lakbima.lk

රහස් බුද්ධි වාර්තා රට කළඹවමින් එළියට යන්නේ කොහොමද?

නාගරික සටන් සඳහා මනා කුසලතාවක් දක්වන ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ට රෙජිමේන්තුවක් වන කොමාන්ඩෝ සෙබළු දස වසරකට පසු නාගරික සටනකින් යළිදු වරක් කරළියට පැමිණියෝය. ඒ ශ්‍රී ලංකාවට නැගෙනහිර ඉමේ සයින්තමරුතු නගරයේදීය. ජනාකීර්ණ ප්‍රදේශයේදී ගොඩනැගිලි අතරින් ගොස් සතුරා විනාශ කිරීමට  කොමාන්ඩෝ සෙබළු විශිෂ්ට පුහුණුවක් ලැබූ පිරිසකි.

දෙසතියකට ඉහතදී කොමාන්ඩෝ සෙබළු හා විජයබාහු පාබළ රෙජිමේන්තුවේ සෙබළු ඒකාබද්ධව කළ සයින්තමරුතු සටනේ නොකියැවුණු කතාපෙළක් දැන් කරළියට පැමිණ තිබේ. එදා යුද හමුදාව එම මෙහෙයුමේදී වැළැක්වූයේ අන්තවාදීන්ගේ දෙවැනි ප්‍රහාරය බව හෙළි වී තිබේ.

දෙවැනි ප්‍රහාරය එල්ල කිරීමට සැරසුණු ස්වයං ඝාතන කණ්ඩායමේ නායකයා වූයේ මිල්හාන්ය. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන  පරීක්ෂණ කණ්ඩායම හෙළිකරගත් තොරතුරුවලට අනුව ඔහු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සන්නද්ධ අංශ නායකයාය. සහරාන් යනු එහි නායකයා නොව ප්‍රචාරක ප්‍රධානියා බව හෙළිව තිබේ.

මිල්හාන් ‍පොලීසියට අවශ්‍යව ඇත්තේ මඩකළපුවේ වවුනතිව්හිදී ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා මරා දැම්මේ ප්‍රධාන සැකකරු ඔහු වූ බැවිනි. මේ ඝාතනය මුලින්ම එල්.ටී.ටී.ඊ. ගිණුමට බැර වුණිද පාස්කු ප්‍රහාරයෙන් පසු කෙරෙන පරීක්ෂණවලදී හෙළි වූයේ වෙනත් කතාවකි. ඒ ‍පොලිස් නිලධාරීන් දෙදෙනා මරා දැම්මේ අන්තවාදීන් බවය.

මේ නිසා දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාගේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනා මුදාහරින ලෙසද අපරාධ   පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ. කෙසේ නමුදු පාස්කු ප්‍රහාරය එල්ල වන විට මිල්හාන් සිට ඇත්තේ මක්කම වන්දනාවේය.

ඉකුත් තිස් වැනිදා ඔහු නැවත ලංකාවට පැමිණ දෙවැනි ප්‍රහාරය එල්ල කිරීමට සූදානම්ව සිට ඇත. එම පිරිසේ සිටි එකම බෝම්බකාරිය වූයේ පුලස්ති රාජේන්ද්‍රන් නොහොත් සාරා නමැති කාන්තාවය. ගිරිඋල්‍ලේ
වෙළෙඳසලකින් එකම ආකාරයේ සුදු ඇඳුම් කට්ටල නවයක් ගත් කතුන් දෙදෙනාගෙන් එක් අයෙකි ඇය. අනෙකා සහරාන්ගේ බිරියයි. සයින්තමරුතු මෙහෙයුමේදී රාජේන්ද්‍රන් මියගියාය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිල්හාන් බලා‍පොරොත්තුවෙන්  කටුනායක ගුවන්තොටු‍පොළට ඉකුත් තිස්එක් වැනිදා ගියද ඔහු ආවේ නැත. ආරක්ෂක අංශ රටම පීරන නිසා ඔහු නොපැමිණියේය. වහාම ක්‍රියාත්මක වූ ‍පොලීසිය සෞදි අරාබිය අමතා මිල්හාන් ගැන තොරතුරු දැන්වීය. ඔහු දැන් සිටින්නෙ එරට අත්අඩංගුවේය.


ඒ අතර සයින්තමරුතුහි නිවසක පිරිසක් දෙවැනි ප්‍රහාරයට සැරසුණහ. යුද හමුදාව එම නිවස වැටලූහ. පළාත දෙදරවමින් පිපිරුම් හඬ සමග අහසට දුම්රොටු නැගුණි. එවැනි පිපිරුමක් වී තිබියදීත් නිවස තුළ සිටි සහරාන්ගේ බිරියත් දරුවකුත් බේරීම මහා ප්‍රාතිහාරයකින් වූ දෙයක් නොවේ. එහිදී පිපිරී ඇත්තේ ස්වයං ඝාතන බෝම්බකරුවන් සිරුරේ බැඳගත් බෝම්බ නොවේ. බෝම්බයක් පිපිරී යන විට විශාල හානියක් වන්නේ ඊට යොදන යකඩ බෝලවලිනි. එහෙත් සයින්තමරුතු නිවසේදී පුපුරා ඇත්තේ එවැනි බෝම්බ නොවේ.

පුපුරන ද්‍රව්‍ය ගෑස් ටැංකියක් මත තබා පුපුරුවා ගැනීමෙනි. එහි කම්පනය විහිඳී යන්නේ උඩටය. එක් පුද්ගලයකුගේ මළ සිරුරක් පිපිරුමක් සමග වහලෙහි රැඳී තිබියදී සොයාගත්තේ ඒ නිසාය. එනමුත් බිත්තිවලින්් වට වූ අසල කාමරයක සිටි සහරාන්ගේ බිරියටත් දරුවන්ටත් ගින්නෙන් හටගත් තුවාල මිසක් බරපතළ හානියක් නොවුණේ ප්‍රහාරයේ හානිය අවම නිසාය. වාසනාවකට මෙන් යුද හමුදාව නිවස තුළට රාත්‍රියේ භට පිරිස් යැව්වේ නැත. ඒ කළුවරේ මෙහෙයුමක් කළේ නම් ඔවුන් දෙදෙනාද ඉතිරි නොවනු ඇත.

එම මෙහෙයුමේ අණදෙන නිලධාරියා වූයේ අම්පාර 24 වැනි සේනානාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේය. ඔහුගේ කාර්ය මණ්ඩලයේ මෙහෙයුම් මාණ්ඩලික නිලධාරියා වූයේ පළමු වැනි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ධුරයේ සිට පැමිණි ලුතිනන් කර්නල් ඉන්දික ජයවීරය.

කොමාන්ඩෝ සෙබළෙකු සතු විශේෂ කුසලතාව සයින්තමරුතු  මෙහෙයුමේදී ඔහුගෙන් කැපී පෙනුණේය. දෙදහස් දාහතරේ අප්‍රේල් එකළොස් වැනිදා මුලතිව් නැදුන්කර්නි කැ‍ලේදී නැවත නැගිටින්නට ගිය එල්.ටී.ටී.ඊ.යේ තෙයිව්ගන්, ගෝබි හා අප්පන් යන තිදෙනා මරා දමන්නට කළ මෙහෙයුමෙන් පසු යුද හමුදාව සෘජුවම ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් සමග සටන් කළේ සයින්තමරුතු මෙහෙයුමේදීය.

තවමත් නිශ්චිතව හෙළි නොවූ ස්ථානයක් ඉලක්ක කර දෙවැනි ප්‍රහාරයට සැරසී සිටි අන්තවාදීන් ඝාතනය කළ එම මෙහෙයුමට පසු උදා වූ සති අන්තය මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේට සුබ නොවීය. ඔහුගේ මව අභාවප්‍රාප්ත වූවාය. ඉකුත් සඳුදාවේ (06) පස්වරු 6.00ට ඇගේ අවසන් කටයුතු නිමා වී පැයක් ඉක්මවීමට පෙර ඔහු යළිදු වරක් රාජකාරියට වාර්තා කළේය.


එහෙත් එවැනි දෑ සිදුවන්නේ තිරයෙන් පිටුපසය. එබැවින් එවැනි නිලධාරීන්ගේ කැපවීම් බාහිරට සන්නිවේදනය කෙරෙන පසුබිමක් නැත. එබැවින් ඒවා ඇගයෙන්නේද නැත.


කෙසේ නමුදු දැන් රට ආරක්ෂිත බව ජනපති - අගමැති මෙන්ම ආරක්ෂක ප්‍රධානීන් දස අතේ දිවුරා කීවත් රටුන් තවමත් සිටින්නේ බියෙන් කීම මුසාවක් නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට තෙසතියක් ගත වී තිබුණද එහි කම්පනය තවමත් රටේ සිව්කොණේම දෙදරමින් තිබේ.


බොහෝදෙනෙක් මේ මොහොතේ කල්පනා කරන්නේ සතුරා සිය ගේ දොරකඩටම පැමිණ ඇති බවය. ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව කීවද රටුන් එය තවමත් පිළිනොගන්නේ ඇයි. ඊට ආරක්ෂක අංශවල සන්නිවේදන දුර්වලතාව ඊට එක හේතුවකි.

යටත් පිරිසෙන් තවමත් ආරක්ෂක අංශ තමන්ට ලද අතිශයෙන්ම රහස් බුද්ධි තොරතුරක් පිටස්තරයන්ට සන්නිවේදනය නොවන ආකාරයට හුවමාරු කරගැනීමට අසමත්ව සිටිති. ගිය දෙසතිය පුරාම මුළු රටම කැළඹූ පුවත් දෙකකට මූලාශ්‍ර වූයේ ආරක්ෂක අංශවල හුවමාරු වන ලිපි බාහිර පුද්ගලයන් අතට පත්වීමය.

වැඩබලන ‍පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න 2019/05/01 දාතමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අභිනව ‍ලේකම්වරයාට ලිපියක් යැව්වේය. එහි මාතෘකාව වී තිබුණේ කොළඹ නගරයට ඇතුළු වන ප්‍රධාන පාලම් හා ගුවන් පාලම් පිපිරවීමට ත්‍රස්තවාදීන් විසින් සූදානම් වන බවට ලැබි ඇති බුද්ධි තොරතුරක් සම්බන්ධව දැනුම් දීම යනුවෙනි. තල් අත්තට බොරළු වැටුණු කතාව යළිදු වරක් සිහිපත් කරමින් ගිය සති අන්තයේ මුළු රටම කැළඹූ පුවතට මුල වූයේ එම ලිපියයි. ඉහත දැක්වූ මාතෘකාව යටතේ එම ලිපියේ සඳහන්ව තිබුණේ මෙසේය.

ශීර්ෂගත කරුණ සම්බන්ධයෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති බස්නාහිර පළාත විසින් මා වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව 2019/05/06 වන දින හෝ ඊට ආසන්න දිනක කොළඹ නගරයට ඇතුළුවන ප්‍රධාන පාලම් සියල්ල සහ රාගම ගුවන් පාලම ඇතුළු ගුවන් පාලම් කිහිපයක් පුපුරවා හැරීමට 2019/04/21 වන දින මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් විසින් සූදානම් වන බවට ඉතා විශ්වාසදායක තොරතුරක් ලද බවට නියෝජ්‍ය ‍පොලිස්පති බස්නාහිර පළාත උතුර විසින් ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති බස්නාහිර පළාත මගින් අප වෙත වාර්තා කර ඇත.

ඒ අනුව මෙය ඉතා වැදගත් තොරතුරක් වන බැවින් ශ්‍රී ලංකා ‍පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වගකිව යුතු නිලධාරීන් දැනුවත් කර කඩිනමින් මෙම ප්‍රහාර වැළැක්වීම සඳහා විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමට හා කොළඹ නගරයට ඇතුළුවන සියලුම පාලම්වල ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් දිවා රාත්‍රී අවි සමග බෝට්ටු සංචාරයක් යෙදවීම සුදුසු බවට වැඩිදුරටත් වාර්තා කර ඇත.

එබැවින් කොළඹ නගරයට ඇතුළුවන සියලුම ප්‍රධාන පාලම්වල ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවි බෝට්ටු සංචාර යෙදවීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මේ ලිපියෙන් කියැවෙන කාරණාවලට කිසිදු පදනමක් නැති බව පැහැදිලිය.

ආගමක් වෙනුවෙන් ස්වයං ඝාතන බෝම්බ පුපුරුවා ගන්නා කණ්ඩායමකට පාලමක් පුපුරුවා ගැනීමේ ඵලය කුමක්ද? විශේෂයෙන් රාගම වැනි දුම්රිය මාර්ගයත් එම උඩින් ඇති පාලමක් පුපුරුවා හැරිය කියා  යටත් පිරිසෙන් පැය කිහිපයකට මිසක් ගමනාගමනයද නතර නොවන්නේය.

මේ ලිපිය සේම හෙට (13) දවස කොළඹ නගර කීපයක් කේන්ද්‍ර කරගෙන එල්ල වෙතැයි අනුමාන කෙරෙන ප්‍රහාරය
පිළිබඳ රාජ්‍ය ආයතනවලට යොමු කර ඇති අභ්‍යන්තර ලිපියක්ද සමාජ මාධ්‍ය අතර හුවමාරු විය. නාවල නගරය, වැල්ලවත්ත, පංචිකාවත්ත, කොටුව දුම්රිය ස්ථානය යන ස්ථානවලට හෙට (13) ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් ඇති බවට එම ලිපියෙන් සඳහන් කර ඇත.

මේ සිද්ධීන් කොතරම් දුරදිග ගියේද කිවහොත් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි රුවන් ගුණසේකරට සිය දෙපාර්තමේන්තු ප්‍රධානියා යවන ලද ලිපියේ අන්තර්ගතය ප්‍රතික්‍ෂේප කිරීමට සිද්ධ විය. එහිදී ඔහු කීවේ ලද තොරතුරක් පිළිබඳ දැනුවත් කිරීමක් කළා මිසක් එවැනි ප්‍රහාරයක් පිළිබඳ පැතිර යන කතා බොරු බවය. එහෙත් එම බොරුවේ මූලාශ්‍රය ‍පොලිස් දෙපාර්තමේන්තුවමය. මේ ආකාරයට තහවුරු නොකළ කතා රජයේ නිල ආයතන මගින් එළියට ඒම එම ආයතන දෙන තොරතුරුවල විශ්වාසය පලුඳු කරවන බව අමුතුවෙන් කිව යුතු නැත.

තිස්වසක් පුරා පැවැති ඊළාම් යුද්ධයේදී ලංකාවේ ජනමාධ්‍ය එම කාරණාව හොඳටම අත්වින්දේය. එල්.ටී.ටී.ඊ.යේ මෙපමණ පිරිසක් මියගිය බව අතිශයෝක්තියට නැගූ සංඛ්‍යා ‍ලේඛන එකල හුන් හමුදා ප්‍රකාශකවරු කීහ. ඔවුන් කියූ ගණන් එකතු කර බැලුවහොත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නොව ලංකාවේද දකුණු ඉන්දියාවේද දෙමළ ජාතිකයන් සියල්ල මරණයට පත්ව ඇති බව කියැවුණි. මේ හේතුවෙන් හමුදා ප්‍රකාශකවරුන් දෙන තොරතුරු විශ්වාස කිරීමට බොහෝ දෙනෙක් මැලි වූහ.

දැන් යළිදු වරක් මේ කැරකෙන්නේ පරණ තැටියම දැයි සැකසංකා ඇති වීම සාධාරණය. විශේෂයෙන් මෙබඳු සංකීර්ණ අවස්ථාවලදී ආරක්ෂක ප්‍රධානීන්ට වරදින්නට නොහැකිය.

විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව වන්නේ ආරක්ෂක අංශවල අභ්‍යන්තරයේ හුවමාරුවන ලිපි සමාජ ජාලා මාධ්‍යවලට යන්නේ කෙසේද? ආරක්ෂක අංශවලට අවැසි නම් එහි අලගිය තැන් මුලගිය තැන් ඔස්සේ පරීක්ෂණ පවත්වා සොයාගත හැකිය.

කෙසේ නමුදු මෙවැනි බරපතළ කාරණාවලට වඩා සරල දේවල් පිටට නොයාමට එකල  ආරක්ෂක හමුදාවෝ වගබලා ගත්තෝය. සීමාන්විතයි එසේ නැතිනම් රහසිගතයි යන ශීර්ෂය යටතේ ඔවුහු එම ලිපියොමු කළහ. උදාහරණයක් ලෙස යුද හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය දෙදහස් දෙකේ ජූලියේ පුහුණු උපක්‍රම යනුවෙන් ‍පොත් පිංචක් මුද්‍රණය කළේය.

එහි මුල් පිටේම තිබුණේ මාධ්‍ය හෝ පිටස්තර පුද්ගලයන්ට සෘජුව හෝ වක්‍රව මේ තොරතුරු සන්නිවේදනය කිරීමට අවසර නැති බවය. එය යුද හමුදාවෙ සීමිත පිරිසක් අතරේ බෙදා හැරෙන අභ්‍යන්තර ලියවිල්ලක් බව සඳහන් කර තිබිණි. එහෙත් දැන් ‍පොලිස්පතිවරයා යවන බුද්ධි අංශ තොරතුරුද සමාජ ජාලාවලට විවෘත වී තිබේ. එවැනි තත්ත්වයන් හමුවේ රටුන් බියෙන් තැති ගැනීම ගැන දොසක් කිව නොහැකිය.

 මිහිරි ෆොන්සේකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.