lakbima.lk

එස්.ටී.එෆ් වෙඩි පහරට බිලි වූ කොස්ගොඩ තාරකගේ වමත සහ දකුණත

කොට්ටාව ‍පොලිස් වසමේ රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යටින් ඉකුත් 26වෙනිදා රාත්‍රි 9.45ට පමණ එක්වරම  වෙඩි පුපුරණ හඬක් ඇසුණි.

නිවෙස්වලින් එළියට පැමිණි අසල්වාසීන්ට දැකගත හැකිවූයේ අඳුරේම  කිසියම් දෙපාර්ශ්වයක් වෙඩි හුවමාරු කර ගන්නා අන්දමය. ඒ සමගම කිසියම් පිරිසක් “අපි ‍පොලීසියෙන්, ආපහු ගෙවල් වලට යන්න” අවවාදාත්මක ස්වරයෙන් කියනු ඇසුණි.

එකී අවවාදයත් සමග නිවෙස් තුළට වූ ඔවුන්ට පසුව දැන ගැනීමට ලැබුණේ නමගිය අපරාධකරුවන් දෙදෙනෙකු වෙඩි වැදී මිය ගොස් ඇති බවය.

‍පොලිස් විශේෂ කාර්ය බළකායට වෙඩි තැබිමේදී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් මිය ගොස් තිබුණේ හෝමාගම, හබරකඩ ,අංක 275/2නිවසේ පදිංචිව සිටි අබේසිංහ ආරච්චිලාගේ වසන්ත කුමාර පෙරේරා නොහොත් “හබරකඩ වසන්ත” (36) හා හෝමාගම, පිටිපන, අංක 318නිවසේ පදිංචිව සිටි මඩපාත කම්කානම්ලාගේ සමන්ත උපුල් කුමාර නොහොත් “මීගොඩ උපුල් (46) යන සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාය.

මෙම සැකකරුවන් දෙදෙනා රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යට සිටින බවට ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්.ලතීෆ්ට ලැබුණු තොරතුරක් මත ඉකුත් 26දා රාත්‍රියේම ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානය කරා ළඟා වූයේ අවි ආයුධවලින් සමන්විතවය.

ඔවුන් අදාළ ස්ථානයට ළඟා වීමත් සමග කලබල වූ හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් ‍පොලිස් විශේෂ කාර්ය   බළකා නිලධාරින්ට වෙඩි තබා පලා යාමට උත්සහ කළේ ගණ අඳුර මැදින්ය.

එහෙත් ඔවුන්ගේ ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. ‍පොලිස් නිලධාරින් ඔවුන්ට පෙරළා ප්‍රතිප්‍රහාර එල්ල කළහ. මඳ වේලාවකින් පරිසරය පුරා නිහඬතාවක් පැතිර ගිය අතර ගැටුම අවසන් වූයේ පාතාල සාමාජිකයන් දෙදෙනා     ජීවිතක්ෂයට පත් වීමෙනි.

මේ අතර මෙම වෙඩි තැබිම පිළිබඳ හෝමාගම ‍පොලීසිය හා මිරිහාන අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (සොකෝ) අදාළ ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කරණු ලැබිය.

එහිදී හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් සතුව තිබූ මැෂින්ගන් වර්ගයේ තුවක්කුවක් (එස්.එම්.ජී) හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් , උණ්ඩ කොපු 14ක් හමුව තිබේ.

සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් උපතිස්ස මඩපාත විසින් ඉකුත් 27දා දහවල් සිදු කළ අතර එහිදී නියෝග කෙරුණේ මියගිය පුද්ගලයන් දෙදෙනාගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කළුබෝවිල මහරෝහලට රැගෙන යන ලෙසය.

හබරකඩ වසන්ත යනු මතෛක් කාලයක් ‍පොලීසිය මඟහැර විවිධ අපරාධ කරමින් සිටි නමගිය අපරාධකරුවෙකි. මොහුගේ සමිපතමයා වූයේ කොස්ගොඩ තාරකය.

පාතාලයේ නමක් දරා සිටින කොස්ගොඩ තාරක හා හබරකඩ වසන්ත ඉදිකටුවයි නූලයි මෙන් විය..

ඉකුත් ජුනි මස 22වෙනි දිනද මාතර, අනගාරික ධර්මපාල මාවතේ පිහිටි නි‍ලේකා ස්වර්ණාභරණ ආයතනයට කඩා වැදී ‍පොලිස් නිලධාරියෙකුද ඝාතනය කරමින් රන්භාණ්ඩ හා මුදල් කොල්ලකා පලා යාම සම්බන්ධයෙන්  කොස්ගොඩ තාරක, හබරකඩ වසන්ත චෝදනා ලබා සිටිති.

මෙකී කොල්ලය සඳහා මොටර් රථයක් හා යතුරුපැදි තුනක් පැමිණ තිබුණි. එහි පැමිණ     ඇත්තේ කොස්ගොඩ තාරක, ඔහුගේ මල්ලී වූ මදුක, චාමර, අතුල නොහාත් මලා, කොස්ගොඩ   චුටි, ඩිල්ෂාන් හා හබරකඩ වසන්තය.

ගිනි අවි දරා ආයතනයට ඇතුළු වීමේදී එය වැළැක්වීමට පැමිණි මාතර ‍පොලීසියේ නිලධාරීන්ටද වෙඩි වරුෂාවක් එල්ල කළ අතර එහිදී ‍පොලිස් සැරයන්වරයෙක්, ‍පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් හා කාන්තාවක් ඇතුළු සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා සිටියහ. එහිදී ‍පොලිස් කොස්තාපල් සුරංග ප්‍රදිප් විරසිංහ (69532) මිය ගියේය.

මෙකී කොල්ලයෙන් පසු මාතර නගරයේ සැඟව සිටි “වේයන්ගොඩ චාමර” එදින ‍පොලිස් අත්අඩංගුවට පත්වූ අතර  පසුව කරාපිටිය රෝහලට ඇතුළුව සිදු වූ තුවාලවලට ප්‍රතිකාර ලබමින් සිටි කොස්ගොඩ තාරක ඔහුගේ සහෝදරයා වූ මධුක හා මලා යන තිදෙනා ‍පොලිස් අත්අඩංගුවට පත් විය.

මේ අතර සැකකරුවන් පැමිණි යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී හෙළි වූයේ එකී යතුරුපැදිය කොස්ගොඩ තාරකගේ මවට අයත් එකක් බවය. ඒ අනුව ඇයවද ‍පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම කොල්ලය පිළිබඳ චාමරගෙන් තොරතුරු හෙළිවෙද්දී ඔහු කිසියම් බෑගයක් ගැනද ‍පොලීසියට පවසා තිබුණි. ඒ මංකොල්ලය සඳහා ඇඳුම් රැගෙන ආ එම බෑගය මාතර, කිරල කැ‍ලේ සඟවා ඇති බවය. එම බෑගය බැලීමට ගිය අවස්ථාවේ චාමර ඇඳුම් බෑගය පෙන්වමින් ඒ තුළ තිබූ අත් බෝම්බයක් එක්වරම ‍පොලිස් නිලධාරින් දෙසට එල්ල කිරීමට උත්සහ කිරීමේදී ‍පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබිමකින් මරුමුවට පත් විය.

මෙම කොල්ලයේදී කොල්ලකන ලද රුපියල් කෝටි ගණනකට අධික පවුම් 99ක් හබරකඩ වසන්තගේ නිවසේ වළදා තිබියදී ‍පොලීසිය විසින් සොයා ගත් අතර එහිදී හබරකඩ වසන්තගේ බිරිඳ, පියා හා මව අත්අඩංගුවට ගැනුණි.

හබරකඩ වසන්ත මීට පෙරද සිදු කළ අපරාධ රැසක් ඔහුගේ ගිණුමේ තිබේ. 2009වර්ෂයේදී හෝමාගමදී ටී -56ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීම, 2010ජුනි 22වෙනි දින මහරගම, පමුණුව පාරේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කර රුපියල් ලක්ෂ 17ක මුදලක් කොල්ලකෑම, 2011අප්‍රේල් මසදී මහරගමදී ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම, 2015මාර්තු මසදී මොරටුව මූල්‍ය ආයතනයක් කොල්ලකා රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් හා රන්භාණ්ඩ කොල්ලකෑම, 2015ජුනි මසදී කොට්ටාව ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම, 2017මැයි මසදී මීරිගම බැංකුවක් කොල්ලකෑම ඒ අතර වේ.

කොස්ගොඩ තාරකගේ සමීපතමයා වූ හබරකඩ වසන්තගෙන් තොර කොල්ල කෑමක් කොස්ගොඩ තාරකගේ සැලසුම්වල නොමැති විය. ඒ නිසාම හබරකඩ වසන්තද පාතාලයේ නමක් හදා ගනිමින් සිටියේය.

හබරකඩ වසන්තගේ අතවැසියා වූයේ මීගොඩ උපුල්ය. ඔහු පිළිබඳ ‍පොලිස් ‍පොත් පිරෙන්නට පිටු නොලියුනත් ඔහුද අපරාධවලට සම්බන්ධ වී ඇති අයෙකු බව ‍පොලීසිය හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම 2010ජුනි මස 22වෙනි දින පාදුක්ක, වග පදිංචි නිශාන්ත ද සිල්වා නැමැති ව්‍යාපාරිකයා ඝාතනය කර රුපියල් ලක්ෂ 17ක් කොල්ලකෑමේ සිද්ධියට මීගොඩ උපුල් සම්බන්ධ බව අනාවරණය වී තිබේ.

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන සනාථ කරමින් මෙම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනා වෙඩි පහරකින්ම මිය ගියේ පාතාලයේ ඇත්තන්ට වැඩි ආයුෂක් නැති බව මොනවට පැහැදිලි කරවමිනි. වෙඩි වැදීමට ලක් වූ දිනයේද මොවුන් අධිවේගී මාර්ගය අසල ගිනි අවි සමග රැඳී සිටියේ කිසියම් පිරිසක් බලා‍පොරොත්තුවෙන්ද, නැතිනම් කිසියම් අපරාධයක් සඳහාද යන්න මතෛක් කරුණු හෙළිව නැති අතර ‍පොලීසිය ඒ පිළිබඳවද විමර්ශන අරඹා ඇත.

ශානිකා මාධවී
ඡායාරූප- නිසල් යොවිදු

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.