lakbima.lk

හමුදාපතිවරියක් සිටින ලෝකයේ ලංකාවේත් තරු දෙකේ ජෙනරාල්වරියන් බිහිවුණා

තරු දෙකේ ජෙනරාල්වරියක වන ස්ලෝවේනියාවේ ඇලන්කා අර්මෙන්ක් පසුගියදා කිසිදිනෙක කිසිම කතකට නොබිඳිය හැකි අඩුම තරමින් සමකළ නොහැකි වාර්තාවක් තැබුවාය. ඒ එරට පමණක් නොව ලෝකයේ ප්‍රථම හමුදාපතිනිය වෙමිනි. පිරිමින්ට පමණක් සීමා වී තිබූ බොහෝ ක්‍ෂේත්‍රවලට දැන් දැන් සිටින කාන්තාවන් පිවිසෙන්නේ තමන්ටද කළ නොහැක්කක් නොමැති බව ක්‍රියාවෙන්ම ඔප්පු කරමිනි.

හමුදාපති තනතුරට පත්වන්නට බැරි වුණත් ශ්‍රී ලංකා යුද හමුදාවේද තරුදෙකේ ජෙනරාල්වරියන් දෙදෙනෙක්ම සිටියහ. 1979 දී ආරම්භ වූ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය වැඩි සද්දයක් බද්දයක් නැතත් යුද හමුදා ක්‍ෂේත්‍රයට අපූරු කාන්තාවන් බිහිකළ තැනකි. ඊට උදාහරණ ඕනෑ තරම්ය.

ලුතිනන් කර්නල් මංත්‍රී කොස්වත්ත ඊට හොඳම උදාහරණයකි. එක්දහස් නවසිය අසූතුනේ සීතල නොවැම්බර්යේදී යුද හමුදා කාන්තා බළකායට එක්වන ඇය යුද හමුදා කාන්තා  පුහුණු විද්‍යා පීඨයේ පළමු කණ්ඩායමේ සාමාජිකාවකි. ඊට පෙර කාන්තා බළකායට එක් වූ කැඩෙට් නිලධාරිනියන්ට අවැසි පුහුණුව ලබා දුන්නේ, මහා බ්‍රිතාන්‍යයේ රාජකීය යුද හමුදා කාන්තා බළකායෙනි. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු හමාර කළ මංත්‍රී, පාසල් වියේ සිටම ක්‍රීඩාවට දැක්වූයේ පුදුමාකාර උනන්දුවකි. ඒ නිසාම පාස‍ලේ තිබූ බොහෝ ක්‍රීඩාවන්ට සම්බන්ධ වූ ඇයට ඒ ඔස්සේ ලබාගත් අත්දැකීම් වඩාත් පන්නරයක් වූයේ යුද පුහුණුවේදීය.

මට මුල ඉඳන්ම තිබුණෙ යුද හමුදාවට බැඳුණා කියන ආඩම්බරකාරී හැඟීමම තමයි. ඒ හැඟීම තමයි, මාව මේ තරම් දුරක් අරන් ආවේ. ඇය අප හා කතාබහ ඇරඹූයේම එලෙසිනි. මගේ අම්මා තමයි මාව හමුදාවට එකතු කරන්න ගොඩක් උනන්දු වුණේ සහ මාව ඒ සඳහා පෙළඹුවේ. යුද හමුදා නිල ඇඳුමට තමයි මම මුලින්ම ආදරය කළේ. ඇය පවසන්නීය.

එලෙස එක්වූ මංත්‍රී කොස්වත්ත දියතලාව යුද හමුදා විද්‍යා පීඨයෙන් පුහුණුව ලබා යුද හමුදා කාන්තා බළකායට සම්බන්ධ වන්නීය. පසුකාලීනව යුද්ධයේ බැරෑරුම් බව වැඩිවත්ම කාන්තා බළකායේ තවත් ස්වේච්ඡා කාන්තා බළකායක් ස්ථාපිත වෙන්නේ, යුදමය කටයුතු සඳහා සෘජු දායකත්වයක් ගැනීමේ අරමුණෙනි. එම ස්වේච්ඡා බළකායේ ප්‍රථම අණදෙන නිලධාරිනිය ලෙස පත්වන්නී ලුතිනන් කර්නල් මංත්‍රී කොස්වත්තය. ඇයට ඇයගේ ප්‍රේමය හමුවෙන්නේ ද හමුදා ජීවිතයේදීමය. යුද හමුදා ප්‍රේමයක් මල්ඵල ගැන්විලා තමයි මට මගේ ස්වාමිපුරුෂයා හමුවුණේ ඇය පවසන්නීය. මේජර් ජෙනරාල් විජිත නිර්මාල් කොස්වත්ත, ඇයගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන්නේ එලෙසිනි. අවසන් ඊළාම් සටන් පැවැති කාලයේදී යුද හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළ ජෙනරාල් කොස්වත්ත වර්තමානයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන්නේය.

යුද හමුදා කාන්තා බළකායට එක්වන කාන්තාවන්ට හමුදා සේවයේ ඉහළ ම ධුරයන්ට ගමන් කරන්නට ඇති අවස්ථා දුලබය. ඊට හේතුව වෙනත් වෘත්තිකයන් ලෙස නොවී, නිලධාරිනියක ලෙස සෘජුව කාන්තා බළකායට එක්වන කාන්තාවන් සිය වයස අවුරුදු හතළිස් පහ සම්පූර්ණ කිරීමෙන් පසුව හෝ සිය සේවා කාලය අවුරුදු විස්සක් සම්පූර්ණ කිරීමෙන් පසුව හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට සිදුවන බැවිනි. එහෙත් මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව මේජර් ජෙනරාල්වරියන් දෙදෙනකු බිහිකර අවසන්ය. ඉන් එක් අයෙක් මේජර් ජෙනරාල් ඉන්දිරා විජේරත්නය. ඇය දැන් යුද හමුදාවෙන් විශ්‍රාම ගෙන නවසීලන්තයේ පදිංචිව සිටින්නීය. ඇය කලක් යුද හමුදාවේ නීති අධ්‍යක්ෂිකාව ලෙස රාජකාරි කළාය.

එම ධුරයට පත් අනෙක් තැනැත්තිය මේජර් ජෙනරාල් මොහාන්ති පීරිස්ය. නීතිඥවරියන් නිසා ඔවුන් දෙදෙනාම එකල අයත් වූයේ යුද හමුදා ‍පොදු සේවා බළකායටය. යාපනය උඩුවිල් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මොහාන්ති පීරිස් මුලින්ම එක්වන්නේ නීතිඥ වෘත්තියටය. ඒ, සිය පියාගේත්, මාමාවරුන්ගේත් අඩිපාරේ ගමන් කරමිනි. කුඩා කාලයේ පටන් ම නීතිඥවරු ඇසුරේ හැදී වැඩෙන නිසාම ඇයගේ එකම හීනය වන්නේ ද නීතිඥවරියක් වීමය. සාමාන්‍ය නීතිඥවරියක් ලෙසින් කටයුතු කරමින් සිටින මොහාන්ති පීරිස්, යුද හමුදා සේවයට එක්වෙන්නේ, සිය ස්වාමි පුරුෂයා මුණ ගැසීමෙන් අනතුරුවය. ඒ, එක්දහස් නවසිය අසූ හතර වසරේදී නීතිඥවරියක් ලෙසින්මය.

හැමදෙයක් ම ඉතා සැලසුම් සහගතව සිදු කෙරෙන හමුදා ජීවිතය, අපේ පෞද්ගලික ජීවිතයට ඉතා විශාල වටිනාකමක් එකතු කළ වෘත්තියක්. ඇය වෘත්තීය ජීවිතය ගැන සිහිකරන්නේ එවන් තෘප්තිමත් හැඟීමකිනි. සිංහලත්, දෙමළ මෙන්ම, ඉංග්‍රීසි භාෂාවත්, අපූරුවට ලියන්නට කියවන්නට හා කතා කරන්නට හැකියාව ඇති මොහාන්ති පීරිස් බ්‍රිගේඩියර් තනතුරේ කටයුතු කරන කාලයේදී යුද හමුදා මූලස්ථානයේ මානව හිමිකම් අධ්‍යක්ෂ මණ්ඩලය භාර අධ්‍යක්ෂිකාව ලෙස ද කටයුතු කර ඇත්තීය. හමුදා සේවයෙන් විශ්‍රාම ගත්ත ද ඇය සිය සමාජ මෙහෙවර  තවමත්  අවසන් කර නැත. අතුරුදන් වූ තැනැත්තන්ගේ කොමිසමෙහි කොමසාරිස්වරියක ලෙස ඇය තවමත් සිය සමාජ මෙහෙවර ඉටු කරමින් සිටින්නී ය.

යුද හමුදා කාන්තා නිලධාරිනියන්ගේ ජීවිත මනා ලෙස හැඩගස්වා ගන්නට ආදරණීය දෙවැනි මවක් වන්නී ද, මේජර් ජෙනරාල් මොහාන්ති පීරිස් ය. ඒ ගැන හොඳින්ම පවසන්නේ, කර්නල් බුද්ධිකා පර්ඩිනැන්ඩුය.

මගේ හමුදා ජීවිතයේ මම ලැබූ ලොකුම භාග්‍යය, ජෙනරාල් මොහාන්ති පීරිස් වැනි ආදරණීය කාන්තාවක් ඇසුරේ කටයුතු කරන්න ලැබිමයි. කර්නල් බුද්ධිකා අපි සමග කතාබහට එක්වූයේ ද එලෙස පවසමිනි.

කර්නල් බුද්ධිකා යුද හමුදා සේවයට එක්වන්නේ ද නීතිඥවරියක ලෙසිනි. ඒ, දෙදහස් එක වසරේදීය. ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙනුත්, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙනුත් අධ්‍යාපන කටයුතු හමාර කරන බුද්ධිකා උසස් පෙළ විභාගයට පෙනී සිටින අවධියේ සිහින මවන්නේ, ගුවන් හමුදා නිලධාරිනියක් වන්නටය. එහෙත් ඒ සිහිනය, සිහිනයක්ම ලෙසින් පමණක් තබා ගන්නට ඇයට සිදුවන්නේ, මවගේ සිහිනය ඊට වඩා වෙනස් වූ නිසාය. අම්මා කැමති වුණේ මං වැඩිදුර ඉගෙන ගන්නවාටයි. ඒ නිසා මට මගේ හීනය පැත්තකින් තියල ඉගෙන ගන්න වුණා.

යුද හමුදාවට කාන්තා නීති නිලධාරිනියන්  බඳවා  ගන්නා  බවට  පුවත්පත් දැන්වීමක් පළවෙන්නේ ඔය අතරේදීය. අයදුම්පත් යොමු කිරීමේ කාල සීමාව අවසන් වීමට දින දෙක තුනක් තිබියදී, ඒ ආරංචිය බුද්ධිකාට ලැබෙන්නේ ඇයගේ මාමාට පින්සිදු වන්නටය. එවකට ඇය නීතිඥවරියක ලෙසින් කටයුතු කරමින් සිටි බැවින් මව් පාර්ශ්වයෙන් ද විරෝධයක් එල්ල නොවිණි. යුද හමුදාව බුද්ධිකාගේ නිවහන වන්නේ ඒ අනුවය. ඒ 2001දී ය.

“මම ඉස්සර බොහොම සංවේදී චරිතයක්. ඒත්, පසුගිය දහහත් වසර ආපසු හැරිලා බලද්දී, හමුදා ජීවිතය මගේ සාමාන්‍ය ජීවිතයට විශාල බලපෑමක් කර තිබෙන බව නම් ඉතා ම පැහැදිලියි. දරා ගැනීමේ ශක්තිය, තීරණ ගත යුතු අවස්ථාවලදී කඩිනමින් නිවැරදි තීරණය ගන්න, හමුදා ජීවිතයෙන් ලැබුණ පන්නරය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.” ඇය පවසන්නීය.

කාන්තා නිලධාරිනියන් බොහෝ දෙනාට මෙන් ම කර්නල් බුද්ධිකාට ද සිය ආදරණීය ස්වාමිපුරුෂයා මුණ ගැසෙන්නේ ද යුද හමුදාවේදීමය. ඔහු කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරියෙකි. එහෙත් ඔහු සිටින්නේ ඇයට වඩා පහළ නිලයක ය. ඇය නීතිඥවරියක් නිසා, හමුදා සේවයට එක්වන්නේම කපිතාන් නිලයට වීම ඊට හේතුවයි. පහළ නිලයේ සිටින්නන් ඉහළ නිලයේ සිටින්නන්ට ආචාර කිරීම යුද හමුදාවේ සාමාන්‍ය නීතියයි. ඉදින් ස්වාමිපුරුෂයා තමන්ටත් එලෙසින් ආචාර කරන්නේ දැයි අපි බුද්ධිකාගෙන් ඇසුවෙමු.

“හමුදා නිල ඇඳුම ඇඳලා රාජකාරී අවස්ථාවක හමු වුණාම එහෙම ආචාර කරනවා. අපි කවදාවත් අපේ රාජකාරියට, පෞද්ගලික ජීවිතය බාධාවක් කරගෙන නැහැ.”

යුද හමුදාවේ රාජකාරි තවත් සුවිශේෂි කාන්තාවක් වන්නේ බ්‍රිගේඩියර් දිල්රුක්ෂි මුණසිංහය. ඇය නියෝජනය කරන්නේ වෛද්‍ය බළකායය. ඇයද යුද හමුදාවට එක්වෙන්නේ, විකිරණවේදී වෛද්‍යවරියක ලෙසිනි. යුද හමුදාවේ විකිරණවේදී වෛද්‍ය අංශයක් ස්ථාපිත වන්නේ ඇයගේත් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහගේත්, උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි. යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, බ්‍රිගේඩියර් දිල්රුක්ෂි මුණසිංහගේ ආදරණීය ස්වාමිපුරුෂයාය.

කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ සිට ම දිල්රුක්ෂි සිහින මැව්වේ වෛද්‍යවරියක වන්නටය. ඇය විකිරණවේදී වෛද්‍යවරියක් ලෙසින් පත්වීම් ලබන්නේ ඒ සිහිනය මල්ඵල ගන්වමිනි. එහෙත් යුද හමුදාවට එක්වන්නට අදහසක් නොතිබුණ ඇය හමුදා නිලධාරිනියක් කරන්නේ ද ඇයගේ ස්වාමිපුරුෂයාය.

මගේ ස්වාමිපුරුෂයාත් යුද හමුදාවේ වෛද්‍යවරයෙක් නිසා, මමත් ඒ ක්‍ෂේත්‍රයටම එකතු වීම හැමඅතින්ම හොඳයි කියලා අපි කල්පනා කළා. 1996 අවුරුද්දෙ මම හමුදා සේවයට එකතු වුණේ ඒ අනුවයි.

යුද්ධයේ අවසන් කාලයේදී ඇය සේවය කළේ යුද හමුදා මූලස්ථානයට අනුයුක්තවය. යුද්ධයේ බැරෑරුම් බව වැඩිවන කාලයේදී දින කිහිපයක් නොකඩවා සිය සේවාව දෙන්නට ද ඇයට සිදු වූවාය. ඇය පවසන්නේ, ඒ සියල්ල සමබරව පවත්වා ගනිමින් මනාව සිය සේවාව ලබා දෙන්නට තමන්ට හැකි වූ බවය. සමහර දවස්වලට මම විතරයි විකිරණවේදී අංශයෙ සේවය කරන්නෙ. මහත්තයා ඒ වෙද්දී ක්‍රියාන්විත රාජකාරියෙ හිටියෙ. ගෙදර වැඩයි, මේ වැඩයි ඔක්කොම කළේ මම. ඒත් ඒ සියල්ල දරාගෙන හොඳින් මගේ සේවය ඉටුකරන්න මට හැකියාව ලැබුණා. අදටත් ඒ ගැන හරිම සතුටුයි. ඇය පවසන්නීය.

ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුත්තලිෆ්  නම ඇසූ  සැණින්  තවමත්  අපගේ සිහියට නැගෙන්නේ, රට වෙනුවෙන් ඔහු කරන ලද අභීත සේවාව ය. යුදහමුදා සන්නද්ධ බුද්ධි රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියකු වශයෙන් ඔහු කරන ලද විශිෂ්ට සේවාව තවමත් අප සිත් තුළ නොමැකී පවතී. ඔහුගේ දයාබර බිරිඳ, ලුතිනන් කර්නල් කුමුදුනී මුත්තලිෆ්ය. යුද හමුදා කාන්තා බළකාය වර්ණවත් කළ අභීත කාන්තා නිලධාරිනියන් අතර ඇය ද තවත් එක් සුවිශේෂී චරිතයකි.

ත්‍රිකුණාමලය ශාන්ත මේරි විද්‍යාලයෙනුත්, කොළොන්නාව බාලිකාවෙනුත් අධ්‍යාපන කටයුතු හමාර කළ ඇය යුද හමුදා සේවයට එක්වෙන්නේ, ‍පොලිස් නිලධාරියෙකු වූ ඇයගේ පියාගේ මගපෙන්වීමෙනි. එක්දහස් නවසිය අසූ නවයේදී හමුදා සේවයට එක්වී වසර විස්සක සිය සේවා කාලය තුළදී, ඇය යුද හමුදා කාන්තා බළකායේ අණදෙන නිලධාරිනියක ලෙස වසර හතරක් කටයුතු කර ඇත්තීය. ඒ සියල්ලටම වඩා ඇය ආඩම්බරයෙන් සිහිපත් කරන්නේ, අවසන් ඊළාම් සටන් කාලයේදී කාන්තා බළකාය තුවාල වූ හමුදා සොහොයුරන් රැක බලා ගත් ආකාරයය.

යුද්ධයෙ අවසාන කාලයේදී කාන්තා බළකාය තමයි, රෝහල්ගත වෙලා හිටපු සෙබළු බලා ගත්තේ. රට වෙනුවෙන් අතපය බිලිදීලා ආබාධිත වූ ඔවුන්ට කෑම කැව්වෙත් අපේ නිලධාරිනියන්. ඒ කාලයේ කාන්තා බළකායෙ සාමාන්‍ය කටයුතු පවා අතහැර, සෑම කෙනෙක්ම ඔවුන් වෙනුවෙන් කැපවුණා. ඒ සේවාව ගැන අදටත් හදවතින්ම සතුටු විය හැකියි. ඇය පවසන්නී ය.

 ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.