lakbima.lk

ජ’පුර සරසවියෙන් ලෝකයට අලුත් වැඩක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වද්‍යාලය එහි හැටවන  සංවත්සරය නිමිති කොටගෙන සංවිධානය කෙරෙන උත්සව මාලාවෙහි එක් අංගයක් වන්නේ “Innovate Sri Lanka 2019” නව නිපැයුම් හා නවෝත්පාදක ප්‍රදර්ශනයයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා, ව්‍යවහාරික විද්‍යා  කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා, වෛද්‍ය විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, පශ්චාද් උපාධි අධ්‍යයන සහ සමසෞඛ්‍ය යන පීඨවල නව නිපැයුම් හා නවෝත්පාදන මීට ඇතුළත් වන අතර ඊට සමගාමීව “වෙදෑස”වෛද්‍ය ප්‍රදර්ශනයද පැවැත්වේ.

ප්‍රදර්ශනය අප්‍රේල් 2 හා 3 දිනවල බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයෝ ඩෙංගු රෝගය පිළිබඳ  කරන ලද පර්යේෂණවලින් නේචර් සඟරාවට ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාව ඉතිහාසගත වන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ පර්යේෂණ කර ජාත්‍යන්තරයට ඉදිරිපත් කළ පළමු පර්යේෂණ පත්‍රිකාව ලෙසිනි. මීට පෙර ලංකාවෙන් ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාවලින් කොටසක හෝ සම්පූර්ණයෙන්ම පාහේ පරීක්ෂණ සිදුකෙරුණේ විදෙස් විශ්වවිද්‍යාලවල විද්‍යාගාර තුළදීය.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළමු වරට පිහිටුවන ලද නවෝත්පාදන නව්‍යකරණ හා නව නිර්මාණ කවුන්සිලයෙහි විශේෂත්වය වන්නේ එය විශ්වවිද්‍යාලයේ සියලු පීඨයන්හි නව නිපැයුම් හා නව සංකල්ප බිහි කරන විද්‍යාර්ථීන්ට, ආචාර්යවරුන්ට දිරි දෙන්නා සේම එම නිර්මාණවලට පේටන්ට් අයිතිය ලබා ගැනීම, ඒවාට වාණිජ වෙළෙඳ‍පොළක් සකසා දීම හා ඒවායෙහි මූලික ප්‍රාග්ධනය සැපයීමට වැනි හත්වැදෑරුම් කරුණු සඳහා සැදී පැහැදී සිටීම නිසාය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවෙන්නේ 2012 දී කැබිනට් පනතේ සම්මත කිරීමකින් අනතුරුවය. ඩෙංගු වසංගත තත්ත්වයන් කරා යෑම තුළ ඒ පිළිබඳව පර්යේෂණ වැඩි දියුණු කිරීම ජාතික අවශ්‍යතාවක් විය. ඩෙංගු දරුණු වන්නේ 10කට පමණ බවත් ඊට හේතුවන්නේ රුධිර නාලිකා ඔස්සේ රුධිරය  පිටතට ගමන් කිරීම බවත් හඳුනා ගන්නා පර්යේෂණ කණ්ඩායම ඊට හේතු වන සංඝටකයට එරෙහි සංයෝගයක් භාවිත කිරීම පිළිබඳ කොළඹ උණ රෝහල ආශ්‍රිතව අත්හදා බලන ලදී.

මේ දිනවල එහි දෙවන අදියර අධ්‍යයනය කෙරෙමින් පවතින බව වෛද්‍ය නිලීකා මලවිගේ සහ වෛද්‍ය චන්දිම ජීවන්දර පෙන්වා දෙයි. ඩෙංගු රෝගය හඳුනා ගැනීමේ NS1 පරීක්ෂණය තුළින් NS1ප්‍රෝටීනයට විරුද්ධ ප්‍රතිදේහ නිර්මාණය වන ආකාරය පිළිබඳ ලොව මුල්වරට පර්යේෂණ කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය සමත් වෙයි. එම පර්යේෂණය විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාර තුළදී කිරීමට හැකිවීම මෙන්ම එය නේචර් සඟරාවේ පළ වීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නවෝත්පාදන අංශයේ ලද සුවිශේෂී ජයග්‍රහණයකි.

මහා  බ්‍රිතාන්‍ය සෞඛ්‍ය වෛද්‍ය සඟරාවේ දකුණු ආසියාතික අංශයේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායම බවට පත්වන්නේ විශේෂඥ වෛද්‍ය බවන්ත ගමගේ ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමය. ඊට මුල් වන්නේ ලොව පිළිගත් ශල්‍ය වෛද්‍ය ක්‍රමවේදයක් අපේ රටට ගැළපෙන පරිදි සකස් කර දකුණු කොළඹ ශික්ෂණ රෝහ‍ලේ ආන්ත්‍රික පිළිකා රෝගීන් සඳහා අත්හදා බැලීමය.

එය ශ්‍රී ලාංකේය ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයටද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉතිහාසයටද සුවිශේෂී සංධිස්ථානයක් වනුයේ ශ්‍රී ලංකාව එවැනි ජයග්‍රහණයක් ශල්‍ය වෛද්‍ය නවෝත්පාදන අංශයෙන් හිමිකර ගනුයේ පළමු වතාවට වීම නිසාය.

විශ්වවිද්‍යාල සිසුන්ගේ අවසාන වසර පර්යේෂණ නිබන්ධනවල ‍පොදු යථාර්ථය වී තිබෙන්නේ රාක්කයක මුළුගැන්වීමය. එහෙත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිය සිසුන්ගේ අධ්‍යයන පර්යේෂණ සංකල්ප එසේ ලඝු කර නැති බවට හොඳම සාක්ෂිය වන්නේ ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ සම්මාන උළෙ‍ලේදී තමා නිපැයූ “සංගීත නිර්මාණ හැකියාවෙන් යුතු කෘත්‍රිම බුද්ධිය” සංකල්පයට රන් පදක්කම දිනාගත් දුලාන් ඩයස්ය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථියෙකි.

ඔහුගේ අවසන් වසර පර්යේෂණ ව්‍යාපෘතිය ලෝක මට්ටමේ සම්මාන උළෙලක් දක්වා මෙහෙයවා ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය නවෝත්පාදන අධ්‍යයන කවුන්සිලයයි. ඔහු නිර්මාණය කළ කෘත්‍රිම බුද්ධියට පද රචනයක් ලබා දුන් විට ඊට ගැළපෙන තනුවක්. නිර්මාණය කිරීමට අපූරු හැකියාවක් ඇති බව අපිට දකින්නට ලැබුණි.

ලෝකයේ රටවල් 200ක පමණ ව්‍යාප්ත Reckitt Benokiser සමාගම පැවැත්වූ RB Globlal
Challenge 2018  දී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් ඉදිරිපත් වූ කණ්ඩායම් 106ක් අතරින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වන්නේ ජ’පුර සරසවියේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ විද්‍යාර්ථීන් වන මධුෂාද සිල්වා, වර්ජිනි ප්‍රනාන්දු හා උමේන්ද්‍ර අබේනායකගේ Innovets කණ්ඩායමය. ඉන් නොනැවතුණු ඔවුහු එක්සත් රාජධානියේ පැවැති සමයක තරගාවලියේ ගෝලීය ප්‍රථම ස්ථානයද දිනා ගනී.

ඩෙංගු රෝගය වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයෙන් ඉදිරියට ගොස් කළමනාකරණ හා ව්‍යාපාරික සංකල්පයකින් මර්දනය කිරීම වෙත මෙකී කණ්ඩායමේ අවධානය යොමු වන්නේ එබැවිනි. එහිදී ඔවුන් අනාවරණය කළ සුවිශේෂී ජංගම ස්මාර්ට් වේපරයිසරය මේ වන විට වාණිජ මට්ටමින් නිපදවීමටද පෞද්ගලික සමාගමක් දායකත්වය දක්වා තිබේ.

රෙදිපිළි නිපදවීමේ කර්මාන්තය දැනට හඳුනාගෙන ඇති පරිදි ලොව වැඩිම පරිසර දූෂණයක් සිදුකරන කර්මාන්තයකි. ඊට මූලික හේතුව ඒ සඳහා භාවිත කරන ඩයි වර්ග වියෝජනය අපහසු වීමය. එය ජාතික පරිසර ගැටලුවක් බවට පත්ව ඇති අතර කැලණි නදියේ දූෂණයටද හේතු වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය නවෝත්පාදන ප්‍රදර්ශනයට සමගාමීව බැක්ටීරියා හි දිලීර භාවිතයේ ඒවා වියෝජනය කරන ක්‍රමවේදයක් හඳුන්වා දීමට මහාචාර්ය උපුල් මාරපන ප්‍රමුඛ විද්‍යා පීඨයේ පර්යේෂණ කණ්ඩායම් සමත් වී තිබේ.

ඒ අනුව කර්මාන්ත පිරිවැයද විශාල ප්‍රමාණයකින් අඩු කිරීමට ඔවුන් සමත්ව ඇත. මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව ශාක නිස්හරණ භාවිතයෙන් හඳුන්වා දී ඇති රියැදුරන්ගේ නිදිමත නැති කරන නව ලොසින්ජරය, වැඩිවන ජනගහනය හමුවේ මුහුදු පැළෑටි භාවිත කර නව ආහාර රාශියක් හඳුන්වා දීම, මුහුදු පැළෑටි ඇසුරින් නිෂ්හරිත ස්වභාවික වර්ණක ආහාර කර්මාන්තයේදී භාවිතය, දියවැඩියා රෝගයට එරෙහිව මාදං සහ නෙල්ලි භාවිතයෙන් නිර්මාණය කළ ආහාර ආදී  නිර්මාණ රැසක් නවෝත්පාදන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මිහිරාන් කරුණාරත්න

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.