lakbima.lk

බෝම්බයෙන් නතර කෙරුණ රෝද තුනේ චාරිකාව

 

බොරැල්‍ලේ සිට ග්‍රෑන්ඩ්පාස්හි පිහිටි 'ලක්බිම' කාර්යාලයට පැමිණීමට ත්‍රිරෝද රථයකට නැගි මම රියැදුරු හා ‍පොඩි කතාබහකට මුල පිරුවෙමි.

“කොහොමද මේ දවස්වල ආදායම් තත්ත්වය... හයර් එහෙම හරියකට නැති පාටයි නේද?

කතා කරල වැඩක් නෑ මහත්තයෝ වැ‍ලේ වැල් නෑ. ඊයේ දවසට රුපියල් 1000 ක් හොයාගන්න බැරිවුණා. ඊයේ විතරක් ‍නෙවෙයි බෝම්බ ගැහුවට පස්සේ දිගටම එහෙම තමයි. රුපියල් 1000 ක් හොයල මක් කරන්නද? වාහනේට දවසට 400 ක් දෙන්න ඕන. අපිට හයර් නැහැ කියල නැහැනේ අයිතිකාරයාගේ ගාණ දෙන්න එපායැ.”

ඔහු පැවැසූ පරිදි ඔහුගේ සාමාන්‍ය ෙදෙනික ආදායම රුපියල් 4000 ක්වත් වේ. ඉන් රුපියල් 400 ක් රථයේ හිමිකරුට දිය යුතුය. දිනකට රුපියල් දහසක, එක්දහස් දෙසීයක මුදලක් ඉන්ධන සඳහා වියදම් වේ. ඔහුට පාසල් යන වසයේ දරුවන්ද දෙදෙනෙකි. බිරිඳ රැකියාවක් කරන්නේද නැත. රෝගී මව සිටින්නේද ඔහු ළඟය. ඇයගේ බෙහෙත් හේත් සඳහාද වියහියදම් තිබේ. ගෙදර දොරේ වියදම් ඇතුළු මේ සියල්ල ඔහු කරමින් සිටියේ අතේ ඉතිරි වන  රුපියල් දෙදහස් පන්සියයක් තරම් මුදලින්ය.

“මේ දවස්වල නම් දරුවෝ ඉස්කෝ‍ලේ යන්නෙත් නැහැ පන්ති යන්නෙත් නැහැ. ඒ නිසා ඒවට වියදමක් නැහැ. ඒත් අපි පස් දෙනෙක්ගේ කෑම බිම, අම්මාගේ බේත් හේත් මේ ඔක්කොම දවසට 1000 ක් හොයල කරන්න පුළුවන්ද? රුපියල් 400 ක් අයිතිකාරයට දෙන්න ඕන. මේ බෝම්බ ගැහිල්ලෙන් පස්සේ දවස් දහයක්වත් ඒ සල්ලි දීල නැහැ. ඒකත් දවසින් දවස වැඩි වෙනව. අම්මට ඕන බෙහෙත් ටික ගන්න එකත් අමාරු වේගෙනයි එන්නේ. අපි පුදුම අමාරුවක වැටිල ඉන්නේ මහත්තයෝ.”

බෝම්බ ප්‍රහාරවලින් සීරීම් තුවාලයක්වත් නොවුණද බෝම්බ නිසා ආර්ථිකය කඩා වැටීම නිසා ජීවිතය බිඳ වැටුණු මිනිසුන් බොහෝය. කොළඹ නගරයේ ඔබ මොබ දුවමින් එදිනෙදා ජීවිකාව සරිකරගත් ලක්ෂ ගණනක් ජනතාව මේ වෙද්දී ඒ අනතුරට මුහුණ දී අවසන්ය. ඉන් වැඩිම පිරිස වන්නේ ත්‍රිරෝද රථ රියැදුරන්ය.

“මම මේ වැඩ ඉවර කරල ඇවිත් ගෙට ගොඩවුණ ගමන්. නෝනටයි පුතාටයි කිව්වේ අපි කන බොන දේවල් එහෙම ටිකක් අර පරෙස්සමට සීමාවක් ඇතුව කරමු කියලයි. නැත්නම් මේ තියෙන ණය තුරුස් ගෙවාගෙන ෆිනෑන්ස් එකත් ගෙවාගෙන ජීවත් වෙන්න දැන් ලැබෙන ආදායම මදි.”

අපත් සමග එසේ කතාබහට එක්වූයේ කොළඹ නගරයේ ප්‍රධාන ත්‍රිරෝද නැවතුම් ‍පොළක දශක කිහිපයක් තිස්සේ තම සේවාව සපයන ත්‍රිරෝද රථ රියැදුරෙකි.

“අපි කාගෙන්වත් කඩා වඩා ගන්නෙත් නැතුව, කාටවත් බරක් වෙන්නේ නැතුව ජීවත් වුණ මිනිස්සු. අද අපේ දරුවන්ට කෑම බිම පවා පාලනය කරන්න කියල කියන්න සිද්ධ වෙලා. වෙනද දවසට හම්බුකරපු මුදලින් දෙකෙන් පංගුවක්වත් තවම දවසකට හම්බු කරන්න බැහැ. බෝම්බ පුපුරල සති තුනක් වෙනව දැන්. කවද මේ තත්ත්වෙන් ගොඩ ඒමක් තියේද කියල කියන්න දන්නැහැ.  එහෙන් ලීස් එක හිර වෙනව. ගෙවල් දොරවල් හදන්න ගනිපු ණය වාරික හිර වෙනව. මෙහෙම ගියොත් අපිටත් මැරෙන්නයි සිද්ධ වෙන්නේ.”

බෝම්බ පිපිරීමත් සමග කඩා වැටුණු කොළඹ ආර්ථිකය තමන්ගේ ජීවිතයට බලපා ඇති අයුරු ඔහු නොනැවතීම කියාගෙන යයි.

“මේ සිද්ධිය වෙන්න කලින්, දවසට ෆොරිනර්ස්ල හතර පස් දෙනෙක් අපි එක්ක ගමන් යනව. ගංගාරාමය, වික්ටෝරියා පාක් එක, නිදහස් චතුරස්‍රය, ලයිට් හවුස් වගේ තැන් ටික පෙන්නල පැය දෙක තුනක ටුවර් එකක් ගියාම රුපියල් 3000 ක් විතර ඒකට ලැබෙනවා. ඒ බිස්නස් දවස ගාණෙම තිබුණ බිස්නස්. බෝම්බ පිපිරීමෙන් පස්සේ ඒ බිස්නස් එහෙමම නැතුව ගියා. හිතන්නකෝ දවසේ ආදායමෙන් රුපියල්   3000ක් විතර එක පාරටම හැමදාම නැති වෙනව කියන්නේ අපි ජීවත් වෙන්නේ කොහොමද කියල.

කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස නගර ආශ්‍රිතව ජීවිකාව කරනා ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝමයක් තම ෙදෙනික ආදායමෙන් සැලකිය යුතු කොටසක් උපයා ගත්තේ විදෙස් සංචාරකයන් හට සේවා ලබා දීමෙනි. අප සමග කතාබහට එක්වූ මෙම ත්‍රිරෝද රථ හිමියාද එවැන්නෙකි.

ඇත්තටම අපි එච්චර ලෝකල්ස්ල එක්ක හයර් ගියේ නැහැ. එහෙම ගියා නම් කාලයක් තිස්සේ දන්න කියන නිතරම අපි එක්ක ගමන් බිමන් ආපු ගියපු අයත් එක්ක විතරයි. හැබැයි මේ ප්‍රශ්නයත් එක්ක ලෝකල්ස්ලත් පාරට බහින්නැති තරම්. අපි මේ ජීවත් වෙන්න විදියක් නැතුවට මේ ඇවිත් රස්සාව කළාට කවුද පණට ආදරේ ඇත්නම් පාරට බහින්නේ.

කොළඹ නගරයේ කුලී පදනම මත නැවතී සිටින, අත දිග හැර වියදම් කරන විදේශිකයන් පිරිසක් සම්බන්ධයෙන්ද ඔහු අප සමග තොරතුරු පැවැසුවේය. ඔහු කියා සිටියේ ඔවුහු මාලදිවයින් ජාතිකයෝ බවය.

මාලදිවයිනේ තමන්ගේ ගෙවල් දොරවල් වැඩි මුදලට සංචාරක ව්‍යාපාරයට කුලියට දීලා මෙහේ එපාට්ස්මන්ට්ස් හරි ගෙවල් හරි අරගෙන පදිංචි වෙලා ඉන්න පිරිසක් ඉන්නව. ඒ අයත් අපේ හොඳ කස්ටමර්ස්ල. දැන් ඒ මිනිස්සු ගෙවල්වලින් එළියට බහින්නෙවත් නැහැ.

මාලදිවයින් ජාතිකයන්ද මුස්ලිම් බැවින් මේ පවතින තත්ත්වය තුළ ගමන් බිමන් යාමට හෝ එදිනෙදා බඩු මුට්ටුවක් ගැනීමට හෝ එළියට බැසීම කිසියම් අකරතැබ්බයකට හේතුවක් විය හැකි නිසා ඔවුන් නිවෙස්වලටම වී සිටීම ඇඟට ගුණ යැයි සිතනවා විය හැකිය.

අපි මේ දැනට තියෙන හයර් එකක් අරගෙන කොටුවට එහෙම යනව එනවනේ. හරිම දුකයි අපි දවස ගානේ ගියපු හෝටල් වහල දාල සොහොන් පිට්ටනි වගේ. අවුරුදු 10 ක් තිස්සේ කිසි බයක් සැකක් නැතුව කොහොම තිබිච්ච නගරයක්ද මේ විනාශ කළේ ඔහු මහත් කනගාටුවෙන් පැවැසුවේය.

ජීවිතය කඩා වැටෙන්නට නොදී රැක ගන්නට ඔහු ආණ්ඩුවෙන් ආයාචනයක්ද කළේය.

මම විතරක් ‍නෙවෙයි කොළඹට යන එන අයට නොයෙක් සේවාවන් සපයල කීයක් හරි හම්බුකරගෙන ජීවත්වුණ  අපි වගේ මිනිස්සු දහස් ගණනක් ඉන්නව. ත්‍රීවීල් විතරක් ‍නෙවෙයි පේමන්ට් එකේ තියෙන පෙට්ටි කඩේ ඉඳල තරු හෝටල් දක්වාම මේ ප්‍රශ්නය බලපාල තියෙන හැටි පාරේ යන එන අපිට පේනව. අපි කවුරුත් ණය වාරික ගෙව්වේ, වාහනවල ලීසින් එක ගෙව්වේ මේ හම්බු කරපු සල්ලිවලින්. අද ඒ ආදායම හොඳටම අඩුවෙලා. මේ ආණ්ඩුවට පත්තරෙන් හරි කියන්න අපේ මේ ණය වාරික, ලීසින් වාරික ගෙවන්න සහනයක් හදල දෙන්න කියල.

හිටි හැටියේ එල්ලවුණු මේ බෝම්බ ප්‍රහාර හේතුවෙන් තිස් වසරක සාපරාධී යුද්ධයේදී නොවූ විරූ තරම් බලපෑමක් සිදුව ඇතැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් අප හා පැවැසීය.

“මම 2000 අවුරුද්දේ ඉඳල පිටකොටුවේ මේ රස්සාව කරනව. ඒ කා‍ලේ බෝම්බ පිපිරුව කියල කවදාවත් මෙහෙම කඩා වැටීමක් වෙලා නැහැ. ඇත්තටම සිද්ධ වුණේ කුලී රථ කර්මාන්තයේ ආදායම වැඩිවීමයි. මොකද ආරක්ෂාව ගැන සලකල ජනතාව අප සමග ගමන් බිමන් ගියා. අද ඒකට හාත්පසින්ම වෙනස් දෙයක් වෙලයි තියෙන්නේ. මේක හරියට මහා බිහිසුණු යුද්ධයක් වගේ වෙලා.”

බිම් මට්ටමේ ජනතාවට හිටි හැටියේම එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් මුදල් සංසරණ පද්ධතියම කඩා වැටී ඇති බව ඔහු පවසන්නේය.

“මිනිස්සු එළියට එන්නේ නැහැ. වෙනද ගියපු ගමන් බිමන් යන්නේ නැහැ. එළවළු ටික හරියට කොළඹට එන්නේ නැහැ. ගන්න මිනිස්සුත් නැහැ. කොළඹ අඩපණ වෙලා තියෙන්නේ. කොළඹ හරියට සක්‍රිය නම් පමණයි අපට මුදල් එන්නේ. මොකද අපි මේ ආර්ථිකය කියන දම්වැ‍ලේ මැද පුරුක්. රටේ ආර්ථිකය හොඳද නරකද කියල හොඳටම අතට දැනෙන්නේ අපිට. මේ දවස් 21 ට අපි බිංදුවටම වැටිලා ඉන්නේ.”

මේ ආර්ථික කඩාවැටීම සමග නිවසේ එදිනෙදා විය හියදම් සම්බන්ධයෙන් අඹු සැමි ආරවුල් පවා ඇතිවන තරමට මේ වනවිට දුරදිග ගොස් ඇති බව සුදිල් ජයරුක් පවසන්නේය.

“අපේ ෙදෙනික ආදායම විශාල ලෙස අඩු වෙලා. දවසට හාර පන්දහස හොයපු ඇතැම් අයට අද දවසටම රුපියල් පන්සීයක් හොයා ගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා. මේ රැකියා කරන කා ළඟවත් මුදල් සංචිත නැහැ. හෙට වියදම අදයි සොයාගන්න ඕන. අනිත් පැත්තෙන් වාහනවල ලීසින් වාරික හිර වෙලා. මේ වාහනවලින් සියයට අසූවක්ම ලීස් කරල ගනිපුවා. දැන් මූල්‍ය ආයතන කතා කරමින් කරදර කරනව වාරිකය දාන්න කියල. හයර් නැතුව ලීසින් ගෙවන්න කෝ සල්ලි. මේ ගැන රජයේ අවධානය යොමු වෙන්නම ඕන. ආපදා අවස්ථාවක් සේ සලකල අපිට සහන සලසන්න. අපිත් මේ බෝම්බ ප්‍රහාරයට වක්‍රව හසුවෙලයි ඉන්නේ.”

ඔහු පෙන්වා දෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් තුන් ලක්ෂ පනස්දහසක් පමණ ත්‍රිරෝද රථ සේවා සැපයීමෙන් ජීවත්වන බවයි. ඔවුන් මෙන්ම දිවයින පුරා සිටින ලක්ෂ හත හමාරක් පමණ වන ත්‍රිරෝද රථකරුවන් මෙම ආර්ථික කඩා වැටීමට හසුව ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය රටේම ආර්ථිකය මේ වනවිට බිඳ දමමින් තිබේ. රහස් ඔත්තු සේවා මෙකී ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි බලධාරීන් දැනුවක් කළද ඔවුන් ඒ ගැන ඇහැක් ඇර නොබැලුවා සේ, මේ අප පෙන්වා දෙන කාරණා සම්බන්ධයෙන්ද බලධාරීන්   නිසි අවධානයක් යොමු නොකරමින් සිටීම ඊට හේතුවයි.

“මම ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් චෝදනා කරනව. අපි ගැන නොබලනව විතරක් ‍නෙවෙයි. ‍පොඩ්ඩක් බලන්න කොළඹ තිබුණු ‍පොඩි ‍පොඩි ව්‍යාපාර සියල්ල වැහිල තියෙන්නේ. අපි ඔය පෙට්ටි කඩ කියල හඳුන්වන ‍පොඩි කෑම කඩ වැහිල. ඒව ඇරියට වැඩක් නැහැ. බිස්නස් නැහැ. පිටකොටුවේ දකින්න හිටිය නාට්ටාමිලාගෙන් බාගයක්වත් දැන් නැහැ. ඒ කරත්ත ගාල් කරල තියෙනව. අර මිනිස්සු වැඩ නැතුව ඉන්නව. දවස් කුලියට වැඩ කරන අපි ඇතුළු මේ සියලු දෙනාම දවසේ ආදායම නැතිවුණාම ජීවත් වෙන්නේ කොහොමද. මේ සියලු කාරණා සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සොයල බලන්න. මියගිය සහ තුවාල ලැබූ අයට වන්දි ගෙවල විතරක් මදි. මේව ගැනත් ඇහැ ඇරල බලන්න” සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් චෝදනා මුඛයෙන් පවසන්නේය.

චම්ලි ඒකනායක

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.