lakbima.lk

නම ඇහුවත් බය හිතෙන දොස්තර ෂාෆි කවුද?

සිසේරියන් සැත්කමකින් දරුවන් ප්‍රසූත කළ මව්වරුන් එම සැත්කම අතරේ නීති විරෝධී ලෙස වඳභාවයට පත්කළේ යැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි මේ වන විට ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.


සිසේරියන් සැත්කම් කරන අතරතුරදී මව්වරුන් හාරදහසක් පමණ නීති විරෝධී ලෙස වන්ධ්‍යාකරණයට ලක්කිරීම පිළිබඳව රට පුරා මහත් ආන්දෝලනයක් ඇති වුවත් වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගෙන ඇත්තේ ආදායම් උපයාගත් ආකාරය හා වත්කම් හෙළිකිරීමට අ‍පොහොසත් වීමේ චෝදනාව මත මිස ඉහත සඳහන් නීති විරෝධි වන්ධ්‍යාකරණයන් පිළිබඳ චෝදනාව යටතේ නම් නොවේ.


මෙසේ නීති විරෝධී වඳ සැත්කම් පිළිබඳව රට ප්‍රකට වූ දොස්තර ෂාෆි නොහොත් සේගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මීට වසර කීපයකට ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ ඇත්තේ දඹුල්ල රෝහලෙහි සේවය කිරීමෙන් පසුවය. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු නොවුණද ඔහුට දඹුල්ල මෙන්ම කුරුණෑගල ප්‍රදේශයේදීද ලැබි තිබුණේ ඉමහත් ප්‍රසිද්ධියකි. විශේෂයෙන් ඔහුගේ පෞද්ගලික වෛද්‍ය සායනයටද වැඩිපුරම පැමිණියේද ගැබිනි කාන්තාවන්ය.


වෛද්‍ය මොහමඩ් ෂාෆි උපත ලබා ඇත්තේ කලාවැව ප්‍රදේශයෙහිය. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකි. මූලික අධ්‍යාපනය තම ගම් ප්‍රදේශයෙන් ලබා ගත් ෂාෆි උසස් අධ්‍යාපනය සඳහා ඇතුළුවනුයේ ගම්‍පොළ සහිරා විදුහලටය. එහිදී විද්‍යා අධ්‍යාපනය ලැබූ ඔහු ජීව විද්‍යා අංශයෙන් උසස් ප්‍රතිඵල ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වන අතර 2004 වර්ෂයේදී ඔහු එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් පිටවෙනුයේ වෛද්‍යවරයෙකු වීමේ මූලික සුදුසුකම් සපුරාලමිනි.

මොහමඩ් ෂාෆි වෛද්‍යවරයකු වශයෙන් මුල්ම පත්වීම් ලබනුයේ දඹුල්ල රෝහලටය. අනතුරුව ඔහු දඹුල්ල රෝහ‍ලේත් ග‍ලේවෙල රෝහ‍ලේත් වසර ගණනාවක් සේවය    කළේය. ඒ හැම ස්ථානයකදීම ඔහු සේවය කර ඇත්තේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේය.


මෙම වෛද්‍ය ෂාෆි විවහවණුයේද වෛද්‍යවරියක සමගිනි. ඒත් විවාහයෙන් පසුව ඇය වෛද්‍ය සේවයෙන් ඉවත් වී තිබේ.මෙසේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු කාන්තාවන් අතර ජනප්‍රිය වූ ෂාෆි වෛද්‍යවරයාගේ පෞද්ගලික සායන මධ්‍යස්ථානය වූයේ කුරුණෑගලශික්ෂණ රෝහලට නුදුරින්ම පිහිටි ගොඩනැගිල්කය. සිව්මහල් ගොඩනැගිල්ලක්වූ එහි මහල් දෙකක්ම ෂාෆි වෛද්‍යවරයා වෙන්කරගෙන තිබුණේ තම වෛද්‍ය වෘත්තියෙහි නිරතවීම සඳහාය. ඔහුගේ අධීක්ෂණය යටතෙහි ශල්‍යකර්මවලට භාජනය වූ කාන්තාවන් සිය දහස් ගණනකි.


එදවස ප්‍රදේශයේ බොහෝ දෙනෙකු සඳහන් කර සිටියේ සීසර්  සැත්කමක් සඳහා නම් අනිවාර්යයෙන් ෂාෆි වෛද්‍යවරයා මුණ ගැසිය යුතු බවය. ඒ තරමටම ඔහු එම ශල්‍යකර්මයෙහි දක්ෂයකු වී ඇත.


කුරුණෑගල රෝහලෙහිම දීර්ඝ කාලයක් සේවය කිරීමට අවකාශ ලැබිම මත ෂාෆි වෛද්‍යවරයාට කුරුණෑගල ප්‍රදේශය තුළම පදිංචි වීමට ඉඩකඩ ලැබි ඇත.


හිටි අඩියේම සිය වෛද්‍ය වෘත්තීයට තිත තබන මෙම වෛද්‍යවරයා දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළත් වනුයේ 2015 වර්ෂයේදීය. එම වසරේ පැවැති මහ මැතිවරණයේදී වෛද්‍ය ෂාෆි සේවයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කළේය. එහෙත් ඔහුට ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට යාමට නොහැකි වුණේය. ඔහුට ලැබි තිබුණේ මනාප ලැයිස්තුවේ අටවැනි තැනය. ඔහුට ලැබි තිබුණේ ඡන්ද පනස් හතර දහස් ගණනකි. කෙසේ වෙතත් එම ලැයිස්තුවට අනුව ඊළඟට පාර්ලිමේන්තුවට යාමට සුදුසුකම් ලබා සිටින තැනැත්තා ඔහුය.


කෙසේ වෙතත් මහමැතිවරණයෙන් පසු මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා නැවතත් සේවයට පැමිණෙනුයේ කුරණෑගල  ශික්ෂණ රෝහලටමය. කැබිනට් පත්‍රිකාවක් මගින් ඔහු නැවත සේවයෙහි පිහිටුවා එම රෝහලටම පත්කර තිබුණි. 2015 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් කිසිම කෙනෙකුගෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණේ නැත.


වෛද්‍ය මොහොමඩ් ෂාෆි අත්අඩංගුවට පත්වීම පිළිබඳ ප්‍රවෘත්තිය වාර්තා වනුයේ මැයි මස 25 වැනිදාය. මැයි 24 වැනි දින රාත්‍රියේදී ‍පොලීසිය මගින් සිය නිවසෙහිදී ඔහුව අත්අඩංගුවට ගනුයේ ආදායම් උපයා ගැනීම හා දේ‍පොළ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහාය. කුරුණෑගල ‍පොලිස් භාරයට ගැණුනු ඔහු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවෙහි පසුවෙයි.


ගිනිපුපුරු පැන නැගුනේ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ වෙනත් කරුණක් හේතු කොට ගෙනය. එක්තරා වෛද්‍යවරයෙකු විසින් කරන ලද සිසේරියන් සැත්කම් හේතුවෙන් කාන්තාවන් බොහෝ දෙනෙකු වඳ භාවයට පත්වී තිබෙන බවත් ඔවුනට දරුඵල අහිමි වී තිබෙන බවත් එමගින් සඳහන් වූ අතර එම ප්‍රවෘත්තිය ප්‍රචලිත වෙනවාත් සමගම එය සෘජුවම යොමුවූයේ මෙම වෛද්‍ය ෂාෆි වෙතය.

එම චෝදනාව ඔහු වෙත ව්‍යංගාර්ථයෙන් හෝ මාධ්‍ය මගින් හෝ යොමුවන විට ඔහු ගැන කිසිදු පැමිණිල්ලක් කුරුණෑගල ශික්ෂණ රෝහලට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ ලැබි නොතිබුණි. පෙත්සම් හා චෝදනා ගලා එන්නට වූයේ ප්‍රවෘත්තිය ජනමාධ්‍ය මගින් ප්‍රචලිත වීමෙන් අනතුරුවය.


පසුගිය 29 වැනි බදාදා සවස්වන විට මෙම වෛද්‍යවරයා විසින් කරන ලද සිසේරියන් ශල්‍යකර්ම පිළිබඳව කාන්තාවන් විසින් කුරුණෑගල රෝහල වෙත පැමිණ කරන ලද පැමිණිලි සංඛ්‍යාව දෙසීයකට අධිකය. එකද පැමිණිල්ලක් හෝ මේ වන විටත් විභාග කර නැත.


කෙසේ වෙතත් ෂාෆි වෛද්‍යවරයා  සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පැමිණිලි පිළිබඳව ඉදිරියේදී විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙනු ඇත. ඔහු වැරදිකරුද, නිවැරදිකරුදැයි තීරණය වනුයේ එහිදීය.

ජේ. එම්. මහරුෆ්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.