lakbima.lk

දරුවන් රකින්නට නුවර කලාවියේ දෙන අපූරූ දානය

කලින් කලට පලින් පල කියුවා සේ අපටද කාලයෙන් කාලයට කතා කරන්නට මාතෘකා බොහෝය. ඒ අනුව පසුගියදා රටම කතා කළේ සේනා දළඹුවා ගැනය. නූතන විද්‍යාව අන්දමන්ද කරමින් රට කාගෙන පැතිරෙන දළඹු උවදුර මඩින්නට කෙම්පහන් කම්වලට  හැකි බව සමහරු කියති.

පසුගිය දිනෙක මේ ලියුම්කාරියටද නුවර කලාවියේ පහළවැවදී එවැනි කතාවකට පෑහෙන්නට හැකි විය. දැන උගත් තරුණ සමාජයක් හා කෙම්පහන් ක්‍රමවල හැකි නොහැකියාවන් හා වාදයක පැටලී හුන් වියපත් මවක එළිකළ අපූරු තොරතුරු නිසා දළඹු ආක්‍රමණය අභිභවා ගිය කුතුහලය දනවන සිදුවීමක් හාරා අවුස්සන්න හැකිවිය. ඒ අනුරාධපුරය නාච්චදූව ප්‍රදේශයේ ගැමියන් දිගු කලක සිට පවත්වන මහ දානය නම් පූජාව පිළිබඳවය.

නච්චදූව වැව, පහළවැවේදී මුණගැසුණ වියපත් මව පවසන පරිදි මහ දානය දෙන්නට ගැමියන් පුරුදුව ඇත්තේ තම ගමට බලපෑ අදෘශ්‍යමාන දෝෂයක් ඉවත් කරගැනීමේ අරමුණිනි. ඒ අතීත කතාව ඈ මෙසේ දිගහරින්නීය.
මේ වැව් ගම්මානවල ඇත්තන්ට දරුවෝ තරං සම්පතක් තිබුණේ නෑ. ඒ කා‍ලේ කුඹුරක සීසාන්න, මඩවන්න, ගොයම් කපන්න, වී වේලන්න ඔය කොයිදේ කරන්නත් සෙනඟ ඕනේ. කොයි ගෙදරත් දරුමල්ලො හතඅටක් වැරදුණේ නෑ.

ඒත් මේ පහළවැව ගම්මානයේ විතරක් කිරිකැටියෙකුගෙ හඬ කාලෙකින් ඇහුණේ නෑලු. අපේ අම්මලා ආච්චිලා කියන විදියට අතදරුවෝ උණ වසංගතයක් හැදිලා මැරිලා යනවාලු.  අන්තිමට මිනිස්සු පේනයක් බලලා තේරුම් ගත්තාලු ගමට යකින්නියකගේ බැල්මක් වැටිලා කියලා ඕ දිගු අතීත කතාවක් මා ඉදිරියේ දිගහරින්නට සූදානම් වූවාය.


ඉතින් අම්මේ ඒ කා‍ලේ මැ‍ලේරියා උණ එහෙම තිබුණානේ. ළමයි මැරෙන්නේ ඒ උණෙන් වෙන්නැති මම කීවෙමි.
නෑ දරුවෝ.. එහෙම නොවෙයි කැලෑ උණෙන් වෙන මරණ වෙනස්. මේවා ඊට වෙනස්. අපේ ගමේ තියන වැවට වැව් දෙකක් සම්බන්ධ වෙනවා. එතනට කීවේ වැව්දෙකවෙච්ච තැන කියලා. එතන කොහොමත් අදටත් අමුතුයි. වැව්කණ්ඩියට ගොඩවෙන මිනිස්සු දකිනවාලු කවුරු හරි වැවේ ළමයෙක් නානවා. පහුවදාට එයාට උණහැදිලා ඒකෙන්ම මැරෙනවාලු. වැඩියෙන්ම ඒක හැදුණේ කිරිදරුවන්ට.

ඒ විතරකැයි ඒ කා‍ලේ දරුවෝ වදපු අම්මලාගේ කිරිහැංගුණාලු. ළමයි උකු‍ලේ ඉන්දෙද්දී මැරෙනවාලු. කොටින්ම ඔය කා‍ලේ වෙදකමකට මවුකිරි බිංදුවක් ගන්න කෙනෙක් ගමේ ඉතුරු වුණේ නෑ. ඕං අන්තිමට මේ ගංතුලානේ මිනිස්සු කතරගමට බාර වුණා ගම ආරක්ෂා කරලා දෙන්න කියලා ඈ පැවැසුවාය.

ඉන් පසු කලෙක ගමේ දරුවන් මියයෑම නතරව ඇත. ගැමියන් බාර වූ පරිදිම මහා දානය දී තමුන් වූ බාරය නිදහස් කර තිබේ. කෙසේ වෙතත් අද දක්වාම මේ දානය දෙන්නට මිනිසුන් අමතක කරන්නේ නැත. මුලින් වසරකට වරක් දුන් දානය දැන් වසර තුනකට වරක් නොවරදවාම දෙන්නට ඔවුන් කටයුතු කරන්නේය.

මහ දානය සමග බැඳී පවතින අපූරු සිරිත් විරිත් හා චාරිත්‍ර-වාරිත්‍ර සම්ප්‍රදායක්ද වේ.  වර්තමානයේදී වුවද එම පූජා විධි නියමාකාරයෙන් ඉටු කිරීමට ගැමියෝ වගබලා ගනිති. එය චාරිත්‍ර වාරිත්‍රවලට අනුව සිදුනොවුණහොත් ගමට අයහපතක් වේ යැයි ඔවුහු අදටත් සිතති. එහෙයින් ඔවුහු බොහෝ පහන් සිතින් ඒ සඳහා වෙහෙසෙති.
මහ දානය පවත්වන අවුරුද්ද පැමිණි පසු ඒ සඳහා කල්වේලා ඇතිව ලකලෑස්ති වීම මෙම ගමෙහි වෙසෙන ගැමියන්ගේ සිරිතය.

මහ දානයට දින නියම වන්නේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේ දිනකය. මෙම දිනය නියමකර ගන්නේද නැකතකට අනුවය. දෙවියන් උදෙසා බාරවීමට සහ බාර ඔප්පු කිරීමට කපුවන් පිරිසක් වෙයි. එහෙත් මෙයට දායක වන්නේ මැදගම නම් ග්‍රාමයෙහි ජීවත් වන කපුමහතුන්ය. මැදගම දේවාලගම් පවතින ප්‍රදේශයක් ලෙසද එය ප්‍රසිද්ධය. දානය පැවැත්වීමට සුදුසු දිනය තීරණය කරනු ලබන්නේ මෙම කපුමහතුන් විසින්ය. දිනය නියම වූ පසු එදින සිට දානය පවත්වන දිනය දක්වාම ගමේ සියලු ජනතාව විසින් පිළිපැදිය යුතු චාරිත්‍ර හා චාරිත්‍ර කිහිපයක් වෙයි.

එකී වත් පිළිවෙත් අකුරටම සුරැකීම පූජාවේ සාර්ථකත්වය උදෙසා කැපවීමක් ලෙස සිතන ඔවුන් මුංඇට, වට්ටක්කා, 'අඟුණ කොළ වැනි දෑ ආහාරයට නොගනී. එමෙන්ම ගමේ ගෙදර පිටි කෙටීම, කිරිබත් සෑදීම නොකළ යුතුය. කොටින්ම කියතොත් එම දිනවල ගමේ කඩේ වට්ටක්කා ගෙඩියක් බෙහෙතකටවත් සොයාගන්නට නැති බව ගැමියෝ ප්‍රකාශ කරති.

කාන්තා පාර්ශ්වය පූජාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සකස් කිරීමෙහි නිරත වේ. වී කෙටීම, කැවිලි සෑදීම ආදී මුළුතැන්ගෙයි කටයුතු ඉටු කරන්නේ කාන්තාව විසිනි. පූජා භූමිය පිරිසිදු කිරීම, මඩු සෑදීම ආදියට කාන්තාවට සහභාගි විය නොහැකිය. එයට හේතුව කාන්තාවන් කිලි ඇත්තියන් ලෙස සැලකීමය. පූජාවට පෙර දිනයේ පූජා භූමිය තුළ ‍පොල්අතු, ගොක් කොළ, කෙසෙල් කඳන්, ලී දඬු ආදී ස්වාභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් දේවාලයක්, තොරණක් හා අයිලයක් සාදනු ලැබේ. එලෙස තාවකාලිකව ඉදිකරන ලද දේවාලයට පූජාවට පෙර දිනයේ සවස් සාමයේ දෙවියන් වැඩම කරවිය යුතු වේ.

එනිසා කපුමහතුන් එදින සවස් යාමය වනවිට පැමිණෙන අතර දෙවියන් වැඩම කරන වෙලාව පැමිණෙනතුරු ගමෙන් පිටත රැඳීසිටියි. ගමේ මෙහා කෙළවර ගමෙන් පිට ඉදිකරන ලද පහන් පැලක දෙයියන් පෙට්ටිය තැන්පත් කරනු ලැබේ. දෙයියන් පෙට්ටිය යනු දේව ආභරණ හෙවත් තිර රෙදි තැන්පත් කරන ලද පෙට්ටිය වේ.

දෙයියන් පෙට්ටිය දේවාලයේ තැන්පත් කිරීමෙන් පසු කාන්තාවන් විසින් පිළියෙළ කරන ලද ආහාර අනුභව කරන කපු මහතුන් හා ගමේ පිරිමි පාර්ශ්වය රෑ වැඩ මුරය සඳහා සූදානම් වෙති. එය නම් එදින රාත්‍රියේ සිදුකරන මුට්ටි නැමීමේ චාරිත්‍රයයි. හරියටම මධ්‍යම රාත්‍රී 12.00ට සිදුකරන මෙම චාරිත්‍රයටද කාන්තාවන්ට සහභාගි විය නොහැකිය. ගමේ වැව අවසන් වන ස්ථානයේ වැව් කණ්ඩියේ ඇති ගසක මුට්ටි නැමීම සිදුකරයි. රාත්‍රී දොළහ වීමට පෙර කපුමහත්වරු සහ පිරිමි පාර්ශ්වය මුට්ටි නමන ගස අසලට යයි. මෙම ගසෙහි ප්‍රධාන අත්තක තුන්පැත්තට බෙදී ගිය කුඩා අතු තුනක් මුට්ටිය නැමීමට හැකිවන ආකාරයට මැදින් කපා සකසා ගනී. එය දහවල් කාලයේ සිදුකරයි.

ගිනි අඟුරු සහ දුම්මල දමන ලද මුට්ටි තුනක් කපු මහතුන් යාතිකා වීමෙන් පසු ගමේ තරුණයන් තුන්දෙනෙක් විසින් ගසට නැග මුට්ටිය නමා හූ කියමින් වැවට පනියි. මෙම මුට්ටි තුන නැමීම සිදුකරන්නේ තුන් පැත්තකටය. එක් මුට්ටියක් ගම පැත්තටද අනෙක වැව පැත්තටද, අනෙක් මුට්ටිය ගමට විරුද්ධ දිශාවටද පිහිටුවයි. මෙයින් එම ගසේ සිට ඇතුල් පැත්තට ගම ආරක්ෂා කිරීම සිදුකරයි.

අයිලය අසල හා දේවාලය අසල යාතිකාව සිදුකරන ප්‍රධාන කපුමහතා දේව කන්නලව්ව සිදුකරන්නේ ආරූඪයකිනි. යාතිකාව අවසන් වීමෙන් පසු අත්උදව්කරුවන් දෙදෙනකු විසින් ප්‍රධාන කපුමහතා කඩවර ගොටුපිදෙන ස්ථානයට කැඳවාගෙන යයි. එම ස්ථානයේදී දරුඵලය නොමැති කාන්තා සහ පිරිමි යන දෙපාර්ශ්වයම බාරවීම සහ බාර ඔප්පු කිරීම සිදුකරයි. ගොටු පූජාව සිදුකරන්නේ කඩවර දෙවි උදෙසා වේ. එම පූජාවෙන් පසු අහසට පුස් වෙඩි දෙකක් තැබෙනු ලැබේ. ඉන්පසු පූජා භූමියට රැස්ව සිටින සියලුමදෙනාට දානය බෙදා දෙනු ලබයි.

සනෝජා වනමලී

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.