lakbima.lk

ශ්‍රී ලංකා-ඉන්දියා බැතිමතුන් එකට වැඳ වැටෙන කච්චදූව

එය ඵලක් ඇති පලක් වැලක් නොවැවෙන වැලි කතරක් වැනි බිමකි. මුදුන් මුලක් ‍පොළව ඇතුළට කිඳා නොබසින අතු පතර විහිදා අහස උසට දලුලන මහා වෘක්ෂයක් නොමැති කටු පඳුරු පමණක් ඇති බිමකි. බිමට දිය බිඳක් සොයා ගත නොහැකි බිමකි.

එහෙත් එය දෙරටක් අතර යුද ප්‍රකාශ කර ගන්නට තරම් වූ වටිනා කමක් තිබූ බිමකි. විශාල දේශපාලන ඉතිහාසයක් නිර්මාණය කළ බිමකි.

කච්චතිව් නැත්නම් කච්චදූව නමින් ලාංකිකයන් අතර ප්‍රකට එම භූමියේ වර්ග ප්‍රමාණය අක්කර දෙසීය අසූ පහකි. නැතිනම් වර්ග කිලෝමීටර 1.15කි.

මෙකී කච්චදූව ශ්‍රී ලංකාවට අයත් භූමියේ කොටසකි. ඒත් කලක් එය පාලනය වූයේ ඉන්දියාව අතිනි. කලින් කී පරිදි මීට දශක කීපයකට  ඉහතදී ඉන්දියාවත් ලංකාවත් අතර යුද්ධයක් ඇතිවන තැනට පවා නොහොඳ නෝක්කාඩුවක් ඇති වූයේ මේ වැඩකට නැති අක්කර දෙසීය අසූ පහක වැලි දූපත නිසාය.

ඉන්දියානු මුහුදු සීමාවට කිලෝමීටර් දෙකක් තරම් ආසන්නයේ පිහිටා ඇති කච්චදූවට ලංකාවේ කන්කසන්තුරයේ සිට දුර නාවික සැතපුම් හතළිස් පහකි. ඉන්දියාවේ රාමේෂ්වරම් සිට නාවික සැතපුම් දාහතරකි.

රාමේෂ්වරම්වලට නැගෙනහිරින් හා ලංකාවේ ජනාවාස වූ අවසන් දූපත වන ඩෙල්ෆ්ට් දූපතට නැගෙනහිරින් වූ කච්චදූවට ඩෙල්ෆ්ට්වල සිට දුර සැතපුම් දහ තුනකි දූපතේ පරිපාලනය අයත් වන්නේද ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ‍ලේකම්වරයාටය. ඒත් ජන ජීවිතයක් නැති එහි පරිපාලනය කරන්නට දෙයක් නැති තරම්ය. දූපතේ උතුර, දකුණ හා බටහිර සුදු වැලිතලාවය. තැනින් තැන කුඩා කටුපඳුරුය. නැගෙනහිර කෙළවර ගල්පරය.

මිනිස් වාසයක් නැති මේ බිමේ ඇත්තේ ශ්‍රී ලංකා නාවුක හමුදාවේ කුඩා කඳවුරක් හැර තවත් එක් ස්ථීර ගොඩනැගිල්ලක් පමණි. ඒ ශාන්ත අන්තෝනි මුනිද්‍රයන්ට කැපවූ දේවස්ථානයයි. අද මුළු ලෝකයේම ඇස කච්චතිව් දෙස බලන්නේ මෙකී දේවස්ථානය නිසාය.

කච්චතිව්හි ශාන්ත අන්තෝනි මුනිද්‍රයන්ගේ දේවස්ථානය ඉදිකිරීම සඳහා මුල් වී ඇත්තේ ‍පොන්චි අන්තෝනි නැමැත්තෙකු බව කියැවේ. හෙතෙම ඩෙල්ෆ්ට් දූපතේ වැසි ධීවරයෙකි. හෙතෙම තවත් හිත මිතුරු ධීවරයන් දෙදෙනකු සමග මසුන් මැරීම සඳහා මුහුදු ගිය අවස්ථාවකදි මහා කුණාටුවකට හසු වී ඔරුව මුහුදුබත් විය. ඔවුන් ගසා ගෙන ගියේ අසල පිහිටි මිනිස් වාසයකින් තොර වැලි දූපතකටය. ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි ධීවරයෝ ශාන්ත අන්තෝනි මුනිද්‍රයාණන්ට යාච්ඤා කළෝය.

තමන් මරණයෙන් බේරා නිරුපද්‍රිතව ගම් බිම් කරා යාමට වාසනාව ලබාදුනහොත් ශාන්ත අන්තෝනි මුනිද්‍රයන් වෙනුවෙන් මෙහි පල්ලියක් ඉදිකරන බවට භාර වූහ. දින තුනකට ඇවෑමෙන් කුණාටුව පහව ගියේය. ධීවරයෝ තිදෙන යළි ගම්බිම් බලා පීනා ගියහ. පසුව භාරවූ තිදෙනාගෙන් ‍පොන්චි අන්තෝනි පැමිණ මෙහි ශාන්ත අන්තෝනි මුනිද්‍රයන් වෙනුවෙන් කුඩා දේවස්ථානයක් ඉදි කළ බව කියැවේ. අද දේව මෙහෙය සඳහා ඉන්දියාවෙන්ද ලංකාවෙන්ද බැතිමතුන් දහස් ගණනක් පැමිණෙන්නේ එකී දේවස්ථානයටයි.

සෑම වසරකම කච්චතිව් මංගල්‍යය පැවැත්වෙන්නේ මාර්තු මාසයේ මැද භාගයේදීය. මෙවරද එය පැවැත්වූයේ පසුගිය 16 වැනිදාය. ඊට සහභාගි වීම සඳහා මෙවර ඉන්දියානු බැතිමතුන් 2100 ක් හා මීගමුව, හලාවත, කොළඹ, වැලිවේරිය හා යාපනය යන පළාත්වලින් ශ්‍රී ලාංකික බැතිමතුන් 6500ක් පමණද සහභාගි වූ බව දූපත පාලනය කරන නාවුක හමුදාවේ වාර්තා සඳහන් කරයි.

පුරා තිස්වසරක් පැවැති යුද සමයේදී කච්චතිව් මංගල්‍යය පැවැත්වූයේ යාන්තමිනි. ඒත් සටන් විරාම සමයේදීත් 2009 යුද්ධය අවසන් වූ පසුත් එය බැතිමතුන් දහස් ගණනක් සහභාගි වන මංගල්‍යයක් විය. ඒත් මේ යුගයේදීත් තිබුණේ අබලන්ව දිරාගිය දේවස්ථානයකි.

2016 වසරේ කච්චතිව් මංගල්‍යයට සහභාගි වූ එවකට නාවික හමුදාපතිවරයා වූ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන හමුවේ යාපනය දියෝකිසිය භාර අගරදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රගාසම් පියතුමා  නව දේවස්ථානයක අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඒ අනුව නාවික හමුදාව කච්චතිව්හි පැරණි දේවස්ථානය තිබුණ තැනම නව දේවස්ථානයක් ඉදිකිරීම ආරම්භ කළේය. ඒ සඳහා මුල්ගල තැබුණේ 2016 මැයි 09 වැනිදාය. ඒ වසරේම දෙසැම්බර් 23 වැනිදින දේවස්ථානයේ වැඩ නිමකර යාපනය දියෝකිසියට භාර දුන්නේය.

පසුගිය 16 වැනිදා පැවැත්වූයේ එසේ අලුතින් ඉදිකළ දේවස්ථානයේ තුන්වැනි දේව මෙහෙයයි.
යාපනය අගරදගුරු ජස්ටින් ඥානප්‍රගාසම් පියතුමන්ගේ  ප්‍රධානවත්වයෙන් පැවති මෙවර දේව මෙහෙය දෙමළෙන් මෙන්ම සිංහලෙන්ද පැවැත්වීම විශේෂත්වයක් විය.

මෙවර දෙමළ දේව මෙහෙය ඉන්දියාවේ සිට පැමිණි ලුර්දුරාජ් පියතුමන් විසින්ද සිංහල දේව මෙහෙය රොබින්සන් වීරසිංහ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්ද සිදු කෙරිණි.

මෙවර දේව මෙහෙය සඳහා විශේෂිත ආරාධිතයන් ලෙස ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන, නාවුක හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, උතුරේ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ යාපනය දිස්ත්‍රික්කයේ ඉන්දියානු කොන්සල් ජනරාල් එස්. බාලචන්ද්‍රන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.

මාධ්‍යවේදීන්ට මෙම උත්සවය වාර්තා කිරීම සඳහා එහි යාහැකි වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ අනුග්‍රහය යටතේය. ඒ සඳහා කමාන්ඩර් ඩී. එෆ්. ඒ. තෝමරත්න, කන්කසන්තුරයේ සිට අප එහි රැගෙන ගිය ප්‍රතාප නැවේ කමාන්ඩර් අණදෙන නිලධාරී ප්‍රසාද් විතානගේ ආදීහු සෘජු දායකත්වය සැපයුවෝය. කන්කසන්තුර ජැටියේ සිට ගමනට ගතවූ කාලය පැය හතරහමාරකි.

පාන්දර 2.30 ට නැව් නැගි අප උදේ හතට පමණ කච්චදූවට ගොඩබැසීමු.
දේව මෙහෙය සඳහා ලංකාව, ඉන්දියාව දෙරටින්ම බැතිමතුන් පැමිණෙන්නේ ඊට පෙරදා සිටමය. ඒ දින දෙක සඳහා දූපත වෙනම පරිපාලන ඒකකයක් බවට පත්වන්නේය. ඒ දින දෙක සඳහා වෙනම ‍පොලීසියකි, වෙනම අධිකරණයකි, වෙනම රෝහලකි, වෙනම බැංකුවකි, ආගමන විගමන කාර්යාලයකි.

මේ දෙදින සඳහා ඉදිවුණ තාවකාලික මඩු කූඩාරම්ය. තාවකාලික වැසිකිළි පද්ධතියකි. මෙවර උත්සවය සඳහා නාවික හමුදාව විසින් වතුර ලීටර් ලක්ෂ පහක් පමණ කන්කසන්තුරේ සිට කච්චදූවට ගෙන ගොස් තිබුණි. ඒත් එහි අඩුම වතුර සහ වැසිකිළි පහසුකම් බව එහි එන බැතිමත්හු කියති.

ඉන්දියාවේ, තමිල්නාඩුප්‍රාන්තයේ වේලක්කන්නි සිට පැමිණි වර්ගීස් කියා සිටියේ “ගෑනු අය  එක්ක එන්න බැරි වැසිකිළි පහසුකම් වල අඩුව නිසා බවයි.”

ඔහු මීට ප්‍රථම දෙවතාවක්ම කච්චතිව් මංගල්‍යය සඳහා සහභාගි වී ඇත්තෙකි. “මම මේසන් වැඩ කොන්ත්‍රාත් අරගෙන කරන්නේ අන්තෝනි මුනිතුමා ගැන මට විශ්වාසයි. ගිය අවුරුද්දේ ආපු වෙලාවේ මම භාරයක් වුණා. අපේ නෝනට රස්සාවක් ලැබෙන්ට කියල පුදුමෙ කියන්නේ මාස තුනක් ගිය තැන එයාට ආණ්ඩුවේ රස්සාවක්ම ලැබුණා. ඒක නිසා මම මේ වතාවේ භාරෙ ඔප්පු කරන්න.

ළමයි දෙන්නයි නෝනයි තුන් දෙනාම අරගෙන ආවා.” ඔහු කියන්නේය. ඒත් ලබන වතාවේ නම් බිරිඳ රැගෙන නොඑන බවද ඔහු කියයි. ඒ ඉහත කී දුෂ්කරතාව නිසාය.
දූපතේ ඇවිදීමේදී පාරෙන් ඉවතට අඩි තැබිමේදී ප්‍රවේසම් විය යුත්තේ මේ වැසිකිළි කැසිකිළි ප්‍රශ්නය නිසාය. දින දෙකක උත්සවයකින් පසු බැතිමතුන් දූපතෙන් යන්නේ සති ගණනකට “සුවඳ” ඉතිරි කරමිනි.

මාළු ව්‍යාපාරිකයෙකු වන දෙමටගොඩ රොබට් ඩෙන්සිල්ද සෑම වසරකම කච්චතිව් මංගල්‍යයට සහභාගි වන්නෙකි. ඔහු කච්චදූවට පැමිණ තිබුණෙ යාපනේ කුරිකට්ටවාන් හි සිට පැය පහක බෝට්ටු ගමනකිනි. ඒ සඳහා ඔහුට බෝට්ටුවට එක ගමනකට රුපියල් 350ක් ගෙවිය යුතුය. ඒත් ඉන්දියාවේ සිට එන බැතිමතෙකු රුපියල් දහසක් ඒ සඳහා ගෙවිය යුතුය.

රොබට් ඩෙන්සිල් කියන්නේද එකම අපහසුව වැසිකිළි කැසිකිළි පහසුකම් බවය. “මේ පාර ඉන්දියාවෙන් ආපු අය හුඟක් අඩුයි. හේතුව ඕක තමයි” ඔහු කියා සිටී. ආපහුු කුරිකට්ටවාන්  වලට ගියාම ඉස්සරලාම කරන්නේ ලොජ් එකකට ගිහින් නාගන්න එකයි” ඔහු කියයි.

ඒ කෙසේ වෙතත් ලංකාවේ මෙන්ම ඉන්දියාවේද සිට මේ සඳහා වෙළෙඳුන් පැමිණ සිටියහ. ඒ දින දෙකක් සඳහාය. ඔවුන් සියලු දෙනාම කියන්නේ බිස්නස් වරදක් නැති බවයි ජංගම වෙළෙඳුන් පමණක් නොවන මේ දින දෙක සඳහා ඉන්දියාවේ සිට හිඟන්නන්ද පැමිණ සිටියහ. දින දෙකේදී ඔවුන්ගේද ආදායම සරුය. මෙහිදී ලාංකීය හිඟන්නන් හා ඉන්දීය හිඟන්නන් වෙන් කර හඳුනා  ගැනීම ද අපහසු නොවීය. ඒ ලාංකීය හිඟන්නන් ළඟ වැඩිපුර ලංකා රුපියල්ද ඉන්දීය හිඟන්නන් ළඟ වැඩිපුර ඉන්දීය රුපියල්ද එකතු වී තිබූ බැවිනි.

කයිට්ස් දූපතේ රෝහල කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ ජංගම රෝහලක්ද එහි විය. නිරන්තරයෙන්ම එය සෙනඟින් පිරී තිබුණි. සියල්ල අවසානයේ බඩු ‍පොදිබඳින එහි සේවකයෙකු ගෙන් දැන ගත හැකි වූයේ 15/16 දින දෙකේදී තුන් දහසක් දෙනා එයින් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි. එයින්ද බහුතරය ඉන්දියානුවන්ය.

කෙසේ වෙතත් ඉන්දිය හා ලාංකික බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සපයන්නේ පෙරකී පරිදිම ශ්‍රී ලංකා නාවික හමුදාවයි. මෙවර ඔවුන් මේ වෙනුවෙන් වැඩ පටන් ගන්නේ පෙබරවාරි මාසයේ 17 වැනිදාය. මුලින්ම ඒ සඳහා නිලධාරින් විසි  දෙනෙකු එහි ගිය අතර උත්සවය පටන් ගන්නා විට එහි සිටි නාවුක හමුදා සාමාජික සාමාජිකාවන් ගණන පන්සියයක් පමණ වූහ.

කච්චදූව ලංකාවට ලැබුණ හැටි

ඉන්දීය මුහුදු සීමාවට පෙනෙන සීමාවේ එහෙත් ලංකාවට අයත් කච්චතිව් දූපත ලංකාව සතු වඩාත් කතා බහට ලක්වූ දූපතයි.

ඉතිහාසයේ කියන පරිදි කච්චතිව් දූපත මුලින්ම සොයාගත්තේ 1605 වැනි කාලයකදී ඉන්දියාවේ රමානාදන් පුර (පසුව මදුරාසිය) පාලනය කළ සේතුපති නම් අධිරාජ්‍යයා විසිනි. එතැන් සිට කච්චතිව් දූපත පැවැතියෙ ඉන්දීය පාලනය යටතේය.

ඉන්දියාවත්, ලංකාවත්, බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව තිබූ සමයේ දූපත පිළිබඳව කිසිදු ප්‍රශ්නයක මතු නොවුණත් මෙම කුඩා වැලි දූවේ අයිතිය පිළිබඳ ප්‍රශ්න මතුවූයේ ඉන් පසුවය. ඒ කෙසේවෙතත් දෙවන ලෝක යුද සමයේදී මිත්‍ර හමුදාව නාවුක වෙඩි අභ්‍යාස මෙම දූපතේ පැවැත්වීම සඳහා ලංකාවේ ආණ්ඩුකාරයාගෙන් නියෝග ලබාගෙන ඇත්තේය.

මෙම දූපත රටවල් දෙකටම හිසරදයක් වූයේ මෙය දෙරට අතර හොරබඩු ජාවාරමේ හුවමාරු මධ්‍යස්ථානයක් වීම නිසාය. ඒ නිසා දෙරටටම ලැබිය යුතු  විශාල බදු මුදලක් අහිමි වී ගියේය.

1965-66 යාපනයේ ආණ්ඩුවේ ඒජන්තගේ වාර්තාවේ හැටියට සෑම වසරකදීම මාර්තුවේ මෙම දූපත හොර බඩු ජාවාරමුන්ගේ හුවමාරු මධ්‍යස්ථානයක් වන්නේය. මේ කාලයේදී ඉන්දියාවේ සිට තඹ හා පිත්තල බඩු, සාරි, සරොම් ආදියත් හොරෙන් ගෙනෙන අතර ලංකාවෙන් සීනි, ටින්මාළු, අරක්කු, විදුලි පන්දම්, බැටරි ආදිය රැගෙන යන බවද එහි සඳහන්ය. අනිත් ප්‍රශ්නය වූයේ කල්ලතෝනින්ය.

1965 වසරේදී ‍පොලීසිය කච්චතිව්හිදී හොරෙන් එන්නන් (කල්ලතෝනි) 148 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ නිසාම මේ කුඩා දූපතේ අයිතිය පිළිබඳව ඉක්මන් තීරණයක් ගත යුතු බවත් එම වාර්තාවේ සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් මෙම දූපත ලංකාවට පවරාදීමේ මුල් අඩිතාලම වැටුණේ 1964 දී සිරිමා ශාස්ත්‍රි ගිවිසුම යටතේය.

ඒත් 1965 සිරිමා බණ්ඩාරනායක  රජය පරාජය වීමත් සමගම ඒ ප්‍රයත්නය යට ගියේය. එය නැවත කරළියට ආවේ 1974 ජනවාරියේදීය. ඒ ලංකා අගමැතිනි සිරිමා බණ්ඩාරනායක හා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි අතරය. ඒ අනුව ඒ වසරේ ජුනි 26 වැනි බදාදා ඉන්දියාව ගිවිසුමක් මගින් මෙම දූපත ලංකාවට පවරා දුන්නේය.

එහෙත් කච්චදූව ලංකාවට පවරා දීම ගැන එවකට තමිල්නාඩු මහ ඇමැතිවරයාව සිටි මුතුවෙල් කරුණානිධි කැමැත්ත දැක්වූයේ නැත. ඒ විරෝධතාවය හමුවෙ ඉදිරාගාන්ධි අගමැතිනිය කොන්දේසි දෙකකට යටත්ව දූපත ලංකාවට පවරා දුන්නාය.

ඒ තමිල්නාඩු ජනතාවට ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍යය සඳහා දූපතට පැමිණීමට ඉඩ ලබා දීම සහ ධීවර කටයුතු සඳහා දූපතේ ඉඩ ලබා දීමයි.

දූපත ලංකාවට පරවා දීමෙන් වසර තිස් හතරකට පසු එනම්2008 දී තමිල්නාඩු මහ ඇමැතිනිය වූ ජෙයලලිතා ජයරාම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් කියා සිටියේ ඉන්දිරා ගාන්ධි කච්චදූව ලංකාවට ලබාදී ඇත්තේ නීති විරෝධීව  බවයි. ලංකා රජයේ ප්‍රතිචාරය වූයේ දූපත ගැන තීන්දු දීමේ අයිතිය ඉන්දීය අධිකරණයට නොමැති බවයි.

කෙසේ වෙතත් ජෙයලලිතාගේ විරෝධය හමුවේ එදා ඉන්දීය නීතිපති වූ මුකුල් රොහාන් ජී කීවේ දූපත යළි අවශ්‍ය නම් ලංකාව සමග යුද වැදිය යුතු බවයි. එසේම දුන් දෙයක් යළි ගැනීමේ සිරිතක් තම රටට නැතැයි කී ඉන්දීය අධිකරණය ජෙයලලිතාගේ විරෝධය පසෙකට කළේය.

කච්චදූවේ ලංකා ධජය තවමත් ලෙලදෙන්නේ ඒ අනුවය.

ඡායාරූප - මංජුල පෙරේරා

උපාලි තිලකරත්න

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.