යුද හමුදාවේ 53 වැනි සේනාංකයේ සෙබළු ඉදිරියට ගමන් කළහ.

හමුදාවේ ගමන් මග අවුරමින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ අටවා තිබූ මර උගුලකට හසුවූ හයවන ගජබා රෙජිමේන්තුවේ සිටි කෝප්‍රල් පී.කේ.ජී.ජී. කරුණාරත්නට සිය දෙපා අහිමි කර ගන්නට සිදුවූයේ යුද්ධයේ කුරිරු බව මොනවට පෙන්වමිනි. දෙපා පමණක් නොව එක් අතක ඇඟිලි 2ක්ද අහිමි වූ කෝප්‍රල් කරුණාරත්න සුවය ලබන විට යුද්ධය අවසන්ව තිබුණි.

සතුරු බලබිඳිමින් ඉදිරි පෙරමුණට ගිය කෝප්‍රල් කරුණාරත්නගේ දෙපා සහ ඇඟිලි සිඳුණද ඔහු සතු එඩිතරකමෙහි නම් අඩුවක් නොවීය. සුවය ලත් සැණින් ගජබා රෙජිමේන්තුවේ ආබාධිත ක්‍රීඩා කණ්ඩායමෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් පෙරට එන කෝප්‍රල් කරුණාරත්න රෝද පුටු ධාවන තරග රාශියකට සහභාගි වී සුවිශේෂී ජයග්‍රහණ අත්කර ගන්නට සමත් වී ඇත්තේ දවා හළුවූ ලෝකයෙන් නැගී සිට ඉගිලෙන ෆීනික්ස් පක්ෂියෙකු සිහි ගන්වමිනි.

මේ දිරිය සෙබළා ඉන් නොනැවතී පසුගියදා අපූරු තීරණයක් ගත්තේය. ශ්‍රී ලංකාවේ සියලු ජාතීන් අතර සාමය, සහෝදරත්වය හා සංහිඳියාව ඇති කිරීමේ උදාර පරමාර්ථය පෙරදැරි කර ගනිමින් එකී දයාබරත්වයේ පණිවුඩය රැගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා වන කිලෝමීටර් 576ක දුර ප්‍රමාණය රෝද පුටුවකින් තරණය කිරීමට කෝප්‍රල් කරුණාරත්න සිතට දිරි වඩාගත්තේය. දෙසැම්බර් 03ට යෙදුණු ලෝක ආබාධිත දිනයට සමගාමීව ආබාධිත සෙබළෙකු සතු අප්‍රතිහත ධෛර්යය ප්‍රතිමූර්තිමත් කරමින් ඔහු ගත් මේ තීරණය යුද හමුදාවේද විශේෂ ප්‍රශංසාවකට ලක්විය.

ඒ අනුව මේ ගමන සඳහා රුපියල් හත්ලක්ෂ අනූහත් දහස් පන්සියක් වටිනාකමකින් යුතු නවීන රෝද පුටු දෙකක් පුනරුත්ථාපන අරමුදල හරහා ලබා දීමටද යුද හමුදාපතිවරයාගේ අනුමැතිය හිමි විය. ශ්‍රී ලංකාව තුළ මෙවැනි දීර්ඝ චාරිකාවක් රෝද පුටුවකින් කිසිවෙකු ගොස් තිබුණේ නැත. මේ එවැනි දෙයක් කෙරෙන ප්‍රථම වතාවය. සිය ආබාධ සහිත බව පසෙකලා දැඩි චිත්ත ධෛර්යකින් හා අධිෂ්ඨානයකින් මෙහි නිරත වීම ලෝක ආබාධිත පුජාවටත් සමස්ත හමුදා සාමාජිකයන්ට සුවිශේෂී වැදගත් පූර්වාදර්ශයකි.

මේ ගමන දෙසැම්බර් 03 දා අරඹා 11 දා අවසන් කිරීමට ඔහු අදහස් කරගෙන තිබේ. ගමනේ ප්‍රථම අදියර යෙදුණු 3 දා උදෑසන 8ට දෙවුන්දර තුඩුවෙන් ඇරඹී කෝප්‍රල් කරුණාරත්නගේ සංහිඳියාවේ සුවිසැරිය කිලෝමීටර් 84ක් දුරගෙවා අම්බලන්ගොඩින් නතර කරනු ලැබිය.

සාපේක්ෂව පැයට කිලෝමීටර් 12ක වේගයකින් මේ ගමන සිදුවන අතර දිවා ආහාරය පිරිනැමුණේ ගාල්ල 16 වන ගැමුණු හේවා බළකායෙනි. ඒ අන්දමින් ගමනට අවශ්‍ය සියලු සත්කාරක හා ආරක්ෂක පහසුකම් යුද හමුදාව මූලික වී සලසා දී තිබේ.

ඒ අනුව වෛද්‍යවරයෙකු සමග ගිලන් රථයක් ගමන ආරම්භයේ සිට අවසානය දක්වාම පහසුකම් සලසන අතර සාමාජිකයන් 5 බැගින් වූ පාපැදි කණ්ඩායම් දෙකක් ඔහු සමග මේ සුවිසැරියට සහභාගි වී තිබේ. ශ්‍රී ලංකා ‍පොලීසියේ පෙරගමන් යතුරු පැදියත් මාර්ගය රථවාහනවලින් නිදහස් කර දෙන අතර ඊළඟට ගමන් ගනුයේ විනයාරක්ෂක පෙරගමන් යතුරු පැදි දෙකකි. ඉන් අනතුරුව කෝප්‍රල් කරුණාරත්න රෝද පුටුව පදවාගෙන යන අතර සහයක පාපැදි කණ්ඩායම් ඔහු දිරිගන්වමින් සමීපයෙන් ගමන් කරනු ලබයි. පිටුපසින් ගිලන්රථය, සැහැල්ලු වාහනය හා බර වාහනය ගමන් කරයි.

තම සංචාරය අතරතුර අපට අදහස් දැක්වීමට එක්වූ කෝප්‍රල් කරුණාරත්න පැවැසුවේ මෙවැන්නකි.

මට මුලින්ම මේ සිතුවිල්ල ආපු වෙලාවේ බිරිඳ සමග කීවාම ඇය බය වුණා. නමුත් ජාතික වශයෙන් වැදගත් වන පණිවුඩයක් අරගෙන යන මේ සංචාරයේ අභිමතාර්ථ පිළිබඳ දැනුවත් වූ පසුව මා වැඩිපුරම දිරිමත් කළේ ඇයයි කෝප්‍රල් කරුණාරත්න පවසන්නේ තම ගමන ආරම්භයට බිරිඳගෙන් ලැබුණු සහයෝගය පිළිබඳවය.

1989 උපන් කෝප්‍රල් කරුණාරත්නගේ දෙමාපියන් වන්නේ කේ.ජී. කරුණාදාස සහ ඩී.ජී. ප්‍රේමාවතීය. මහනුවර, බටුගොඩ ගම්පියසේ ළමා කාලය ගෙවූ හෙතෙම බටුගොඩ  කනිෂ්ඨ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේය. ඔහුට වැඩිමහල් සොහොයුරෙක් හා සහෝදරියෝ දෙදෙනෙකි. 2007 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳෙන කරුණාරත්න 10 වන ගැමුණු හේවා බළකා කඳවුර වෙතින් මූලික යුද පුහුණුව ලබා 6  වන ගජබා රෙජිමේන්තුවට ඇතුළත්ව ක්‍රියාන්විත රාජකාරියේ නිරත වන්නේය. අනතුරට පත්වූ පසු 2014 වර්ෂයේදී අභිමංසල 3හි ආරම්භක සාමාජිකයෙකු ලෙස ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී මිතුරු සම්බන්ධයකින් හඳුනා ගත් ඩබ්ලිව්.පී.ජී. ගයානි ලක්මිණි සමග යුග දිවිගමන් අරඹන කෝප්‍රල් කරුණාරත්න මේ වනවිට එක්දරු පියෙකි.

මට මෙහෙම දෙයකට මුලින්ම යෝජනාවක් ලැබුණේ වෛද්‍ය බළකායේ කෝප්‍රල් මධුරංගගෙනුයි. ඔහු වගේම යුද හමුදාපතිතුමා, පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, අභිමංසල 3හි සේනා විධායකතුමා ඇතුළු එහි සියලු නිලධාරීන් මෙන්ම සෙසු නිලයන්ද සියලු සේවක මහතුන්ද කෝප්‍රල් මධුරංග, කෝප්‍රල් අතපත්තු වගේම නම කියන්න නොදන්නා මේ ගමනට උපකාර කරපු දිරි ගන්වපු සියලු දෙනාට මම ස්තූතිවන්ත වෙනවා කෝප්‍රල් කරුණාරත්න පවසන්නේය. ගමන අතරතුර ලැබුණු අත්දැකීම් පිළිබඳ කෝප්‍රල් කරුණාරත්න අදහස් දැක්වූවේ මෙසේය.

වෛද්‍ය බළකායේ මේජර් නක්කාවිට නිරතුරුවම මාත් එක්ක ගමන් කරනවා වගේම මගේ සෞඛ්‍ය තත්ත්වය විමසා බලනවා. ඒ වගේම මට ලැබෙන ජනතා ප්‍රතිචාරත් ඉහළයි. මාධ්‍යවලින් දැනගනිද්දී මිනිස්සු පාර දෙපැත්තේ පෙළ ගැහිලා බලාගෙන ඉන්න දර්ශනය මට විශාල ශක්තියක්. මම ගෙනයන සහජීවනයේ පණිවුඩය සියලු ජාතීන්ට, සියලු ආගමිකයන්ට සන්නිවේදනය වෙතැයි මට සිතෙනවා. හෙතෙම පවසන්නේය. දෙවුන්දර තුඩුවෙන් ආරම්භ කරන මෙම සංහිඳියාවේ සුවිසැරිය මාතර, ගාල්ල, අම්බලන්ගොඩ, කළුතර, රත්මලාන ඔස්සේ මීගමුවට ළඟා වී ගිරිඋල්ල, අඹන්‍පොළ, අනුරාධපුර, පුලියන්කුලම හරහා පේදුරු තුඩුවට ළඟා වීමට නියමිතය. ලංකාවේ දෙකෙළවර යා කරන කෝප්‍රල් කරුණාරත්නගේ සංහිඳියා සුවිසැරිය බෙදී වෙන්වෙන්නට වෙර දරන ජනතාවට මහා පණිවුඩයක් ගෙන යන්නකි.

තනුජා නානායක්කාර

ඡායාරූප: යුද හමුදා මාධ්‍ය අංශය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.