lakbima.lk

ස්ථාන මාරුවකින් කෙළවර වූ ජී. ටී. බොස්ගේ වැදි නැටුම

රජරට ගුවන් විදුලි සේවයේ 4 වන ප්‍රාදේශීය අධ්‍යක්ෂවරයා ලෙස 1983 වසරේදී පත්ව ආවේ මල්වානේ ජී. ටී. වික්‍රමසිංහය. ගංගොඩවිලඅප්පුහාමිලාගේ ටීකාදාස වික්‍රමසිංහ ඔහුගේ සම්පූර්ණ නම විය. රාජ්‍ය සේවා ඉතිහාසයේ වැඩිම ශාස්ත්‍රාලයීය සුදුසුකම් සපුරා සිටි අධ්‍යක්ෂවරයා ඔහු බව කීම අතිශයෝක්තියක් නොවේ.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ ආනන්ද විදුහලෙන් තම ද්විතීයික අධ්‍යාපනය නිමාකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විශ්ව විද්‍යාල  අධ්‍යාපනය හදාරා එහිදී මහාචාර්ය ලුඩොවයිස්, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර වැනි ඇදුරණ්ගෙන් නාට්‍යකරණය පිළිබඳවද ප්‍රාගුණ්‍යයක් ලබා පසුව “ඉන්ටනැෂනල් තියටර් ගෲප්” කණ්ඩායමට එක්වී ලයනල් වෙන්ඩ්ට්හි ඉංග්‍රීසි නාට්‍යවල විවිධ චරිත නිරූපණය කළ ජී. ටී. වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ලංකා කාර්යාලයේ වසරක පුහුණුවක්ද බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති මධ්‍යස්ථානයේ පුහුණුවක්ද ඕලන්ද ජර්මන් වැනි රටවල ප්‍රවෘත්ති මධ්‍යස්ථානයන්හි කෙටි කාලීන පුහුණුවීම් රැසක් ද  තම වෘත්තිය දිවියට එක්කරගත් ප්‍රවීණ සන්නිවේදකයෙකි.

එතෙක් රජරට සේවයේ සිටි අධ්‍යක්ෂවරුන්ට වඩා ජී.ටී. වික්‍රමසිංහ වෙනස් චරිතයක් විය. දැඩි රාජකාරී නීති රීතිවලට වඩා ඔහු තම කාර්යය මණ්ඩලයේ සුහද සහයෝගය කෙරේ විශ්වාසය තැබිය. රඹුටන් වාරයේ නිවාඩුවට මල්වානට යන ඔහු ආපසු කාර්යාලයට එන විට මල්වානේ තම රඹුටන් වත්තෙන් නියම පැණි රඹුටන් මල්ලක් රැගෙනවිත්, ඒවා කාර්යාලයේ සැමට බෙදා දෙන්නේ “මේ පාරත් මම මල්වානේ රඹුටන් කංකාරියක් තිබ්බා” යයි පවසමිනි. රඹුටන් අස්වැන්න අරබයා ඔහු තම ගමේ පවත්වන උත්සවය “රඹුටන් කංකාරියයි.”

මේ අපූරු මිත්‍රශීලී බව නිසාම කාර්යාලයේ බොහෝ අය “ජී.ටී. බොස්” යන සුහදශීලී ආමන්ත්‍රණයෙන් ඔහුව ඇමතීමට පුරුදුව සිටියෝය. රජරට සේවයේ වැඩසටහන් අතරට ජී. ටී. වික්‍රමසිංහ අපූරු ගුවන් විදුලි වැඩසටහනක්ද එක් කළේය. මහදැනමුත්තා සහ ගෝලබාලයන් පිළිබඳව නාට්‍යමය විචිත්‍රාගංයක් ලෙස සකස් වූ එහි පිටපත සකස් වුනේද ඔහු අතිනි. “දැන මුතු අන්දරය” නමින් එය සතිපතා ප්‍රචාරය විය. මහදැනමුත්තාගේ චරිතය ඔහු නිරූපණය කළ අතර ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, සෝමසිරි චන්ද්‍රසේන, සිරිසේන ඕපත්ඇල්ල, මහින්ද පතිරගේ, නාලක අංජන කුමාර ඇතුළු පිරිස සෙසු චරිත අතරට එක්විය. එහි තේමා ගීතය සකස් කළේ ගුණදාස කපුගේ විසිනි. දැනමුතු අන්දරය එකල රජරට සේවා ශ්‍රාවකයින් අතර ඉමහත් ප්‍රසාදය දිනාගත් වැඩසටහනකි.

රජරට සේවා පරිශ්‍රයේ ඉදිකළ එළිමහන් රඟහල විවෘත කිරීමේ උත්සවය යෙදී තිබුණේද ජී. ටී. වික්‍රමසිංහ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේදීය. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධාන කොට, එළිමහන් රඟහ‍ලේ විවිධ ප්‍රසංගයක්ද සූදානම් කෙරිණි. කොළඹ ප්‍රධාන කාර්යාලයේ ගුවන්විදුලි සභාපතිවරයා, අධ්‍යක්ෂ ජනරාවරයා සහ පාලන අංශයේ වගකිවයුතු නිලධාරීන් කිහිපදෙනෙක්ද ඒ සඳහා එක් වී සිටියහ. එදින සන්ධ්‍යාවේ රජරට සේවා එළිමහන් රඟහල විචිත්‍රව ආලෝකවත්ව තිබිණි.

ඇතුරු සිදුරු නොමැතිව ප්‍රේක්ෂක ජනතාවද එක් වී සිටි අතර ප්‍රසංගයේ විවිධාංග වරින් වර රජරට සේවයෙන්  සජීවීව විකාශනය කිරීමටද කටයුතු යොදා තිබිණි. නිවේදන කටයුතු පැවරී තිබුණේ බ්‍රැඩ්මන් ජයවීර හා ශ්‍රියාණි සමරනායකටයි. වේදිකා පරිපාලනය භාරව සිටියේ සිරිපාල රදම්‍පොලගමගේය.

ප්‍රසංගය ආරම්භ කිරීමට ටික වේලාවකට පෙර රදම්පලගමගේ හමුවූ “ජී. ටී. බොස්” පැවැසුවේ ප්‍රසංගය අතරට විනාඩි පහක පමණ විශේෂ රංගනයක් ඇතුළත් කරන ලෙසයි. එය ගීතයක් පසුබිමින් වාදනය වීමේදී ඉදිරිපත් වන රංගනයක් ලෙසත් ඔහු පැවැසීය.

“කවුද සර් දැන් රංගනය ඉදිරිපත් කරන්නේ?” රදම්‍පොල ඇසීය.
“හරි හරි ඒකට කෙනෙක් ඉන්නව ඔයා ඒ අයිටම් එක දාන්නකො මම එනවුන්සර්ලව දැනුවත් කරන්නං” ජී. ටී. බොස් පැවැසීය.
“ඒත් සර් මෙතන ටයිම් ෂෙඩුල් එකක් තියෙන්නේ අමුතුවෙන් ඒව දාන්න ගියොත් අවුලක් වෙයිද?” රදම්‍පොල එහෙම කිව්වත් ‘ජී. ටී’ බොස්ට”  ගාණක් නැත. “හරි බං මමනෙ කියන්නෙ. ඔන්න ඕකදාපං ‍ප්‍රෝගෑම් එකේ අන්තිම හරියෙ.” “ජී. ටී. බොස්ගෙ“ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වූ තැන රදම්‍පොල, බ්‍රෑඩ්මන් හා ශ්‍රියාණී සමග එක්ව එම විශේෂ රංගනය ප්‍රසංගයට එක් කළේය.

සරස්වතී පූජා නර්තනයකින් ආරම්භ වූ ප්‍රසංගයට ගීත ගායනා කෙටි නාට්‍ය අංග හා කවි ගායනා ඇතුළත් විය. ඒ අතර ජී. ටී. බොස් විසින් ඇතුළත් කරන ලද විශේෂ රංගනයට වාරය පැමිණියෝය.

මීළඟට විශේෂ රංගනයක්. මේ අපේ ආදිවාසීන්ගේ රංගන විලාශය රජරට සේවා එළිමහන්  රඟහලට එක්වෙන අපූරු අවස්ථාවක්. මෙය ඉදිරිපත් කරන ශිල්පියා හැකිනම් හඳුනා ගන්න” බ්‍රැඩ්මන් ජයවීරගේ එම නිවේදනයත් සමග පසුබිමින් වාදනය වූයේ “කුරුල්ලනේ වරෙල්ලා” ගීතයයි. එක්වරම වේදිකාවට ආවේ. හැඩපලු කොණ්ඩයක් සහිත, මුහුණපුරා කළු සායම් තවරා, නිරාවරණය වූ උඩුකයේද කළු පැහැ තවරාගත් අයෙකි. ඔහුගේ ඉණ පෙදෙසින් පහළ ආවරණය වී තිබුණේ කොළ අතු වලිනි.

කුඩා ‍පොරෝ කෙටියක්  වැනි දෙයක් වනමින්, වේදිකාව පුරා දුවපනිමින් ඔහු ගීතයට අනුව රංගනය ඉදිරිපත් කරයි. නරඹන්නන්ගෙන් ඔහුට උණුසුම් ප්‍රතිචාර එක්විය. අත්‍පොළසන් හඬ, විසිල් හ¾ඩින් ප්‍රේක්ෂකාගාරය පිරී ගියේය. ප්‍රේක්ෂකාගාරයේ ඉදිරිපෙළේ අසුන්ගෙන සිටියේ එවකට ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ඒමන් කාරියකරවන සහ කෙටි කලක් අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූ ටී. ජී. ගුණසේකරයි. ඔහු එකල දැඩි නීතිරීති ක්‍රියාත්මක කළ ප්‍රධානියකු ලෙස ප්‍රකටව සිටි කෙනෙකි.
                
ඒමන්කාරියකරවන සභාපතිවරයා දෙසට නැඹුරුවූ ටී. ජී. ගුණසේකර එසේ ඇසීය.
සභාපතිවරයා නොසැලකිල්ලෙන් මෙන් එසේ කීවද ඔහුට යමක් වැටහි තිබිණි. කෙසේ වෙතත් පැරණි කෝන්තරයක් ටී. ජී. ගුණසේකර හා ජී. ටී. වික්‍රමසිංහ අතර තිබූ බවකුත් ඔහුට සිහිවිය. රාත්‍රී 10.00ට පමණ බොහෝ දෙනාගේ ප්‍රශංසාව මධ්‍යයේ ප්‍රසංගය නිමා විය.

පසුවදා කාර්යාලයේ සැමගේ කතාබහ විශේෂයෙන් යොමුවූයේ ප්‍රසංගයේ “වැදි නැටුමයි“
“ජී. ටී. බොස් නියම වැද්දෙක්වගෙයි නැටුවෙ.”
“හැමෝගෙන්ම මාර චියර් එක ආවෙ ජී. ටී. බොස්ගෙ වැදි නැටුමට”  සමහරු එසේ කියද්දී අධ්‍යක්ෂ ජනරාල්වරයා, සභාපතිතුමා සමග ජී. ටී. බොස්ට නොසෑහෙන්න දෙහි කැපුවේය. ප්‍රසංගය අවසන් වීමට පෙර අධ්‍යක්ෂ ජනරාලවරයා වැදි නැටුමෙ නළුවාව හඳුනාගෙන තිබිණි.

“මේ යකාට පිස්සුද මන්ද .... අපි ජී. ටී. ව රජරට සේවයේ අධ්‍යක්ෂ කරලා එව්වෙ ඇඟ පුරා දැලි ගාගෙන  කොළ අතු එල්ලගන නටන්නද සභාපතිතුමා?” ඔහු ඒමන් කාරියකරවනගෙන් ඇසීය. අනික ඔහොම නටපුවාම කොහොමද තමන්ගෙ සේවකයො, නිලධාරීන්ව පාලනය කරන්නේ? තමන්ගෙ තනතුර ගැන හිතන්න තිබුණ නේද මේ වගේ විගඩං කරන්න කලින් ....”

“ඒක නං ඇත්ත මිස්ටර් ගුණසේකර. ඒ වුණත් ඉතින් ජී. ටී. කියන්නෙ හොඳ කලාකාරයෙක්නෙ. මිනිහ හොඳ නළුවෙක්. ලයනල් වෙන්ඩට්වල නාට්‍ය කරලත් තියෙනව. වෙදහටන, හිත හොඳ අම්මණ්ඩි, කපුවා ක‍පෝති, නැට්ටුක්කාරි, නිදිකුම්බා වගේ වේදිකා නාට්‍යවලත් ජී. ටී. රඟපාල තියෙනව. අනික ෆිල්ම්ස් කීපයකත් රඟපාල තියෙනව. එන්ටර්ටේනිං .... ප්‍රෆෝමන්, පැත්තෙන් ටිකක් හිතල වෙන්න ඇති එහෙම නැටුවෙ.”

ජී. ටී. බොස්ව බේරගන්න .... සභාපතිවරයා එහෙම උත්සහ කළත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා සිටියේ නොසතුටිනි.
“ඔහොම වැදි නැටුම් නටන්නනං ඉතින් එයාව දඹාන පැත්තෙ ප්‍රාදේශීය සේවාවක් ඕපන් කරල ඒකෙ අධ්‍යක්ෂ කරල යවමු. එතකොට පුළුවන්නෙ ෆුල්ටයිම් ම වැද්දොත් එක්ක නටන්න ....”

ටී. ජී. ගුණසේකර එහෙම කියල නිශ්ශබ්ද වුණත්, ජී. ටී. - වික්‍රමසිංහට 1984 වන විට රජරට සේවයෙන් නික්මෙන්නට සිදුවිය. සේවා කාලය සම්පූර්ණ වූ නිසා මාරුව ලැබුණු බව සඳහන් වුණත්, ඇතැම්දෙනා පැවැසුවේ ජී. ටී. බොස්ගේ වැදිනැටුම සේවා මාරුවට හේතු වූ බවයි.

රන්ජිත් රූපසිංහ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.