lakbima.lk

තුසිතපුරයේ අපා දුක් විඳින, රජකමටත් සුදුසු මිනිස්සු

“අපි අක්කර දහය පහළොව  අස්වද්දලා අස්වැන්න ගෙට ගත්ත මිනිස්සු. දැන් අනුන්ගේ කුඹුරු යායවල කුලියට ගොයම් කපන්න යනවා බත් දකින්න ආසාවට යැයි නමින් තුසිතයක් වන එහෙත් අවීචිය බඳු ගෝමරන්කඩවල තුසිත පුරයේදී අපට හමුවූ ගම්වැසියකු පැවැසීය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ, ගෝමරන්කඩවල ප්‍රාදේශීය ‍ලේකම් බල ප්‍රදේශයේ පිහිටි මේ තුසිතපුරය නම් ගම්මානය බිහිවන්නේ 2017 වසරේ අග භාගයේය. ඒ යාංඔය වාරි ව්‍යාපෘතියෙන් අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වෙන්වුණ නව ජනපදයක් ලෙසින්ය.

යාංඔය ව්‍යාපෘතියෙන් ගම් බිම් ඉඩකඩම් අහිමි වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ගම්මාන ගණන පහකි. ඒ මහ සොරොව්ව, පඹුරුගස්වැව, පෙත්තාවැව, දික්වැව හා කුඹුක්වැව ගම්මානයි.තුසිතපුරයේ අද පදිංචිව ඇත්තේ මේ ගම්මානවල පදිංචිව සිටි ජනතාවය.

2017 අවුරුද්දේ අවසානයේ අපිට මේ ඉඩම් දුන්නා. ගෙවල් හදාගන්නකම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය සභාවත් එක්ක එකතු වෙලා වතුර බෙදලා දුන්නා. ඊට පස්සේ ඒක නැවතුණා. දැන් අපිට බොන්න හරි වතුර ටික තියෙන්නේ ජනාධිපතිතුමාට පින්සිද්ධ වෙන්න හයි කරපු ෆිල්ටරය නිසයි තමන් මෙහි පදිංචියට ආදා සිට ජලය නොමැතිව දුක් විඳිනා ගැමියකු පැවැසුවේය.

සංවර්ධන කටයුත්තක් හෝ වෙනයම් අවශ්‍යතාවක් වෙනුවෙන් තම ගම්බිම් අහිමි වන ජනතාව නැවත පදිංචි කළ යුත්තේ ජලය, විදුලිය, මහාමාර්ග, පාසල්, පෙර පාසල් ඇතුළු මූලික අවශ්‍යතා සියල්ල සහිතවය.

මේ තුසිතපුරය ඉදිව ඇත්තේ ගෝමරන්කඩවල පුල්මුඩේ මහා මාර්ගය අයිනේය. ගම්මානය පුරා බොරළු ඇතිරූ මාර්ග පද්ධතියකි. විදුලියද සපයා තිබේ. එහෙත් ජල ගැටලුව ඉතා උග්‍රය.

තුසිතපුරයේ පදිංචිකරුවකු වන කේ. වී. සරත් අප සමග ඒ පිළිබඳව මෙසේ පැවැසීය.

නළ ළිං විස්සක් විතර ගම්මානය පුරා ඉදිකරලා තියෙනවා. හැබැයි ඒ ළිංවල වතුරත් එක්ක ගල් කුඩු එනවා. බොන්න, නාන්න බැහැ. ටිකක් කල් යද්දී ළිං වතුර මලකඩත් එක්කයි එන්න ගත්තේ. ඒ වතුර කිසි වැඩකට පාවිච්චි කරන්න බැරි නිසා මිනිස්සු පාවිච්චිය අතෑරියා.

එම නළ ළිං ඉදිකිරීම සම්බන්ධයෙන් ගම්මුන්ට ඇත්තේ වෙනත් චෝදනාවකි. ඒ මෙම නළ ළිං ඉදිකිරීම මුදල් ඉපයීම පමණක් බලා‍පොරොත්තුවෙන් කර ඇති බවය. ඔවුන් පවසන්නේ නළ ළිං සඳහා වියදම් කළ මුදල කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවයි.

මේ නළ ළිඳකට ගිය සල්ලි මේ කටුමැටි පැලවල් සාදාගෙන ජීවත් වෙන අනු පවුලකට ගෙයක් හදාගන්න දුන්නා නම් ඒක පිනක්.

තුසිතපුරයේ පදිංචිකරුවන් අතර පවුල් හා අනු පවුල් ලෙස කොට්ඨාස දෙකකි. අනු පවුල් ලෙස සැලකෙන බොහෝ දෙනකු 1995 වසර වන විට පදිංචිය අවුරුදු දහඅට සම්පූර්ණ නොවූවන්ය.

2012 වසරේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙන යාංඔය ව්‍යාපෘතියට වන්දි ගෙවීමේ ක්‍රියාවලියේදී එය සිදුව ඇත්තේ 1995 වර්ෂය පාදක කොට ගනිමිනි. 1995 වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ නොවූවන් විවාහ වී දරු පවුල් වී සිටියද ඔවුන් සැලකෙන්නේ අනු පවුල් ලෙසය. ඔවුන්ට ඉඩකඩම් වෙනුවෙන් වන්දි හිමි වන්නේද නැත.

දැන් මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ 2012 අවුරුද්දේ. ඒකට වන්දි ගෙවීමට පාදක වර්ෂය කරගන්නේ 1995. කොයිතරම් අසාධාරණද ඒක. 1995 වෙද්දී අවුරුදු තුන හතරක් වයසේ හිටිය පුංචි එකෙක් දැන් අවුරුදු තිස්නවයක, හතළිහක විතර මහ මිනිහෙක්. මේක හරි අසාධාරණයක්.

එවැනි අනු පවුලකට හිමිවන්නේ අක්කර 1/2 ක බිම් කොටසක් පමණි. නිවසක් ඉදිකර ගැනීමට හිමිව ඇත්තේ රුපියල් ලක්ෂයත්, ලක්ෂ දෙකත් අතර මුදලක්ය.

තුසිතපුරයේ වෙසෙන ජනතාවට 2017 වසරේ සිට ගොවිතැනක්, බතක් කරන්නට බිම් කඩක්ද හිමිව නැත. ඔවුන් වෙනුවෙන් ලබාදීමට නියමිත කුඹුරු ඉඩම් තවමත් මහ රූස්ස කැලෑවක්ය.

අපිට ගොවිතැනක් බතක් කරන්න දෙනවා කියපු කුඹුරු යායවල් තවම මේ මහා කැ‍ලේ තමයි. අනිත් එක යාංඔය ජලාශයෙන් ඒ කුඹුරුවලට වතුර ගේන්න කපන ඇළ තවමත් පටන් ගත්ත තැනමයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒක තව අවුරුදු කීපයකින් හදයිද දන්නේ නැහැ. හැබැයි චීන්නු ‍පොළොව යටින් ඇළක් පුල්මුඩේට ගෙනිහිල්ලත් ඉවරයි දැන් තවත් ගම්වැසියකු බිඳුණු සිතින් පැවැසුවේය.

තුසිතපුරයට ලියුම් බෙදන්නේද නැතැයි ගම්මු චෝදනා කරති. ගෝමරන්කඩවල තැපැල් කාර්යාලයෙන් ඒ පිළිබඳව විමසූ විට එවැනි ගම්මානයක් පිළිබඳව තවම තමන්ට දැනුම් දී නැති බව තැපැල් කාර්යාලයෙන් පවසන බව ගම්වාසීහු පවසති.

තුසිතපුර පදිංචිකරුවන්ගේ දරුවන්ට යන්නට පාසලක් හෝ පෙර පාසලක් තවම නැත. 2017 අවුරුද්දේ පදිංචියට ආ මොවුන් වෙනුවෙන් ඉදි කළ පාසල මතෛක් විවෘත කර නොමැත. එම පාසල නැ/ත්‍රි/අභයතිස්ස විද්‍යාලය, මයිලවැව (තුසිතපුර) නම් වේ.

තුසිතපුරයේ ග්‍රාම නිලධාරී කාර්යාලය ඇතුළු රජයේ නිලධාරීන් වෙනුවෙන් ඉදිකරනු ලබන ගොඩනැගිල්‍ලේ වැඩ අප එහි යනවිට අතරමග නැවතී තිබුණි. ඒ එම ගොඩනැගිල්ල ඉදිකරමින් සිටි පෙදරේරුවා ගොඩනැගිල්ලකින් ඇද වැටී තුවාල ලබා ඇති බැවිනි.

අද නමින් තුසිතපුරය ලෙස හැඳින්වුවද, යාංඔය ව්‍යාපෘතියේ අවතැන් වන ජනතාව පදිංචි කරවීමට යෝජිත ස්ථාන තුනෙන් එකක් වන කජුවත්ත නම් ස්ථානය, මෙය බව කිවයුත්තේ බලධාරීන් මෙතෙක් ක්‍රියා කර ඇති ආකාරයට ගත් විට තුසිතපුරයක් අපි දන්නේ නැතැයි කියන්නට බැරිකමක් නැති නිසාය.

තුසිතපුරය ලෙස නම් යොදා එහෙත් මූලික පහසුකම්වත් නොමැතිව සතුන් ගාල් කරන්නාක් මෙන් අවතැන් ජනතාව මෙසේ පදිංචි කරවීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ක්‍රියා කිරීම නීති විරෝධී බවයි නීතිඥ සම්පත්     පුෂ්පකුමාර අප සමග පවසා සිටියේ.

මේ රටේ සෑම පුරවැසියකුටම තමන් කැමති තැනක ජීවත්වීම සහ නීත්‍යානුකූලව රැකියාවක් කිරීමේ මූලික අයිතිය නීතියෙන් හිමිව තියෙන දෙයක්. කිසිවෙක් කැමැත්තකින් තොරව මේ යාංඔය ව්‍යාපෘතිය වැනි තත්ත්වයක් යටතේ අවතැන් වෙනවා නම් එවැනි අය නැවත පදිංචි කිරීමේදී, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම පිළිබඳ මාර්ගෝපදේශයක් ලෙස නීති පද්ධතියක් තියෙනවා.

ඒ අනුව හානි පූර්ණයට නිසි ලෙස තක්සේරු කරලා වන්දි සහ ඉඩම් ලබාදිය යුතුයි. කුඹුරු වතුපිටි. හරකාබාන හිටියා නම් ඒ සඳහා ඉඩකඩම් හා ජීවනෝපායන් සකසා දිය යුතුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධරණීය සංවර්ධන ඉලක්ක මත පිහිටා කටයුතු කරන්න රජය ගිවිසුම් ගතවෙලයි සිටින්නේ.

ඒ නිසා මේ යාංඔය ව්‍යාපෘතිය නිසා අවතැන් වෙලා ඉන්න ජනතාවට නිසි සාධාරණ ක්‍රමයක් අනුව වන්දි හිමිවීම හා නැවත පදිංචිය සිදුව නැති බව පෙනීයනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවත් තිබෙනවා යැයි ඔහු පෙන්වා දෙන්නේය.

චම්ලි ඒකනායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.