lakbima.lk

ඩෙංගු මඩින්නට බත්කූරු මෙහෙයුමක්

වර්තමානයේ දී මහජන සෞඛ්‍යයට ප‍්‍රබල බලපෑමක් එල්ල කරමින් ඩෙංගු රෝගය ලෝකය පුරා ඉතා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. සෑම වසරක දීම ඩෙංගු රෝගීන් මිලියන 50ක් පමණ වාර්තා වේ. ශ්‍රී ලංකාව තුළ ඩෙංගු ව්‍යාප්තිය සඳහා වාහක මදුරු විශේෂ 2ක් ප‍්‍රධාන වශයෙන් දායක වන අතර Aedes aegypti මදුරු විශේෂය ප‍්‍රධාන වාහකයා ලෙසද Aedes albopictus මදුරු විශේෂය ද්විතීයික වාහකයා ලෙස ද සලකනු ලැබේයි. ඩෙංගු  රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා තවමත් නිශ්චිත ඖෂධයක් හෝ එන්නතක් සොයා ගැනීමට අපොහොසත් වී ඇති හෙයින් වාහක මදුරු ගහනය අඩු කිරීම රෝගයට ඇති හොඳම පිළියම වෙයි.

අතීතයේ සිටම මදුරු ගහනය පාලනය සඳහා විවිධ ක‍්‍රමවේද භාවිත කළ දළ ඒවායේ කි‍්‍රයාකාරීත්වයේ ඇති දුබලතා මදුරුවන් ඒවාට අනුහුරු වීම සහ ඒවා තිරසර ක‍්‍රම නොවීම වැනි නොයෙකුත් හේතූන් මත ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරිම අසීරු වී ඇත. මදුරුවන් පාලනය සඳහා අඛණ්ඩව රසායනික ද්‍රව්‍ය යොදා ගැනීම පරිසරයට මෙන්ම මිනිසාට ද අහිතකරය. එහෙයින් ඊට විකල්ප සෙවීමේ අවශ්‍යතාවය දැඩිව මතුව ඇත.

එකී අඩුව සපුරාලමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ස්වාභාවික සම්පත් අධ්‍යයනාංශය කැලණිය විශ්වවිද්‍යාලයේ අණුක වෛද්‍ය ඒකකය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ජෛව පද්ධති ඉංජිනේරු අධ්‍යයනාංශය සහ Helpo Eco Green ආයතනය යන ආයතන ඒකාබද්ධ ව සිදුකරන ලද විද්‍යාගාර පර්යේෂණයක දී ඩෙංගු වාහකයෙකුවන Aedes aegypti මදුරුවන්ගේ කීට අවධි විනාශ කිරීම සඳහා මාංශ භක්ෂක කෘමීන් වන බත්කූරන්ගේ කීට අවධි යොදා ගැනීමේ හැකියාවක් ඇති බව සනාථ වී ඇත.

Aedes aegypti ආයතනයේ අධ්‍යක්ෂ P.M.C.J.A. වැලිවිටියගේ මූලික සංකල්පයක් මත ඇරඹුණු මෙම පර්යේෂණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සඳුන් J. පෙරේරාගේ මග පෙන්වීම යටතේ එම අංශයෙහි ම ඉගෙනුම ලබන W.R. චතුරිකා සමන්මලි, විසින් ඇයගේ අවසන් වසර නිබන්ධනය සම්පූර්ණ කිරීම උදෙසා සිදුකර ඇති අතර මෙම පර්යේෂණය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ අණුක වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මේනකා හපුගොඩ සහ ආචාර්ය R.M.T.B. රණතුංග  Aedes aegypti මදුරු කීටයන් වගා කර ගැනීම ආශි‍්‍රත තාක්ෂණික දැනුම ලබා දීම මගින් දළ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ජෛව පද්ධති ඉංජිනේරු අධ්‍යයනාංශයේ කථිකාචාර්ය N.W.B.A. ළහිරු උදයංග දත්ත විශ්ලේෂණය මගින්ද සහය දක්වා ඇත. මේ අනුව විශ්වවිද්‍යාල දෙක තාක්ෂණික දායකත්වය ලබාගනිමින් රාජ්‍ය නොවන සංවිධානයක මග පෙන්වීම සහ මූල්‍ය දායකත්වය සහිතව කි‍්‍රයාවට නැංවූ සහයෝගි නියමු පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස මෙය හැඳින්විය හැක.

ඩෙංගු මදුරුවන් බිත්තර දමන්නේ ජලයටය. බත්කූරන් බිත්තර දමන්නේද ජලයටය. මදුරුවන්ගේ සහ බත්කූරන්ගේ ජීවන චක‍්‍ර සස\ බැලීමේ දී මදුරුවන්ගේ ජලජ කීට අවධිය දින 5ක් වැනි ඉතා කෙටි කාලයක් වන මුත් බත්කූරන්ගේ ජලජ කීට අවධිය වසර 16 දක්වා වැනි ඉතා දිගු කාලයක් දක්වා විහිදෙයි. එබැවින් ඩෙංගු මදුරු කීටයන් පාලනය සඳහා බත්කූරන්ගේ කීටයන් වඩාත් උචිත විලෝපිකයෙකු ලෙස වටහා ගන්නට පර්යේෂකයෝ සමත් වූහ. එමෙන්ම එම විලෝපනය මදුරු ගහනයන් පාලනයට ප‍්‍රබල දායකත්වයක් දක්වන බව ඉතා පැහැදිලිය.

සබරගමුව විශ්වවිද්‍යාලයීය ස්වාභාවික සම්පත් අධ්‍යයනාංශයෙහි විද්‍යාගාර තුළ සිදු කළ මෙම මූලික පර්යේෂණය සඳහා එම විශ්වවිද්‍යාලය පිහිටා ඇති බෙලිහුල්ඔය පඹහින්න ප‍්‍රදේශය අවට පොකුණුවලින් සොයා ගන්නා ලද බත්කූරු විශේෂ 5කට අයත් කීටයන් විද්‍යාගාර තත්ත්ව යටතේ වගා කරන ලදී. එම බත්කූරන්ගේ කීටයන් විසින් විද්‍යාගාර තත්ව යටතේ වගා කරන ලද Aedes aegypti මදුරුවන්ගේ කීටයන් ආහාරයට ගන්නා ශීඝ‍්‍රතාවය අධ්‍යයනය කිරීම මත ජෛව පාලනය සඳහා වඩාත් සුදුසු බත්කූරු විශේෂ හා ඔවුන්ගේ වර්ධක මට්ටම් මොනවාද යන්න සංඛ්‍යාන විද්‍යාත්මක ව තහවුරු කිරීමද  සිදුවිය.

මෙහි දීAnax indicus (Elephant Emperor), Pantala flavescens (Wandering Glider), Gynacantha dravida (Indian Duskhawker), Orthetrum sabina  sabina (Green Skimmer) iy Tholymis tillarga (Foggy-winged Twister) යන බත්කූරු විශේෂ 5 පරීක්ෂණ සඳහා යොදා ගන්නා ලදී. ඒ අතරින් Anax indicus (Elephant Emperor) විසින් වැඩිම මදුරු කීටයන් ප‍්‍රමාණයක් ආහාරයට ගත් අතර දිනකදී දළ වශයෙන් මදුරු කීටයන් 110 ක් පමණ ආහාරයට ගන්නා ලදී. සාමාන්‍යයෙන් Anax indicus නම් බත්කූරාගේ ව්‍යාප්තිය වියළි කලාපය අතරමැදි කලාපය සහ පහත් තෙත් කලාපය යන පරිසර පද්ධති වලට සීමා වී ඇත. දෙවෙනියට වැඩිම මදුරු කීටයන් ප‍්‍රමාණයක් ආහාරයට ගන්නා ලද්දේ Pantala flavescens (Wandering Glider) විසිනි. ශ්‍රී ලංකාව තුළ Pantala flavescens නම් බත්කූරාගේ විහිදුණු ව්‍යාප්තියක් ඇති අතර ක්‍ෂුද්‍ර ජලජ පරිසර පද්ධතිවල පවා බිත්තර දැමීමට මොවුන්ට හැකියාව ඇත.

ඩෙංගු මදුරුවන් විවිධ ජලජ පරිසර පද්ධති තුළ බිත්තර දැමීම සිදු කරයි. ග‍්‍රාමීය සහ අර්ධ නාගරික ප‍්‍රදේශවල දී ඩෙංගු මදුරුවන් ගස් බෙන, කුඹුරු, කුඩා පොකුණු, ඇළ දොළ, ගංගා සහ කලපු වැනි පරිසරවල බිත්තර දැමීම සිදු කරයි. මෙම පරිසර වලට රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම එහි වෙසෙන අනෙකුත් ජීවීන්ට හානිදායක වන අතර පරිසර සමතුළිතතාවය බිඳ වැටීමට ද හේතු වන බැවින් මදුරු ගහනය පාලනය සඳහා මෙවැනි පරිසර පද්ධති සඳහා බත්කූරන් සාර්ථක ලෙස භාවිත කළ හැකි අතර එයින් ලැබෙන වාසි ද බොහොමයකි. ඒවා නම් බත්කූරු කීටයන්් කිහිපදෙනෙක් මගින් නිශ්චිත ජීවීන් පිරිසක්් පමණක් විනාශ කර ගැනීම තුළින් පරිසර පද්ධතිය තුළ වෙසෙන අනෙකුත් ජීවීන්ට ආරක්ෂාව සැලසීම මූල්‍යමය ලෙස වාසිදායක වීම පහසුවෙන් ක්ෂේත‍්‍රයට හඳුන්වා දිය හැකි වීම සහ සුහුඹුල් බත්කූරන් මිනිසා ඇතුළු අනෙකුත් ක්ෂීරපායීන්ට හානිදායක නොවීම ආදියයි. එමෙන් ම මදුරු ගහනය පාලනය බත්කූරන් යොදා ගැනීම සාර්ථක තිරසර ක‍්‍රමවේදයක් ලෙස හඳුන්වා දිය හැක.

එහෙත් නාගරික පරිසරය තුළ ඩෙංගු මදුරුවන් බිත්තර දමන්නේ මිනිසුන් ගැවසෙන ප‍්‍රදේශවල ඇති පිරිසිදු ජලය රැුඳුණු කුඩා ටින් මල් පෝච්චි, තැඹිලි කෝම්බ සහ ටයර් වැනි තැන්වලය. එහෙයින් එවැනි තැන්වලට බත්කූරන් යොදා ගැනීම කොතරම් දුරට ප‍්‍රායෝගිදැයි සැක මතුවෙයි. නමුත් ඉහත සඳහන් කරන ලද Pantala flavescens නම් බත්කූරු විශේෂය නගර ආශි‍්‍රත පොකුණු, වතුර ටැංකි වැනි පරිසරවල පවා දැකගත හැකි බැවින් නාගරික පරිසරය තුළ මදුරු ගහනය පාලනය සඳහා පවා බත්කූරන් යොදාගත හැකිවනු ඇත. ඊට අමතරව නාගරික පරිසරය සඳහා සුදුසු වෙනත් විලෝපිකයෙකු සොයා ගැනීමට ද මෙම පර්යේෂණයේ ප‍්‍රතිඵල යොදාගත හැක.

චතුරිකා සමන්මලී විද්‍යාවේදී, ව්‍යවහාරික විද්‍යා පීඨය, සබරගමුව විශ්වවිද්‍යාලය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.