lakbima.lk

මධුෂ්ගේ තවත් තිර නාටකයකට රඟ දැක්වුණු කෝටි 700 දියමන්ති කොල්ලය

පන්නිපිටිය, ඇරැව්වල, අරලිය උයනේ පිහිටි එක්තරා නිවසකට ඉකුත් මස 05 වෙනි දින සවස 5.00 ට පමණ ස්විස් ජාතික මැණික් ව්‍යාපාරිකයෙක් සමග තවත් පුද්ගලයකු පැමිණියේය.  ඔවුන් එසේ පැමිණියේ එම නිවෙස් හිමියාට අයත් බව කියන මිල කළ නොහැකි දකුණු අප්‍රිකානු දියමන්තියක් හා තවත් මැණික් කිහිපයක් මිලට ගැනීම සඳහාය. විදේශිකයා සමග පැමිණි අනෙක් පුද්ගලයා මෙම දියමන්ති ගණුදෙනුවේ අතරමැදිකරු විය. ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නිතර නිතර ලංකාවට පැමිණෙන මෙම විදේශ ව්‍යාපාරිකයාට ඇරැව්වල මෙකී මැණික් ව්‍යාපාරිකයා හඳුන්වා දී තිබුණේ මෙම බ්‍රෝකර්වරයා විසිනි.

ගැණුම්කරුට දියමන්තිය හා මැණික් ගල් පරීක්ෂා කිරීම පිණිස සාලයේ මේසය මත තැබු අතර ස්විස් ජාතික ව්‍යාපාරිකයා මේවා එකින් එක කුඩා යන්ත්‍රයක් ආධාරයෙන් පරීක්ෂා කරන්නට විය.  ඉතා අධික වටිනාකමකින් යුත් මෙම දකුණු අප්‍රිකානු දියමන්තිය කැරට් 765ක් බරය. මෙම විදේශිකයා විසින් එය රුපියල් කෝටි 700 කට මිලට ගැනීමට කැමැත්ත පළකර සිටියේය.

ගත වූයේ විනාඩි කිහිපයකි. ‍පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු සිවිල් පුද්ගලයන් හය දෙනෙකු සුදු පැහැති මිට්ෂුබිෂි වර්ගයේ වෑන් රථයකින් නිවසට පැමිණ මෙතන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක් බවට තොරතුරු ලැබිලා තිබෙනවා. ඒ නිසා අපි ගේ පරීක්ෂා කරනවා යැයි කියමින් නිවෙස් හිමියා කිසිවක් කීමටත් පෙර නිවස තුළට ඇතුළු වී සෝදිසි කරන්නට වූහ.

සිදු වන්නේ කුමක්දැයි තේරුම්ගත නොහැකිව ගෙහිමියා බලා සිටියදී පැමිණ සිටි අයෙක් විදේශිකයාගේ අත්වලට මාංචු යුගලයක් දැම්මේ ඔහු විසින් මෙකී මත්ද්‍රව්‍ය ජාවාරම කරන බවට චෝදනා කරමිනි. මේ අතර නිවස පරීක්ෂා කර සාලයට පැමිණෙමින් සිටි ‍පොලිස් පරීක්ෂකවරයාගේ දෑස් සාලයේ මේසය මත තිබූ දියමන්තිය හා මැණික් වෙත එල්ල වූ අතර ඔහු වහාම ඒවා රැගෙන පිටව යන්නට සුදානම් විය.

ගෙහිමියා ඊට විරෝධය පෑමත් සමග පැමිණ සිටි පිරිස ගිනි අවි එල්ල කර තර්ජනය කර ගෙහිමියාට පහරදී දියමන්තිය හා මැණික් සමගින් විදේශිකයාද රැගෙන පලා ගියෝය.

පහර දීමෙන් සුළු තුවාල ලැබූ නිවෙස් හිමියා මේ පිළිබඳ වහාම මහරගම ‍පොලීසියට පැමිණිලි කර සිටියේය.

සවුදි රාජ්‍යයේ ආහාරපාන සපයන ආයතනයක 2010 වසරේ මොහු සේවය කරමින් සිටියදී එම ආයතනයේ ඉදිරිපිට වැලි ගොඩක තිබි තමන්ට දර්ශනීය ගලක් හමු වූ බවත් පසුව එය කූරියර් කර මෙරටට එවූ බවද ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ‍පොලීසියට පවසා තිබේ. මෙරටට එවීමෙන් පසු මෙකී ගල මැණික් හා ජාතික ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගොස් පරීක්ෂා කිරීමේදී මෙය මිල කළ නොහැකි වටිනා දියමන්තියක් බවට තොරතුරු අනාවරණය වූ බවද හෙතෙම ප්‍රකාශ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් දියමන්ති ගණුදෙනුවේ අතරමැදිකරුගෙන්ද ‍පොලීසිය ප්‍රකාශයක් ලබා ගත්තේය. මේ අතර පැහැර ගැනීමට ලක් වූ විදේශිකයා නැවත පැමිණියේ තමා මහරගම ප්‍රදේශයේදී වෑන් රථයෙන් බිමට දමා ගිය බව පවසමිනි. ‍පොලීසිය ඔහුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගත්තේය.

රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුතු මෙම දියමන්ති මංකොල්ලය පිළිබඳ විමර්ශන මහරගම ‍පොලීසියට අමතරව බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය ‍පොලිස්පති වසන්ත වික්‍රමසිංහගේ අධීක්ෂණයෙන් නුගේගොඩ දිසාව භාර ‍පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ හා නුගේගොඩ ‍පොලිස් අධිකාරි 01 සමන් සිගේරාගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දුන්නේය.

එහි ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාගේ මෙහෙයවීමෙන් උප ‍පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, ‍පොලිස් සැරයන්වරුන් වන (20553) මෙන්ඩිස්, (56951) සුනිල්, (56958) ප්‍රසන්න, (40248) ප්‍රසන්න, (14530) සිසිර ‍පොලිස් කොස්තාපල්වරුන් වන (21284) බණ්ඩාර, (72338) ලලන්ත, (72789) ගිහාන්, (13177) නුවන්, (77688) අමිල, (81600) සමීර, (88389) සම්පත්, (84762) කුමාර යන නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා යොදවනු ලැබිය.

ඒ අනුව මංකොල්ලය වී දින දොළහකට පසු මෙම නිලධාරීන් වෙත සැලවූයේ පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක සොරා ගැණුනු දියමන්තියේ හා  මැණික්වල වීඩියෝ පටයක් ඇති බවය.  මේ පිළිබඳ නිරීක්ෂණය කළ නිලධාරීන් එම පුද්ගලයා පාදුක්ක ප්‍රදේශයේදී ඉකුත් 17 වෙනි දින අත්අඩංගුවට ගත්තේ වීඩියෝ පටය අඩංගු ජංගම දුරකථනයද සමගිනි.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ අතුරුගිරිය, ඔරුවල පදිංචි රවීන්ද්‍ර නාලක (57) නැමැත්තෙකි. විදේශ ගතව සිටින පාතාල නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ මෙරට මංකොල්ලකෑම්වල ප්‍රධානියා වන්නේ මොහු බව අනාවරණය වී ඇත.  දියමන්තිය සොරා ගැනීම ඩුබායි සිට මාකඳුරේ මධුෂ්ගේ සැලසුමක් වී ඇති අතර ඒ සඳහා එහි වගකීම පවරා ඇත්තේ රවීන්ද්‍රටය. දියමන්තිය සොරා ගැනීම සඳහා ‍පොලිස් පරීක්ෂක නිල ඇඳුමෙන් ගොස් ඇත්තේද මොහු බව විමර්ශනවලදී හෙළිව තිබේ.

මේ අතර ඉකුත් 01දා නැවත වරක් මෙම ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමට තොරතුරක් ලැබි ඇත්තේ මෙම කොල්ලයට සම්බන්ධ පුද්ගලයෙකු රත්මලානේ සිට මෝටර් රථයකින් කහතුඩුව දෙසට ගමන් කරන බවය.  වහාම ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් රත්මලාන, මැලිබන් හන්දියට ගොස් මෝටර් රථයක ගමන් කරමින් සිටි එකී සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණි.

මෙහිදී අත්අඩංගුවට ගැණුනේ මාතර, රොටුඹ පදිංචි තුසිත මධුරංග (38) හෙවත් මාතර මල්ලීය. රොටුඹ පදිංචි මාතර මල්ලිගේ බාප්පාගෙන් එකල මධුෂ්ගේ කීමට ඔහුගේ ගෝලයෙකු වු රොටුඹ රසික කප්පම් ඉල්ලා ඇති අතර එම කප්පම් නොදුන් නිසා එකී බාප්පා ඇතුළු ඥාති පිරිස ඝාතනය කිරීමට රසික සැලසුම් කළේය.  2010 වසරේදී වරක් මොහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි අතර ඔහුගේ කාමර සගයා වී ඇත්තේ මාකඳුරේ මධුෂ්ය. රසිකගෙන් පළිගැනීමට හෙතෙම මධුෂ් හා එක් වූයේ මෙහිදීය.

ඝාතන නඩුවෙන් හා මංකොල්ලකෑම් නඩුවලින් නිදහස් වූ මාතර මල්ලිට එරෙහිව මේ වනවිට පවතින්නේ වැල්ලවත්ත රන්ආභරණ වෙළෙඳසලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙනි.  මාතර මල්ලීට ඉකුත් අප්‍රේල් මාසයේදී මධුෂ්ගෙන් අන්තර්ජාල ඇමැතුමක් ලැබුණි. ඉන් කියවුණේ මෙකී දියමන්තිය සොරා ගන්නා සැලසුම පිළිබඳවය.

මෙම සැලසුමේදී මාතර මල්ලීට රුපියල් කෝටි 50ක් ලබා දීමට මධුෂ්  කැමැත්ත පළකළ අතර ඔහුට කිරීමට තිබුණේ වෑන් රථයෙන් ගොස් විදේශිකයාට මාංචු දමා රැගෙන යාම පමණය.

මාස ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ඉකුත් මස 05 වෙනි දින මාතර මල්ලී, රවින්ද්‍ර ඇතුළු පිරිස සමග ගොස් දියමන්තිය කොල්ලකා විදේශිකයාව පැහැරගෙන වෑන් රථයෙන් මහරගමට පැමිණ එහිදී විදේශිකයාව මුදා හැරියේය. ඒ මාකඳුරේ මධුෂ් දුරකථනය හරහා මාතර මල්ලී හා සම්බන්ධ වෙමින් ඔහු ලබා දුන් උපදෙස් මතය.

“සුද්දා අපේ එකෙක්. ඌට මොකුත් කරන්න එපා. මහරගමින් දාලා පලයල්ලා” ඒ මධුෂ්ගේ අණය.

එසේ විදේශිකයා මහරගමදී වෑන් රථයෙන් බැස්සවීමෙන් පසු රථය කහතුඩුව ගුවන් පාලම යටට ගොස් මාතර මල්ලීවද බැස්සුවේය. එහිදී මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ පාර්සලයක් තබා පිටව ගියේය.

එහි වුයේ රුපියල් ලක්ෂ දෙකක මුදලකි. දියමන්ති කොල්ලයෙන් පසු මරදාන ප්‍රදේශයේදී දියමන්තිය හා මැණික් වෙන වෙනම කවර වල බහා මුද්‍රා තබා තවත් පුද්ගලයෙකුට භාර දී ඇති බවද මෙහිදී ‍පොලීසිය තොරතුරු අනාවරණය කර ගත්තේය.

මාතර මල්ලීගේ ප්‍රකාශවලින් පසුව විදේශිකයාව සෙව්වද ‍පොලිස් නිලධාරීන්ට දැන ගැනීමට ලැබුණේ විදේශිකයා හා බ්‍රෝකර්වරයා ඉකුත් මස 07 වෙනි දින එනම් කොල්ලයෙන් දින දෙකකට පසු විදේශ ගතව ඇති බවය. ඇතැම් විට මේ වනවිට දියමන්තිය හා මැණික් ගල් ඩුබායි සිටින මධුෂ්ගේ අතට පත්ව ඇත්ද යන්න සැකයක් ‍පොලීසියට මතුව ඇති අතර මෙකී කොල්ලය සම්බන්ධයෙන් මහරගම ‍පොලීසිය හා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන පවත්වයි.

ශානිකා මාධවී

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.