lakbima.lk

නැගෙනහිර වෙරළේ ඇස්කිමෝ ගෙවල්

‘‘මොනවා තිබුණත් වැඩක් නෑ. තමන්ගෙම කියලා බිත්ති හතරක් තියෙන්නම  ඕන’’ බොහෝ වැඩිහිටියන් තම දරුවන්ට නිතර ලබාදෙන උපදෙසකි. එහි අරුත සෑම පවුලකටම තමන්ගේම ගෙයක් නැතිනම් නිවාසයක් තිබිය යුතුය යන්නය. ”නිවාසය” යන වචනය ඇසෙන විටම අපගේ මතකයට නැගෙන්නේ    බිත්ති හතරකින් වටවුණු වහලයක් සහිත චතුරශ‍්‍රාකාර ගොඩනැගිල්ලකි. තම තමන්ගේ හැකියාව, ආර්ථිකය අනුව විවිධ ප‍්‍රමාණයන්ගෙන් විවිධ පහසුකම් සහිතව කටු මැටි ගසා හෝ ගඩොල් සිමෙන්ති භාවිතයෙන් සකස් කර පොල් අතු, පිදුරු, උළු හෝ සෙවිලි තහඩු යොදා  නිවාස ඉදිකළද ඒවා චතුරශ‍්‍රාකාර හෝ සෘජුකෝණාශ‍්‍රාකාර හැඩයේ ඒවාය.

 නිසා කොටු හැඩැති නොවන නිවාස සඳහා නිරතුරුවම විශේෂත්වයක් හිමිවේ. ආක්‌ටික්‌ ප‍්‍රදේශයන්හි වාසය කරන එස්කිමෝවරු  ලොව පුරා ප‍්‍රසිද්ධවී ඇත්තේ ඔවුන්ගේ නිවාසවල ඇති සුවිශේෂී හැඩය නිසාය. ඉග්ලූ නමින්  හඳුන්වන අර්ධ ගෝලාකාර ඉබි කටුවක ස්වරූපය ගත් මෙම නිවාස නිසා එස්කිමෝවරු පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වේ.

එස්කිමෝලාගේ කඳු ගෝලාකාර නිවාස අපට මුළුමනින්ම ආගන්තුකය.  එහෙත් ඉබිකටු සහිත අර්ධ ගෝලාකාර නිවාස  සහිත ගම්මානයක් අප රටෙහිද පවතී. එය පවතින්නේ සීතල නුවරඑළියේ යැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් එකී ගම්මානය ඇත්තේ උණුසුම් නැගෙනහිර වෙරළ තීරයෙහි පොතුවිල් නගරය ආසන්නයේය. අම්පාර දිස්ති‍්‍රක්කයේ පොතුවිල් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඡු/10 ඉන්ස්පෙක්ටර් ඒත්තම්  ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයෙහි ඉන්ස්පෙක්ටර් ඒත්තම් ගම්මානයෙහි මෙම ඉග්ලූ නිවාස ආකාරයේ අර්ධ ගෝලාකාර නිවාස ඉදිකර ඇත.

පොතුවිල් නගරයේ සිට ්4 මාර්ගය ඔස්සේ  කිලෝමීටර් 1.5 පමණ අක්කරෙයිපත්තු නගරය දෙසට පැමිණීමේදී කුඹුරු යායකට සහ කුඩා ජලාශයකට මුහුණලා ප‍්‍රධාන මාර්ගය අසල තරමක උස්බිමක හමුවන මෙම ගම්මානය අක්කර 50 පමණ විශාලත්වයකින් යුත්තය. ගොවිතැන සහ ධීවර කර්මාන්තය ජීවිකාව කරගත් හින්දු - දෙමළ ජාතිකයෝ පිරිසක් වර්තමානයේ මෙම නිවාසවල වාසය කරති. නිවාසවල ඇති හැඩය නිසාම මේ ගම්මානය විවිධ නම්වලින් හඳුන්වයි. ඇතැම් අය මෙම ගම්මානය ”ඉග්ලූ ගම්මානය” යැයි හඳුන්වන අතර ඈත සිට බැලීමේදී මෙම නිවාස යෝධ ඉබ්බන් මෙන් පෙනෙන නිසා ”ඉබි ගම්මානය” ලෙසද සිංහලයන් විසින් හඳුන්වනු ලබයි. අර්ධ ගෝලාකාර නිවාස 58 කින් යුත් මෙම ගම්මානයෙහි නිවාස රෝස, කහ, තැඹිලි, ළා කොල, ළා නිල්, රතු ආදී වර්ණ වලින් වර්ණ ගන්වා ඇති නිසා මෙම ගම්මානය අයිස්පලම් තැන තැන තැබුවාක් මෙන් ඈතට දිස්වන නිසා ”අයිස්පලම් ගම්මානය”  ලෙසද හඳුන්වයි.

මෙවැනි වෙනස් ආකාරයේ නිවාස සහිත ගම්මානයක් මෙරටට හිමිවන්නේ 2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමි වූවන් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක් මගිනි. එහිදී නෙදර්ලන්තය මූලස්ථානය කරගත් සොලිඞ් හවුස් ෆවුන්ඬේෂන් නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය විසින් සේවා ලංකා පදනම හා එක්ව මෙම ගෝලාකාර නිවාස ව්‍යාපෘතිය ඉදිකර තිබේ. සොලිඞ් හවුස් ෆවුන්ඬේෂන් ආයතනය අනාරක්ෂිත, අඩු පහසුකම් සහිත දුප්පත් ජනතාව වෙත සහ ව්‍යසන මගින් නිවාස  හානිවූ ජනතාව වෙනුවෙන්  ඝන නිවාස හෙවත් ගෝලාකාර නිවාස ඉදිකිරීම සිදුකරන ලාබ නොලබන ආයතනයකි.

ඉග්ලූ නිවාස ලෙස කටවහරේ හැඳින්වූවද තාක්ෂණික වශයෙන් මෙම නිවාස හඳුන්වන්නේ ගෝලාකාර නිවාස :ෘදපැි ීය්චැා ්‍යදමිැ* නැතිනම් ඝන නිවාස වශයෙනි. අර්ධගෝලයක හැඩයකින් යුක්ත වුවද මෙම නිවාස සියලූම පහසුකම්වලින් සමන්විතය. වෘත්තාකාර පාදමක් මත කොන්ක‍්‍රීට් සහ අනෙකුත් අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කර ඇත. විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළුතැන් ගෙයක්,  නාන කාමරයක් සහ කවාකාර කොරිඩෝවක් සහිතව නිර්මාණය කර ඇති මෙම ගෝලාකාර නිවාසයකට වැසි ජල ටැංකියක් සහ වැසිකිළියක්ද එක් කර එ්වා අංග සම්පූර්ණ නිවාස බවට පත්කර තිබේ. පොතුවිල් ප‍්‍රදේශයට වර්ෂාව ලැබීම සිමීත වන නිසා වර්ෂාව ලැබෙන සමයේ ජලය එක් රැස් කර ගැනීම සඳහා වැසි ජල ටැංකි ඉදිකර ඇති අතර ලංකා වැසිජලය රැුස් කරන්නන්ගේ සංසදය ඒ සඳහා දායකත්වය ලබා දී ඇත.

කළුතර චෛත්‍යය මෙන් අභ්‍යන්තරයට යා හැකි කොත රහිත චෛත්‍යයක් සිහියට නගා ගැනීමෙන් මෙම නිවාසයක ඇතුළත පිළිබඳ ඔබට අවබෝධයක් ලබා ගත හැකිය. ආහාර පිසීමට  සකස් කර ඇති පෝරණුවෙහි දුම් කවුළුව මෙම නිවාසයන්හි මුදුනෙන් බාහිරට විවෘත වන අතර එය තුළින් නිවාසය ඇතුළට ජලය ගලා ඒම වැළැක්වීම සඳහා පැරණි චෛත්‍යවල භාවිත වූ ඡුත‍්‍රයක් වැනි ආවරණයක් යොදා ඇත. නිවසෙහි පිටත මුදුණේ සිට කවාකාර බිත්ති දිගේ පහළට ගලා එන ජලය බඳෙහි සකස් කර ඇති කාණුවක් මගින් එක් රැස්කොට ජල ටැංකිය වෙත යැවීම සිදුකරයි. මෙම නිවාස සඳහා ඉදිරිපස හා පිටුපස දොරටු සහ වාතාශ‍්‍රය ලබාගැනීම සඳහා ජනේලද ඉදිකර ඇති අතර කවුළු තුළින් වැසි ජලය ගලා ඒම වැළැක්වීම සඳහා කවුළුවලට ඉහළින් අලංකාර ආවරණයක්ද ඉදිකර තිබේ.
අර්ධ ගෝලාකාර නිවාස සහිත මෙම ගම්මානය සැලසුම් සහගතව නිර්මාණය කරන ලද්දකි.

සෑම  නිවාසයක් සඳහාම ප‍්‍රමාණවත් ගෙවත්තක් සහ මාර්ග පද්ධතියක් ඉදිකර ඇති අතර පායන කාලයෙහි ගම්මානයෙහි ජල අවශ්‍යතාවය සඳහා ගැඹුරු ළිං 8 ක්ද ඉදිකර තිබේ. මෙම නිවාස සඳහා ජලය, විදුලිය, මාර්ග පහසුකම් වැනි අවශ්‍ය‍ මූලික පහසුකම් සියල්ල ලබාදී තිබෙන අතර ප‍්‍රජා බල ගැන්වීමේ පහසුකම්ද මෙම නිවාස ව්‍යාපෘතිය සමග ලබාදී ඇත. මෙම ගෝලාකාර නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය සැලසුම් සහ නිවාස ආකෘතිය  සොලිඞ් හවුස් ෆවුන්ඬේෂන් ආයතනය මගින් නිර්මාණය කොට ඇති අතර අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීයව සපයා ගනිමින් මෙම නිවාස ඉදිකොට තිබේ. මේ සඳහා අවශ්‍ය අරමුදල්, සැලසුම්, තාක්ෂණික දැනුම හා තාක්ෂණ ශිල්පීන් සොලිඞ් හවුස් ෆවුන්ඬේෂන් ආයතනය මගින් දේශීයව හා විදේශීයව සපයා දී ඇත. අවශ්‍ය ශ‍්‍රමය සඳහා නිවාසලාභීන්ද සිය දායකත්වය දක්වා තිබේ.

මේ වන විට මෙම නිවාසලාභීන් ඒවායේ පදිංචියට පැමිණ වසර 10ක් පමණ ගතවී ඇති අතර සාමාන්‍ය නිවාසලාභීන් මෙන්ම සාමාන්‍ය පරිදි ජන ජීවිතය ගෙවමින් සිටී. සියලූම නිවාස සහ යටිතල පහසුකම්ද ඉතා හොඳ තත්ත්වයේ පවතින බැවින් ජනතාව තුළ ඒ පිළිබඳව ඇත්තේ තෘප්තිමත් හැඟීමකි.  මෙම නිවාස ඉදිකිරීමේදී මෙවැනි ගෝලාකාර නිවාසයන් ඉදිකිරීම සඳහා ජනතාවගේ කැමැත්ත විමසීමක් සිදු නොකළද එකල කිසිවෙකුත් මෙම නිවාස ප‍්‍රතික්ෂේප කිරීමක්ද සිදු කර නොමැත. නිවාස ආකෘතිය වෙනස් නමුත් බොහෝ පිරිස් ඒ සඳහා අනුවර්තනය වී සිටී. මෙම නිවාසයන් විදේශිකයන්ගෙන්   ලැබුණු නිසා විදේශයන්හි ඇති ආකාරයේ නිවාස මෙහි ඉදිකරන්නට ඇති බව ගම්වාසීහු විශ්වාස කරති. නමුත් ඇතැම් අයගේ අදහස වන්නේ මේවායේ ඉඩ පහසුකම් මදිවීම, නව අංග නිවසට එක්කිරීමට නොහැකිවීම, නිවාස පුළුල් කිරීමට නොහැකිවීම වැනි ගැටලූ ඇතිවන බවයි.

මේ නිසා  සියලූ පහසුකම් සහිතව මෙම නිවාස ඉදිකර තිබුණද ඇතැම් පිරිස් මෙම නිවාස හැර දමා වෙනත් ස්ථානයන්හි පදිංචිය සඳහා ගොස් තිබේ. නමුත් තවමත් මෙහි වාසය කරන්නන්ගේ අදහස වන්නේ නිවාස අතහැර ගිය පුද්ගලයන් වෘත්තීය අවශ්‍යතා නිසා තම නිවාස හැරදමා ගම්මානයෙන් පිටව ගොස් ඇති බවයි.

මෙවැනි අර්ධ ගෝලාකාර නිවාස සහිත ගම්මානයක් මෙරට වෙනත් කිසිදු ස්ථානයක හමුනොවන අතර අනෙකුත් නිවාස සමග සැසඳීමේදී  විශේෂත්වයක් නිතැතින්ම මෙම නිවාසවලට හිමිවේ. රජය හෝ ‍වෙනත් ආයතනයක් මගින් ඉදිකරනු ලැබූ නිවාස යෝජනා ක‍්‍රමයක් හැරුණු විට වෙනත්  කිසිදු ස්ථානයක නිවසක් හෝ ගොඩනැගිල්ලක් තවත් එකකට සමාන වන ලෙස එකම ආකාරයට ඉදිකර නොමැති නිසා මෙරට දක්නට ලැබෙන නිවාස විවිධත්වය ඉතා ඉහළ නමුත් ඒ සියල්ල කොටු හැඩැතිවීම නිසා වහල රහිත ගෝලාකාර  මෙම නිවාස මෙරට සියලූම නිවාස අතර විශේෂ වටිනාකමක් හිමිකර ගැනීමට සමත් වී තිබේ. 

මෙම අර්ධ ගෝලාකාර නිවාස මෙරට ගෘහ නිර්මාණ හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සිය අනන්‍යතාව මේ වනවිට තහවුරු කර මෙරට ගෘහ නිර්මාණ වංශ කතාවේ අලූත් පිටුවක් ලියා අවසානය.

අසිරු වේදිත කරුණාරත්න

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.