lakbima.lk

සිරිසඟබෝ රජු හිස දන් දුන්නේ අත්තනගල්ලේ දී නොවේ

සියනෑ පුරවරයේ අත්තනගල්ල බොහෝ කාලයක් පුරා රටේ ප්‍රසිද්ධියට පත්වූයේ කාරණා දෙකක් නිසාය. එකක් හොරගොල්ල වලව්වේ බණ්ඩාරනායකවරුන්ය. අනෙක අත්තනගල්ල රජමහා විහාරයය. නිට්ටඹුව   කිරිඳිවැල  ප්‍රධාන පාරේ,  පස්යාල හන්දියට හැරෙන තුංමං හන්දියේ පිහිටි අත්තනගල්ල රජමහා විහාරය සියවස් ගණනාවක් පුරා විරාජමාන වූයේ, අනුරාධපුර යුගයේ රජකම් කළ සිරිසඟබෝ රජු සිය හිස දන් දුන්නේ ඒ බිමේ බව කියැවුණු නිසාය.

එබැවින් දකුණේ සිට රජරට බලා වන්දනා ගමන් යන බොහෝ දෙනෙක් අත්තනගල්‍ලේ නතර වී සිරිසඟබෝ රජු හිස දන්දුන් බැව් කියන බිම වැඳපුදා ගන්නට ද අමතක නොකළහ. එහෙත් ඒ ඉතිහාසය අලුතින් ලියන්නට සිදුවෙන්නේ, සිරිසඟබෝ රජ හිස දන්දුන්නේ අත්තනගල්‍ලේදී නොව, රාජාංගණයේ හත්ථිකුච්චි විහාරයේ දී බවට රජරට විශ්වවිද්‍යාලය කළ අලුත්ම හෙළිදරව්වක් සමඟිනි.

මේ හෙළිදරව්වේ අයිතිකරුවා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආරිය ලගමුවය. මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, පුරා වසර හතරක පමණ කාලයක සිට කරන ලද පර්යේෂණවලදී, සිරිසඟබෝ රජ සිය හිස දන්දෙන ලද්දේ, හත්ථිකුච්චි විහාරයේදීම බව සනාථ කෙරෙන බොහෝ  සාධක  සොයා  ගන්නට  හැකිවූ   බවය. “සිරිසඟබෝ  කතා  පුවත අත්තනගල්ලටත් සම්බන්ධ  වෙනවා, අනුරාධපුරයටත් සම්බන්ධ වෙනවා. ඒ නිසා හත්ථිකුච්චි විහාරයේ  ඇති  සෙල්ලිපි,  ස්මාරක, පුරාවිද්‍යාත්මක  නෂ්ටාවශේෂ,  මෙන්ම එහි වන සෞන්දර්යාත්මක හා කලාත්මක නිර්මාණත්, භූ භෞතික පරිසරයත් කියන සියල්ල පිළිබඳව ගවේෂණයක් කිරීමේ වුවමනාවක් කලක පටන් පැවතුණා. ඒ අනුවයි මේ ගවේෂණය කෙරෙන්නෙ.”

කුරුණෑගල ගල්ගමුව හරහා අනුරාධපුර රාජාංගණ පාරේ කිලෝමීටර හතළිස් අටක් පමණ ගමන් ගත් කල්හි හමුවෙන්නේ, ගස්කොළවලින් සෙවණ වූ, නිසංසල බිමකඩක්ය. ලාංකේය සංස්කෘතික උරුමයේ අභිමානය මෙන් ම ශ්‍රී ලාංකේය අභිමානවත් ඉතිහාසයේ එක් සුවිශේෂී පරිච්ජේදයක් ගැන  ලොවට කියාපාන ඓතිහාසික හත්ථිකුච්චි විහාරය අපට හමුවෙන්නේ එහිදීය. විහාර බිමේ රූස්ස ගස් මුදුන් මතින් ඉහළට දිස්වෙන්නේ මහා පරුවත රාජයෙකි. ඈතට එය  ඇතෙකු නිදාසිටින්නාක් මෙන් දිස්වේ. මේ වෙහෙර හත්ථිකුච්චිය නමින් ව්‍යවහාර වෙන්නේ ද එබැවිනි. මේ විශාල පර්වතය පුරා වන පර්වත ලිපි ගණන පනස් හයකි.

වසර ගණනාවක ඉතිහාසය අලුතින් ලියූ කතාවට වස්තුබිජ සපයන්නේ ද මේ පරුවත ලිපිය. ඉකුත් දෙදහස් දහහතරේදී මහාචාර්ය ආරිය ලගමුව, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යායේ රදාවානේ සුමංගල, ගල්වැවේ විමල කන්ති යන හිමිවරු ඇතුළු භික්ෂු විද්‍යාලයේ සංඝයාවහන්සේ විසිනමක් සමග එක් වී මුලින්ම අරඹන්නේ, මෙම සෙල්ලිපි ගවේෂණ ව්‍යාපෘතියයි. එදාමෙදා තුර  කාලයේදී  කිසිදු ස්ථානයකින් හමු නොවූ ආකාරයේ සුවිශේෂී සෙල්ලිපියක් ඔවුන්ට හමුවෙන්නේ එහිදීය.

“ක්‍රිස්තු වර්ෂ තුන හතර සියවස්වලට අයත් සේ සැලකිය හැකි මෙම සෙල්ලිපියෙන් සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් කතාව අනාවරණය කර තිබෙනවා.” මහාචාර්යවරයා පවසන්නේය.

ඔහු පෙන්වා දෙන පරිදි, එහි ඒ බව සඳහන් කර ඇත්තේ, “දසධරණි රදදි මෙසිර - සයක කහවිණි” යනුවෙනි. එහි අදහස වෙන්නේ, “සිය ශීර්ෂය දානය කළා වූ, ධරණි තලයේ දශ දිශාවට අධිපති වූ රජු වෙනුවෙන් කහවුණු සියයක දානයක් දී පින් අනුමෝදන කර ඇති” බවයි. මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි, මෙම සෙල් ලිපිය රචනා වෙන්නේ සිරිසඟබෝ රජුගෙන් පසුකාලයේදීය. ඒ ආකාරයේ වෙනත් සෙල් ලිපියක් වෙනත් කිසිදු ස්ථානයකින් හමු නොවෙන බව ද ඔහු පවසන්නේ ය.

එමෙන්ම වංශ  කතා, අට්ඨ කතා, සහස්සවත්ථුප්පකරණය, පූජාවලිය, රාජාවලිය, එළුඅත්තනුගල වංශය ආදියෙහි සඳහන් කාරණාද මෙම ගවේෂණයට ඉවහල් කරගෙන ඇත්තේය. මහාචාර්ය ආරිය ලගමුව පෙන්වා දෙන්නේ, මේ කෘති බොහොමයකම සිරිසඟබෝ කතා පුවත ගැන සඳහන් වෙන්නේ, හත්ථිකුච්චි විහාරයට සමීප කාරණා සමග බවය. ඊට “අත්තනගල්ල” යන නම ව්‍යවහාර කෙරෙන්නේ, “එළුඅත්තනුගල වංශයේ” පමණි. එහි ද “හත්ථිවන ගල්ල” යන  වචනය  “අත්තනගල්ල”  ලෙස   පරිවර්තනය  කර  ඇතත්, එය ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ලෙස ව්‍යවහාර කර නැති බවද ඔහු පෙන්වා දෙන්නේය. “ඒ නිසා අත්තනගල්ල කියන වචනය එතැනට යෙදිලා තියෙන්නේ පරිවර්තන දෝෂයක් නිසා කියල හිතන්න පුළුවන් කාරණාත් තියෙනවා.”

කෙසේ වෙතත්, හත්ථවන ගල වෙහෙර ගැන අවසන් වතාවට කරුණු සඳහන් වෙන්නෙ ක්‍රිස්තු වර්ෂ දහවන සියවසට පෙරදීය.  අනුරාධපුර රාජධානිය බිඳවැටීමත්, නිරිතදිග පෙදෙසට රාජධානී සංක්‍රමණය වීමත් හේතු කරගනිමින් පසුකාලීනව ඒ පිළිබඳව තොරතුරු කිසිවෙක සඳහන්  කර   නැත.  ඉන්  පසුකාලීනව  එනම් අධිරාජ්‍ය  පාලන  කාලයේදී  මේ  පෙදෙස හැඳින්වෙන්නේ, “රාජාංගණ වෙහෙර” ලෙසිනි. එය යළි “හත්ථිකුච්චි විහාරය” නමින් නම් ලබන්නේ, එක්දහස් නවසිය හැත්තෑ දෙක තරම් මෑත කාලයේදීය. ඒ, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර විසින් සොයා ගන්නා ලද සෙල්ලිපියක සඳහන් කාරණා අනුවය.

“ඒත් ඒක පැරණිම නම කියල හිතන්න බැරි, ඊට පෙර මේ සඳහා හත්ථවන ගල කියන නම ව්‍යවහාර වෙලා තියන නිසයි. මේ පර්වතය හඳුන්වා තිබුණෙ ඇත්කුස් පව්ව ලෙසින්. ඒ වගේම මේ ප්‍රදේශයේ ඇතා වැව කියල වැවකුත් තියෙනවා. අදටත් ගල්ගමුවෙ ඇත් රෑන් ඉන්නවා. වැවටත්, විහාරයටත් ඇත්තු එනවා. ඒ නිසා මේ විහාරයට හත්ථිවන ගල විහාරය කියන නම අර්ථාන්විතයි.” මහාචාර්යවරයා පවසන්නේ ය.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ, මේ ප්‍රදේශයේ පවතින භූ භෞතික පරිසරයේ ස්වභාවයද, සිරිසඟබෝ කතා පුවත ගැන කියැවෙන කාරණා සමග බෙහෙවින් සමපාත වන බවයි. ඉන් විශේෂිත වන්නේ, මෙහි වන ස්තූපය සහ බෝධි ඝරයයි. මහාචාර්ය ආරිය ලගමුව පවසන්නේ, එය ඝෝඨාභය රජු මේ ප්‍රදේශයේ ඉදි කළා යැයි බෞද්ධ සාහිත්‍යායේ සඳහන් වෙන ස්තූපයට සහ බෝධි ඝරයට බෙහෙවින් සමාන වන බවය. ඔහු පෙන්වා දෙන පරිදි එම බෝධි ඝරය      වෙනත් කිසිදු ස්ථානයක දක්නට නොලැබෙන ආකාරයේ බෝධි ඝරයකි. ගඩොලින් ඉදිකර ඇති මෙම බෝධිඝරය දිස්වෙන්නේ මිනී පෙට්ටියක හැඩයකිනි.

එහි එක් පසෙක වන ගල්කණුව, සිය ශීර්ෂය දන්දුන් සිරිසඟබෝ රජුගේ සිරුර එම ස්ථානයේ ආදාහනය කොට සාදන ලද ස්මාරකයක් ලෙස එය සැලකිය හැකි බව මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ය. “මෙම බෝධිඝරයෙ තිබෙන දොරටු දෙකෙන් එකක් විවර වෙලා තියෙන්නේ මේ ස්මාරකයට. ඒ නිසා මේ ස්මාරකයට විශේෂ අවධානයක් යොමු කර ඇති බවක් ඉන් හැඟවෙනවා.”


සිරිසඟබෝ රජ සිය හිස දන්දීමට සම්බන්ධ යැයි සැලකිය හැකි පර්වත රූප කිහිපයක්ම මේ ආශ්‍රිතව හමුවීම ඒ බව සනාථ කරවන තවත් සාධකයකි. ඉන් රූප දෙකක් කොටා ඇත්තේ පර්වත මුදුනේ ය. එහි එක් තැනක ඇති කුරුටු චිත්‍රයකින් දැක්වෙන්නේ, මිනිසෙක් හිසක් අතින් ගෙන දුවන ආකාරයකි. අනෙක් චිත්‍රයෙන්, ‍පොකුණක් අසල එක් පුද්ගලයෙකු බිම වැටී සිටින ආකාරයත්, තවත් අයෙක් එදෙස බලා සිටින ආකාරයත් සිතුවම් කර ඇත. මහාචාර්යවරයා පවසන්නේ, සිරිසඟබෝ රජ මිය ගිය පසු, ගෝඨාභය රජ එතැනට පැමිණි බව කියැවෙන කතා පුවත එම සිතුවමේ චිත්‍රණය කර ඇති බවයි. ඒ ආශ්‍රිත කෞතුකාගාරයේ වන කැටයම මේ සිදුවීම හා සමානව කැටයම් කර ඇත.

ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.